වැලි මිදුල

 ඡායාරූපය:

වැලි මිදුල

සිරිලක උරග ලොව හරිත වර්ණවත් කරන ශ්‍රී ලංකා පලා පොළඟා

ශ්‍රී ලංකා ග්‍රීන් පිට් වයිපර් යන ඉංග්‍රීසි නාමයෙන්ද, පච්චෙයි විරියන් යන දෙමළ නාමයෙන් ද හඳුන්වන ශ්‍රී ලංකා පළා පොළඟා ලංකාවට ආවේණික මඳ විෂ සහිත ශ්‍රී ලංකා පොළොං සර්ප කුලයේ යාළුවෙක්. ශ්‍රී ලංකා පලා පොළඟාගේ සිරුර ශක්මත් හා ඝනකමින් යුතුව මධ්‍යම ප්‍රමාණයෙන් වැඩෙනවා. හිස විශාල ත්‍රිකෝණාකාර පැතිලි ස්වභාවයකින් යුතු වෙනවා. මේ යාළුවාගේ වල්ගය යමක් අල්ලා ගත හැකි ග්‍රාහකයක් විදිහටයි හැදිලා තියෙන්නේ. ශ්‍රී ලංකා පලා පොළඟා ගේ සිරුර ළා කොළ පාටට හුරුව වර්ණවත් වන අතර කළු පාට වර්ණවත් විසිතුරු රටාවන් සිරුර මත දකින්න පුළුවන්. කොරළ අඳුරු පැහැයෙන් යුතු වන අතර කළු පැහැති ඉරක් හිසේ සහ වල්ගයේ පැත්තකට වෙන්නට දකින්නට පුළුවන්. ඒ වගේම සිරුර පසුපස කොටසෙහි වල්ගය කළු පාටින් දැකිය හැකියි. පලා පොළොං යාළුවාගේ උදරයේ යට ප්‍රදේශය ළා කොළ පාටට හුරු කහ හෝ අළු මිශ්‍ර පාටින් යුතුයි.

ශ්‍රී ලංකා පලා පොළඟා විශාල වශයෙන් ලංකාවේ තෙත් කලාපය, වියළි කලාපය සහ තෙත් වියළි කලාප අතර මැද දේශගුණ කලාපවල මුහුදු මට්ටමින් මීටර් 1200 ට වඩා ඉහළ වර්ෂා වනාන්තරවල සහ උප කඳුකර වනාන්තරවල සාමාන්‍යයෙන් පඳුරු ලැහැබ්වලත් දිය පහරවල් අසල ගස්වලත් ජීවත් වෙනවා. පළා පොළොං යාළුවා රාත්‍රී කාලයේ ගස් වලින් බැස ආහාර සොයා යන්නත්, උස ගස්වල බඩ ගා යනවාට වඩා කුඩා පඳුරු මත බඩ ගා යන්නටත් හරිම කැමතියි.

ශ්‍රී ලංකා පලා පොළඟා ගෙම්බන්, හිකනලුන් වගේම කුරුලු කූඩුවලට බඩ ගා ගොස් කුරුල්ලන් ආහාරයට ගන්න ගොඩක් ප්‍රිය කරනවා. පලා පොළොං ගැහැනු සතාගේ කුස තූළදීම බිත්තර පිපිරී දමන පැටවුන් 5ක් 26ක් විතර ප්‍රමාණයෙන් තමයි මේ පලා පොළොං යාළුන්ගේ බෝවීම සිදුවෙන්නේ. මේ විදිහට ගැහැනු සතාගෙ කුස තුළදීම බිත්තර පුපුරා පැටවුන් බිහි කිරීම පොළොං සර්ප කුලයේ විශේෂ ලක්ෂණයක්.

