ඔය හැටි විටමින් බොන්න හොඳද?

 ඡායාරූපය:

ඔය හැටි විටමින් බොන්න හොඳද?

විටමින් බොන එක ඇත්තටම හොඳද? නරකද? ඇත්තෙන්ම විටමින් බොන එක නරක දෙයක් නොවෙයි. නමුත් ඒ වෛද්‍යවරයකුගේ උපදෙස් මත නම් පමණයි. ඔබේ හිතුමනාපයට, තවත් කෙනෙක් කී පමණින් එසේත් නැතිනම් රූපවාහිනියේ දුටු පමණින් විටමින් ගන්නවා නම් ඔබ දෙතුන් වරක් නොව කිහිප වරක්ම ඒ ගැන සිතා බැලිය යුතුයි.

මොනවද ඇත්තටම මේ විටමින්වල තියෙන්නේ? ඒ තියෙන දේවල් අපට කොහොමද වැදගත් වන්නේ? ඔබටත් විටමින් ගැන එවැනි ප්‍රශ්න තිබෙනවා විය හැකියි. විටමින් සහ ඛනිජ ලවණ අපේ ශරීරයට අත්‍යවශ්‍ය සංඝටක වන අතර ඒවා අඩුවීම සිරුරට අහිතකර වනවා වගේම වැඩිවීමත් අහිතකරයි. අවශ්‍ය ප්‍රමාණයට ලබාගැනීමෙන් නිරෝගී සෞඛ්‍යයක් ලබාගත හැකියි.

ඔබේ ශරීරයේ දිනපතා අවයව අලුත්වැඩියාව සිදුවනවා. මේ සඳහා විටමින් සහ ඛනිජ ලවණ ඉතා අවශ්‍යයි. මෙම විටමින් සහ ඛනිජ ලවණ බොහොමයක් අප ලබාගන්නා ප්‍රධාන ආහාර වේල් හරහා ප්‍රමාණවත් ලෙස අපේ ශරීරයට ලැබෙනවා. නමුත් ඔබ සමබල ආහාරවේලක් නොගන්නා අයෙක් නම් හෝ රෝගීව සිට බොහෝ කලක් පෝෂ්‍යදායී ආහාරවේලක් නොගත් අයෙක් නම් ඔබේ ශරීරයේ ගබඩා වී ඇති විටමින් භාවිත වී ඇති අතර විටමින් අඩු බවක්ද පැවතිය හැකියි.

විටමින් වර්ග ඌන වීම නිසා අස්ථි දුර්වල වීම, ඇස් පෙනීම දුර්වල වීම, දත් දුර්වල වීම, සංජනන දුර්වලතා ආදිය ඇතිවිය හැකියි. නමුත් ඔබ ප්‍රමාණවත් තරම් ක්ෂුද්‍රමූල විටමින් වර්ග ලබාගන්නා අයෙක් නම් ඔබට ශක්තිමත් අස්ථි සහ දත් මෙන්ම නිරෝගී පරිවෘත්තීය ක්‍රියාවලියක්ද සිදුවන නිරෝගී අයෙක් ලෙස ජීවත් විය හැකියි.

විටමින් වර්ග ප්‍රධනා ලෙස ජලයේ දියවන සහ මේදයේ දියවන ලෙස පවතින අතර මෙම විටමින් වර්ග දෙකේම සමහර විටමින් උවමනාවට වඩා ලබාගැනීම නිසා විස වීමට ඉඩ තිබෙනවා. එම නිසා තමයි ඔබ වෛද්‍ය උපදෙස් මත පමණක් විටමින් ලබාගැනීම සිදුකළ යුත්තේ.

ජලයේ දියවන විටමින් වර්ග B7, B9, B5, B2, B1, B6 සහ B 12 වන අතර මේදයේ දියවන විටමින් වර්ග වන්නේ A,D,E සහ K යන ඒවාය.

විටමින් වර්ග විශේෂයෙන්ම ශක්තිය නිපදවීමට, ආහාරවලින් ශක්තිය මුදා ගැනීමට, ප්‍රෝටීන් වර්ග නිපදවීමට, කොලජන් නිපදවීමට, අස්ථි සෑදීමට, දෘෂ්ටිය ආරක්ෂා කිරීමට මෙන්ම ඔබේ සිරුරේ මහානික මුක්ත ඛණ්ඩකවලින් ආරක්ෂා කිරීමට පවා උපකාරී වනවා.

ශරීරයට අවශ්‍ය ඛනිඡ ලවණ ලෙස සල්ෆර්, සෝඩියම්,කැල්සියම්, ක්ලෝරයිඩ්, පොටෑසියම් හැඳින්විය හැකි අතර මේවාද අධිකව ලබාගැනීම ශරීරයට අහිතකරයි.

එමෙන්ම B6 සහ විටමින් A උදාහරණ ලෙස සැලකීමේදී ඒවා අධිකව ලබාගැනීමෙන් අධික සංකූලතා ඇතිවිය හැකි අතර මෙවැනි විටමින් අන්තර්ගත සිරප් වර්ග, පෙති වර්ග ඔබේ හිතුමනාපයට හෝ වෛද්‍ය දැනුම රහිත වෛද්‍ය වෘත්තිකයන් සේ පෙනී සිටිමින් ඔබේ ජීවිත අනතුරේ හෙලන පුද්ගලයන්ගෙන් ලබාගැනීම කිසිසේත් නොකළ යුතුය. ඒ නිසා සිදුවන දීර්ඝකාලීන සංකූලතා හෝ මරණය නිවැරදි කිරීමට නොහැකි බවද මතක තබාගන්න.

රූපවාහිනියේ දකින මේකප් තවරා සුන්දර වූ රූපය විටිමින් වර්ග බීමෙන් සිදුනොවූවක් බව ඔබේ තරුණ දුවා දරුවනටද ආදරයෙන් කියාදන්න. තවදුරටත් ඔබ වෙළෙඳ උපක්‍රමවල ගොදුරක් බවට පත්නොවී වෛද්‍ය උපදෙස් මත පමණක් විටමින් වර්ග ලබාගැනීමේ වැදගත්කම මතකයේ තබාගන්න.

වෛද්‍ය [කේ. කේ. ජී. ලහිරු ප්‍රබෝධ]
දිස්ත්‍රික් මූලික රෝහල - දික්ඔය

 

සංස්කරණය  -[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා