යටගියාව මැකුවත් කරවටක් ප්‍රශ්නවලින් ජීවිත හැඩි වූ අය

 ඡායාරූපය:

යටගියාව මැකුවත් කරවටක් ප්‍රශ්නවලින් ජීවිත හැඩි වූ අය

“මම පුනරුත්ථාපනය වුණා. ඒත් ජීවත්වෙන්න තරම් හොඳ ආර්ථික පසුබිමක් නැහැ. දරුවෝ හතර දෙනෙක් එක්ක ජීවත්වෙන්න මට විශාල පරිශ්‍රමයක් දරන්න වෙලා. කුලියක් කරලා තමයි මේ දරුවෝ ජීවත් කරවන්නේ. දැනුවත්කම හෝ නොදැනුවත්කම නිසා අපි කොටි සංවිධානයට ගියා තමයි. ඒත් අපි බොහෝ දෙනෙක් ආර්ථික අතින් අද අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා.” ඒ කොටි සංවිධානයේ සිට පසුව පුනරුත්ථාපනය වුණු සාම්පූර් පදිංචි වඩිවෙල් රාමු මහතාගේ කතාවයි.

කොටි සංවිධානයට බැඳී යුද ගැටුම් නිමාවීමෙන් පසු ත්‍රිකුණාමලයේ හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් රැසක් වර්තමානයේ සාමාන්‍ය ජන ජීවිතයට හුරුවී හමාරය. නොමඟ ගිය පිරිස් පුනරුත්ථාපනය වීමෙන් පසු විවාහ වී දරු සුරතල් බලන පිරිසක් බවට පත් වී සිටීම සතුටට කාරණාවකි. සංවිධානයට බැඳී හා බලහත්කාරයෙන් රැගෙන යෑම නිසා අධ්‍යාපනය අහිමි වූ මෙම පිරිසට පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය මඟින් විවිධ ජීවනෝපාය සංවර්ධන ක්‍රියාවලීන් ඇති කළත් ඇතැම් අයගේ දරිද්‍රතාව තවමත් එතනමය.

“1996දී තමයි මම සංවිධානයට බැඳුණේ. අවුරුදු 2 1/2කට පස්සේ මම එතනින් පැනලා ආවා; 2002දී විවාහ වුණා. 2012දී තමයි පුනරුත්ථාපනය වුණේ. මට ළමයි හතරක් ඉන්නවා. මම කරන්නේ වඩුවැඩ. ඒ අතර ළිං කපන්න යනවා. අහුවෙන කුලී වැඩ කරනවා. ඒත් කුලී වැඩ හැමදාම නැහැ.” වඩිවෙල් රාමු මහතාගේ වත්මන් ජීවන තත්ත්වය ඉතා දුක්මුසුය.

ඇතැම් පුනරුත්ථාපනලාභීහු ජීවත්වීම සඳහා විවිධ වෘත්තීන්වල නියැළෙති. ඒ සඳහා ඔවුන්ට රජයෙන් උපකාරයක් කරන්නේ නම් එය ශක්තියක් ‍වනු නොඅනුමානය. පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය මේ සඳහා සොයා බැලීම් නිරන්තර සිදු කරද්දී පුනරුත්ථාපනලාභීන් පවසන්නේ එය ප්‍රමාණවත් නොවන බවයි.

ජීවත් වීම සඳහා තමා දරන පරිශ්‍රමයට රජයෙන් යම් සහනයක් ලැබෙන්නේ නම් ජීවිතය මීට වඩා පහසුවනු ඇතැයි පුනරුත්ථාපනලාභියකුගේ බිරිඳක් වන තිරියායේ පදිංචි කේදිස්වරන් විජයකලා මහත්මිය අප සමඟ පැවසුවාය.

“මගේ ස්වාමි පුරුෂයා ගෝගුල පුල්ල කේදිස්වරන්. මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. යුද්ධයෙන් අපිට බොහෝ දේවල් නැතිවුණා. දැන් අපි තිරියායේ ගොවිතැන් කරනවා. ජීවිත ගැටගහගන්න අපට හරි අමාරුයි. කුඹුරු තිබුණට වතුර ප්‍රශ්නය උග්‍රයි. වගා ළිඳක් ඉදිකරලා දෙනවා නම් කුඹුරු ගොවිතැනක් කරන්න පුළුවන්. ඒ නිසා වතුර නැති කාලයට මහත්තයා කුලී වැඩට යනවා. පදිංචි වෙලා ඉන්න ගේ ඉතා අබලන්. අලුත්වැඩියා කරගන්න ශක්තියක් නැහැ. ජීවිතේ හරිම අමාරුයි. කොහොම ගොඩගන්නද කියලා තේරෙන්නේ නැහැ.”