විලෝපිකයන්ට පහර දීමට පෙර හිස සහිත සිරුරේ මුල් කොටස සර්පිලාකාර දඟරයක් සේ කර ගනිමින් කසයකින් පහර දෙන ආකාරයට සපා කෑම ශ්‍රී ලංකා පලා පොළඟා ගේ ආවේණික විශේෂ ලක්ෂණයක්. මඳ විෂ සහිත ශ්‍රී ලංකා පලා පොළඟා මිනිසුන්ගේ නොදැනුවත්කමින් මරා දැමීමත්, මේ යාළුවන් ජීවත් වන වර්ෂා වනාන්තර විනාශ වීමත් නිසා මේ වන විට රතු දත්තට පොතේ සටහන් වන වඳවීමට ලක් වෙලා ඉන්න යාළුවෙක්. මොවුන් ජීවත් වන පරිසරය ආරක්ෂා කරමින් ඔවුන් සංරක්ෂණය කිරීම අප කාගේත් යුතුකමක්.

[සහන් රසිඳු හර්ෂණ විජයසිංහ]

07 ශ්‍රේණිය

ශ්‍රී භාරතී බොදු විද්‍යාලය

පැණිදෙණිය - පේරාදෙණිය.

-------------

ජූලි මස 8 වැනි දින රාජාංගන යාය 8 ශ්‍රී රාහුල විදුහලේදී පැවැත්වූ සාහිත්‍ය රසවින්දන වැඩමුළුව සඳහා සිසු සිසුවියන් ඉදිරිපත් කළ නිර්මාණ කිහිපයක් මෙවර වැලි මිදුල සරසයි.

 

අම්මා

 

උදයෙහි හිරු කිරණ මෙන් දිලිසෙන

රන් වන් ජල තලය මත

ප්‍රබෝධවත්ව පිපෙන

මානෙල් මලක් මෙන්

දස අත සුවඳ පැතිරෙන

පිච්ච මලක් මෙන්

හිරු කිරණට ඇලුම් කරන

සූරියකාන්ත මලක් මෙන්

හිරුටත් කලින් අවදි වෙන

කූඹියකු මෙන් කඩිසර

මගේ අම්මා

 

සංදීපා ප්‍රබෝධනී ප්‍රේමලාල්

9 ශ්‍රේණිය

-----------

තෛපොංගල් උත්සවය

ලෝකය පුරා විසිරී සිටින හින්දු බැතිමතුන්ගේ ජාතික සහ ආගමික උත්සවය ලෙස තෛපොංගල් උත්සවය සැලකේ. ශ්‍රී ලංකාවේ ජීවත්වන හින්දු ආගම අදහන ජනතාව මේ උත්සවය අතිඋත්කර්ෂවත් ලෙස සමරති. අතීතයේ තෛපොංගල් උත්සවය පැවතුණේ සශ්‍රීකත්වය පතා කරනු ලබන උත්සවයක් වශයෙනි. මෙහිදී ප්‍රධාන වශයෙන් කරනු ලබන්නේ හිරු දෙවියන් ඇදහීමයි. හිරු සශ්‍රිකත්වයේ ප්‍රධාන සාධකය ලෙස පිළිගැනීම මෙයට බලපෑ ප්‍රධාන හේතුව වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

ලොව සෑම ශක්තියකම ආරම්භකයා හිරුය. ගහ කොළ පල දරන්නේත් ශාක හා සත්ව සංහතියේ පැවැත්ම ඇතිවන්නේත් හිරු නිසාය.

ලොව බොහෝ රටවල ඉපැරණි ඇදහීම් අතර සූර්ය වන්දනාවට ප්‍රමුඛත්වය ලැබුණේ එහෙයිනි.

සෑම වර්ෂයකම ජනවාරි මස 14,15 යන දිනවල පැවැත්වෙන මේ උත්සවයෙහි ප්‍රථම දිනය හිරු දෙවියන් මූලික කරගෙන පවත්වන නිසා මෙය ගොවියන්ගේ අස්වනු මංගල්‍යය ලෙසද හැඳින්වේ.

