සිව්වැනි ආණ්ඩුවට වෙඩි තැබූවන් සොයමු

 ඡායාරූපය:

සිව්වැනි ආණ්ඩුවට වෙඩි තැබූවන් සොයමු

රිවිර පුවත්පතේ හිටපු කර්තෘවරයකු වූ උපාලි තෙන්නකෝන්ට පහර දුන්නේ 2009 සැප්තැම්බර් 23 වැනි දින දීය. ඒ ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයට ආසන්න ස්ථානයකය. ඒ වන විට තිබුණේ රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුවය. කුරුල්ලකු කැදලි තනද්දී පවා රාජපක්ෂලාගෙන් අවසර ගත යුතුව තිබූ භීම සමයක් ලෙස ඒ සමය හැඳින්විය හැකිව තිබිණි.

උපාලි තෙන්නකෝන් සාමාන්‍යයෙන් ප්‍රකට මධ්‍යස්ථ මාධ්‍යවේදියකු ලෙසය. ඒ නිසාම මේ ප්‍රහාරය එවක සියලු මාධ්‍යවේදීන්ගේ තැතිගැන්මට සහ භීතියට හේතු විය. එවක ආණ්ඩුව විවේචනය කළ ලසන්ත වික්‍රමතුංගලා ඝාතනය වූ අතර මැදිහත්ව කටයුතු කළ උපාලි තෙන්නකෝන් වැන්නන්ටත් ප්‍රහාර එල්ල විය. එයින් රාජපක්ෂ ආණ්ඩුව සන් කළේ කුමක්ද? මේ ‘සිව්වැනි ආණ්ඩුවක් වුවමනා නැති යුගයකි’ යන්න නොවේද?

මේ ප්‍රහාරය පිළිබඳව පසු කලෙක චාමර ලක්ෂාන් කුමාර, උපාලි තෙන්නකෝන්ගෙන් විමසා සිටියේය. ඒ මෙසේය.

“ඔබට පහර දීම තවමත් ප්‍රහේලිකාවක්. ඔබේ මාධ්‍ය භාවිතයත් බොහොම සමබර එකක්. ඔබට සතුරෝ පේන්න හිටියෙත් නෑ. ඇත්තටම මොකක්ද මේ ගැන ඔබට කියන්න තියෙන්නේ?”

“මේ ගැන මට පේන හේතු දෙකක් තියෙනවා. එකක් 2009 වසරේ ජනවාරි 08 වැනිදා සිදුවුණු සිදුවීමක්. ඒ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය වුණ දිනය. මෙම සිදුවීම වුණේ ඊට දවස් කිහිපයකට පස්සේ. මේ සිදුවීමත් එක්ක එකල පැවැති රජයට හා නායකයන්ට විරුද්ධව අපි කතාකරපු දේවල් කිහිපයක් පුවත්පත්වල තිබුණා. අපි කරපු ප්‍රකාශ සමහර විට මෙම පහර දීමට හේතු වෙන්න ඇති කියලා හිතනවා.

“දෙවැනි හේතුව හැටියට මම විශ්වාස කරන්නේ පුවත්පතට ලියූ එක්තරා පුවතක් පළ නොකර සිටීම. එයත් ආරක්ෂක අංශය සම්බන්ධ පුවතක්. ඒකත් මේ ප්‍රහාරයට හේතුවක් වෙන්න ඇති කියලා හිතනවා.”

මෙයින් ගම්‍ය වන්නේ කුමක්ද? එවක මාධ්‍ය නිදහසේ තරම නොවේද?

කෙසේ වෙතත් එම පහරදීමෙන් වසර දහයකට පසු මේ සිද්ධියට අදාළව යුද හමුදා බුද්ධි නිලධාරියකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගේ නම ලලිත් රාජපක්ෂය.

ලලිත් රාජපක්ෂ නම් බුද්ධි නිලධාරියා ඒ වන විට ට්‍රිපෝලි කඳවුරට අනියුක්තව සේවය කර ඇති අතර උපාලි තෙන්නකෝන් මහතා ගමන් ගත් වාහනයේ ඇඟිලි සලකුණු සමඟ මෙම නිලධාරියාගේ ඇඟිලි සළකුණු ගැළපෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන ඇත.

