වීදුරු හස්තියෝ

 ඡායාරූපය:

වීදුරු හස්තියෝ

“පණීභාරතගෙන් පස්සේ ලංකාවේ කව්රුත් නැටුවෙ නැහැ.”

රාත්‍රියේ වැටෙන්නට පටන් ගත් පොද වැස්සේ ගීතාංජලී සමඟ කාරය වෙත යා නොහැකිව නෙළුම් පොකුණ හා ආනන්ද කුමාරස්වාමි මාවත අතරමැද බස් නැවතුම් පොළේ සිර වී සිටි මා පැවසුවේ ඇය ඉදිරිපත් කළ නැටුම ගැන ඇති කරගත් ජුගුප්සාවකිනි. පළිඟු කැට මෙන් වැටෙන වැස්ස මැදින් මට නෙළුම් පොකුණ පෙනෙන්නේ වීදුරු හස්තීන් ලෙසට ය. මම ඒ දෙස බොහෝ වේලාවක් බලා සිටියේ වයසේ හැටියට බරපතළ නඩු කතා කරන තරුණ නීතිවේදියකු ලෙස වුවත් පොඩි වැස්සකට මුහුණ දෙන්නට ආත්මශක්තියක් නැති ඒ අවස්ථාවේ කළ හැකි වෙනත් යමක් නොතිබුණු බැවිනි.

වැස්ස වැඩි විය. ඊටත් වඩා මා කනස්සල්ලට පත් කළ දෙයක් වූයේ බස් නැවතුම් පොළේ අප සමඟ රැඳී සිටි පිරිසෙන් කිහිප දෙනෙකු ඇගේ රසික රසිකාවියන් බව සිතා ඇය මුහුණට සිනාරැල්ලක් බලෙන් නඟා ගන්නට වෙර දරනු දැකීම ය.

නොනිවෙන විදුලි එළියෙන් යුතු නෙළුම් පොකුණ පෙනෙන්නේ ප්‍රාතිහාර්යයකින් මතු වූවක් ලෙසිනි. එය හස්තීන් දහදොළොස් දෙනෙකු තරමට විශාල ය. එහි වීදුරු හස්ති පෙනුමක් ඇත්තේ කවාකාර හැඩය නිසා විය හැකි ය. මෙවේලෙහි ඉහළ අඳුරු අහස් කුස අනන්ත අපරිමාණ තාරකා දිස් වූයේ නම් එය මගේ ඇසට පෙනෙනු ඇත්තේ මොනර පිල් කළඹක් ලෙසිනි. ආනන්ද මූර්තිගේ ‘සංස්කාර’ නවකතාව කිහිප වාරයක් කියවා ඇති මට ද එවිට ප්‍රාණේශාචාරයන්ට මෙන් අහසේ සප්ත ඍෂි යෝග දකින්නට හැකි වනු ඇත.

අද ගීතාංජලීගේ වුවමනාව මා සමඟ වේල්ල වීදියේ ලෝ කොලේජ් බෝඩිමට එන්නට ය. මගේ අත ඇගේ වස්ත්‍රය ලිහිල් කරයි. ඇගේ වටොර සුරතල් කරන්නට ඇය මගේ දෙඅතට ඉඩ හරියි. අපි රබර් කොපු පාවිච්චි කරමු. එනමුත් අප අතර කතාබහ අඩු ය. ඇයට මා පෙනෙන්නේ වධකයකු ලෙසිනි. ඇය ඔරොප්පුවට මෙන් ප්ලාස්ටික් කඩුවක් ගෙනැවිත් තිබේ. ඇය ඇඳ මත හිටගෙන මගේ හිස ගසා දමයි. මගේ හිස බිම වැටී තිබේ. හිසකෙස්වලින් එය අල්ලාගන්නා ඇය බන්දේසියක් මත තබා ගන්නේ අපරදිග කලාවේ ප්‍රකට චරිතයක් වූ සැලෝමි ලෙසිනි. ඇය වුවමනා ලේ උරා බීවත් කිසිවක් ප්‍රශ්න නොකරමින් ඇයට ලොල් කරන ඩ්‍රැකියුලා සිටුවරයෙකි. ඇයට නොකඩවා ලැබෙන නර්තන ඇනවුම් නිසා ඇය රජයේ නැටුම් ගුරු වෘත්තියට ආයුබෝවන් කියා ඇත. මා ඇගේ පරපුරේ ප්‍රාසාංගික කලාව විවේචනය කරන විට ඇය ටික වේලාවක් තෝන්තුවාවෙන් පසුවෙයි.