බවන්ති සිතාරා

6 ඒ

-----------------

දෙස බස රැස නැංවූ ලක් විරුවෝ

ඉන්දියන් සයුරේ මුතු ඇටය නම් විරුදාවලියෙන් පිදුම් ලත් ශ්‍රී ලංකාදීපයේ හෙළ බසට පුනර්ජීවනයක් ලබා දුන් එස්. මහින්ද හිමි, මුනිදාස කුමාරතුංග සහ මාර්ටින් වික්‍රමසිංහ යනු හෙළ බසට අර්ථයක් ලබා දුන් විරුවන්ගෙන් කිහිප දෙනෙකි. ඔවුහු අපේ රටට උදාර මෙහෙවරක් සිදු කළහ.

නිදා වැටෙමින් සිටි හෙළයාගේ අභිමානය ස්වදේශාලයෙන් අවදි කර නිදහස් සටනට පණ දුන් උදාර හිමිනමක් ලෙස එස්. මහින්ද හිමියන් හැඳින්විය හැකිය."ඔවා මුතු දම, උපමා කතා කලබ, නන්දන ගීත, දරු නැළවිල්ල, රත්නමාලි කාව්‍යය යනු එතුමගේ විශිෂ්ට නිර්මාණවලින් කීපයකි.

කොග්ගල මහා ප්‍රාඥයා නම් විරුදාවලිය ලත්, රටට මහත් සේවයක් කළ මාර්ටින් වික්‍රමසිංහ ගත් කතුවරයෙකි. දොන් බස්තියන්ද සිල්වා වික්‍රමසිංහ හා ලියනගේ නොච්චොහාමි යුවලගේ දරුවා වූ ඔහු ශ්‍රී ලංකා මාතාවගේ මහඟු සම්පතකි. එතුමා දරුවන් සය දෙනෙකුගේ ආදරණීය පියෙක් විය. ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය යනාදී නවකතා ලියමින් සිංහල නවකතා කලාවේ සන්ධිස්ථානයක් සටහන් කළ ඔහු, ගැහැනියක්, පව්කාරයාට ගල් ගැසීම, බිල්ල සහ අපූරු මුහුණ, හඳ සාක්කි කීම යනාදී කෙටි කතා 108 ක් ලියා පළ කළේය. ඔහු විචාරකයෙකි. පුවත්පත් කලාවේදියෙකි.

හෙළයේ මහා ඉසිවර කුමාරතුංග මුනිදාස පඬිවරයෙකි. ලේඛකයෙකි. පැරණි පොත්වල ගැටලුකාරී තැන් නිරාකරණය කර අලුතින් ලිවීම ඔහු කළ සේවයකි. සිදත් සඟරාව එබඳු ග්‍රන්ථයකි. හීන් සැරය, මඟුල් කෑම, හත්පණ ඔහු ලියූ ජනප්‍රිය කතා පොත් කිහිපයකි. හෙළ හවුල පිහිටුවීම සඳහාද එතුමා නායකත්වය ගත්තේය. ලක්මිණි පහන, ස්වදේශ මිත්‍රයා, සුබස හා ස්වරාජ්‍යය යනාදී පුවත්පත් හා සඟරා මඟින් ඔහු කළ සේවය අමරණීය වේ.

මෙවැනි විරුවන්ට අපි ණය ගැති වෙමු.

ෂෙරීන් කාව්‍යා

7 ඒ.

