වැලිකතරේ දරුවන්ගේ නර්තන ගුරුවරිය උදේශිකා

 ඡායාරූපය:

වැලිකතරේ දරුවන්ගේ නර්තන ගුරුවරිය උදේශිකා

සහජයෙන් තමන් ලද නර්තන හැකියාවන් විශ්වසනීයත්වයෙන් ඔපමට්ටම් කර ගනිමින්දිරියෙන් ඉදිරියට ආ ඇය විටෙක සරසවි දූ පුතුන් උදෙසාම ඉදිවුණු “කවිතා ටැලන්ට් ෂෝ” වේදිකාවේ පළමු, දෙවන අදියරයන් තුළ පිළිවෙළින් දෙවැනි තුන්වැනි ස්ථාන හිමිකර ගැනීමට සමත් වූවාය. එසේම“දෙරණ සිටි ඔෆ් ඩාන්ස්” පස්වැනි තරගවාරයේදී සිය නර්තන හැකියාවන් ලෝකයා හමුවේ තබන්නටද ඇයට හැකියාව ලැබුණි. ඇය අද දවසේ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ වෙසෙමින් සිසු දරු පරපුරට නර්තනය දයාද කරනා එකම උපාධිධාරී ආචාර්යවරියයි. මේ ඇයගේ කතාවයි.

“මතක විදියට මම නර්තනයට යොමු වුණේ වයස අවුරුදු 08දී පමණ. මූලික අධ්‍යාපනයට පිවිසුණේ මිනුවන්ගොඩ වෑගොව්ව කණිෂ්ඨ විද්‍යාලයට. ඒ වන විට එම පාසැලේ නර්තනය විෂයක් විදියට නොතිබුණු නිසාත් නර්තනයට ඇති ආශාව නිසාත් වෙනත් පාසැලක නර්තන ආචාර්යවරියක් වූ කුමාරි ගුරුතුමියගේ පෞද්ගලික නර්තන පංතියකට ඇතුළත් වුණා. ඇයගෙන් තමයි මම නර්තනයට අත්පොත් තැබුවේ. ශිෂ්‍යත්ව විභාගය සමත් වීමත් සමඟම මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයට ඇතුළත්වීමට අවස්ථාව උදාවුණා. එහිදි හමුවන ඒකල හා සමූහ නර්තනයන් උදෙසා පාසැල් මට්ටමින් පැවැත්වුණු තරග රාශියකින් ජයග්‍රහණ රැසක් පාසලට අත්කර දීමට හැකියාව ලැබුණා.

චන්ද්‍රලාල් ජයමහ ගුරුතුමාගේ සෙවනේ අ.පො.ස සාමාන්‍ය පෙළ හැදෑරීමට අදාළව නර්තන විෂයට උපකාරක පංතියට යොමු වීම මාගේ නර්තන දිවියේ හැරවුම් ලක්ෂය බවට පත්වුණා. විද්‍යා අංශයෙන් අ.පො.ස. උසස් පෙළ හැදැරීමට සැලසුම් කර සිටි මා නර්තන කලාව වෙත යොමු කිරීමට තරම් චන්ද්‍රලාල් ජයමහ ගුරු පියාණන්ගේ ආකර්ෂණීය නර්තන විලාසය සමත් වුණා. ඉන් අනතුරුව ගම්පහ රත්නාවලී විද්‍යාලයට ඇතුළත් වන මා, අ.පො.ස උසස් පෙළ සඳහා එම විද්‍යාලයේ නර්තන ආචාර්යවරියන් ලෙස කටයුතු කළ ශ්‍යාමලී, ධම්මිකා සහ නිරංජලා ගුරුතුමියන් යටතේ නර්තනය ප්‍රගුණ කළා.