රාජපක්ෂ සමයේදීම ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ මෝටර් රථයෙන් සොයාගත් ඇඟිලි සලකුණුවලට අදාළව යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් 285 දෙනකුගෙන් ලබා ගත් ඇඟිලි සලකුණුවලින් මෙම ලලිත් රාජපක්ෂ නම් බුද්ධි අංශ නිලධාරියාගේ සහ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාගේ මෝටර් රථයෙන් හමුවූ ඇඟිලි සලකුණු සැසඳීම නිසා ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

මාධ්‍යවේදීන්ට භීතිය ගෙනදුන් කාල සමය කුමක්දැයි කිසිවකු ප්‍රශ්න කළොත් නිතැතින්ම සිහිපත් වන්නේ පසුගිය රාජපක්ෂ සමයය. මෙරට ඉතිහාසයේ ආණ්ඩු විවේචනය කරන, විකල්ප මාධ්‍ය බහුලවම බිහි වූ ප්‍රේමදාස යුගයේදීවත් රාජපක්ෂ සමයේ තරම් මාධ්‍ය අතවරයට පත් වූයේ නැත.

ප්‍රේමදාස සමයේ ඇතැම් මාධ්‍ය සෘජුවම ප්‍රේමදාස ජනාධිපතිවරයාට නිර්දය ලෙස පහර දුන්හ. ටැබ්ලොයිඩ් සහ විකල්ප පත්තර, වාර ප්‍රකාශන හරහා අතිශය පෞද්ගලික විවේචන දරුණුවට එල්ල විය.

‘ප්‍රේමදාස අපි සූදානම්’ කියා මුහුණට මුහුණ වාග් සංග්‍රාම කරන්නට එවක හැකි විය.

 

 

එහෙත් ඒවාට පෙරළා එල්ල වූ ප්‍රතිචාරය රාජපක්ෂ සමයේ මෙන් බියගුලු නොවීය. බිහිසුණුද නොවීය. මාධ්‍ය නිදහස එවක තිබුණා යැයි කියන්නට ඉක්මන් වෙනවා නොවේ. එහෙත් එකී තර්ජන රාජපක්ෂ සමයේ ගර්ජන හා සැසඳීමටවත් තරම් නොවීය.

කළු ජනවාරිය

මාධ්‍ය නිදහස අගයන්නන් විසින් 2009 වසරේ සිට ජනවාරි මාසය හඳුන්වන්නේ ‘කළු ජනවාරිය’ යනුවෙනි. ඒ තරමටම තත්ත්වය බිහිසුණු විය.

ප්‍රජාතන්ත්‍රවාදයේ කුලුනු හතරට හිස ඔසවන්නට නොහැකි ලෙස පහර දුන් එසමය මාධ්‍යට එරෙහි බරපතල අපරාධ ගහන සමයක් විය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම, සුබ්‍රමනියම් සුගීර්දරාජන් ඝාතනය, උපාලි තෙන්නකෝන්ට ප්‍රහාරයක් එල්ල කිරීම, සිරස මැදිරි සංකීර්ණය විනාශ කිරීම, ලංකා ඊ නිවුස් වෙබ් අඩවි කාර්යාලය ගිනි තබා විනාශ කිරීම සිදුවූයේ ජනවාරියේය.

1981 ජුනි 3 වැනිදා යාපනයේදී නවරත්නම් නම් ඡායාරූප ශිල්පියකුට වෙඩි තබා ඝාතනය කරමින් මෑත ඉතිහාසයේ මුල්ම මාධ්‍ය දඩයම ආරම්භ විය. 1981 වසරේ ජුනි 04 වැනිදා යාපනයේ පැවැත්වීමට නියමිතව තිබූ සංවර්ධන සභා ඡන්දයේ ස්වරූපය කැමරාගත කිරීම ඔහු කළ වරද විය.

එතැන් සිට දිගින් දිගටම මාධ්‍යවේදීන්ට අසුබ වූ අතර රාජපක්ෂ සමය එකී අසුබ බව භීම සමයක් බවට පරිවර්තනය විය. 1981 සිට 2010 වන විට සිදු වී ඇති මාධ්‍යවේදීන් ඝාතන ගණන 112කි. එය මෙසේ දැක්විය හැක. ඒ අතර කලා සංස්කෘතික ක්‍රියාකාරීන් 27ක් සිටී.