ත්‍රිකුණාමලය පුනරුත්ථාපනලාභීන්ට ඇති තවත් දැවෙන ප්‍රශ්නයක් වන්නේ ජීවත් වීමට නිවසක් නොමැති වීමය. විවහා වී මව්පියන්ගේ නිවෙස්වල රැඳී සිටින ඇතැම් අයට නිවසක් ඉදිකර ගැනීමට අවශ්‍ය මුදල් තබා ඉඩමක් හෝ නොමැතිය. නිවසක් ඉදිකර දීමට රජයේ සහන වැඩපිළිවෙළක් තිබුණද ඉඩමක් නොමැති වීම හේතුවෙන් ඒ සහනය ලබා ගැනීමටද නොහැකිය. එසේ තිබෙන ඉඩම් නිරවුල් නොවීම නිසාද සහන වැඩපිළිවෙළට බාධා එල්ල වී තිබේ.

ජීවත් වීමට නිවසක් නොමැති වීම හේතුවෙන් බැංකු ණයක් ලබාගෙන ස්වයං රැකියාවක් ඇරඹීමට හෝ අවස්ථාවක් නොමැති බව සාම්පූර්හි පදිංචි ස්ටැනිස් ලොස් කෘස් මහතා පැවසීය.

“කුලී වැඩ කරලා ළමයි තුන්දෙනෙක් ජීවත් කරවන්න අමාරුයි. වවුනියාව නෙලුම්කුලම් පුනරුත්ථාපන කඳවුරෙන් කෘෂිකර්මය ගැන පුහුණුවක් ලැබුවා. අවුරුදු දෙකක් ඒ පුහුණුව තිබුණා. පුහුණුවෙන් ප්‍රතිලාභයක් ලබාගන්න නම් කෘෂිකර්මාන්තයට යොමු වෙන්න එපැයි. ඒත් කෝ ඒකට අවශ්‍ය මූල්‍යමය හයියක්. ඒ නිසා තමයි මම කිව්වේ බැංකු ණයක් ගන්න හරි බලාගෙන ඉන්නවා කියලා. කවුරුහරි උදවු කරනවනම් ඒත් කමක් නැහැ. පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය තමයි අපි ගැන ටිකක් හරි බලන්නේ.”

නොමඟ ගිය පිරිස් පුනරුත්ථාපනය කර සමාජගත කිරීමෙන් පසු ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනයට පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය වරින් වර උදවු කර තිබේ. ස්වයං රැකියා සඳහා මහන මැෂින් ලබාදීම, සත්ත්ව පාලනය සඳහා ගවයන් හා එළුවන් ලබා දීම, නිවාස සඳහා සෙවිලි තහඩු ලබා දීම, වඩු කාර්මික කට්ටල, මේසන් උපකරණ කට්ටල ලබාදීම මින් ප්‍රධාන තැනක් ගනී. එම කාර්යාංශය පවසන්නේ පුනරුත්ථාපනය වූවන්ගේ අවශ්‍යතා අනුව ඔවුන්ගේ ඉල්ලීම් සලකා බලා මේ දේවල් ලබාදුන් බවයි. එහෙත් පුනරුත්ථාපනය වූවන් පවසන්නේ මේවා ලබාදීම තුළින් තමන්ගේ සමාජීය හා ආර්ථික ගැටලුවලට 100%ක් විසඳුම් නොලැබෙන බවයි.

ත්‍රිකුණාමලය දිසාපති එන්. ඒ. ඒ. පුෂ්පකුමාර මහතාගෙන් අපි මේ පිළිබඳ විමසීමක් කළෙමු. ඔහු පැවසුවේ සාමජගත වූ පුනරුත්ථාපනලාබීන්ගේ ඕනෑම ගැටලුවක් ප්‍රදේශයේ ප්‍රදේශීය ලේකම් වෙත දැනුම් දීමට හැකි බවය.

