ඉන්දියාවේ සිට වනාතමුල්ලට නැවතත් ඉන්දියාවට

 ඡායාරූපය:

ඉන්දියාවේ සිට වනාතමුල්ලට නැවතත් ඉන්දියාවට

 

 

1959 පෙබරවාරි මුල ඉන්දියාවේ සිට පැමිණි මිරැන්ඩා හේමලතා වනාතමුල්ල මහා විද්‍යාලයේ ක්‍රියාකාරී ගුරු වෘත්තියේ යෙදුණි. ඇයට මේ පරිසරය නුහුරුය; නුපුරුදුය. දරුවන්ගේ හැදියාවන් චර්යාවන් හා ක්‍රියාකාරකම්ද වෙනස්ය. විදුහල්පතිවරයාද අමුතුය. විදුහලේ බෙර දවුල් තම්මැට්ටම්වල ඇත්තේ පොත්ත පමණකි. දරුවන් දරිද්‍රතාවෙන් පොහොසත්ය. ඔවුන් දෙස ආදරයෙන් අනුකම්පාවෙන් බලන ප්‍රමාණය ඉතා අල්පය. ප්‍රධානියා දරුවන් මදාවිකාරයන් ලෙස හඳුන්වයි. හේමලතා එම දරුවන් වෙත ආදරය පිදුවාය. ඇය සමඟ වෙනත් විෂයයන් සඳහා පත්වීම්ලාභීන් දස දෙනකු එකවර එම විද්‍යාලයට එවා තිබිණි.

ජරා ළමයින්ගේ පොත්පත් අල්ලන්න අප්‍රිය යැයි පවසමින් එක් ගුරුවරියක් වහා මාරුවීමක් ගෙන ඉවත් විය. අනිත් නවක ගුරුවරු සියල්ලම ඇය හා එකාවන්ව පාසල දියුණු කිරීමට දායක විය. වගකිවයුත්තන් කර අරිද්දී නවක තරුණ පිරිස කණ්ඩායමක් ලෙස සවස හතර පහ වන තෙක්ම පාසලේ රැඳි ළමුන්ගේ දක්ෂතාවන් ඉදිරියට ගැනීමට කටයුතු කළහ. ඔවුහු තම වැටුපෙන් සැලකිය යුතු ප්‍රමාණයක් දරුවන්ගේ පාසල් අවශ්‍යතා වෙනුවෙන්ද වැය කළහ. දක්ෂ ළමුන් හිටි හැටියේ පාසල් පැමිණීම නතර කළ අවස්ථා තිබිණි. එවිට නවක ගුරුවරුන් එම දරුවන්ගේ නිවෙස් සොයා ගොස් ළමුන් රැගෙන පැමිණි අවස්ථාද තිබිණි. එම දරුවන්ගේ නිවෙස්වල තත්ත්වය ගැන පැවසූ පසු ඔවුන්ට ඇය දැක්වූ අනුකම්පාව තවත් වැඩි විය. ඔවුන් ඉතා අඩු පහසුකම් යටතේ දිවි ගෙවූ පිරිසකි. ක්‍රමයෙන් දරුවන්ට පාසල අත්‍යවශ්‍ය තැනක් බවට පත්කිරීමට නවක ගුරුවරුන්ට හැකි විය. වනාතමුල්ල සීවලී විද්‍යාලයට ප්‍රබෝධයක්ද ඒ තුළින් ලැබිණි. 1959 අන්තිම ඔවුහු විවිධප්‍රසංගයක් සූදානම් කළහ. ඊට අකමැති වූයේ විදුහල්පතිවරයාය. දරුවන්ගේ මවුපියෝද ඊට උදවු කිරීමට එකඟ වූහ. නියෝජ්‍ය විදුහල්පති සොමිපාල ප්‍රනාන්දු විදුහල්පතිතුමාගේ බර කරට ගෙන උනන්දුවෙන් කටයුතු කළේය.