මෙහි සඳහන් කලා සංස්කෘතික ක්‍රියාකාරීන් 27 දෙනා අතරින් වැඩි පිරිසක් ඝාතනය වන්නේ 1988 -1990 දක්වා කාලය තුළ පැවැති ජනතා විමුක්ති පෙරමුණේ භීෂණය යටතේ බව සැලකිල්ලට ගත යුතුය.

2004 සිට 2014 දක්වා ඝාතනය වූ මාධ්‍යවේදීන් ගණන 13කි. අයියාතුරේ ජී. නඩේසන්, ධර්මරත්නම් සිවරාම්, රේලන්ගී සෙල්වරාජා, සුබ්‍රමනියම් සුගීර්දරාජන්, සම්පත් ලක්මාල් ද සිල්වා, සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් (අතුරුදන්), සුභාෂ් චන්ද්‍රබෝස්, සෙල්වරාසා රජීව්වර්මන්, සහදේවන් නිලක්‍ෂන්, පරණිරූපසිංහම් දේවකුමාර්, ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ (අතුරුදන්) ඒ අතර වෙයි.

බරපතල ප්‍රහාර සහ පැහැරගැනීම්වලට ලක්වූ මාධ්‍යවේදීන් දහ දෙනෙකි. නඩේසන්පිල්ලේ විද්‍යාදරන් පැහැර ගත් අතර රධිකා දේවකුමාර්ට වෙඩි තැබීය.

ඥානසුන්දරම් කුගනාදන්ට ප්‍රහාර එල්ල කළ අතර උපාලි තෙන්නකෝන්ටද ප්‍රහාරයක් එල්ල විය. කීත් නොයාර්ව පැහැර ගැනීම හා ප්‍රහාරයට ලක් කළ අතර නාමල් පෙරේරාට ප්‍රහාර එල්ල විය. පෝද්දල ජයන්තව පැහැර ගෙන ප්‍රහාර එල්ල කරනු ලැබීය.

ටී. එම්. ජී චන්ද්‍රසේකරට ප්‍රහාර එල්ල වූ අතර ලාල් හේමන්ත මාවලගේද ප්‍රහාරයට ලක් විය.

ඒ අතර මන්දනා ස්මයිල්ට තර්ජනය කරනු ලැබීය.

එයින් නැවතුණේ නැත. මාධ්‍ය ආයතන ඉලක්ක කොට දරුණු ප්‍රහාර එල්ල විය. 2011 ජූලි 30 සියතට ප්‍රහාර එල්ල වූ අතර 2009 ජනවාරි 8 සිරස මැදිරි සංකීර්ණය විනාශ කරනු ලැබීය. එමෙන්ම ඊ නිව්ස් ගිනිතැබීම, උදයන් පුවත්පතට ප්‍රහාර එල්ල කිරීම, සුඩර්ඔලි පුවත්පතට බෝම්බ ගැසීම සිදු වූ ප්‍රහාර අතර ප්‍රකට ඒවාය.

අඩන්තේට්ටම් එයින් නවතින්නේ නැත. අවුට්රීච් ලංකා වෙබ් අඩවියේ සංස්කාරක වෙට්‍රවේල් ජසීහරන් සහ ඔහුගේ බිරිඳ වලර්මදී ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට ගෙන දිගුකලක් රඳවා තබා ගනු ලැබීය. සන්ඩේ ටයිම්ස්, ඩේලි මිරර් සහ සන්ඩේ ලීඩර් වැනි පුවත්පත්වලට ලියමින් සිටි මානව හිමිකම් ක්‍රියාකාරිකයකුද වූ ජේ. එස්. තිස්සනායගම්ද අත්අඩංගුවට පත්විය. නඩරාජා ගුරුබරන් පැහැරගෙන ගොස් අත්හැරීම, තිරුචෙල්වම් තිරුකුමාරන් අත්අඩංගුවට ගෙන පහරදී අත්හරිනු ලැබීමත් සමහරුන්ට අමතකය.

නෝත් ඊස්ටන් හෙරල්ඩ් සඟරාවට ලියූ ලිපි දෙකක් පදනම් කර ගෙන ජේ. එස්. තිස්සනායගම්ට බරපතල වැඩ ඇතිව වසර 20ක සිර දඬුවමක් ලබා දෙන අතර ජනාධිපති සමාවකින් නිදහස්ව පසුව රට හැර ගියේය.

ශ්‍රී ලංකා මිරර් සහ එක්ස් නිවුස් වෙබ් අඩවි කාර්යාල වටලා කාර්යමණ්ඩලවල 9ක් අත්අඩංගුවට ගනු ලැබීය. ලංකා පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්ත අත්අඩංගුවට ගෙන රඳවා තබා ගත්තේය. දයා නෙත්තසිංහ, ශාලික විමලසේන, රවීන්ද්‍ර පුෂ්පකුමාර යන මාධ්‍යවේදීන්ව අත්අඩංගුවට ගනු ලැබීය.

මෙවන් බිහිසුණු කාල සමයක් ගෙවා දමා අහවරව 'යහපාලන' සමය උදාවිය. බොහෝ දෙනාගේ බලාපොරොත්තු සහගත බැල්ම යොමු වූයේ ගෙවී ගිය භීම සමයේ 'වැරදිකරුවන්'ට දඬුවම් ලැබෙනු ඇතැයි කියාය.

ලොව පිළිගත් මාධ්‍යවේදියකු වූ ලසන්ත වික්‍රමතුංගගේ මරණය තවමත් සමාජය සසල කොට තිබේ. එහෙත් ඔහුගේ ඝාතනය සම්බන්ධව රාජපක්ෂලා කටයුතු කළ ආකාරය බියගුලුය.

'හූ ඉස් ලසන්ත? ඒක තව මිනීමැරුමක් විතරයි. ඕනෑ තරම් මිනීමැරුම් හැම තැනම තියෙනවා. (සිනාසෙයි.) ලෝකේ පුරාම ඕනෑ තරම් මිනීමැරුම්. ඇයි ඔබ ලසන්ත ගැන අහන්නේ, ලසන්ත කවුද? එයා ටැබ්ලොයිඩ් එකකට ලියන කෙනෙක්. කවුද එයා...? ඇයි එක මිනිහෙක් වෙනුවෙන් මිනිස්සු මේ තරම් කරදර වෙන්නේ...? කවුද ලසන්ත කියන්නේ? මොකක්ද එයාගේ තියෙන වැදගත්කම?

'ඒ ගෝඨාභය ඇසූ දේය. මේ වන විට රට පාලනය කරන්නට රෙදි මසමින් සිටින්නේ ඔහුය.

වසර කිහිපයක ඇවෑමෙන් හාරාගේ මෙන්ම ලසන්තගේ දේහයද ගොඩ ගත්තේය; පරීක්ෂණද කළේය; අබිරහස නොවිසඳුණේය.

අහිම්සා සටනට බැස්සාය. ඈ ජාත්‍යන්තරයට ගියාය. 'මගේ තාත්තගේ මිනීමරුවන් සොයාදෙන්න' ඈ ඉල්ලුවාය.

අධි ආරක්ෂක කලාපයක මහමඟ, මහ දවාලේ, ‌දෙනෝදහක් ඉදිරියේදී ඝාතනය කළ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංගයන්ගේ දියණිය අහිම්සා වික්‍රමතුංග විසින් කැලිෆෝනියාවේ මධ්‍යම දිසා අධිකරණයේ පැවරූ නඩුවේ පිටු 37කි. නඩුවේ ‌පරිච්ඡේද 79කින් චෝදනා ඉදිරිපත් කර තිබේ.

ඒ අහිම්සාගේ මැදිහත් වීමකි.

මේ ආණ්ඩුව මහ විශාල දේවල් කළ යුතු නැත. යහපාලනය ගෙනෙනු පිණිස පාලමක් වූ රාජපක්ෂ යුගයේ 'අපරාධ' කිහිපය නිසි පරිදි කඩිනමින් සොයා බැලුවා නම් ඒ ටිකම ප්‍රමාණවත්ය.

මාතෘකා

ජනප්‍රිය ලිපි