“සඳුදා නැතිනම් බදාදා මාව හමුවෙලා ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ ගේම ඒවට විසඳුම් හොයලා දෙන්න අපි හැම වෙලාවකම බැඳිලා ඉන්නවා. නිවාස වැඩපිළිවෙළ යටතේ නිවාස අහිමි අයට නිවාස හිමිකම් ලබාදෙන්න අපට හැකියාව තියෙනවා. පසුගිය කාලයේ නිවාස අවශ්‍යතා තියෙන අය හඳුනාගෙන යුද්ධයෙන් අවතැන් අයට ප්‍රමුඛතාව මත නිවාස ලබාදුන්නා. නිවාස ඕනෑ අය ඉන්නවා නම් ග්‍රාම නිලධාරි නිර්දේශ මත මගේ කාර්යාලයේ සහකාර දිස්ත්‍රික් ලේකම් නඩරාජා ප්‍රදීපන් හමුවෙන්න කියලා මම ඉල්ලනවා.”

වෙරුගල් පදිංචි කාලිරාසා රත්නකුමාර් මහතා යුද්ධය නිසා ආබාධිත තත්ත්වයට පත් සිව් දරු පියෙකි. ඔහු පුනරුත්ථාපනය වූ අයකු වන අතර මාළු අල්ලා එදිනෙදා වේල සරිකර ගෙන අපහසුවෙන් ජීවත් වන්නෙකි.

“මම එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ඉඳිද්දි කළේ කඳවුරුවල හිටපු අයට කෑම උයපු එක. මට මතක විදියට එදා 2006 ඔක්තෝබර් 20. කඹුරුපිටිය කැලෑවෙදි කෑම උයන්න දර කඩද්දි තමයි මම බිම් බෝම්බයකට අහුවුණේ. ආබාධිත වුණාට පස්සේ වවුනියාව පූන්තෝට්ටම් කඳවුරෙන් පුනරුත්ථාපනය වුණා. ඒත් මරුණනම් හොඳයි හිතෙන තරම් අසීරු ජීවිතයක් තමයි අපි දැන් ගෙවන්නේ.”

“මේ වසරේ රු.1,670,000ක මුදලකින් ජීවනෝපාය සංවර්ධනයට උපකරණ දීලා තියෙනවා. මේ අයගේ අවශ්‍යතා ඉටුකර දෙන්න රු. මිලියන තුනක් බැර වෙලා තියෙනවා. විශේෂයෙන් වෙරුගල් ප්‍රදේශයේ පුනරුත්ථාපනලාභීන්ට ගොවිතැනට ජලය හිඟ නිසා වතුර මෝටර් ලබා දෙන්නත් ධීවර කර්මාන්තයට අවශ්‍ය උපකරණ ලබා දෙන්නත් සෙසු ප්‍රදේශවල පුනරුත්ථාපනලාභීන්ට වඩු හා කාර්මික උපකරණ ලබා දෙන්නත් කටයුතු කරගෙන යනවා.” යැයි පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශයේ ත්‍රිකුණාමල සම්බන්ධීකරණ නිලධාරි මේජර් කේ. කේ. චාමින්ද නිලන්ත මහතා පැවසුවේය.

පුනරුත්ථාපන ක්‍රියාවලිය පිළිබඳ අදහස් දැක්වූ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශයේ කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් ජනක රත්නායක මහතා පැවසුවේ මෙවන් අදහසක්.

“2009 මැයි මාසයේ යුද්ධය අවසන් වුණා. ඊට පස්සේ පුනරුත්ථාපන වැඩපිළිවෙළ ආරම්භ කළා. පුනරුත්ථාපනය කරලා සමාජගත කළ මිනිස්සුන්ට තමන්ගේ ජීවනෝපාය කරගෙන යන්න වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. ඒ අඩුව පුරවන්න අපි 2014/15 කාලයේ වැඩපිළිවෙළක් ආරම්භ කළා. ඒ අනුව පුනරුත්ථාපනය වූ අය යම් පුහුණුවක් කුමන හෝ අංශයකින් ලබලා තියනවා නම් ඒ අයගේ අවශ්‍යතා අනුව ජීවනෝපාය කරගෙන යන්න අපි විවිධ දේවල් කළා. ඒ වෙනුවෙන් අපි වසරකට විශාල මුදලක් වැය කරනවා. වඩු උපකරණ, මේසන් උපකරණ, ධීවර උපකරණ බෙදා දීමක් අපි සිදුකළා. ඒ වගේම නිවාස හදාගෙන අතරමඟ වැඩ නතර වූ අයට සෙවිලි තහඩු ලබාදීම, ඒ අයගේ දරුවන්ට පාසල් උපකරණ ලබා දීම ආදී කාර්යයන් රැසක් අපි සිදුකරගෙන යනවා.”

ත්‍රි/මලය විශේෂ [ඒ. ටී. එම්. ගුණානන්ද]

මාතෘකා