ඔටිසම් කියන්නේ ලෙඩක්ද?

 ඡායාරූපය:

ඔටිසම් කියන්නේ ලෙඩක්ද?

“ඔටිසම් තත්ත්වයට අපෙන් ප්‍රතිකාර ලබාගත් එක් අපූරු දරුවෙක් සිටියා. එයාව උඩු මහලට රැගෙන ගිහින් ජනේලයෙන් පිටත දේවල් පෙන්නුවම ඒ දිහා තත්පර ගණනක් බලාගෙන ඉන්නවා. නැවත පහළ තට්ටුවට ඇවිත් තමන් දැකපු දේවල් ඒ විදියටම සිතුවම් කරනවා. එය තරමක් අසාමාන්‍ය හැකියාවක් කිව්වොත් නිවැරදියි. ඔටිසම් තත්ත්වය සහිත වුණත් ඔහුගේ හැකියාවන් විශිෂ්ටයි.

වේගයෙන් ඉතාම අලංකාර වීදුරු කැටයම් නිර්මාණය කිරීමේ සුවිශේෂී හැකියාවක් තිබුණු තවත් දරුවෙක් සිටියා. ඔටිසම් තත්ත්වය සහිත ඔහු පොතපතේ කටයුතුවලට එතරම් කැමැත්තක් දැක්වූවේ නැහැ. නමුත් තමන් දක්ෂතාව දැක්වූ විෂය සඳහා ඔහු සතුව තිබූ නිර්මාණශීලී බව විශිෂ්ටයි. "

සත්‍ය සිදුවීම් කිහිපයක් පිළිබඳ මතකය ආවර්ජනය කරමින් විශේෂඥ වෛද්‍ය වජන්ත කොතලාවල මහතා ඔටිසම් තත්ත්වය සහිත වූ ඇතැම් දරුවන් තුළ ඇති සුවිශේෂතා කිහිපයක් පෙන්වා දුන්නේ එලෙසිනි. අතීතයේ ඉතා කලාතුරකින් අසන්නට ලැබුණත් වර්තමානයේ ඔටිසම් යනු එතරම් නුහුරු වචනයක් නොවෙයි. නමුත් තවමත් මෙරට මවුපියන්ට, විශේෂයෙන් මවුවරුන්ට ඔටිසම් පිළිබඳ සැලකිය හැකි මට්ටමේ දැනුවත් භාවයක් නොමැති බව දක්නට ලැබේ.

ඔටිසම් යනු රෝගයක්ද?

ඔටිසම් රෝගයක් ලෙස සැලකීමට වඩා සංවර්ධන ඌනතා තත්ත්වයක් ලෙස හැඳින්විය හැකිය. මෙලොව එළිය දුටු දා පටන් දරුවකු තුළ දක්නට ලැබෙන උස් මහත් වීම්, බර වැඩි වීම ඇතුළු ස්වභාවික ශාරීරික වැඩීම “වර්ධනය” ලෙසින් හඳුන්වන අතර කුසලතා හෙවත් ස්වභාවයෙන්ම උරුම වන හැකියාවන් අත්පත් කර ගැනීම සංවර්ධනය ලෙසින් හඳුන්වයි. නමුත් ඔටිසම් තත්ත්වය සහිත දරුවන්ගේ කුසලතා සංවර්ධනයේ ඌනතා සහ ව්‍යාකූලතා දක්නට ලැබේ.

කුසලතා වර්ග කිහිපයක් වන අතර චාලක කුසලතා, භාෂාව හා කථනය, බුද්ධි කුසලතා සහ සාමාජීය කුසලතා ඒ අතරින් ප්‍රධාන වේ. සාමාන්‍යයෙන් චාලක කුසලතා යටතට ගැනෙන්නේ ශාරීරික ක්‍රියාකාරකම් හෙවත් හිස කෙළින් තබා ගැනීම, ඉඳ ගැනීම, හිට ගැනීම වැනි කාර්යයන්ය. ඔටිසම් සහිත දරුවන් සාමාන්‍ය දරුවකු හා සමානවම මෙම චර්යාවන්වල නිරත වන නමුදු සාමාජීය කුසලතා හෙවත් සමාජීය සන්නිවේදනය සිදු කරන්නේ මන්දගාමීවය. නමුත් ඔටිසම් සහිත දරුවන්ගේ බුද්ධි කුසලතා සෑම විටම අඩු නොවන අතර සාමාන්‍ය මට්ටමේ පවතින අවස්ථාද ඇතැම් විට දැකිය හැකිය.

මෙම කුසලතා සංවර්ධනයේදී පවතින ඌනතා ළදරු වියේදී හෝ මුල් ළමා වියේදී හඳුනා ගතහොත් එයින් ඇතිවිය හැකි අනාගත අහිතකර බලපෑම් යම් මට්ටමකට හෝ අවම කර ගැනීමේ හැකියාව ඇත.

