රෝමය ගිණි ගනී අපි එයට සූදානම්ද?

 ඡායාරූපය:

රෝමය ගිණි ගනී අපි එයට සූදානම්ද?

ඔබ කිසියම් හෝ අවස්ථාවක තාපයට හෝ අධික උණුසුමට වැඩි වේලාවක් නිරාවරණය වනවා නම් ඔබේ ශරීරය සිසිලනය කර ගැනීම අතවශ්‍යයයි. එසේ නොවුණහොත් ඔබේ වටිනා ඉන්ද්‍රියයන් කිහිපයක ක්‍රියාකාරීත්වය ඔබට අහිමි වන්නට පුළුවන්. නිසි අවස්ථාවල ප්‍රතිකාර නොලැබුණොත්, අවසානය මරණය වීමට පුළුවන්. මේ නිසා පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ට වඩා වැඩි වන විට අනිවාර්යයෙන්ම ශරීරය තාපයට නිරාවරණය වීම වැලැක්වීම, විජලනයට ඉඩ ලබා නොදීම සහ සිසිලනයට ලක් කිරීම අතවශ්‍යය වනවා. ඒ සඳහා හොඳම ක්‍රමය වන්නේ අයිස් මගින් සිසිල් කළ ජලයේ බහාලීමයි. එසේ කිරීමට නොහැකි නම් සිසිල් ජලයෙන් ඉකිලි, කිහිලි තෙමීම, සිසිල් ජලයෙන් තෙත් කළ රෙද්දක් ඒ ප්‍රදේශවල තැබීම මගින් ඉක්මනින් රෝගියා සිසිල් කළ හැකියි.

පරිසරය සහ එහි ක්‍රියාදාමයන් කිසිදා මිනිසාට පාලනය කළහැකි දෙයක් බව මේ වනවිට මිනිසා අවබෝධ කරගෙන හමාරයි. පරිසරය හා ගැටුණු කිසි කෙනකු එය හා තරග කර ජය ලබා නැහැ. පරිසරය හා බද්ධව සිදු කරන යම් යම් ක්රියයාකාරකම් නිසා මිනිසාට වාසි සැලසී තිබුණත් එය හා ගැටෙන, එය වෙනස් කරන්නට යත්න දරන බොහෝ දෙනා අවසානයේ පරාජය ලබා තිබෙනවා. අපේ පැරණි මුතුන් මිත්තන් මේ සංසිද්ධිය හොඳින් අවබෝධ කරගෙන තිබූ නිසාම පරිසරයේ අංගයක් වූ ගංගා හරස් කර වැව් අමුණු බැඳ පරිසරය තම වාසියට හරවා ගත්තා. මේ නිසාම රජරට වාරි කර්මාන්තයෙන් නව ගොවිබිම් බිහිවූවා පමණක් නොවෙයි, ප්‍රදේශයේ වූ උණුසුම තරමකට යාමනය කිරීමටද දායක වුණා. ඔවුන් සිය ගංගාධාරයන් මනා ලෙස පෝෂණය කිරීම නිසා වැව් අවට වූ කුඹක් වැනි සුවිසල් ගස් ආධාරයෙන් නිරන්තර ජල සැපයුමක් එම ජලාශයන්ට ලැබුණ නිසා නියඟයක දී පවා ගොවියාට ජලයත් පරිසරයේ සිසිල් බවත් රැකුණා. නමුත් දැන් දැන් අප මේ සියල්ල අමතක කරමින් පටු දේශපාලන, පෞද්ගලික සහ වාණිජ්‍යය පරමාර්ථ උදෙසා පරිසරයත්, ගහකොළත්, ඒ හා සබැඳි සියළුම ජෛව පද්ධතීන් විනාශ කරමින් සිටිනවා. මෙහි ආචරණ අපට ලැබෙනුයේ තවත් අවුරුදු පහකින් හෝ දහයකින්. ඒ වනවිට අපට නැවත හැරවිය නොහැකි විනාශයකට අප ලක් වී අවසන්.