වනාතමුල්ල විද්‍යාලයට නවෝදයක් උදා විය. එම දරුවෝත් ඇය කියාදෙන දෙයට හොඳින් ප්‍රතිචාර දැක්වූහ. ඇය ඔවුනට නර්තනය හා රංගනය කියාදුණි. පාසලේ මීට පෙර නොතිබුණු විවිධප්‍රසංග පැවැත්විණි. ඉතා දරිද්‍රතාවෙන් පොහොසත් වුවද ඔවුන්ට ක්‍රීඩා කටයුතුවලදී හා නර්තනයේදී හොඳ ජවයක් පෙන්නුම් කළහ. එම ජවයෙන් ඇය සමඟ අනිත් ගුරු කණ්ඩායම ජවසම්පන්ත නර්තන ශිල්පීන් හා ක්‍රීඩකයන් රැසක් බිහිකළහ. 1960 නිදහස් දිනයට පාසලෙන් උඩැක්කි පන්තේරු නර්තන කණ්ඩායමක් ඉල්ලා තිබිණි. ඇය අපහසුතාවට පත් කරන ආකාරයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් ඉල්ලා තිබුණේ එම පාසලේ එවැනි පහසුකම් නොමැති බව දන්නා නිසා විය හැක.

පාසලේ නර්තන කණ්ඩායමට අවශ්‍ය උඩැක්කි පන්තේරු ගැනීමට ඇයට අධ්‍යාපන අමාත්‍යාංශයට යෑමට සිදු විය. කොළඹ මැලේ වීදියේ පුංචි ගොඩනැඟිල්ලක එය පිහිටා තිබිණි. එයට අදාළ භාණ්ඩ ලබා ගැනීමට ඇය තවත් ගුරුවරියක් සමඟ එම කාර්යාලයට ගොස් ඇත. ඒ නිසාම එදින භාණ්ඩ දීම ප්‍රතික්ෂේප කොට වෙනත් දිනයක ඇයට පමණක් එන ලෙස කිසිදු සැකයක් නොහිතන අයුරින් ප්‍රධාන නිලධාරියා පවසා තිබිණි. විද්‍යාලයට අවශ්‍ය භාණ්ඩවල වුවමනාව නිසා ඒවා රැගෙන ඒමට ඔහු පිළිබඳ විශ්වාසයෙන් ඇය තනියෙන් එහි ගොස් ඇත. කලින් යන දිනයේ සිටි කාර්යාල සහායක එදින නොසිටියේය.

“හිග්....මොකද එදා තනියෙන් නාවෙ. ආවානම් එදාම ගෙනියනවනේ භාණ්ඩ ටික”

මෙය පුංචි කාමරයකි. ඔහු ඇය ඉදිරියට පැමිණියේය. ඇය බිත්තියේ හැපුණාය. ඇය අසරණය. ඇයට අම්මා මතක් විය. අම්මා ඇයට දී ඇති පොරොන්දුව මතක් විය. තම ආත්ම ගෞරවය කිසි ලෙසකින් නර්තනය නිසා නසා නොගන්නා බවට ඉන්දියාවට යෑමට පෙර ඇය අම්මාට දුන් පොරොන්දුව මතක් විය. ඇය වහා සෙරෙප්පුව ගලවා අතට ගත්තේ විදුලි වේගයෙනි. “ඉස්සරහට ආවොත් ගහනව සෙරෙප්පුවෙන්” ඇය නිර්භයව පැවසුවාය. ඉදිරියේ සිටි දැවැන්ත නිලධාරියා අසරණ විය. ඔහු කිසිදා මෙවැනි අත්දැකීමකට ලක්ව නොතිබෙන්නට ඇත. ඔහුගේ ප්‍රතාපවත්භාවය හමුවේ ඇය දියවී ගියේ නැත. එය ඔහුට ඉමහත් ලැජ්ජාවකි. තම රාජකාරි දිවියේ ප්‍රශ්න ඇතිකර ගැනීමේ පළමු අඩිතාලම ඇයට අත්විඳින්නට සිදුවූයේ ඔය ආකාරයෙන්ය. කෙසේ නමුත් කෙදිනක හෝ ඔහුට අවනත වේයැයි ඔහු සිතුවේය. එය සිදු නොවුණි.