-------------

 

ළමයි

විල් ජලයේ ගොහොරු මඩේ

සුදු රතු සියපත් පිපේ

අවලස්සන කොවුල් තුඩේ

පන්සිළු වෙණ නද නැඟේ

කැත බෙල්ලකු කුස ඇතුළේ

සුදු මුතු ඇටයක් වැඩේ

හොඳ ළමයින් මුතු වගේය

හොඳ ගුණදම් මුතු අගේය

 

හිසර විශ්ව

9 ශ්‍රේණිය

--------------

ඇදුරු පරපුර

නුබ ගැබ සිසාරා

ලෝකයක් එළිය දෙන

හිරු මඬල සැරසෙන්නේ

පුබුදන්න මල් කැකුළු

 

මල් කෙමිය තුළට වී

සැඟව සිටින ජීවිතේ

දෝත පා වැළඳගෙන

සුපුෂ්පිත කරවන්න

හිරු සදිසි ඇදුරු පරපුරක්

මඟ බලති සැම දිනේ

 

හිරු එළිය ලබා දී

වත කමල ඔප දමා

ගුණ සුවඳ විහිදුවන

ජීවිතේ බබලවන

මාවතේ ඔබ රැගෙන යන්න

අද මෙන්ම හෙට දිනත්

සහය දෙන්නේ තුටින්

 

වත්සරණි ජයවීර

8 බී

-----------------

කුකුළු පැටියාගේ මළගම

මේ ලෝකෙ හැදිලා තියෙන්නෙ අනේකවිධ සංඝටක එකතුවකින්. ඒවා ජීවී අජීවී යැයි වර්ග කරන්න පුළුවන්. ජීවී කාණ්ඩයට අයත් හැඟීම් දැනීම් තියෙන, සැප දුක දැනෙන පිරිස් ඉන්නවා. ඔවුන් හැමෝටම ජීවත් වීමේ අයිතියක් තියෙනවා. ඒත් සමහර මිනිස්සු මේ ලෝකෙ අයිති තමන්ට යැයි හිතනවා.

කිලෝමීටර් දෙකක පාගමනින් පස්සෙ පුටු මතට කඩා වැටෙන තවත් දවසක්. මහන්සි නිවාගන්නවත් වෙලාවක් නොදී එහා ගෙදර මල්ලි කෑ ගහන හඬ කන්දෙක පසාරු කරගෙන යනවා.

"මල්ලි කුකුල් පැටියෙක් මරලා."

ඒ හඬත් සමඟ මගෙ වෙහෙස නිවා ගැනීම අහවරයි. මොහොතකිං මම එළියෙ.

"ආ. මල්ලි මොකද්ද ප්‍රශ්නේ?"

එහාගෙදර මල්ලිගෙ අත්ල මත නිසසලව නිදාගෙන ඉන්න කුකුළු පැටියා මාව ගොළු කරනවා. මගේ හිත අතීතයට දුවනවා. එහා ගෙදර මල්ලිලගෙ කිකිළි බිත්තර රකින කාලෙ අපි ඇඟිලි ගැන ගැන බලාන හිටපු හැටි. අන්තිමේදි පැටව් ආපු හැටි. හැම දෙයක්ම ඇස් ඉදිරිපිට මැවෙනවා.

"පොඩි මල්ලි මූ උඩ දැම්මා."

එහා ගෙදර මල්ලිගෙ උත්තරේ.

වත්තෙ කොලු කුරුට්ටෝ ඔක්කොම එක්කහු කරගෙන කුකුළු පැටියගෙ අවමඟුල් උත්සවේ සංවිධානය කළා. නිසල දේහය මහී කාන්තාවට බාර දෙන්න කලින් කුකුළු පැටියාට ආරක්ෂාව දෙන මෙන් මහී කාන්තාවගෙන් ඉල්ලා සිටියා.

ගත වුණේ නිමේෂයයි. සොහොන අද්දර මං තනි කරලා අනික් හැමෝම සෙල්ලං කරන්න ගිහිං.