පසුගිය දිනවල ලෝකයේ සිදුවීම් පිළිබඳ ඔබ අවධානය යොමු කළා නම් යුරෝපයේ අසාමාන්‍ය වූ උණුසුම් කාළගුණය පිළිබඳ ප්‍රවෘත්තිය අලුත් යමක් නොවන්නට පුළුවන්. කෙසේ වෙතත් බොහෝ දෙනා සාමාන්යම දේශපාලන සහ සමාජයීය පුවත්වලට දක්වන අවධානය පරිසරය සම්බන්ධයෙන් නොදක්වන නිසා මෙවැනි පුවත් බොහෝ දෙනාගෙන් ගිලිහී යන්නට පුළුවනි. සාමාන්‍යයෙන් යුරෝපය ගතකළ ශ්‍රීෂ්ම ඍතුවේදී පවා ඉතා සෞම්‍ය කාලගුණ තත්ත්වයක් ඇති ප්‍රදේශයක්. ජුනි මාසයේ පැරිස් නගරයේ පවා සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 16ක් පමණ වන අතර එය සෙල්සියස් අංශක 18.5ක් දක්වා ඉහළ යන්නේ ජුලි මස මුලදී. ජුලි මාසයේ පවා සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 18.5 සහ 20 අතර වෙනවා. මෙය සමහරවිට ශ්‍රී ලාංකිකයන්ට ඉතා ශීත තත්ත්වයක් වන්නට පුළුවන්. පසුගිය වසරක ලංකාවට බලපෑ සයිබීරියානු ශීත සුළං රැලි නිසා උෂ්ණත්වය සෙල්සියස් අංශක 22කට පමණ පහළ බැසි අවස්ථාවලදී පවා කී දෙනකු ඒ පිළිබඳ සිය කනස්සල්ල පළ කළාද?

නමුත් මේ සෞම්‍ය කාලගුණයට තිත තබමින් ජුනි මස මැද භාගයේ පටන් ගත් යුරෝපය උණුසුම් වීම, තවදුරටත් යුරෝපියානු වැසියන්ට මහත් කරදර දෙමින් සෙමෙන් සෙමෙන් සිය අණසක පතුරවමින් සිටිනවා. මේ වනවිටත් යුරෝපියානුවන් 13 දෙනකු මියගොස් ඇත්තේ මේ උණුසුම දරාගත නොහැකිව විවිධ සිසිල් වීමේ උපක්‍රම කිරීමට යෑමෙන්. මේ වනවිට ප්‍රංශයේ උණුසුම් වීමේ සියලුම පැරණි වාර්තා සියල්ල බිඳ දමමින් 2019 උණුසුම් වායු දහරා ඉදිරියට පැමිණෙමින් පවතින අතර තවදුරටත් එය යුරෝපය පුරාම පැතිර යෑමේ අවදානමක් ඇති නිසා තවත් භයානක වනවා. මේ උණුසුම් කාලගුණය නිර්මාණය වී ඇත්තේ යුරෝපයේ ඉහළ වායුගෝලීය පීඩනය නිසා අප්‍රිකාවේ සහරා කාන්තාරයේ ඇති වූ උණුසුම් වායු දහරා යුරෝපය වෙත ඇදී යෑම හේතුවෙන්. මෙම වායු දහරා හමා යන්නේ රෝමය, ස්පාඤ්ඤය, පෘතුගාලය, ජර්මනිය, පෝලන්තය සහ ප්‍රංශය හරහායි. මෙම වායු දහරා අප්‍රිකාවේ සහරා කාන්තාරය හරහා පැමිණීම නිසා එය ඉතා ඉහළ උෂ්ණත්වේ අගයක් ගන්නවා. මේ නිසාම මේ රටවල සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගියදා ප්‍රංශයේ වාර්තා වූ වැඩිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 45.9 කි. ස්පාඤ්ඤයේ කැටලෝනියා ප්‍රාන්තයේ ඇති වූ ළැව්ගිනි වසර විස්සකට පසු ඇති වූ සුවිශාලතම ළැව්ගිනි බවට වාර්තා වනවා. මේ නිසා කැටලෝනියාවේ පමණක් වනාන්තර අක්කර 10,000ක් දැනටමත් විනාශ වී අවසන්.