ඇය වහා ක්‍රියාත්මක වී විදුහල්පති මාර්ගයෙන් ප්‍රදේශයේ මන්ත්‍රී ප්‍රතිපාදන තුළින් පන්තේරු තාලම්පට ලබාගෙන පුහුණුවීම් පටන් ගත්තාය. ළමෝ ඉතා ජවයෙන් නැටූහ. ඒ වන විට වනාතමුල්ල මහා විද්‍යාලය නර්තනයෙන් ඉදිරියෙන්ම සිටියේ අන් ප්‍රසිද්ධ පාසල් අබිබවමිනි.

පොල්ගොල්ල ගුරු විදුහලට නැටුම් කථිකාචාර්යවරයකු ඉල්ලා ගැසට් කර තිබුණේ මේ අවදියේය. ඇයද එයට ඉල්ලුම් කළාය. අධ්‍යාපනය දියුණු කිරීමට නම් ගුරුවරුන් දියුණු කළ යුතු යැයි ඇය සිතුවාය. ඒ වන විට ඇය අවුරුදු 25ක තරුණියකි. පාසල් පද්ධතිය තුළ ගුණාත්මක වෙනසක් ඇය අපේක්ෂා කළාය. ඇය ගුරු විදුහලට ඉල්ලුම් කළේ එයට දායක වීමටය. මේ වන විට ඇය උසස් පෙළ ලන්ඩන් විභාගය සමත් වී තිබීම එම පත්වීම ලැබීමට හේතුව වන්නට ඇත. එහෙත් ඇගේ පත්වීමට එරෙහිව විදුහල්පතිට එවා තිබූ පෙත්සමද ඇයට පෙන්වා තිබිණි. ඇය ඒ කිසිවකට සැලුණේ නැත.

ඇය විද්‍යාලයේ වැඩ කළ කෙටි කාලයේදී වනාතමුල්ල නාමය ඉහළින් බැබළවීමට කටයුතු කළාය. එය හේතුවෙන් 1963 මැයි මාසයේ පොල්ගොල්ල ගුරු විද්‍යාලයට උසස්වීමක් ලැබ යන මොහොතේ ඇගේ මාරුවීමට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට වනාතමුල්ල ප්‍රදේශවාසීන් පෙළ ගැසුණි. ගම්මු අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්. ජේ. පෙරේරා හමුවීමට ගොස් ඇගේ මාරුව අවලංගු කරන මෙන් ඉල්ලා සිටියහ. එය මාරුවීමක් නොව උසස්වීමක් බව දැනගත් ඔවුහු නිහඬ වූහ. පසුව ඔවුහු ඇයට සුබ පැතූහ.

මිරැන්ඩා හේමලතා එදිරිවීර සරච්චන්ද්‍රයන් හඳුනාගත්තේ ඇගේ මාමා කෙනකු වන පී. වැලිකලගේ මාර්ගයෙනි. ඇය රජයේ කලායතනයේ ඉගෙනුම ලැබූ අවදියේ ඔවුහු අසල්වාසීහුය. ඇය වනාතමුල්ල පාසලේ උගන්වන කාලයේදී ප්‍රසංග සඳහා රෑ බෝ වූ පසු තම මාමාගේ නිවසේ නතරව ඇත. 1959දී එදිරිවීර සරච්චන්ද්‍රයන් “රත්නාවලී” නාට්‍යයේ නැවත නිෂ්පාදනයක් කළේය. රත්නාවලී යනු ක්‍රි. ව. හත්වැනි සියවසේ භාරතයේ විසූ ශ්‍රී හර්ෂ නමැත්තාගේ සංස්කෘත නාට්‍යයකි. භාරතයේ ඔහු දේවත්වයෙන් සැලකූ බැවින් පසුව ඔහු ශ්‍රී හර්ෂදේව ලෙස හඳුන්වයි. පියදාස නිශ්ශංක එය සිංහලට පරිවර්තනය කළේ 1957දීය. එය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ පළමු වසරේ සිසුන්ට නිර්දිෂ්ට ග්‍රන්ථයකි. 1957දී එදිරිවීර සරච්චන්ද්‍රයන් එය නිෂ්පාදනය කළේය. ඔහුගේ ආරාධනයෙන් 1959දී කොළඹ නිෂ්පාදනය පී. වැලිකල අතින් සිදුවිය. එහි සුසංගතාගේ චරිතය නිරූපණය කරන ලද්දේ මිරැන්ඩා හේමලතාය. ඊට සම්බන්ධ වූ අන් අයද ප්‍රවීණයෝය. හෙන්රි ජයසේන