ළදරු අවධියේදී දක්වන සන්නිවේදන ඉරියව් හඳුනා ගැනීමට අපට තරමක් අපහසු වුවද සාමාන්‍ය දරුවකු කිරි උරා බොන විටදී මවගේ ඇස් දෙස බලා සිටීම ස්වභාවික චර්යාවකි. නමුත් ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන දරුවන් තුළින් මෙම චර්යාව දක්නට ලැබීම අවම මට්ටමක පවතී. යම් ළදරුවකු මවුකිරි බොන අවස්ථාවලදී මවගේ ඇස් දෙස නොබලන්නේ නම් ඒ පිළිබඳ වහා අවධානය යොමු කර වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් අනාගතයේ ඇති විය හැකි අවදානම් තත්ත්වයන් අවම කරගත හැකිය.

සාමාන්‍යයෙන් දරුවකු බහ තේරීම සිදු කරන්නේ වයස අවුරුද්දක් පමණ වන විටය. එම වයස ක්‍රමයෙන් බහ තේරීම හෙවත් කතා කිරීමට උත්සාහ කිරීම, ශබ්ද හඳුනා ගැනීමට උත්සාහ දරන අවධියයි. නමුත් ඔටිසම් තත්ත්වය සහිත දරුවන් තේරුමක් සහිත වචන කතා කරනු දක්නට ලැබීම ඉතා අවම මට්ටමක පවතී. විශේෂයෙන්ම ළදරුවකුට මාස 16 පමණ සපිරෙන විටත් තේරුමක් සහිත වචන උච්චාරණය කිරීම සිදු නොවන්නේ නම් සහ වයස අවුරුදු 2 සපිරෙන විට වචන 2ක් එකතු කර කතා කිරීමේ හැකියාව නොමැති නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ උපදෙස් පැතිය යුතුය.

සාමාන්‍යයෙන් දරුවකු වසර 2 සැපිරූ පසු සම වයසේ දරුවන් සහ පවුලේ අය සමඟ සෙල්ලම් කිරීමට දක්වන්නේ මහත් ප්‍රියතාවකි. නමුත් ඔටිසම් සහිත දරුවන් තමාගේම ලොවක තනි වී සිටීමට ප්‍රිය කරන අතර තනිව සෙල්ලම් කිරීම, වැඩිහිටියන් සමඟ සබඳතා දැක්වීමට ප්‍රිය නොකිරීම, මුහුණ දෙස නොබැලීම, එකම ප්‍රතිචාරය නැවත නැවත දැක්වීම, නම කතා කළ විට ප්‍රතිචාර නොදැක්වීම වැනි හැසිරීම් රටා පෙන්නුම් කරති.

ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන් පිළිබඳ දැනට පවතින දේශීය සංඛ්‍යා ලේඛන, දත්ත සහ 2010 වසරේදී කොළඹ දිස්ත්‍රික්කය ඉලක්ක කර ගනිමින් සිදුකළ සමීක්ෂණ වාර්තාවකට අනුව මෙරට සෑම දරුවන් 93 දෙනකුගෙන් එක් අයකු ඔටිසම් තත්ත්වය සහිත වූවන් බව අනාවරණය වී තිබේ.

නමුත් ශ්‍රී ලංකාව තුළ ඔටිසම් පිළිබඳ මහජන දැනුවත් කිරීම්, මවුවරුන් සමඟ සෘජුව පවත්වන සාකච්ඡා වැනි දැනුවත් කිරීමේ වැඩසටහන් බහුලව දක්නට නොමැත. එනිසාම ළදරු වියේදී හෝ මුල් ළමා වියේදීම ඔටිසම් තත්ත්වය හඳුනා ගැනීමේ අවකාශය අහිමිව යයි. එපමණක් නොව එම නොදැනුවත්කම නිසාම ගර්භණී අවධියේදී ඒ සඳහා හේතු විය හැකි පාරිසරික අවදානම් සාධකවලින් ඈත් වී ප්‍රවේශම් වීමට ඇති හැකියාවද ගිලිහී යයි.

ඔටිසම් තත්ත්වයේ දක්නට ලැබෙන සංවර්ධන ඌනතා වන කතාබහ ප්‍රමාද වීම, නිතර තමාගේම ලොවක තනි වීමට උත්සාහ කිරීම වැඩිහිටියන් හෝ සම වයස් දරුවන් සමඟ සෙල්ලම් කිරීමට ප්‍රිය නොකිරීම වැනි ලක්ෂණ යක්ෂ භූත බලපෑම් හෝ වෙනත් අදිසි බලපෑම් නිසා හට ගත් රෝගයක් බවට මිත්‍යා මත පැතිර යෑමේ ප්‍රවණතාවන්ද මහජන නොදැනුවත්කම නිසා උද්ගතව ඇත. ඒ හේතුවෙන් මවුපියන් දරුවා සුවපත් කර ගැනීමට වෙන් කළ යුතු වටිනා කාල වේලාව සහ මුදල් වැය කරන්නේ විද්‍යානුකූල නොවූ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වල පිහිට පැතීමටය. කාලයත් සමඟ දරුවා වැඩිවියට පත්වන අතර චිකිත්සක ක්‍රමවලින් සුවපත් කර ගත නොහැකි තත්ත්වයට පත් වීමෙන් දරුවාගේ අනාගතය යහපත් කර ගැනීමට තිබූ අවස්ථා අහිමිව යයි.

