සියවසක් පුරා පිරිපුන් දියණියන් බිහිකරන

 ඡායාරූපය:

සියවසක් පුරා පිරිපුන් දියණියන් බිහිකරන

පාසලක් නම් අනාගතය උදෙසා බුද්ධිමතුන් නැණවතුන් බිහි කරනවා සේම ප්‍රායෝගික ජීවිතය සඳහා දරුවන් හුරු කිරීම සිදු කළ යුතුය. එය බාලිකා පාසලකට විශේෂ වේ. මන්දයත් ලාංකේය සමාජ ක්‍රමය තුළ කාන්තාවගේ භූමිකාව නිර්මාණය කිරීමෙහිලා පාසල දක්වන්නේ සුවිශේෂ දායකත්වයකි. බුද්ධියෙන් අනූන දියණිය බිහි කරනවා සේම කාන්තාවක් සතු විය යුතු විවිධ වූ දක්ෂතා වර්ධනය කිරීම පාසල තුළින් සිදුවිය යුතුය. එවන් විශිෂ්ට මෙහෙවරක් සිදුකරන බාලිකා පාසලක් පිළිබඳව තතු මෙසේ ඔබ වෙත දිගහරින්නෙමු.

ගම්පහ ජා - ඇල මාර්ගයේ ගුවන් පාලම හරහා ගමන් ගන්නා විට ගම්පහ උසාවි වටරවුම ඉදිරිපිට විසල් ප්‍රාකාරයකට මැදිව පිහිටි ගොඩනැඟිලි සමූහයකි. එය සියල්ලන්ම හඳුන්වන්නේ අනාදිමත් කාලයක් මුළුල්ලේ ගම්පහ දිස්ත්‍රික්කයේ දියණියන් සිප් කිරෙන් සුපෝෂණය කළ ගම්පහ යසෝදරා දේවි බාලිකා විද්‍යාලය යන නමිනි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ අධ්‍යාපන කලාපයට අයත් බාලිකා පාසල් අතුරින් ප්‍රමුඛතම ස්ථානයේ සිටින පාසලක් වන ගම්පහ යසෝදරා දේවි බාලිකා විද්‍යාලය 1 - 13 ශ්‍රේණි සහිත 1AB වර්ගයට අයත් පාසලකි. බාලිකා පාසලක් වන එහි ශිෂ්‍යාවන් සංඛ්‍යාව 3,700ක් වන අතර ගුරු මණ්ඩලය136කි. "සත්‍ය ජයගනියි" ආදර්ශ පාඨය මුල් කරගෙන වසර සියයකට අධික කාලයක් ගම්පහ ප්‍රදේශයේ දියණියන්ට නොනැවතී දියුණුවේ ජය ටැඹ කරා ගමන් කර ජයපිට ජයකෙහෙළි නැංවීමට මඟපෙන්වූ විදුහලකි ගම්පහ යසෝදරා දේවි බාලිකා විද්‍යාලය.

සියවසක ඉතිහාසය

බ්‍රිතාන්‍ය යටත් විජිත සමය යනු ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කැපීපෙනෙන වෙනස්කම් සිදුවුණු වකවානුවකි. එතෙක් ආගමික මධ්‍යස්ථානවලට සීමා වුණු අධ්‍යාපනය ඉන් ඔබ්බට ගොස් ආගම ප්‍රචාරය කිරීමේ අරමුණ මෙන්ම ශාස්ත්‍රිය, විද්‍යාත්මක දැනුම් පදනම් කර ගනිමින් මිෂනාරි පාසල් ලංකාව තුළ බිහි විය. ගම්පහ යසෝදරා දේවි බාලිකා විද්‍යාලයද මිෂනාරි පාලන සමයේ රජයේ ඉංග්‍රීසි පාසලක් ලෙස බිහි වූවකි.1962 වසරේදී ප්‍රතිසංවිධානාත්මක වැඩපිළිවෙළ යටතේ පශ්චාත් ප්‍රාථමික පන්ති බණ්ඩාරනායක විද්‍යාලයට රැගෙන යෑමත් සමඟ එය ‘රජයේ කනිෂ්ඨ මිශ්‍ර පාසල’ නමින් විරුදාවලි ලැබීය. මෙම පාසල 1963 වසරේ ජනවාරි පළමු වැනිදා ‘ගම්පහ යසෝදරා දේවි බාලිකා විද්‍යාලය’ බවට පත් විය. 1964වර්ෂයේ 9 වැනි ශ්‍රේණිය ආරම්භ කිරීමත් සමඟ එය මහා විද්‍යාලයක් බවට පත්විය.