 

[අබ්දුල් උමාර් සහන් නෙත්මිණ]

10 ජී ශ්‍රේණිය

කොළඹ සහිරා විදුහල

------------------

පිං කරන මාළුවෝ

කොතැනකින් පටන් ගත්තාදැයි කියන්නට නොහැකි සිහින් ජල රැළි පොකුරක් එකකට එකක් පිටුපසින් එකක් ලෙසින් ඉම හොයාගෙන පිටත් වෙලා. මුලින් මඳක් උස්ව අරඹන ඒ ගමන අවසන් වෙන්නේ සිහින් කෙඳිරිල්ලක් එක්ක. ඒ ජල රළ නතර වූවායින් පසු එතෙක් එකට ආ මඳ නළ වැව් බැම්ම පහු කරලා ආකාසයට නැගෙන නිසා දැනෙන වියෝව වෙන්න ඇති.

පාන්දර නිසා මහනුවර නගරය නිහඬයි. වැව් තලයට හිරු කිරණ ටිකෙන් ටික පතිත වෙද්දී මැවෙන්නේ රන් පාටක් නෙවෙයි. ඇත්තටම සුදු තවරා ගත්ත අළු පාටක්. රැළි බිඳුණු ඉමේ ජල තලය තවත් දෙයකින් කැලඹෙනවා. ඒ පොකුරට පීනන මාළු රෑන් නිසායි. වලාකුළු බැම්ම කිට්ටුවේ හැම මෙහොතකම රැඳෙන මේ මාළු නිරන්තර සටනක යෙදෙනවා. ඒ, සීමිත වෙලා ඇති ඉඩක තමන්ගේ තැන හොයා ගන්න. ඒ විතරක් නෙවෙයි, තමන්ට වැටෙන ආහාර කොටස හිමි කර ගන්න. මගේ මතකයට එන්නේ මේ දර්ශනයම දැක්ක මා වසරක පමණ කලින් තැබූ සටහනක්.

 

වලාකුළු බැම්මේ ත්‍රිකෝණ මැදින්

බලා සෙංකඩගල කිරි සයුරේ

මත්ස්‍ය රැඟුම

පොරි අහුරු පිටින්

ඒ මදිවට පාන් බනිස්

මුනිඳුට පුද කළ කිරි බත් බර පිටින්

බුදින්නට ඇත වරම්

එක අහුරට එකා මත්තෙන් එකා පිට

පොරකනවා කුස පුරවා ගන්න

මොන අඩුපාඩුවක් ද

කවදාවත් ම බිලි පිත්තක් දැකලාවත්

නැතිව ඇති පරමායුෂම හැර

(එදා එහෙම දවසක් - චමත්ක කවීන්)

ඇත්තටම මේ මොහොතේදී පවා මට හිතෙන්නේ නුවර වැවේ පීනන මාළුවන් තරම් පිං කළ වෙනත් කිසිම මාළුවන් නැහැ කියලයි. දියකාවෙකුගේ හරි වැව කෙළවරක පීනන තාරාවෙකුගේ හරි හොට අගක අහම්බෙන් දැවටෙන තරමින් පුංචි මාළුවෙක් ඇර අනිත් හැම කෙනෙක්ම සුරක්ෂිතයි. කෙනෙකුගේ ග්‍රහ දෝෂ දුරු කර ගන්න හැකියි කියන විශ්වාසයෙන් දිනකට මොන තරම් පොරි අහුරු මේ වැවට වීසි කරනවා ඇත්ද.? කිරි ආහාර පූජාව අවසානයේ ඉතිරි වෙන කිරි බත් සීමාවක් නැතිව මේ නුවර වැවට පතිත වෙද්දී ඒ හැම දෙයකම අයිතිය මේ මාළුවන්ට හිමි වෙලා.