“පණීභාරතගෙන් පස්සේ ලංකාවේ කව්රුත් නැටුවේ නැහැයි කියන කතාව ඔයා ඉල්ලා අස්කර ගන්නවද?” මෙවර ඇය විධානාත්මක ස්වරයකින් පැවසුවේ මා අඩ අඳුරේ දකින ඇගේ සුන්දරත්වය ගැන උදම් වෙමිනි.

ඇගේ අඩි උස සපත්තු කකුලක් මගේ සපත්තුව උඩට බර වෙනු මට දැනිණ. ඈ වැස්ස දෙස බලා සිටියේ මගේ අලුත් සපත්තුවට සිදු වන හානිය ගැන මෙලෝ හැඟීමක් නැති අයුරිනි. මම ඇගේ සුන්දරත්වය දකිමි. නැටුමෙන් හැඩය නඩත්තු කරන ඇගේ සුවිශද දේහය ඇය වේදිකාවේ ඉදිරිපත් කරන ග්‍රාම්‍ය ප්‍රාසාංගිකත්වයෙන් මොට නොවී ගැහැනියක සතු වන ඔපවත් හිසකේ, රන්වන් සම, පියොවුරු සවි කළ සුන්දර රාමුවක් වැනි දෙවුර, සරාගී ගෙල හා පුළුල් දෙඇස සහිතව ඉතා නිරවුල්ව පවතියි. මේ ඔළ මොළ අවස්ථාව කාමරයේ දිග හැරුණේ නම් ඇය අත මිටමොළවා මගේ පපුවට ගහගෙන ගහගෙන යයි.

නෙළුම් පොකුණ ආසන විශාල සංඛ්‍යාවකින් සැදුම්ලත් රැඟුම්හලක් සහිත ප්‍රාසාංගික ශාලිකාවකි. එය සැණෙකින් ඒකාලෝක කරන්නට ද, සහන් එළියක තබන්නට ද, කෙමෙන් කෙමෙන් අඳුරු කරවන්නට ද හැකි පොකුරු හා තනි විදුලි පහන්වලින් යුතු ය. වේදිකාව දෙබෑ කරවන්නට හා තැනින් තැන ඔසවා අමුතු දර්ශන පථ ඇති කරන්නට හැකියාව ඇත. ඒ වේදිකා තාක්ෂණය ඉදිරියේ ඇගේ නැටුම් කලාව සහ සංගීත කලාව බාල වී යන්නේ බොල් පොළොවකට තඩිබාන අයුරිනි. මා නෙළුම් පොකුණ දෙස බලා සිටින විට එතෙක් අඳුරේ ගිලී තිබුණු අඩක් ඒකාලෝක කෙරුණි. ඒ නිසා මගේ ඇස දකින වීදුරු හස්තීන් සංඛ්‍යාව දෙගුණ විය. මූසල කාලගුණය මැද ඒ හස්තීන් සලිතයට දිරිමත් නොවන්නා සේ පෙනිණ.

එහි ප්‍රධාන වේදිකාවේ ඇගේ කණ්ඩායම ඉදිරිපත් කළ රංගනය මට පෙනුණේ පෙකනි, කකුල් සහ පිම්බුණු පස්සවල් මතු කරන ලෙස නෙළා ඇති රූකඩ සමූහයක් ලෙසිනි. බොරු බෙර රිද්මයක් මවාපාන ඒ රූකඩ නොයෙක් විට ප්‍රතිමා මෙන් නිසලව සිටියි. ඔවුන්ගේ පාද සහ අඩවන් කළ දෙනෙත් සහිත මුහුණු දැකීමෙන් මට ලැබිය හැකි නෘත්‍ය රසයක් නැත. සියල්ලට වඩා මා තුළ ජුගුප්සාව දනවන්නේ ඇය රොඩී ගැහැනියක මෙන් දෙවුර විවෘත කර තනපට හා රෙදිකඩ ඇඳ සිටින අවස්ථාවන් ය.