මෙවැනි උණුසුම් වායු දහරාවලට හේතුව වන්නේ ඉතා පැහැදිලි අහස නිසා හිරු කිරණ කෙළින්ම පෘථිවි පෘෂ්ඨයට පතිත වීම නිසා උෂ්ණත්වය ඉහළ යෑමත් සාමාන්‍යයෙන් තෙත් පසට හිරු කිරණ වැටුණු පසු සිදුවන වාෂ්පීකරණය නිසා පෘථිවි පෘෂ්ඨය සිසිල් වන නමුත් සහරා කතරේ සහ දැනට යුරෝපයේ පවතින පසෙහි වියළි බව නිසා එවැනි සිසිලනයක් නොවීමන් මෙවර උණුසුම් වායු දහරාවේ ප්‍රබලතාව වැඩි වී ඇති බව විශාරදයන්ගේ මතයයි.

උණුසුම් වායු දහරා ලෝකයට අමුත්තක් නොවේ. සාමාන්‍යයෙන් වායුගෝලයේ උණුසුම, සීත බව යාමනය කරන්නට උණුසුම් වායු දහරා මෙන්ම සීත වායු දහරා සහ දියවැල් අත්‍යවශ්‍ය සාධක වනවා. විද්‍යාඥයන් පවසන පරිදි අත්ලාන්තික් සාගරයේ වූ උත්තරාර්ධගෝලයේ ආක්ටික් සාගරය දෙසට ගමන් කරන උණුසුම් දියවැලෙහි කිසියම් වේගය අඩු වීමක් සිදු වී ඇති නිසා සමහරවිට උත්තරාර්ධගෝලයේ ග්ලැසියර දිය වනවා වෙනුවට ශීතනය වීම ඉහළ ගොස් උත්තරාර්ධගෝලයේ සියල්ල අධි ශීත ඍතුවකට ලක් වීමටත් කිසියම් ඉඩක් ඇති බවට මත පළ කරනවා. කෙසේ වෙතත් මේ සියල්ලම අනුමාන වන අතර මේ උණුසුම් සහ ශීත දියවැල්, වායු තරංග සියල්ලෙහි සම්මිශ්‍රණය මගින් පෘථිවියෙහි උෂ්ණත්ව යාමනය කෙරෙනවා. නමුත් හරිතාගාර ආචරණය නිසා සිදුවන පෘථිවි උෂ්ණත්වගය ඉහළ යෑම නිසා මේ උණුසුම් සහ ශීත වායු දහරා නොසිතූ ප්‍රදේශවලට ව්‍යාප්ත වීම සහ ඒවා ඇතිවීමේ ප්‍රවණතාව කෙමෙන් කෙමෙන් ඉහළ යන බව විද්‍යාඥයන් විසින් නිරීක්ෂණය කර තිබෙනවා. මෙය ලෝකයේ ප්‍රාදේශීය කාලගුණ රටාවන් ගත්කළ අවදානම් තත්ත්වයක්. මක් නිසාද යත් මේ වායු තරංගවල බලපෑම නිසා පොදුවේ මහජනතාවටත් කෘෂිකර්මාන්තය සහ වෙනත් පරිසරයට අනුබද්ධ කර්මාන්තවලටත් සිදුවන බලපෑම නිසා ආර්ථිකයන්ට විශාල වෙනසක් වීමේ ප්‍රවණතාව ඉහළ යෑමයි. මේ කාලගුණ සහ දේශගුණ විපර්යාස නිසා කිසිම රටකට ස්ථායී ආර්ථික රටාවකට අනුගත වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එය රටවලට පාඩුවක් මෙන්ම ලෝක ආර්ථිකයටද විශාල බලපෑමක් එල්ල කරනවා. පසුගිය වසරේ ලෝක කාලගුණ පර්යේෂණ කණ්ඩායම් විසින් කරන ලද පර්යේෂණවලට අනුව මේ උණුසුම් වායු දහරාවලට ඍජුවම මිනිස් ක්‍රියාකාරකම් දායක වීම නිසා මෙවැනි ආචරණ ඇති වූ බව තහවුරු කරගෙන තිබෙනවා. මෙම තත්ත්වය දිගින් දිගටම පැවතුනහොත් වසර 2040 වන විට මෙවැනි උණුසුම් වායු දහරා සෑම වසර දෙකකට වතාවක්ම ලෝකය දෙවනත් කරනු ඇති අතර වසර 2100 වන විට පෘථිවි උෂ්ණත්වය දැනට වඩා සෙල්සියස් අංශක 3ත් 5ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බව පුරෝකථනය කර තිබෙනවා.