මුල් ළමා අවධියේම ඔටිසම් තත්ත්වය නිවැරදිව හඳුනා ගතහොත් ඒ සඳහා ලොව පිළිගත් විවිධ චිකිත්සක ක්‍රම සහ ප්‍රතිකාර ඔස්සේ මෙම තත්ත්වය බොහෝ දුරට යහපත් අතට හරවා ගැනීමේ හැකියාව ඇත.

ඔටිසම් තත්ත්වයට ගොදුරු වීමට හේතු

නිශ්චිත එක් හේතුවක් පමණක් නොව හේතු රැසක එකතුවක් ඔටිසම් තත්ත්වයට ගොදුරු වීමේ අවදානම එල්ල කරන බව වෛද්‍යවරු පෙන්වා දෙති. එම හේතු Risk factors හෙවත් ඔටිසම් තත්ත්වයට ගොදුරු වීමේ අවදානමක් ඇති කරන කාරණා වශයෙන් ඔවුහු සඳහන් කරති. ඒ අතරින් ජානමය බලපෑම ප්‍රධාන වන අතර පාරිසරික බලපෑම්, මව ගර්භණී අවධියේදී අයහපත් පාරිසරික තත්ත්වයන් යටතේ ජීවත් වීම වැනි කරුණු අවදානම් ඇති කළ හැකි හේතු වශයෙන් දැක්විය හැකිය.

ඔටිසම්වලට ගොදුරු වූවන් 100ක් විමර්ශනයට ලක් කළහොත් එම සිය දෙනා පෙන්නුම් කරන හැසිරීම් හා ලක්ෂණ එකිනෙකට වෙනස්ය. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වූ හැසිරීම් රටා සහ ලක්ෂණ පෙන්නුම් කරන නිසාම එය පරාසයික තත්ත්වයක් ලෙසින් හඳුන්වනු ලබයි.

ලෝක ජනගහනයෙන් සියයට 1ක් පමණ ඔටිසම් හෙවත් (ASD) තත්ත්වයෙන් පෙළෙන බව ඔබ දන්නවාද? ලෝක සෞඛ්‍ය සංවිධානය 2018 වසරේ සිය නිල වෙබ් අඩවියේ දක්වා ඇති තොරතුරුවලට අනුව ලොව සෑම පුද්ගලයන් 160 දෙනකුගෙන් එක් අයෙක් ඔටිසම් තත්ත්වයට ගොදුරු වී ඇත.

ශ්‍රී ලංකාව තුළ ඔටිසම් තත්ත්වයට ගොදුරු වන දරුවන් මෙන්ම වැඩිහිටියන් කෙරෙහි තවමත් යොමුව ඇත්තේ අඩු අවධානයක් වීම අවාසනාවන්ත තත්ත්වයකි. නමුත් ගෝලීය ඔටිසම් තත්ත්වය දෙස අවධානය යොමු කර එයින් ආදර්ශ ගතහොත් ඔවුන් රටේ සංවර්ධන කාර්යයට දායක කර ගැනීම දක්වා මෙම දරුවන් සහ වැඩිහිටියන් පුහුණු කළ හැකිය. තොරතුරු තාක්ෂණය සම්බන්ධ රැකියා සහ ඇසුරුම්කරණයට අදාළ රැකියා ඔටිසම් සහිත පුද්ගලයන්ට නිරතවිය හැකි රැකියා කේෂ්ත්‍රයන් බවද අනාවරණය වී තිබේ. ක්‍රමයෙන් වැඩිවියට පත්වන ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන දරුවන්ගේ අනාගතය යහපත් කර ගැනීම සඳහා මෙරට පවතින යටිතල පහසුකම්, චිකිත්සක ක්‍රම මෙන්ම අධ්‍යාපනික වෘත්තීය මාර්ගෝපදේශන අවස්ථා පිළිබඳවද සෑහීමට පත් විය නොහැකිය. එවැනි පසුබිමක් තුළ වයස අවු 18 ඉක්ම වූ පසු ඔවුන්ගේ මවුපියන්, බාරකරුවන් දිවි ගෙවන්නේ එම දරුවන්ගේ අනාගතය පිළිබඳ බියකිනි. එබැවින් ඔටිසම් සහිත පුද්ගලයකුට නිසි ලෙස අධ්‍යාපනයක් ලැබීමට, සරසවි අධ්‍යාපනය හැදෑරීමට, තම ශක්තියෙන් හා හැකියාවෙන් නිරත විය හැකි රැකියාවක යෙදීමට, ස්වයං රැකියාවල නිරත වීම වැනි කාර්යයන් හරහා නැඟී සිටීමට ඉඩ හසර ලබා දිය යුතුය.

ඔටිසම් සහිත දරුවන් හඳුනා ගන්නේ කෙසේද යන්න පිළිබඳ ලබන කලාපයෙන් සාකච්ඡා කරමු.

සාකච්ඡා සටහන [නිරාශා පියවදනි]

සංස්කරණය  -[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා