ජාතිවාදී පක්ෂ

 ඡායාරූපය:

ජාතිවාදී පක්ෂ

අජාන් බ්‍රහ්මවන්සෝ මහ තෙරුන්වහන්සේ වරක් අපූරු කතාවක් කීය. එය මෙසේය:

'වරක් ඇමෙරිකානු නාවික හමුදාවේ අයකු කුරානයක් ඉරා ටොයිලට් එකක දමා තිබුණා. මෙය ලොව පුරා පත්තරවල ප්‍රවෘත්තියක් වුණා. මම එතකොට හිටියේ ඔස්ට්‍රේලියාවේ. මෙහේ මාධ්‍යවේදිනියක් අප රටේ සියලුම ආගමික නායකයන්ගෙන් අහලා තිබුණා ඔබේ ආගමේ ධර්ම පොතක් කෙනෙක් ටොයිලට් එකක දැම්මොත් ඔබ මොකද කරන්නේ කියලා. ඔස්ට්‍රේලියාවේ බෞද්ධ නායකයා හැටියට මටත් ඇයගේ ප්‍රශ්නය යොමු වුණා.

“බුදුදහම අඩංගු ධර්ම පොතක් කෙනෙක් ඉරා ඔබේ ටොයිලට් එකේ ෆ්ලශ් කර යැව්වොත් ඔබ මොකද කරන්නේ...”

මම ඇයට උත්තර දුන්නා.

“කෙනෙක් එහෙම කළොත් මම කරන්නේ පයිප්ප බාස් කෙනකුට කතාකරන එක. මොකද පොතක් හින්දා අනිවාර්යයෙන් හිරවෙන්න පුළුවන්. ඊට පස්සේ මගේ අත්‍යවශ්‍ය කටයුත්ත කරද්දි අතරමඟ හිර වෙන්න පුළුවන් හින්දා.”

ඇය හිනා වුණා. ඇයට ලැබුණු අමුතුම සහ හොඳම පිළිතුර එය බව ඇය කීවා.

මා තවදුරටත් ඇයට පිළිතුර පැහැදිලි කළා.

“ඔබට ඕන තරම් බෞද්ධ පොත් ටොයිලට් එකකට දාන්න. බුදුපිළිම කඩන්න, පන්සල් ගිනි තියන්න, හාමුදුරුවරු මරන්න. හැබැයි නුඹේ ක්‍රියාව නිසා නුඹට මා තුළින් බුදුන්වහන්සේගේ ධර්මය ෆ්ලශ් කර හරින්න මම ඉඩ තියන්නෙ නෑ. සමාව දීම, දයාව, අනුකම්පාව, මා තුළ ඇති හිතේ සාමය කිසිවිටෙකත් මා ඔබට දියකර හරින්න ඉඩ තබන්නෙ නෑ.'

මිථ්‍යාව වෙනුවට, පුහු ශ්‍රද්ධාව වෙනුවට යථාව දකින්නෝ එසේය.

ශිෂ්ටසම්පන්න ජන සමාජයක් ආගම, කුලය, ජාතිය මත බර තබමින් 'සොම්බින්' මෙන් හැසිරෙන්නේ නැත. එහෙත් උන්මත්තක ජාතිවාදය කරපින්නා ගනු ලබන්නා විසින් සිය එදාවේලත් ජීවන පැවැත්මත් යනාදී සියල්ල වෙන් කරන්නේ ජාතිවාදය, ආගම්වාදය තුළින් අන්තවාදය බිහි කිරීම උදෙසාය.

ජාතිවාදී සහ ආගම්වාදී දේශපාලන පක්ෂ ගැනද කියන්නට තිබෙන්නේ එවන් කතාවකි.

ශ්‍රී ලංකාව අතීතයේ සිටම බහු ජාතික, බහු ආගමික රටකි. මානව විවිධත්වය කෙරෙහි මානවීය දෘෂ්ටියක් නැති මිථ්‍යාදෘෂ්ටිකයෝ කිසිවෙක් එකී 'නෙක පාට' විචිත්‍රත්වය ප්‍රිය නොකරති. එහෙත් ශිෂ්ටත්වයේ අපූර්වත්වයට අනුගත මිනිස්සු ඊට ප්‍රිය කරති.

එවන් සමාජයක ජාතිවාදී, ආගම්වාදී අර්ථයෙන් දේශපාලන පක්ෂ බිහිවෙනවා නම් එය අවාසනාවන්ත තත්ත්වයකි.