(උද්‍යාන රජු), ඩැනියෙල් මුතුමාල (විදූෂක), සුමනා ජයතිලක (කාංචන මාලා), පර්සි විජේවර්ධන (විජ්ජාකරු), නෙල්සන් කරුණාගම (සූත්‍රධාරි), ගැමුණු විජේසූරිය (සූත්‍රධාරි) රංගනයෙන් දායක වූ අතර එවකට ජී. ඩබ්ලිව්. ජයන්ත සංගීතයෙන් දායක විය. ජයන්ත අරවින්ද යනු ඔහුය. එම නාට්‍යය ලලිතා සරච්චන්ද්‍ර විසින් 1998 වසරේදී නැවත නිෂ්පාදනය කළ අතර එය 1999දී රාජ්‍ය නාට්‍ය උලෙළ වෙනුවෙන් ඉදිරිපත් කරන ලදී. එහිදී මිරැන්ඩා හේමලතාට වසරේ හොඳම රංග වින්‍යාසය වෙනුවෙන් රාජ්‍ය සම්මානය ලැබිණි.

ශුද්‍රක නමැති බමුණු කුලයට අයත් ශ්‍රේෂ්ඨ රජකු විසින් රචිත යැයි භාරතයේ හැඳින්වෙන මෘච්ඡිකටිකය නමැති සංස්කෘත නාට්‍යය පියදාස නිශ්ශංක විසින් සිංහලට අනුවර්තනය කොට “මැටි කරත්තය” නමින් පී. වැලිකල විසින් නිෂ්පාදනය කළේය. එහි නර්තන නිර්මාණයෙන් හා රංගනයෙන් සහභාගි වෙමින් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ දිගු ගමනක් යෑමට ඇය වනාතමුල්ලේ සේවය කරන සමයේ සමත් වූවාය.

1959 නොවැම්බර් 1 වැනි දින එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ හස්ති කාන්ත මන්තරේ නාට්‍ය රජයේ ලලිත කලායතනයේ නාට්‍ය මණ්ඩලය විසින් නිෂ්පාදනය කරන විට එහි කාරකසභිකයන් ලෙසද මිරැන්ඩා හේමලතා කටයුතු කළාය. එහි සභාපති වූයේ පියසේන කොස්තාය.

මේ වන විට ඉන්දීය රජයෙන් නැටුම් හා සංගීත ශිල්පීන් දෙදෙනකු සඳහා කොළඹ ක්‍රමය යටතේ ශිෂ්‍යත්ව ප්‍රදානයක් 1962 වසරේ අවසන් කාලයේදී ප්‍රසිද්ධ කර තිබිණි. ඇයද එයට ඉල්ලුම් කළාය. ඒ සඳහා ඉල්ලා තිබූ සියලු සුදුසුකම්වලින් ඇය පොහොසත්ව තිබිණි. නර්තන අංශයෙන් මිරැන්ඩා හේමලතා නමත් සංගීත අංශයෙන් සදානන්ද පට්ටිආරච්චි නමත් තෝරා ගැනුණි. දෙදෙනාම රජයේ සේවකයෝය. එබැවින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ සඳහා නිවාඩු අනුමත කළ යුතුය. ඒ සඳහා ඔවුන් දෙපළම ඊට අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කර තිබිණි. සංගීත හා නැටුම් බාර ප්‍රධාන නිලධාරියා එය අනුමත කළ යුතුය. එහෙත් සිදුවූයේ අනෙකකි. එම නිලධාරියාගේ සටහනේ තිබුණේ මෙසේය.