උසස් පෙළ කරනා අතරවාරයේදීම ‘තොරස’ සංස්කෘතික මධ්‍යස්ථානයට ඇතුළත් වන මා එහි ජාතික මට්ටමේ නර්තන තරගාවලි සහ නර්තන වැඩසටහන් රැසකට සහභාගි වුණා. මාගේ ප්‍රථම විදේශ නර්තන සංචාරය සිදුවන්නෙත් එහිදීයි. ඒ, 2007 වසරේදී සිංගප්පූරුව හා මැලේසියාව වෙත. එවකට මධ්‍යස්ථානය භාර නිලධාරිව සිටි ජානක සුගත් මෛත්‍රි මහතාව සිහිපත් කළ යුතුමයි. උසස් පෙළ සමත් වීමෙන් පසුව සරසවි වරම් හිමිකර ගන්නා මා 2009 වසරේදී සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයට ඇතුළු වෙනවා. ලංකාවේ කලා විෂයන් සඳහා ඇති එකම විශ්වවිද්‍යාලය ලෙස සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ උඩරට නර්තන අධ්‍යයන අංශයේ ප්‍රථම පන්ති ගෞරව උපාධියක් සහිතව සරසවි අධ්‍යාපන මා නිම කරනවා.

සරසවියේ අවසන් වසර අධ්‍යාපනය ලබන අවධියේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සංවිධානය කරන ලද කවිතා ටැලන්ට් ෂෝ පළමු අදියරේ කණ්ඩායම් නර්තන දමිළ අංශයේ දෙවන ස්ථානයත් එහි දෙවන අදියරේ තෙවන ස්ථානයත් හිමිකර ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඉන් මා ලද අත්දැකීම් සමඟින් දෙරණ රූපවාහිනී නාලිකාව සංවිධානය කළ දෙරණ සිටි ඔෆ් ඩාන්ස් පස්වන අදියරේදී දුමින්ද දර්ශන සොයුරාත් සමඟ නර්තන යුගළක් ලෙස තරග වැදීමට අවස්ථාව හිමි වෙනවා. මාගේ නර්තන දිවියේ දෙවන රියැලිටි අත්දැකීම වන මෙයින් මා විශාල පන්නරයක් ලබා ගන්නවා. එහිදී නර්තන රචකයකු වූ ගායාන් ශ්‍රිමාල්ගෙන් මට ආරාධනයක් ලැබෙනවා ඔහුගේ නර්තන කණ්ඩායමට එක්වන ලෙස. එහි නර්තන කටයුතු කරමින් සිටින අතරවාරයේදී ‘රට විරුවෝ’ රියැලටි වැඩසටහනට සහභාගී වීමේ අවස්ථාව උදා වෙනවා. එහිදී හඳුනාගත් මෙශාන් දිසානායක සමඟ විවාහ දිවියට ඇතුළත් වෙලා ඔහුත් සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණෙනවා. ඔහු ඒ වන විටත් එහි රංගායතනයක් පවත්වාගෙන යමින් සිටියේ.

මෙම ආගමනය මගේ ජීවිතයේ තවත් එක් හැරවුම් ලක්ෂයක් වුණා. “මෙෂාන් දිසානායක රංගායතනය” මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවතින වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් ඉගෙනුම ලබන ශ්‍රී ලාංකේය රංගායතනය සේම වැඩිම ශාඛා ප්‍රමාණයක් එක්සත් අරාබි එමීර් රාජ්‍ය (ඩුබායි / සහජා / අල්නාදා හා අබුඩාබි) පුරා විසිරී පවතින ශ්‍රී ලාංකික සම්ප්‍රදායික නර්තනය නිවැරදිව සහ ගුණාත්මකව දරුපරපුරට ලබා දීම පමණක් නොව, මැදපෙරදිග රටක පවත්වන ලද ප්‍රථම වෙස් මංගල්‍ය අප රංගායතනය මඟින් පැවැත්වීමට හැකිවීමද අප ලද භාග්‍යයක් ලෙස සලකනවා. ප්‍රථම රංගාභිෂේකයෙන් නොනැවතුණු අපි දෙවන වෙස් මංගලය සඳහා සූදානම් වෙමිනුයි සිටින්නේ. නර්තන ප්‍රසංගයක් පැවැත්වීම සෑම රංගායතනයකම ප්‍රමුඛ අභිප්‍රාය වූවද අප ප්‍රයත්න දරන්නේ නර්තන ප්‍රසංගයකට එහා ගිය උසස් රසවින්දනයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රේක්ෂක ජනතාවට ලබා දීමටයි. මනා හික්මීමකින් හා මානව භක්තියකින් පිරිපුන් දරුවන් සමාජයට ප්‍රවිෂ්ට කිරීම අපගේ එකම අරමුණයි.

[ඇන්ටන් ජේ. ප්‍රනාන්දු]

මාතෘකා