පවුල් තුනක දරුවන්ට එකම හැන්දෙන් බෙදූ ටිකිරි මැණිකා අම්මා

 ඡායාරූපය:

පවුල් තුනක දරුවන්ට එකම හැන්දෙන් බෙදූ ටිකිරි මැණිකා අම්මා

"ලොකු වට්ටියක් ඔළුවේ තියාගෙන දවසකට පයින් සැතපුම් විස්සක් විතර ඇවිදලා වෙළදාම් කළ මට මුල් කාලේ දෙමළ මිනිස්සු කීවේ ටිකිරි අම්මා කියලයි. අන්තිම කාලේ වෙද්දී ඒ අය මට කීවා ටිකිරි ආච්චි කියලා. හැබැයි මම සිංහල සමාජයේ වට්ටි අම්මා වුණා. ඒ නිසා මම වැඩියෙන් වෙළඳාමට ගියේ ලැයිම් කාමරවලට තමයි."

ඇය නමින් රන්තිලක මුදියන්සේලාගේ ටිකිරි මැණිකාය. වලපනේ, මී පනාව ප්‍රදේශයේ මේ වන විට ජීවත් වන ඇය උපත ලබා ඇත්තේ වලපනේ නිල්දණ්ඩාහින්න පුස්සලපිටිය ග්‍රාමයේය. දරුවන් දහසය දෙනෙකුගෙන් සමන්විත පවුල් සංස්ථාවක හතර වැන්නිය වන ටිකිරිමැණිකා මාතාව පවුල් තුනකට අයත් දරුවන් එකොළොස්දෙනෙකුට මවු වූවාය. තමා උපත ලැබුවේ 1908 වර්ෂයේ බව ටිකිරිමැණිකා මාතාව කීවත් ඇයට එය ඔප්පු කිරීම සදහා ලිඛිත සාක්ෂි නොමැත. එහෙත් ඇයට වයස අවුරුදු සියයට වැඩි බව ඔප්පු කිරීමට ඕනෑ තරම් සාක්ෂි තිබේ. ශීතල දේශගුණයකට උරුමකම් ඇති නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් රැස දිගාසිරි චාරිකාවට එක් වන පළමුවැන්නිය ටිකිරිමැණිකා මාතාවයි.

වලපනේ

"මම උපන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වුණාට අපිට ශීතල දේශගුණය බලපෑවේ නැහැ. නමුත් ඒ දවස්වල නුවරඑළිය දිස්ත්‍රික්කයේ බහුතරයක් ළමයින්ට අකුරු ඉගෙන ගන්න අවස්ථාව තිබුණේ නැහැ. ඒ නිසා මට එක අකුරක් වත් ලියන්න බැහැ. කියවන්නත් බැහැ. නමුත් මට සිංහල, දෙමළ බාසා දෙකම කතා කරන්න පුළුවන්. ඒ දවස්වල ඉඳලම නුවරඑළිය ජනතාවට උරුම වවන්නම තමයි. මට මතකයි, මගේ කුඩා කාලේ තේ වගාව මේ පැත්තේ ජයටම ආරම්භ වූ යුගේ, ඒ ගැනම තමයි කාගේ කාගේත් හිත යොමු වුණේ. අනිත් කාරණය තමයි එළවළු වගාව. මේ දෙකම නිසා තමයි ඒ දවස්වල දරුවනට අධ්‍යාපනය ලබන්න වරම් නැති වුණේ."

කුඩම්මා

ටිකිරිමැණිකා මාතාවගේ පියාගේ නම අන්දරිස් අප්පු වන අතර මව හීන්මැණිකාය. මේ දෙපළට දරුවන් පස්දෙනෙකි. නුවර පන්සලේ හාමුදුරුවෝ, සුදුමැණිකා, කිරිවාන්තේ, ටිකිරිමැණිකා හා කුඩා සන්ධියේදීම මියගිය පිරිමි දරුවෙකි. ඔහු ඉපදී දින දෙකක් තුළ හීන්මැණිකාද මිය ගොස් ඇත. ඒ වැදූගෙයි සන්නිය වැලදීම හේතුවෙනි.