අනාදිමත් කාලයක් මුළුල්ලේ ගම්පහ යසෝදරා දේවි බාලිකා විද්‍යාලයේ දියුණුව උදෙසා ඇප කැප වී ක්‍රියා කළ විදුහල්පතිවරියන් රාශියකි. සුනේත්‍රා අබේසිංහ මහත්මිය, සද්ධා ඔබේසේකර මහත්මිය, කේ.එස්. ලක්ෂ්මන් මහත්මිය, කේ.ඒ.එල්. කල්‍යාණරත්න මහත්මිය, එච්.ඩබ්ලිව්. රාජකරුණා මහත්මිය, එච්.ආර්.ඩබ්ලිව්. නානායක්කාර මහත්මිය, එල්.ආර්. පෙරේරා මහත්මිය, එම්.එල්. බස්නායක මහත්මිය යන විදුහල්පතිවරියන් පාසලේ ප්‍රගමනය වෙනුවෙන් කළ මෙහෙය සිහිපත් කළ යුතුය. (බ්‍රිතාන්‍ය යුගයේ බිහිවූ පාසලක් වුවද 1963 වසරට පෙර විදුහල්පතිවරුන් පිළිබඳව තොරතුරු නැත.)

ගුණ නැණින් සුපෝෂිත අභිමානවත් දිරිය දියණියන්

පාසලේ වත්මන් විදුහල්පතිනිය එච්.එම්. ගයානි වත්සලා මහත්මිය වන අතර2015 වසරේ සිට මේ දක්වා යසෝදරා දියණියන්ට ජීවිතය ජය ගන්නට මඟ කියන ඒ සඳහා කැපවී කටයුතු කරන නියමුවරිය ඇය වේ. පාසලේ දැක්ම වන "අභියෝගය හමුවේ නොසැළෙන ගුණ නැණින් සුපෝෂිත අභිමානවත් දිරිය දියණියන්" නම් දැක්ම අරමුණු කොටගෙන පාසලේ සිසු දැරියන්ගේ අධ්‍යාපනය මෙන්ම පෞරුෂය සංවර්ධනය සඳහා වැඩපිළිවෙළවල් රාශියක් එතුමියගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙමින් පවතියි.

මෙම විද්‍යාලය නියෝජ්‍ය විදුහල්පතිවරුන් පස්දෙනකු යටතේ පාලනය වේ. ජී.එල්.එස්.ඩී. ලියනගේ මහත්මිය අධ්‍යාපන පරිපාලන හා ප්‍රාථමික අංශ බාර නියෝජ්‍ය විදුහල්පතිවරිය ලෙසද ආර්.එම්.ඩී.සී.ඩී. රාජපක්ෂ මහත්මිය නියෝජ්‍ය විදුහල්පතිවරිය ලෙසද විෂය බාහිර ක්‍රියාකාරකම් බාර හා 10 - 11ශ්‍රේණි බාර

නියෝජ්‍ය විදුහල්පතිවරිය ලෙස එන්.පී.ටී.එම්.

රූපසිංහ මහත්මියද ඩබ්ලිව්.ඩී.ඩී.සී.කේ. වනිගනෙත්ති මහත්මිය අධ්‍යාපන සංවර්ධන හා උසස් පෙළ අංශ බාර විදුහල්පතිවරිය ලෙසද ඩී.ඒ.ටී.එන්. දුනුආරච්චි මහතා භෞතික සම්පත් හා 8 - 9 අංශ බාර නියෝජ්‍ය විදුහල්පතිවරයා ලෙසද පාසලේ සියලුම අංශයන්ගේ ප්‍රගමනය සඳහා මනා කැප කිරීමක් කරමින් විදුහල්පතිනියට විශාල සහයෝගයක් ලබා දේ.

විෂය බාහිර ක්‍රියාකාරකම්වලින් මුල්තැනට

පාසලේ විෂය සමගාමී ක්‍රියාකාරකම් මෙන්ම විෂය බාහිර වැඩසටහන්ද ක්‍රියාත්මක වේ. ඒ අතරින් විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායමට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. ඉතා උසස් මට්ටමක පවතින යසෝදරා දේවි විද්‍යාලයීය බාලදක්ෂිකා අංශය ජ්‍යේෂ්ඨ බාලදක්ෂ, කුඩාමිතුරි, සමනල බාලදක්ෂිකා ආදී අංශ ගණනාවකින් සමන්විත වේ. ගම්පහ දිස්ත්‍රික් බාලදක්ෂිකා කොමසාරිස් චම්පා රණබාහු ගුරු මහත්මිය හා පසංගා සූරියආරච්චි ගුරු මහත්මිය යටතේ අධීක්ෂණ කටයුතු සිදු වේ. පාසලේ ශිෂ්‍යභට ඛණ්ඩය පාසලේ අභිමානය විදහා දක්වන අතර ඛණ්ඩ ද්විත්වයකින් යුතුව එය ක්‍රියාත්මක වේ. පාසලේ යුද හමුදා ශිෂ්‍යභට ඛණ්ඩය දෙවන ලුතිනන් ඩබ්ලිව්.ඒ. කෞෂල්‍යා මහත්මිය යටතේද පොලිස් ශිෂ්‍යභට ඛණ්ඩය ඩබ්ලිව්.ඒ.එස්. විජේසිංහ මහත්මිය යටතේද අධීක්ෂණ කටයුතු සිදු වේ.

ගම්පහ යසෝදරා දේවි බාලිකා විද්‍යාලයේ පරිසර නියමුභට කණ්ඩායම පාසල් පරිසරය පවිත්‍රව හා අලංකාරව තබා ගැනීම උදෙසා කැප වී කටයුතු කරන අතර රජත වර්ණ පදක්කම් සඳහා සුදුසුකම් ලැබීම දක්වා හැකියාව ලබා ඇති දක්ෂ පරිසර නියමුවන් බිහි කළ කණ්ඩායමකි. රේණුකා තිබ්බටුගේ ගුරු මහත්මිය යටතේ එහි සියලුම අධීක්ෂණ කටයුතු සිදු වේ. ඊට අමතරව ගම්පහ යසෝදරා දේවි බාලිකා විද්‍යාලයේ සෞඛ්‍යදාන ඒකකය, ශාන්ත ජෝන් ඒකකය, ඡායාරූප සංසදය, මාධ්‍ය කමිටුව, කථීක හා විවාද සංචිතය, නව නිපැයුම් සංගමය, තාරකා විද්‍යා සංගමය, විද්‍යා සංගමය ආදීය තුළින් සිසු දැරියන්ගේ දැනුම, කුසලතා හා නිපුණතා වර්ධනය කිරීමට විශාල මෙහෙවරක් ඉටු කරයි.

පාසලේ සෞන්දර්ය ඒකකයටද සුවිශේෂ ස්ථානයක් හිමිවන අතර පාසලේ දැරියන්ගේ ප්‍රාසාංගික කලා හැකියා ඔප් නැවීමට එය මහඟු තෝතැන්නකි. සංගීතය, චිත්‍ර, නැටුම්, නාට්‍ය හා රංග කලාව යන සිව්වැදෑරුම් අංශවලින් ගම්පහ යසෝදරා දේවි බාලිකා විද්‍යාලයේ සෞන්දර්ය අංශය සමන්විත වේ. පාසලේ චිත්‍ර අංශය හේමමාලි හේනකාරච්චි ගුරු මහත්මිය යටතේද නර්තන අංශය උත්පලා එදිරිසිංහ ගුරු මහත්මිය යටතේද සංගීත අංශය සිතාරි විතානගේ ගුරු මහත්මිය යටතේද පවතින අතර නිලන්ති මංගලිකා ගුරු මහත්මිය යටතේ චිත්‍ර අංශය පවතී. පාසලේ සෞන්දර්ය අංශය සමස්ත ලංකා,පළාත්, කලාප හා දිස්ත්‍රික්ක මට්ටමේ ජයග්‍රහණ රැසක් අත් කර දීමට සමත් වී ඇත. ගම්පහ යසෝදරා දේවි බාලිකා විද්‍යාලය සතුව තූර්යවාදන කණ්ඩායම් ත්‍රිත්වයක් පවතින අතර බටහිර තූර්යවාදන කණ්ඩායම, පෙරදිග ශිෂ්‍යභට තූර්යවාදන කණ්ඩායම හා ප්‍රථමික තූර්යවාදන කණ්ඩායම ඒවා වෙයි.

ක්‍රීඩා පිටියේ දස්කම්

බොහොමයක් පාසල්වල ගෞරවය හා එහි නම බබළවනු ලබන්නේ පාසලේ ක්‍රීඩා අංශය විසිනි. ගම්පහ යසෝදරා දේවි බාලිකා විද්‍යාලයීය ක්‍රීඩා අංශයද එවන් දායාද බිහි කළ තැනකි. ඉෂානි ගමගේ මහත්මිය විද්‍යාලයේ ක්‍රීඩා අංශය බාරව කටයුතු කරයි. මලල ක්‍රීඩා, ක්‍රිකට්, දැල්පන්දු, වොලිබෝල්, පැසිපන්දු,හොකී, බැඩ්මින්ටන්, පිහිනුම්, චෙස්, කරාතේ, ජිම්නාස්ටික් ඇතුළු ක්‍රීඩා ඉසව් ගණනාවක් පවතින යසෝදරා දේවි බාලිකා විදුහලේ ක්‍රීඩා අංශය විවිධ වයස් සීමාවන් යටතේ කලාප මට්ටමෙන්, දිස්ත්‍රික්ක මට්ටමෙන් සහ සමස්ත ලංකා මට්ටමෙන් ජයග්‍රහණ රැසක් ලබා ගනිමින් පාසලට අත්කර දුන් කීර්තිය අතිමහත්ය.