එවන් පක්ෂ ලියාපදිංචිය නතර කිරීමට අවධානය යොමුව තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එසේ වේ නම් එකී ක්‍රියාමාර්ගය අතිශයින්ම ප්‍රශංසා කටයුතුය.

කඳුළු සලන පාරාදීසය

ජාතිවාද‍ය, ආගම්වාදය සමාජයට ඉතිරි කළේ විනාශය සහ අහිමිවීම්ය. කඳුළුය... අඳුරය... සැනසුම් සහගත සමාජයක් අන්තවාදයට දක්කාගෙන යෑමට එයට හැකිය. ඒ නිසාම මේ බිම ‘කඳුළු සලන පාරාදීසය’ විය.

විවිධ කාරණා මුල්කරගනිමින් මෙරට බොහෝ දේශපාලන පක්ෂ බිහිවිය. එක්සත් ජාතික පක්ෂය බිහි වූයේ සියලු ජාතීන් සහ සියලු ආගමිකයන් උදෙසාය. ශ්‍රීලනිපයද එසේමය. ඔවුන් එකිනෙක පක්ෂවල අඩුවැඩි වශයෙන් ජාතිකත්ව සහ ආගමික ලැදියාවන් තිබෙන නමුදු ඒ තත්ත්වය අන්තවාදී කොනකට තල්ලු වී නැත.

එහෙත් සෘජුවම ආගමික සහ ජාතිකත්ව පදනමෙන් පක්ෂ බිහි වීමෙන් සිදුව තිබෙන බරපතල ව්‍යසනය රටක් වළපල්ලට දක්කාගෙන යන්නට තරම් සමර්ථව ඇත.

සිය ජාතියේ අරමුණු දිනවීම උදෙසා හෝ ආගමේ අරමුණු ඉටුකරගැනීම උදෙසා පක්ෂ බිහි කරනවා නම් ඒ රටේ අනාගතය ගෙඩි පිටින්ම අගාධයේය. ඒ බෙදුම් රේඛාවම රටක විනාශයට ප්‍රමාණවත්ය. ජාති, ආගම් වැනි පුද්ගල අභිලාෂයන් සමඟ මුසු කොට ගෙන ක්‍රියා කිරීමට යන කුමර සමාජයකිනුත් පිළිබිඹු වන්නේ දේශපාලන පරිහානියේ ප්‍රකට ලක්ෂණයන්ය.

පයින් ගැසූ රන්වන් අවස්ථා

යුද්ධය නිමා වීමෙන් අනතුරුව රටේ සියලු ජන කොටස් අතර සංහිඳියාව නිර්මාණය කරලීම වෙනුවෙන් ස්වර්ණමය අවස්ථාවන් කිහිප විටක් උදා විණි. එහෙත් ඊට පයින් ගැසූ අවස්ථා එමටය. ඉන් බොහොමයක් බල තණ්හාව සහ උමතු උද්දච්ඡකම හේතුවෙන් සිදු වූ සහ සිදුවන විනාශය අතිමහත්ය.

මෑතක සිට සිංහල සමාජය හා මුස්ලිම් සමාජය අතර ගොඩනැ‍ඟෙමින් ඇති නොසන්සුන්තාව එක පිරිසකගේ නිර්මාණයක් යැයි කියන පටු තැනක අප නොමැත. සිංහල ජාතිවාදීහු මෙන්ම මුස්ලිම් ජාතිවාදීහුද එය තරගයට මෙන් පෝෂණය කළහ. ඒවාට උඩගෙඩි දුන්නේ ජාතිවාදී, ආගම්වාදී දේශපාලන පක්ෂය.

මුස්ලිම් ජාතිවාදී දේශපාලන පක්ෂ

විශේෂයෙන්ම 80 දශකයේ සිට බිහිවූ මුස්ලිම් ජාතිවාදී දේශපාලන පක්ෂද සිංහල ජාතිවාදයට තරගයට මෙන් ප්‍රතිචාර දැක්වීමට යෑම තත්ත්වය වඩාත් සංකීර්ණ තත්ත්වයට පත් කළේය.

මෙම ජනවර්ග දෙක අතර එකිනෙකා නුරුස්සන ගතියක් නිර්මාණය වීම විෂයයෙහි නැඟෙනහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ගොඩනැඟුණු ජාතිවාදී මුහුණුවරින් ක්‍රියාත්මක මුස්ලිම් දේශපාලන පක්ෂද තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ බව නොරහසකි.