උණුසුම් තාප දහරා භයානක වන්නේ ඇයි?

සාමාන්‍යයෙන් මිනිසා සහ අචලතාපී සතුන් ජීවත් වන ඔවුන්ගේ ජීව ක්‍රියා සිදුවන උෂ්ණත්වයක් තිබෙනවා. මිනිසාගේ එය ශරීර උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 37 පමණ වනවා. නමුත් පරිසරයේ උෂ්ණත්වය එපමණක් වූ විට පරිවෘත්තීය ක්‍රියාකාරකම්වලට සෑහෙන බලපෑමක් සිදු වනවා. මිනිසුන්ට උචිතම සහ කාර්යක්ෂවමතාව හොඳින්ම පවත්වාගත හැකි පරිසර උෂ්ණත්වය වන්නේ සෙල්සියස් අංශක 22 පමණ උෂ්ණත්වයකයි. උෂ්ණත්වය වැඩිවන විට සතුන්ගේ පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය ඉහළ යනවා. එවිට ඔවුන්ගේ ශරීරය අනවශ්‍ය ලෙස වෙහෙස වීමකට ලක් වනවා. පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 39-40 පමණ වන විට මොළය විසින් මාංශ පේශි වෙත සිය ක්‍රියාකාරීත්වය අඩපණ කර විඩාව දනවන තත්ත්වයකට පත් කිරීමේ සංඥා යවනු ලබනවා. පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 40-41 පමණ වන විට අධික තාපය නිසා ඇතිවන අධික වෙහෙසකර තත්ත්වය ශරීරයට දනවනවා. ඉන් එපිටට උෂ්ණත්වය වැඩි වන විට කෙමෙන් කෙමෙන් ශරීරයේ ක්‍රියාකාරීත්වය නැවැත්වීමේ සංඥා මොළයෙන් නිකුත් කරන අතර අවසානයේ අත්‍යවශ්‍යය අවයව සියල්ල අඩපණ වී පුද්ගලයා මිය යනවා. මෙසේ සිදු වන්නේ අධික උණුසුමට වැඩි වේලාවක් නිරාවරණය වී සිටින පුද්ගලයන්. එසේම මෙසේ තාපයට නිරාවරණය වීම සහ දැනෙන වෙහෙසකර ස්වභාවය පරිසරයේ වූ ආද්‍රතාවය මතද බලපානවා. ඉහළ ආශ්‍රතාවක් ඇති විට දහඩිය දැමීම අඩු වන අතර වෙහෙසකර බව වැඩි වනවා. එසේ වන්නේ දහඩිය වාෂ්පීකරණය නොවීම නිසා ශරීර උෂ්ණත්වය පහළ නොයෑමෙන්. ආර්ද්‍රතාව අඩු නම් දහඩිය වාෂ්පීකරණය වීම නිසා ශරීර උෂ්ණත්වවය පහළ යනවා. මේ නිසා ශරීරයට සිසිලසක් දැනෙනවා මෙන්ම අවයව අඩපණ වන්නේද නැහැ. නමුත් වැයවන ශක්තිය, ඛණිජ ලවණ සහ ජලය සැමවිටම ප්‍රතිස්ථාපනය කළ යුතුයි. මේ නිසා නිතරම මෙවැනි අධික තාපය පරිසරයේ ඇති අවස්ථාවක, නිරන්තර ජලය පානය, දහඩිය මගින් ඉවත් වන ඛනිජ ලවණ නැවත ලබා ගැනීමට තැඹිලි වතුර, ජීවනී වැනි යමක් පානය කිරීම. ජලය හැර වෙනත් සිසිල් බීම වර්ග හෝ මත්පැන් පානයෙන් වැළකීම වැනි සරළ ක්‍රියා මගින් යථා තත්ත්වයට පත් කර ගත හැකියි.