කාන්තා පෞරුෂ වර්ධන වැඩසටහන්

පාසලේ දැක්ම වන "අභියෝගය හමුවේ නොසැළෙන" මනා කාන්තා පෞරුෂයෙන් හෙබි දියණියන් බිහි කිරීම සඳහා සුවිශේෂ ශක්‍යතා වර්ධක වැඩසටහනක් විදුහල්පතිවරියගේ අධීක්ෂණය යටතේ පාසලේ ක්‍රියාත්මක වේ. සීමිත ශ්‍රේණි කිහිපයක් සඳහා සවස් කාලයේ ක්‍රියාත්මක වන වැඩසටහන6 - 7 සහ 8 - 9 ශ්‍රේණි සඳහා ක්‍රියාත්මක කරයි. දරුවන්ගේ කුසලතා වර්ධනය කර ගැනීමට විවිධ ක්‍රියාකාරකම් ආශ්‍රිත ව්‍යාපෘති මෙම වැඩසටහන හරහා ක්‍රියාත්මක වේ. මැහුම් ගෙතුම්, ඉවුම් පිහුම්, අත්කම් ආදිය එම ක්‍රියාකාරකම් යටතේ පවතින අතර ගුරු මණ්ඩලය හා වෙනත් සම්පත්දායකයන්ගේ දායකත්වය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. එමෙන්ම මහාචාර්ය හොවාඩ් ගාඩ්නර්ගේ බහුවිධ බුද්ධි සංකල්ප පදනම් කර ගනිමින් බුද්ධීන් 8ක් සංවර්ධනය කිරීම සඳහා 6 - 7, 8 - 9 ශ්‍රේණි සඳහා එක් ශ්‍රේණියකට වැඩසටහන් 8ක් බැඟින් වැඩසටහන් ක්‍රියාත්මක වේ. ඒ හරහා විවිධ බුද්ධීන් සංවර්ධනය කරගත් ශිෂ්‍යයාවන් අගයනු වස් "ශිල්ප සුගන්ධාවලී" නමින් විෂය බාහිර ඇගයීම් උලෙළක් වාර්ෂිකව ගම්පහ යසෝදරා දේවි බාලිකා විද්‍යාලයේ පැවැත්වේ.

විෂය සමගාමී දස්කම්

මෙම විදුහලේ විෂය බාහිර කටයුතු මෙන්ම විෂය සමගාමී කටයුතුද ඉතා සාර්ථකව කරගෙන යයි. ගම්පහ අධ්‍යාපන කලාපය දිවයිනේ අධ්‍යාපන කලාප අතරින් ප්‍රමුඛ ස්ථානයක් අත්පත් කර ගැනීමට සමත් අධ්‍යාපන කලාපයක් වන අතර ඒ සඳහා ගම්පහ යසෝදරා දේවි බාලිකා විද්‍යාලයේ මෙහෙවර ප්‍රසංශනීයය. ගම්පහ යසෝදරා දේවි බාලිකා විද්‍යාලයේ 2018 වසරේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල 99.9%ක් වන අතර 2018 වසරේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල98.2%ක් වේ. 2018 වසරේ උසස් පෙළ ප්‍රතිඵල සලකා බැලූ විට විද්‍යා කලා අංශය 90%ක්ද වාණිජ අංශය 94%ක්ද විද්‍යා අංශය 50%ක්ද වාර්තා කර ඇති බව පෙනේ. 2018 උසස් පෙළ කලා විෂය ධාරාව යටතේ දිවයිනේ 7 වැනි ස්ථානය සහ වාණිජ අංශයෙන් දිවයිනේ 8 වැනි ස්ථානය අත්පත් කර ගැනීමට ගම්පහ යසෝදරාවියන් සමත් වී ඇත.

මෙලෙස බ්‍රිතාන්‍ය පාලන සමයේ රජයේ ඉංග්‍රීසි පාසලක් ලෙස ආරම්භ වී 1962 වසරේ නැවත ප්‍රතිසංවිධානය වී ගම්පහ දිස්ත්‍රික්කයේ 1 - 13 ශ්‍රේණි දක්වා පවතින එකම බෞද්ධ කාන්තා විද්‍යාලය ලෙස බුද්ධිමත් උගත් ප්‍රායෝගික කුසලතාවලින් පරිපූර්ණ අභියෝග හමුවේ නොසැලෙන දියණියන් බිහි කිරීමට ගම්පහ යසෝදරා දේවි බාලිකා විද්‍යාලය සිදුකරන මෙහෙය ප්‍රසංශනීයය.

මාතෘකා