එයට ප්‍රතිචාර ලෙස සිංහල ජාතිවාදී පක්ෂද බිහි විය. දෙමළ ප්‍රජාවද නිකන් හිටියේ නැත. ජාතිවාදී සංවිධානද පඳුරු ගාණට බිහිවිය.

මුසල්මානුවා වේවා, සිංහලයා වේවා, දෙමළා වේවා ජාතිවාදය කරපින්නා ගන්නවානම් ඉන් එහාට කතා කරන්නට 'පවිත්‍ර' යමක් ඉතිරිවන්නේ නැත. එවැනි ඇරඹුමකින් පසුව ඉතිරි වන්නේ ලේ වැකි, අඳුරු පසු සටහන් පමණක් බව නොතේරෙන අධමයන්ට කොතරම් පහදා දුන්නත් ඵලක් නැත.

එදා මෙදා තුර විනාශයට පත්වූවන්ගේ ප්‍රමාණයන් අනුව ජන වර්ග කේවල් කොට ඵලක් නැත. උන්ට අපිට තරම් විනාශයක් වුණේ නැතැයි කියමින් සමහරු තව තවත් ලේ සහ ජීවිත සොලවන්නට වෙහෙසෙති. උන් මරපු හැටි අමතකද කියා විමසමින් උන්ව මැරීමේ අරමුණින් කඳවුරු බඳිති. මේවා නොවළහා කුමන හෝ සැත්කමකින් ඉවත් කළ යුතුය.

බෝම්බ වර්ග

'දේශපාලනය ගැන කතාකොට අමනාප නොවන්නැයි' කියා ලියූ සටහනක් වෙළෙඳසැලක එල්ලා තිබෙන සේයාරුවක් මේ දිනවල සමාජ ජාල තුළ හුවමාරු වෙමින් තිබේ. සිදුවන දේවල්වල හැටියට මිනිසුන්ට දේශපාලනය ඒ තරමටම 'තිත්ත' වී ඇති සැටියකි.

සත්‍ය වශයෙන්ම ගත්කල දේශපාලනය සම්බන්ධව මෙරට සමාජය තුළ කලක සිටම පවතින්නේ අඳුරු සහ අපකීර්තිමත් ආකල්පයකි. බොහෝ දේශපාලනඥයන්ගේ ක්‍රියාකලාපයන් සේම ඒ වර්ගයේ අය නියෝජිතයන් සේ තෝරා පත්කර හරින මහජනයාද ඊට වගකිව යුතුය.

ඔබට දෙවර්ගයක බෝම්බ හමුවිය හැක.

එකක් සීෆෝ වැනි පුපුරන ද්‍රව්‍ය මුසුකොට තනා ඇති ‘බෝම්බය. අනෙක්වා ජාතිවාදී, ආගම්වාදී පදනමකින් කටයුතු කරන දේශපාලන පක්ෂ නමැති ‘බෝම්බය’

හලාහල විෂ

ගෝත්‍රිකත්වය සහ අධම ජාතිවාදය කරපින්නාගත් බොහෝ දෙනා මුනිවර සේයාවෙන් සමාජය වැනසූ අවස්ථා එමටය. දැනුදු එහි වෙනසක් නැත. සන් කරන දැයින් පෙන්නුම් කෙරෙන්නේ ඉදිරියටද එහි වෙනසක් නැති බවය.

අයාලේ යන සමාජයක් නිශ්චිත ඉමකට සේන්දු කිරීම අත්හරින තාක් කල් අයාලේ යෑම නවතින්නේ නැත. වගකීම් විරහිතව අත් සෝදාගෙන පැත්තකට වෙන සියල්ලෝමත් එහි චූදිතයෝය. මේ මොහොතේ තම තමන්ට රිසිසේ අනෙකා පෙළීමටත් වෛරය තවාන් දැමීමටත් ඒ තවාන් පැළපත ගලවා වැපිරීමටත් සමහරු පෙලඹී සිටිති. ඉන් හටගන්නා ඵල අනාගතයේදී හලාහල විෂ සමාජගත කරන වග නොදන්නා කෙනෙක් නැත. එහෙත් කිසිවකුට වගේ වගක්ද නැත.