ඔබ කිසියම් හෝ අවස්ථාවක තාපයට හෝ අධික උණුසුමට වැඩි වේලාවක් නිරාවරණය වනවා නම් ඔබේ ශරීරය සිසිලනය කර ගැනීම අතවශ්‍යයයි. එසේ නොවුණහොත් ඔබේ වටිනා ඉන්ද්‍රියයන් කිහිපයක ක්‍රියාකාරීත්වය ඔබට අහිමි වන්නට පුළුවන්. නිසි අවස්ථාවල ප්‍රතිකාර නොලැබුණොත්, අවසානය මරණය වීමට පුළුවන්. මේ නිසා පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ට වඩා වැඩි වන විට අනිවාර්යයෙන්ම ශරීරය තාපයට නිරාවරණය වීම වැලැක්වීම, විජලනයට ඉඩ ලබා නොදීම සහ සිසිලනයට ලක් කිරීම අතවශ්‍යය වනවා. ඒ සඳහා හොඳම ක්‍රමය වන්නේ අයිස් මගින් සිසිල් කළ ජලයේ බහාලීමයි. එසේ කිරීමට නොහැකි නම් සිසිල් ජලයෙන් ඉකිලි, කිහිලි තෙමීම, සිසිල් ජලයෙන් තෙත් කළ රෙද්දක් ඒ ප්‍රදේශවල තැබීම මගින් ඉක්මනින් රෝගියා සිසිල් කළ හැකියි.

කෙසේ වුවත් අපගේ වාසනාවකට මෙන් ශ්‍රී ලංකාව පිහිටා ඇති දේශගුණ කලාපය අනුව දැඩි උණුසුම් වායු දහරා අපේ රටට හමා ඒම එතරම් සිදු වන්නේ නැහැ. ලංකාව සුවිශාල ඉන්දියානු සාගරයෙන් වටවී තිබීමත් වායු දහරා හමා ඒම නිරිත දිගින් සහ ඊසාන දිගින් සිදුවීම නිසා ඒ වායු දහරා සුවිශාල ජල ස්කන්ධයක් හරහා හමා ඒමත් නිසා උණුසුම් වායු දහරාවල බලපෑම අවම වනවා. නමුත් අප රටට ආර්ද්‍රතාවෙන් නම් අඩුවක් නැහැ. මේ නිසාම අපේ රටේ ජනතාවට වෙහෙස දැනෙනවා වැඩි වන්නට පුළුවනි. නමුත් දැන් සිදුවන පරිසර විනාශයන් සහ ගෝලීය උණුසුම් වීම මත, ඉදිරියේදී අප රටටත් උණුසුම් කාලගුණයක බලපෑම ලැබීමට පුළුවන්. එවිට අපටත් මෙවැනි ආචරණවලට මුහුණ පාන්නට පුළුවනි. එවැන්නක් වළකාලීමට අප වැඩි වැඩියෙන් වන රෝපණය සිදු කිරීම, බලශක්ති පරිහරණය අවම කිරීම, පරිසරය දූෂණය අවම කිරීමට කටයුතු කළ යුතුමයි. අපගේ ජීවිත කාලයේ නොවුණත්, අපේ දරු මුණුපුරන්ට අප විසින් කරනලද අහිතකර ක්‍රියාවන්හි ප්‍රතිඵල විඳින්නට සිදු වන බව සක්සුදක් සේ පැහැදිලිය.

ආචාර්ය

[පියල් ආරියනන්ද]

මාතෘකා