නුවර වැව අසලින් ඇති මාර්ගයේ ගමන් කරන වාරයකදී මට ඇහුණු දෙබසක් නිසා මේ මාළුවන්ට මම ගෞරවනීය නමක් තැබුවා. පුංචි මල්ලී කෙනෙක් දවසක් එයාගේ අත්තම්මාගෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. ඒ අත්තම්මාත් පුංචි මල්ලීට තේරෙන තරමට ඒ හැම ප්‍රශ්නයකට ම උත්තර හොයනවා. “අත්තම්මේ, මේ මාළුවෝ කවුරුත් අල්ලා ගන්නේ නැද්ද.?” එදා මට ඇහුණු අවසන් ප්‍රශ්නය වුණේ කාලයකට කලින් මගේ හිතටත් වද දුන්න ගැටලුවක් ගැනමයි. “නැහැ මගේ පුතේ, මේ මාළුවන් ගොඩාක් පිං කරලා තියනවා නෙව. ඒ හන්දා කවුරුවත් මෙයාලව අල්ලා ගන්නේ නැහැ.” අත්තම්මාගේ ඒ පිළිතුරෙන් පස්සේ මම නුවර වැවේ මත්ස්‍යයින් “පිං කරන මාළුවෝ ” කියන නමින් මතකයේ රඳවා ගත්තා.

පහුගිය සෙනසුරාදා දවස. ඉර නුවර වැව දිහා බලන්න පටන් ගන්න හෝරාව. තේවාවේ හඬත් ඒත් එක්කම ඇහෙන්න ගත්තේ උඩු හුළඟ ඒ නාදය මෙහා ඉවුරට අරන් ආපු නිසා වෙන්න ඇති. මාත්, තාත්තාත් පුරුදු ගමනක. උත්සවයකට සූදානම් වෙන ශාලාව සැරසීම් කරන්න තියෙන උවමනාව අපි දෙන්නාව වැව පාර දිගේ ඉදිරියට ගෙන යනවා. පිට වාන අසලට කිට්ටු වෙද්දී අපි දැක්ක දර්ශනය එතැනම අපිව නතර කරන්න තරම් හේතුවක්. තරමින් විශාල මාළු පොදියක් වීදිය පුරා විසිරිලා. තවමත් පණ ගැහෙන සමහරුන් කිහිප වාරයක් උඩ වීසි වෙනවා. ඒ අතර විනාඩි කිහිපයක විරාමයක් අරන් කිහිප වාරයක් වෙනත් මාළු කිහිප දෙනෙක් වරින් වර වැවේ හිඳන් ගොඩට පනින දර්ශනය ඇත්තටම අපට විමතියක්.

එතන නිසොල්මනේ රැඳුණු විනාඩි කිහිපය ඒ හැම ගැටලුවකටම පිළිතුරු සොයා දුන්නා. පිටවාන අසල ඇති කණුවකට මුවා වුණු මාමා කෙනෙක් කාටත් හොරෙන් බිලි පිත්තකින් ඒ මාළු අල්ලා ගන්නවා. පිං කරන මාළුවන් එක එකා ගොඩට වැටෙද් දී මට මතක් වුණේ එක් වේග රිද්මයේ ගීතයක්.

“පිං මාළු වලේ කුසල් හාමි මාළු බානවා...”

[චමත්ක කවීන් බණ්ඩාර]

වැලිමිදුල පිටුවට ඔබ එවන නිර්මාණ අතරින් හොඳම නිර්මාණය සඳහා සතිපතා ‘රන්පෑන‘ ත්‍යාගය වශයෙන් අගනා පොතක් පිරිනැමේ. මේ සඳහා පොත් ලබාදෙන්නේ ‘සන්ථව‘,‘සූරිය‘,‘ග්‍රැෆිකෙයා‘ යන ප්‍රකාශන ආයතනයි. ඔබේ චිත්‍ර, කවි, රචනා, කෙටිකතා සහ වෙනත් ලිපි, පන්තිභාර ගුරුතුමාගේ/තුමියගේ අනුමැතිය ඇතිව පහත ලිපිනයට එවන්න.

 

වැලිමිදුල සංස්කාරක,

රැස කතුමඬුල්ල,

ලේක් හවුස්,

ඩී.ආර් විජේවර්ධන මාවත,

කොළඹ 10.

 

මාතෘකා