පරමාදර්ශවලට ‘නක්කලේ’ දැමීම

බොහෝ දෙනා මහත්මා ගාන්ධි ගැන මහත් වූ පරමාදර්ශයකින් කතා කරති; නෙල්සන් මැන්ඩෙලා ගැන උද්දාමයකින් සිහිපත් කරති; එබ්‍රහම් ලින්කන්ගේ උදාන පාඨ වගාඩම්බරයකින් එක්කාසු කරති; ස්ටීව් බිකෝ ගැන වගාලාප කියවති.

එහෙත් යථාර්ථයේදී ඔවුහු ඊට සහමුලින් වෙනස් පන්නයකින් කටයුතු කරති.

“කිසිවකු සිය වර්ණය නිසා හෝ තමන්ගේ පසුබිම් නිසා කිසිවකුගේ වෛරයට පාත්‍ර විය යුතු නැත. මිනිසුන් වෛර කරන්නේ නම්, වෛර කිරීමට ඉගෙන ගැනීමට හැකි නම්, එයට ප්‍රතිවිරුද්ධව හදවතේ අනෙක් පැත්තෙන් ස්වභාවයෙන්ම පැමිණෙන ‘ආදරය’ සමඟින් බැඳීමට නොහැකි වීමට නුපුළුවන.”

බොහෝ දෙනා කීවේ එහෙමය. ඔවුහු වර්ගවාදයට එරෙහි වූයේ එහෙමය.

1947 කෙළවර ඉන්දියාවේ හින්දු සහ මුස්‌ලිම් ආගමිකයන් අතර බරපතල ගැටුම් ඇතිවිය. ගාන්ධිතුමන් විසින් ඒ ගැටුම් නිරාකරණය කරනු ලැබුවේ මහා උපවාසයක්‌ ආරම්භ කරමිනි.

"ඔබ හින්දු භක්‌තිකයෙක්‌ද?"

ඒ අවධියේදී ඔහුගෙන් කිසිවකු ඇසීය. ගාන්ධිතුමන් පිළිතුරු දී තිබුණේ මෙසේය.

"ඔව්. මම හින්දු භක්‌තිකයෙක්‌. ඒ වගේම මම ක්‍රිස්‌තියානි ආගමිකයෙක්‌. ඒ විතරක් නෙවෙයි, මම ඉස්‌ලාම් භක්‌තිකයෙක්‌. එපමණක්‌ නෙවෙයි. මම යුදෙව්වෙක්‌ සහ බෞද්ධයෙක්‌."

ජාතිවාදය මොනතරම් උග්‍ර බෝම්බයක් වුවද එය 'මාර ෂෝක්'ය කියා සිතන පිරිසක්ද සිටිති. එය උමතු ගව රෝගයක් බව උන්ම දනිතත් උන්ට ඊට කම් නැත. ඌරන්ට කිසි විටෙක අසූචි නරක නැත. ඒ උගේ ප්‍රියතම ආහාරයය. කාට අප්‍රිය වුවත් ඌරන් ප්‍රාර්ථනා කරන්නේම අසූචිය.

ඉතින් ඌරන් අසූචි ගිල දැම්මාට කම් නැත. එහෙත් උන්ට ප්‍රිය වූ පළියට ඒවා සියලු දෙනාට කවන්නට උන්ට අයිතියක් නැත.

‘දෙමළකුගේ හමෙන් කරපු සෙරෙප්පු කුට්ටමක් කකුලේ දාගන්න කල් තමන්ට නින්ද යන්නේ නැහැ’ කියා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අන්ත ජාතිවාදී දේශපාලනඥයෙක් මේ රටේ සිටියේය. නිදහසින් පසු ලංකා දේශපාලනයේ හමුවන අමුම ජාතිවාදී ප්‍රකාශය කළේ ඔහුය.

ඔහු කේ. එම්. පී. රාජරත්නය.

“ජාතිවාදියා මානසික පිස්සෙකි.” යනුවෙන් ඊ. ඩබ්ලිව්. අදිකාරම් 1950දී පමණ කියූ ප්‍රකාශය ඇතැම් විට රාජරත්න දැන සිටින්නට ඇත. ඇතැම් විට නොදැන සිටින්නට ඇත. දැන සිටියා හෝ නොදැන සිටියා කියා ඵලක් නැත. පිස්සකුට ඒවායින් වැඩක් නැත.