"අපේ අම්මව මට මතක නැහැ. මම කුඩා කාලේ තමයි අම්මා මැරිලා තියෙන්නේ. ඊට අවුරුද්දකට විතර පස්සේ තාත්තා කුඩම්මාව එක්කන් ඇවිල්ලා තියනවා. එයාගේ නම මුතුමැණිකා. එයාගේ දරුවෝ හය දෙනෙක් ගැන මට මතකයි. ඉන් වැඩිමලා විලියම්. දෙවනියා කරලිනා හාමි, තුන්වෙනියා ඇලිස් හාමි, ඉන්පස්සේ පීටර්, ආතර්, ජේමිස් පවුලේ බාලයා තමයි ජිනදාස. ජිනදාසයි මමයි විතරයි ජීවත්ව ඉන්නේ. ජිනදාසට දැන් අවුරුදු අනූ හතක්. ඉතින් මට අවුරුදු එකසිය එකොළහක් වෙන්න බැරිද?"

පත පොතේ දැනුම නොතිබුණාට ටිකිරිමැණිකා මාතාවට ඇති සමාජීය දැනුම් සම්භාරය විශාලය. ඇගේ මතක ශක්තිය මෙන්ම ගතේ ශක්තියද ඉහළය.

"මගේ ලොකු අයියණ්ඩි, ඒ කියන්නේ හාමුදුරුවන්ගේ නම අමතක එයා ගෙදරින් ගියේ මම කුඩා කාලේ නිසයි. ඒ ගිහින් නුවර පන්සලකදී මහණ වුණා. ඒ දවස්වල මහණ වුණාම ගෙවල් එක්ක තිබුණ සම්බන්ධකම් සියල්ලක්ම වගේ නැති වෙනවා. කොටින්ම අපි ඒ පන්සලට ගියේ උන්වහන්සේ අපවත් වුණාම තමයි. ඒ මීට අවුරුදු පනහකට විතර කලින්."

ටිකිරිමැණිකා මාතාවට කුඩා කල සිටම කුඩම්මාගේ දරුවන් රැක බලා ගැනීමට අමතරව ගෙදර දොරේ වැඩ කිරීමටද සිදු විය. ඇගේ මතකයේ ඇති පරිදි නමක් කීමට අමතක කුඩා දරුවන් හතරදෙනෙකු පමණ මේ පවුලේ මියගොස් තිබේ. ටිකිරිමැණිකා මාතාවට ගෙදර වැඩි බරක් දැරීමට සිදුවී ඇත්තේ කුඩම්මා පියාගේ ගොවිතැන් කටයුතුවලට වැඩි කාලයක් සහය දීම හේතුවෙනි.

නරක ලෙඩේ

"මම කසාද බැන්දේ වයස අවුරුදු පහළොවෙන්. තාත්තා තමයි මගුල් කපුවෙකුට කියලා විජේසිංහ මුදියන්සේලාගේ පුංචිබණ්ඩා මට හොයලා දුන්නේ. එයාගේ ගම තමයි මන්ත්‍රීතැන්න. එයත් කළේ ගොවිතැන්. අපි දෙන්නා කසාද බැඳලා දරුවෝ නැතිව අවුරුදු හයක් විතර හිටියා. ඊට පස්සේ දරුවෝ දෙන්නෙක්ම කුසේදීම නැති වුණා. ඊට පස්සේ ලැබුණු දරුවෙක් පාචනය හැදිලා මැරුණා. මට ලැබුණු හතර වෙනියයි පස්වෙනියයි මැරුණේ නරක ලෙඩේ හැදිලා."

නරක ලෙඩේ? ඒ මොකද්ද ...? මම පෙරළා ටිකිරිමැණිකා මාතාවගෙන් විමසුවෙමි. "ඒක දන්න නැද්ද?" ඇයද පෙරළා මා විමසුවාය.

"නරක ලෙඩේ කියන්නේ වලිප්පුවට, උණ වලිප්පුවට. මේකට ඒ දවස්වල යකා ගහනවා කියලත් කිව්වා. ඒ වගේම මීමැස් මොරයටත් වලිප්පුව කියලා ගැමියෝ කිව්වා. මේකෙන් ගොඩක් දෙනෙක් මරුණේ වැටෙද්දී ඔළුව හැපිලා, ඒ වගේම සෙම හිරවෙලා තමයි. මම මේවා දැන ගත්තේ මගේ දරුවන්ට මේ ඉරණම අත්වෙලා ගොඩක් කල් ගියාමයි. ඒ දවස්වල ඉතින් අද වගේ වෙද හෙදකම්, රෝහල් නැහැනේ."