“ඔවුන් දෙදෙනා කරනු ලබන රාජකාරිය සඳහා ප්‍රමාණවත් දැනුමක් ඇති බැවින් හා මෙම ශිෂ්‍යත්වය නිෂ්ප්‍රයෝජන ක්‍රියාවක් බැවින් නිවාඩු අනුමත කළ නොහැක.” එවකට අධ්‍යාපන අධ්‍යක්ෂව සිටියේ ඊ. එච්. ඩී. අල්විස්ය. ඇය ඔහු වෙත ගියාය. ඇය තර්ක කළාය. මීට පෙර ඔහු පවසා තිබූ ගුරු විදුහලේ සියලුම කථිකාචාර්යවරු විදේශ පුහුණුවක් ලබා දිය යුතුය යන ප්‍රතිපත්තිමය තීරණය ඇය ඔහුට මතක් කර දුන්නාය. මේ වන විට ඇයට විශ්වවිද්‍යාලයීය උපාධි නොතිබිණි. මෙවැනි ශිෂ්‍යත්වයක් ලැබීමෙන් වෘත්තීයමය සුදුසුකම් ගොඩනැඟෙන කරුණු පිළිබඳ ඇය ප්‍රශ්න කළාය. ඔහුට ඒ කිසිවකට උත්තර දීමට නොහැකි විය. ඇගේ තාර්කිකභාවයට ඇයට සුදුසු නීති වෘත්තිය යැයි පැවසූ ඔහුගෙන් නිවාඩුව අනුමත කර ගැනීමට ඇය සමත් වූවාය. ගුරු විදුහල භාර අධ්‍යක්ෂවරයාද ඇය වෙනුවෙන් කතා කර තිබිණි. එහෙත් නිවාඩුව අනුමත වූයේ තර්ක කළ ඇයට පමණි.

එහෙත් ඊළඟට තවත් බාධකයක් ගෙන ඒමට නිවාඩු අනුමත නොකළ නිලධාරියාට හැකි විය. ඒ ශිෂ්‍යත්වය ලැබෙනුයේ “භරත නාට්‍යම්” සඳහා වීම නිසාය. පාර්ලිමේන්තු මන්ත්‍රී චෙල්වනායගම් පවසා තිබුණේ මෙම ශිෂ්‍යත්වය ලබාදිය යුත්තේ දමිළ කෙනකුට බවය. මේ වන විට මේ ශිෂ්‍යත්වය පාර්ලිමේන්තු ප්‍රශ්න කිරීමක් දක්වාම දුරගොස් තිබිණි. එවකට අගමැති ධුරය හෙබවූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. ඇයගේ තීරණය වූයේ සුදුස්සා තේරීමේදී ජාතිය නොබැලිය යුතු බවය. කෙසේ නමුත් සිදු වූයේ ගමන පමා වීම පමණි. ඇගේ සියලු කටයුතු සඳහා මාපිය උදව්ව නොගැනීමට තරම් පෞරුෂයක් ඇය සතුව තිබිණි. ඉන්දීය ගමනට දින දෙකකට පෙර දින කොළඹ සඳැල්ල නමැති ස්ථානයේ රෙජී පෙරේරා සහ චන්ද්‍ර ගුණසේකර ඇතුළු මහජන කලා මණ්ඩලයෙන් උත්සවයක් සංවිධානය කර තිබිණි. එය කලාකරුවන් හමුවන සවස් කාලයේ ප්‍රිය සම්භාෂන පවත්වන ස්ථානයකි. සවස පැවතියේ තේ පැන් සංග්‍රහයක් බැවින් ඇය ගියේ පියා සමඟය. රෙජී පෙරේරා ඇගේ පියාගේ පාසල් මිතුරකු බව දැන ගත්තේ මේ හමුවේදීය. ඇය මේ ගමන සඳහා හෝ වෘත්තිය කටයුතු සඳහා හෝ එවැනි සබඳකම්වලින් ප්‍රයෝජන ගැනීමට නොගියාය. ඇය ඇගේ දෙපයින් නැඟීසිටීමට තරම් පෞරුෂයක් තිබීම ඉන්දියාවට තනියෙන් යන ගමනටද රුකුලක් වන්නට ඇත. 1963 ඔක්තෝබර් මස 26 වැනි දින ඉන්දියාව බලා ගුවන්ගත විය. මේ ඇගේ දෙවැනි ඉන්දීය සංචාරයයි.
 

මතු සම්බන්ධයි

[අනුර දහනායක]

 

 

මාතෘකා