එවක බණ්ඩාරනායක ආණ්ඩුව ‘සිංහල පමණයි’ පනත ගෙන ආ විට ඊට එරෙහිව දෙමළ සත්‍යග්‍රහයක් පැවතියේය. උතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙන්නකු වූ නාගනාදන් සහ නවරත්නම්ව උස්සා බේරේ වැවට වීසි කිරීමට කටයුතු කළේ රාජරත්නගේ මැරයෝය.

මෙවැනි කුලප්පු සහගත උන්මත්තකයෝ කොයි පැත්තෙත් සිටියහ.

දෙබිඩි මත සහ 56 රැල්ල

1920 කාලයේ බණ්ඩාරනායක ස්වකීය දේශපාලන ජීවිතය ආරම්භ කරන්නේ ෆෙඩරල් දේශපාලන ව්‍යුහය අනුදත් පුද්ගලයකු ලෙසටය. ඔහු දේශපාලනික නායකත්වය දුන් ප්‍රගතිශීලී ජාතික පක්ෂය හඬ නැඟුවේ ෆෙඩරල් වාදයයි. 1927 වසරේදී උඩරැටියන් ගෙනා 'ඒකක තුනේ ෆෙඩරල් රාජ්‍ය' ක්‍රමය ඉක්මවා යන තරමේ ෆෙඩරල්වාදියකු ලෙස ඔහු මුල් යුගය නියෝජනය කළේය. හැබැයි නවසිය තිස් ගණන් වන විට ඔහු ඉන් පස්සට ගියේය. 36-47 කාලයේ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස ඔහු 'පළාත් සභා ක්‍රමයක්' ගැන කතා කළේය. 1940 වන විට ඔහු 'සිංහල මහ සභාව' ගොඩනඟන්නේත් එහිම හිඳිමින් ඊට කිසිසේත් අනුගත නොවන 'ජාතික සංගමයේ' හිඳින්නේත් කොහොමද කියන එක ප්‍රහේලිකාවකි.

බණ්ඩාරනායක 55 වන තුරු උද්ඝෝෂණය කළේ ඉංග්‍රීසියෙන් සිංහලට සහ දෙමළට මාරු විය යුතු යැයි කියාය. එහෙත් 1955 ඔහු සටන් පාඨය වෙනස් කළේ 'සිංහල පමණයි' කියාය. මේ සටන් පාඨය රැගත් ජාතිවාදීන් මුලින්ම ආවේ ඩඩ්ලි හමු වෙන්නටය. හැබැයි ඩඩ්ලි ඊට එකඟ වූයේ නැත.

එහෙත් බණ්ඩාරනායක ඊට එකඟ විය. 56 මැතිවරණයට රැල්ල හැදුණේ සිංහල පමණයි මුල්කරගෙනය.

විල්මට් පෙරේරලා අවැසි මොහොත

සී. ඩබ්. ඩබ්. කන්නන්ගර යනු දේශපාලකයෙකි. නමුත් ඒ ශ්‍රී ලංකාව තුළ අදත් ගරු බුහුමන් මිස නින්දා නොලබන අතළොස්සටත් මඳක් අඩු දේශපාලකයන්ගෙන් කෙනෙකි. කන්නන්ගර මහතා 1952දී තම ආසනය පරාද වූයේ රබර් රජ්ජුරුවන්ගේ පුතා හෙවත් විල්මට් ඒ පෙරේරාගේ ජයග්‍රහණය නිසාය. විල්මට් ඒ පෙරේරා යනු ප්‍රබල දේශපාලකයෙකි. සිංහල බෞද්ධ පදනම සහ බෞද්ධ සංස්කෘතික දායාද රැක ගැනීමෙහිලා පටු පරමාර්ථවලින් තොරව වැඩ කළ සිංහල බෞද්ධ නායකයෙකි. 1956දී සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ පොරොන්දුවත් ඉස් මුදුනින් තබා මැතිවරණ ව්‍යාපාරය ගෙන ගිය එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක යනු විල්මට් පෙරේරාගේ මිතුරෙකි; ශ්‍රීලනිප සගයෙකි. 1956දී අගලවත්ත ආසනය වෙනුවෙන් ඡන්දය ඉල්ලීමට විල්මට් ඒ පෙරේරාට බණ්ඩාරනායක ආරාධනා කළේය. විල්මට් ඒ පෙරේරාගේ පිළිතුර මෙබඳු විය.