ටිකිරිමැණිකා මාතාව විවාහ වී වසර දහ නවයකට පසු එනම් 1942 වර්ෂයේ විජේසිංහ මුදියන්සේලාගේ ඩිංගිරිබණ්ඩා උපත ලබන අතර මුතුබණ්ඩා හා රංබණ්ඩා උපත ලබන්නේ පිළිවෙළින් 1944 වර්ෂයේ හා 1947 වර්ෂයේය. රංබණ්ඩාගේ උපතින් පසු පුංචිබණ්ඩා (සැමියා) එක්තැන් වන අතර ඔහු ඇදුම රෝගයෙන් පිඩා විඳ මියයයි. දරු තිදෙනෙකු සමග ටිකිරිමැණිකා මාතාව තනි වෙයි.

වට්ටි අම්මා

පුංචිබණ්ඩා ගේ මරණයෙන් වසරක් පමණ යනතෙක් මේ පවුලට කිසිදු අගහිඟයක් නොවන්නේ පුංචිබණ්ඩා හරි හම්බ කළ දෑ තිබීම නිසාවෙනි. වසරක් ඉක්ම යෑමෙන් පසු අගහිඟකම් වැඩි වත්ම කුමක් හෝ කළ යුතු බව ටිකිරිමැණිකා මාතාව සිතුවාය. "කරන්න දෙයක් කල්පනා කළා නමුත් කලපනාවට ආවේම නැහැ. දරුවන්ට කන්න දෙන්න ඕනෑ කියන එක තමයි මගේ ඔළුවට ආවේ. මුලින්ම මම වෙළදාමට බැස්සේ මඤ්ඤොක්කා කොළ මිටි පහකුයි පොළොස් ගෙඩි හතරකුයි අරන්. මේ කියන්නේ 1949 වර්ෂයේ අග භාගේ. මම මේ ටික වට්ටියක දාගෙන ඔළුවේ තියාගෙන ගිහින් දොරාවේ ලැයිම් පේළියක දෙමළ මිනිස්සුන්ට විකුණුවා. මට මතක විදිහට මට මුල්ම දවසේ ලැබුණේ ශත තිහයි.

මඤ්ඤොක්කා කොළ මිටියක් විකුණුවේ ශත දෙකට, පොළොස් ගෙඩියක් විකුණුවේ ශත පහට. පළවෙනි දවසේ වැඩේ සාර්ථක වුණ නිසා මම දෙවෙනි දවසෙත් මේ වැඩේ කළා. අන්තිම වෙද්දී මම රාගල වත්තට, ඩෙල්මාර් වත්තට යන්න පුරුදු වුණා. කිලෝ දෙකකින් විතර පටන් ගත්තු වෙළෙඳාම අන්තිම වෙද්දී කිලෝ තිහ තිස් පහ දක්වා වැඩි වුණා. මම එළවළුවලට අමතරව පලතුරු විකිණුවා. මම වැඩිහරියක් වෙළදාම් කළේ දෙමළ අයට. මොකද ඒ අය ගනුදෙනුවලට හොඳයි. ණයට ගත්තොත් හරියට මාසේ පඩිය ගත්තු දවසට පහුවෙනිදා ණය බේරුවා. ඒ වගේම ඒ අය එක්ක ලොකු බැඳීමක් මගේ ඇති වුණා. ඒ අය මම එනකම් බලාගෙන හිටියා. සමහර දවස්වලට දවල්ට කන්න දුන්නෙත් ඒ අය තමයි. අවුරුදු හැටපහක් මම මේ බිස්නස් එක කළා. මම මේ බිස්නස් එක නතර කළේ මීට අවුරුදු පහකට කලින්. එදා මට මේක නවත්වන්න කියලා බල කළේ මගේ දරුවෝ. නැත්නම් මට තවත් බිස්නස් කරන්න යන්න පුළුවන්."