“ලෝයර්ස්ලට ඩාන්සිං ස්ටාර්ස්ලා ගැළපෙන්නේ නෑ.”

ගීතාංජලී හා මා අතර ඇති ආරවුල් නීති ක්ෂේත්‍රයේ ද කතාබහට ලක් වී ඇති බව මම තේරුම් ගත්තේ ඊට පසු දින අනූෂා මාදිවෙල උසාවියේදී මට එල්ල කරන ලද ඇනුම්පදයෙනි.

“සුප්‍රිම් කෝට් ජජ් මංගල හේවාවිතාරණ එයාගේ දුවට යං ලෝයර් කෙනෙක් හොයනවා.” ඇය පැවසුවේ ඇනුම්පදය දිග් ගැස්සුණු අපවාදයක් බවට පරිවර්තනය කිරීමට උත්සාහ දරමිනි.

“අපි සමනලයෝ දිහා බලලා සතුටු වෙනවා වගේ ඩාන්සර්ස්ලා දිහා බලලා සතුටු වෙන්න ඕනා... ඇයි ඕවයේ පැටලෙන්න යන්නේ? මොකද ටීවි චැනල්වලට නඩු දාන්න ද?” මගේ මිතුරු නීතිඥ නිමල් ජයමාන්න පැවසුවේ මට ඔවදන් දෙන ස්වරයකිනි. මට හැඟුණේ මගේ හා ගීතාංජලීගේ පෙම් හබ ගැන ඕපාදූප කව්රුන් හෝ අධිකරණය හා නීතිඥ සමාජය පුරා වපුරා ඇති බවකි. උසාවියේ වැඩ කරන ලිපිකාරිණියෝ ද මා දෙස උනන්දුවෙන් බලා සිටියහ. මා බොහෝ දෙනාගේ සතුරකු වී සිටින බව මට හැඟිණි. පණීභාරතගෙන් පස්සේ ලංකාවේ කව්රුත් නැටුවේ නැහැයි කියන කතාව ඉල්ලා අස්කර ගැනීම හැර වෙනත් විකල්පයක් නැති බව වටහාගැනීම මට අනිවාර්ය විය. ඇය කැඳවා ගෙන යාම සඳහා මුලින් පෙම්වතා ලෙස ද, පසුව සැමියා ලෙස ද අඳුරේ බලා සිටින විට නෙළුම් පොකුණෙන් මතු වුණු වීදුරු හස්තියෝ මා සොයා එන්නට වූහ. උන්ගේ දිදුලන අතිවිශාල රූපකායන් අඳුරේ හුදකලා වුණු විට මා ඉදිරියේ දිස් විය. ඈ කැඳවා ගෙන යාම සඳහා දර්ශන වාර අවසන් වන තුරු අඳුරේ බලා සිටින කල්හි ඒ වීදුරු හස්තියෝ ගෝලාකාර හිස්වලින් යුතු දිදුලන ශරීර සහිතව මා ඉදිරියේ නැඟී සිටියහ. පණීභාරතගෙන් පස්සේ ලංකාවේ කවුරුත් නැටුවේ නැහැයි කියන කතාව ඒ හස්තීන් ඉදිරියේ වුවත් මම ඉල්ලා අස්කර නොගනිමි. ඒ සඳහා මා තුළ තිබෙන ධෛර්යය ගැන මට උදම් අනන්නට වුවත් පුළුවන.

(මෙය කතුවරයාගේ රජත පුස්තක සම්මානයෙන් පිදුම් ලැබූ ‘චයිනා ටවුම’ කෙටිකතා සංග්‍රහයෙන් උපුටා ගැනුණකි.)

------------------

කෙටිකතා එවන්න

ඔබේ ස්වතන්ත්‍ර කෙටිකතා නිර්මාණ අප යොමු කරන්න. අතින් ලියූ අත්පිටපත් වශයෙන් නොව පරිගණක අක්ෂර සංයෝජනය කළ ‘වර්ඩ්’ පිටපත් වශයෙන් (PDF නොකර), වචන 2500කට නොවැඩිව එෆ්.එම්. අභය අකුරින් හෝ ඉස්කෝල පොත අකුරින් ටයිප් කර යොමු කරන්න. අපගේ ඊමේල් ලිපිනය මෙසේය: [email protected]

එරික් ඉලයප්ආරච්චි

 

මාතෘකා