'මගේ හැම සතයක්ම වියදම් කළේ සහ කරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය රැක ගැනීමට. ඒත් ඒකට මරු පහර එල්ලවෙන්නේ ඔබගේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ ප්‍රතිපත්තියෙන්. මේකෙන් වෙන්නේ බෙදිලා ඉන්න දෙමළ ජනතාව සිංහලයට විරුද්ධ වීම සඳහා ඒකරාශී වීම. අනාගතයේ වෙනම රටක් ඉල්ලා දෙමළ ජාතිකයන් සටන් කළොත් ඒ වන්දිය ගෙවන්න වෙන්නේ ඔබට. ඒ වගේම සිංහල ජාතියේ විනාශයට මේ පනත රුකුලක් වෙනවා. ඒ නිසා මට මේ මැතිවරණයට තරග කරන්න බෑ. ඔබ මගේ මිතුරා නිසා ඔබට විරුද්ධවත් තරග නොකර ඉන්නම්'

එහෙම තුන්කල් දුටු මිනිස්සුත් ඔය අතර සිටියහ.

‘‘ආරම්භයේදී අප සතුව ජාතියකට තිබිය යුතු මූලික සාධක වූ ස්වකීය ජනගහනයක්, පොදු භාෂාවක්, පොදු සංස්කෘතියක්, පොදු ඉරණමක් මේ කිසිවක් අප සතු නොවීය. අප හුදෙක් දකුණු චීනයෙන්, දකුණු ඉන්දියාවෙන්, පාකිස්තානයෙන්, බංග්ලාදේශයෙන් (එය බෙදීමට පෙර) ලංකාවෙන් සහ දූපත් සමූහයකින් පැමිණි සංක්‍රමණිකයෝ වූහ. එබැවින් ප්‍රධාන ගැටලුව වූයේ මේ සියලුම ජාතීන්ට අයත් මිනිසුන් එකට තැබිය හැකිද යන්නයි.’’

මෙහෙම කියන්නේ සිංගප්පූරුව හැදූ ලී ක්වාන් යූය.

රටක් හදන්නට පුළුවන් එකට එක්වීමෙන් මිස තුනට බෙදීමෙන් නොවේ කියා ලී ඔප්පු කළේය. හැමෝම සිංගප්පූරු ජාතිකයන්ය යන හැඟීම මිනිස්සුන්ට ආරෝපණය කරන ඔහු සිංගප්පූරුවේ විවිධ ජනවර්ග සිංගප්පූරු ජාතික අනන්‍යතාව ඔස්සේ එක් කිරීමට උනන්දු වූවේය.

ලොව දිනන රටක් හැදුණේ එහෙමය.

1948 වෙනකොට ආසියාවේ දියුණුම රට ජපානයය. දෙවැනි තැනට හිටියේ ශ්‍රී ලංකාවය. සිංගප්පූරුව හදන්න මහන්සි වෙච්ච ලී ක්වාන් යූ ලංකාවට ඇවිත් කීවේ "මගේ සිහිනය ලංකාව වගේ සිංගප්පූරුවක් හදන එක කියලා"ය. එහෙම කී ඔහුම පස්සේ කාලෙක කියන්නේ මේ තරම් අනාගත බලාපොරොත්තු තබා සිටි ලංකාව නිදහසින් පසු කඩා වැටෙන ආකාරය දුටු බවය.

ඒ ජාති ආගම් කුල මල ලෙස බෙදී වෙන්වීමේ ප්‍රතිඵලය.

අන්තවාදයේ සහ ත්‍රස්තවාදයේ කිසිදු වෙනසක් නැත. ජාතිවාදයද ඊට සමානය. අද වේගයෙන් සහ උන්මාදයෙන් අලෙවි වන ජාතිවාදය හෙට මේ රටේ ඉරණම් කතාව ලියනු ඇත. මෙතෙර සිට හෝ එතෙර සිට ඊට වචනයකින් හෝ අනුබල දුන් අය ඒ ඉරණම් කතාවේ වගඋත්තරකරුවෝය. ඔවුන්ට ඉන් ගැලවීමක් නැත.

රටක් ලෙස පෙරට යනවානම් නොවළහා ගෝත්‍රිකත්වය අත්හළ යුතුය. ගෝත්‍රිකත්වය වෙත පල්ලම් බසිනවානම් රටක් ලෙස හිතන එක අත්හළ යුතුය.

[මනරංජන]

මාතෘකා