දෙවන විවාහය

මඤ්ඤොක්කා කොළ මිටියක් ශත දෙකට විකුණා ජීවත් වීමේ අරගලයට උර දුන් ටිකිරිමැණිකා මාතාව යළි කිසි දිනක විවාහ වීමට නොසිතා සිටියාය. ඒ තම දරු තිදෙනා ගැන සිතාය. එහෙත් ඥාති හිත මිත්‍රාදීන්ගෙන් නම් ටිකිරිමැණිකා මාතාවට විසුමක් නොවිණි. එහෙත් පුංචිබණ්ඩා මියගොස් වසර දොළහකට පමණ පසු එනම් 1960 වර්ෂයේ මැද භාගයේදී හේරත් මුදියන්සේලාගේ විලියොම් සිංඤෝගෙන් පැමිණි යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට ටිකිරිමැණිකා මාතාවට නොහැකි විය. ඒ තමා මෙන්ම විලියොම්ද තනිව සිටි අයෙකු බැවිනි. ඒ වන විට ඔහුගේ බිරිඳද මියගොසිනි. "විලියොම් මේසන් වැඩ වගේම වඩු වැඩත් දැනගෙන හිටියා. එයා තනියම නෙමෙයි ආවේ. ඒ වෙද්දී එයා හදාගන්න අරගෙන හිටපු ළමයත් අරගෙන ආවා. මට සුමනාවතී ලැබුණේ 1962 අවුරුද්දේ. ගුණසිංහ, කරුණාවතී, ගුණතිලක... මේ අය ඊට පස්සේ ලැබුණා. නිල්දණ්ඩාහේන කරඹගොල්ල තමයි එයාගේ ගම. මේ වෙද්දී පවුල් තුනකට අයත් ළමයි මා ළඟ හිටියා. මම කිසි කෙනෙකුට වෙනස් කමක් කළේ නැහැ. විලියොම්, එයත් එහෙමයි. අපි ගොඩක් සතුටින් හිටියා. මම මගේ බිස්නස් එක දිගටම කළා. ඒ නිසා අපිට ආර්ථික අමාරුකම් තිබුණෙ නැහැ. විලියොම් මරුණේ අවුරුදු අසූහතක් ඉඳලයි "

අද වන විට ටිකිරිමැණිකා මාතාවගේ දරුවන්ගෙන් ජීවත්ව සිටින්නේ මුල් පවුලේ මුතුබණ්ඩා හා දෙවන පවුලේ දරුවන් හතරදෙනා පමණි.

පන්දාහ

අවුරුදු සියය ඉක්මවූ ශ්‍රී ලාංකික වැඩිහිටියනට මේ වසරේ සිට රජය රුපියල් පන්දහසක දීමනාවක් ගෙවයි. එහෙත් ටිකිරිමැණිකා මාතාවට මේ රුපියල් පන්දහස අහිමිව තිබේ. ඊට ප්‍රධානතම හේතුව ඇයට උප්පැන්නයක් නොමැතිකමයි. ඊට අමතරව ඇගේ උපන් දිනය සනාථ කර ගැනීම සදහා තිබූ එකම ලිඛිත සාක්ෂිය මීට වසර ගණනාවකට ඉහතදී බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබිණි.

"පුතේ මට කැමති නැහැ මේ නම මතක් කරන්නවත්. මොකද මගේ ජීවිතේ මම වැඩිම කාලයක් බියෙන්, තැති ගැන්මෙන් හිටියේ මේ කාලේ තමයි. 71 වගේම 88දීත් අපි මේ දුක වින්දා. මම මගේ ගුණසිංහ පුතා බේර ගත්තේ අනූනවයෙන්. එක දවසක් මහා රෑ දෙගොඩහරි ජාමේ ආපු කොල්ලෝ මගේ හැඳුනුම්පත බලහත්කාරයෙන් අරන් ගියා. එදා ඉඳලා මට ආණ්ඩුවෙන් ලැබුණු දෙයක් ගන්න බැරිව ගියා.

ගුණසිංහ පුතා මාව ජීවත් කරවන්නේ. එයාට ළමයි තුන්දෙනෙක් ඉන්නවා. එයා පලන්චියකින් වැටිලා ඔත්පල වෙලා ඉන්නේ. ඒ නිසා එයාට රැකියාවක් කරන්න බැහැ. ලේලි කොළඹ ගෙදරක රස්සාවට ගිහින් තමයි අද අපිව ජීවත් කරවන්නේ.

"අම්මා කැමතිද අම්මගේ වයස හොයාගන්න වෛද්‍ය පරීක්ෂණයකට එන්න?" මම ටිකිරිමැණිකා මාතාව විමසීමි. මා එසේ ඇසුවේ, කෙසේ හෝ ඇයට හිමි දීමනාව රැගෙන දීමට මැදිහත් විය යුතුය යන හැඟීමෙනි.

"මොකද නැත්තේ පුතේ. මම දහස්වාරයක් කැමතියි. මට එතකොට රුපියල් පන්දාහ ලැබෙයි නේද?"

[ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න]

 

මාතෘකා