කලාකරුවන් අන්තගාමී නොවිය යුතුයි

 ඡායාරූපය:

කලාකරුවන් අන්තගාමී නොවිය යුතුයි

 

සමාජ ජාල මාධ්‍ය ඔස්සේ මුලින්ම කාව්‍යකරණයේ නිරතව සමාජ අවධානයට ලක්වූ චාමිකා අරවින්දි ‘නිස්සර පෙති’ නමින් පසුගිය වසරේ සිය කුලුඳුල් කාව්‍ය සංග්‍රහය එළිදක්වනවා. කාව්‍යකරණයට මෙන්ම කෙටි කතා රචනයටත් හැකියාවක් දක්වන ඇය මධ්‍යස්ථ සමාජ දැක්මක් ඇති නව පරපුරේ ලේඛිකාවක් ලෙස හඳුනාගත හැකියි.

 

ඔබ ගැන නොදන්නා අයට මුලින්ම ඔබ ගැන කීවොත්

මම පාසල් කාලයේ සහ ඊටත් කලින් ඉඳන්ම සාහිත්‍යයට කැමැත්තක් දක්වපු කෙනෙක්. පොඩි කාලේ ඉඳන්ම පොත්, පත්තර වගේ දේ කියෙව්වා. මගේ වයසට වඩා ඉහළ මට්ටමට ලියවුණු නිර්මාණ පවා මම කැමැත්තෙන් රස වින්දා. දැනට මම ජෛව තාක්ෂණ විෂය ක්ෂේත්‍රයෙන් වැඩිදුර සරසවි අධ්‍යාපනය ලබමින් සිටිනවා. කොටින්ම කිව්වොත් මම සාහිත්‍යයට, කවියට ඉතාමත් ආසාවක් දක්වන කෙනෙක්.

ඔබට මුලින්ම ලේඛිකාවක් විය යුතුය කියා හැඟුනේ මොන වගේ අවධියකද?

ප්‍රසිද්ධ ලේඛකයන්ගේ කලා කෘති ඇසුරු කරද්දී මට දැනුණු දෙයක් තමයි මේ ලෝකයේ සෑම ක්ෂේත්‍රයකටම වගේ වචනවලින් කොයි තරම් බලපෑමක් එල්ල කරන්න පුළුවන්ද කියන එක. ‘ගුරු ගීතය’ වැනි එවැනි ලෝකයටම බලපෑමක් ඇති කරපු පොතක් කියවද්දී මට දැනුණු දෙයක් තමයි ඒක හරි ලස්සන අදහසක් කියන එක. මටත් ඕන වුණා කවදා හරි ඒ වගේ අකුරුවලින්, පෑනෙන් ලෝකයට බලපෑම් කළ හැකි කෙනෙක් බවට පත්වෙන්න.

ඔබ විශ්වාස කරනවාද ලේඛිකාවක් බවට පත්වීමෙන් පසු එම අරමුණ ඉටුවූ බව? මහා සාගරක් වගේ කලා ක්ෂේත්‍රය තුළ මට හිතෙන්නේ මම තාම පුංචි වතුර බින්දුවක් වගේ කියල. ඒ වගේම මට තව දීර්ඝ ඉදිරි ගමනක් යන්න තියෙනවා. අපි ලියන දේ අනුව තමයි ඒක තීරණය වෙන්නේ. තවම මම ලේඛිකාවක් ලෙස සම්පූර්ණ වෙලා නෑ කියලයි මම හිතන්නේ.

ඔබ පවසන ආකාරයට ලියන දේ තුළින් බලයක් ගොඩනැඟෙනවා නම් සමාජය තුළින් ඔබට ප්‍රශංසාව හිමි වුණාද?

සමහර කලාකරුවන් තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේදී අන්තගාමී වීමක් දක්නට ලැබෙනවා. ඒක දේශපාලනිකව වෙන්න පුළුවන්, සමාජීය හෝ ආගමික හෝ කලාව සම්බන්ධවම වෙන්නත් පුළුවන්. ඒ අන්තගාමීත්වයෙන් මිදිලා මානවවාදී ගමනක් යන්න තමයි මම මුල ඉඳලම උත්සාහ කළේ. මේ මධ්‍යස්ත බව නිසාම විවිධාකාර කණ්ඩායම් සහ වෙනස් මතවාද නියෝජනය කරන පිරිස් මගේ නිර්මාණ රසවිඳින්නන්, අගය කරන්නන් අතර සිටිනවා. අන්තගාමී නොවී මානවවාදය තම භාෂාව කරගත් අය තමා කලාකරුවන් ලෙස සමාජගත විය යුත්තේ කියල තමා මම විශ්වාස කරන්නේ.

සාර්ථක, සමාජ ප්‍රගමනයට දායක වන ලේඛකයකු සතුව පැවතිය යුතු ගුණාංග මොනවාද?

මම විශ්වාස කරන දේ තමයි ලේඛකයකු හෝ කවියකු මිනිස් මනසට දක්වන සංවේදීතාව උපරිම තලයක තිබිය යුතු බව. මිනිස් මනසට දක්වන සංවේදීතාව උපරිම වීමෙන් තමයි සාර්ථක කලා නිර්මාණයක් එළිදකින්නේ. ඒකට හොඳම උදාහරණය තමයි අපට සමහර කලා කෘති රස විඳිද්දී ඒ නිර්මාණයේ දේශීය විදේශීය කියන දේ නොදැනෙන විශ්වීය කලා නිර්මාණ තිබෙනවා. අපට පුළුවන් කොහෙත්ම නොදන්නා භාෂාවකින් ලියවුණු ගීතයක් රස විඳින්න. අපි නොදන්නා නුපුරුදු සංස්කෘතියක් පාදක කොටගෙන බිහිවුණු චිත්‍රපටයක් රස විඳින්න. එසේ වෙන්නේ එම කලාකරුවා සාර්ථක ලෙස මිනිස් මනසට සමීප වී තිබෙන නිසා.

ඔබ අදහස් කරන්නේ තදින් හැඟීම් නොදැනෙන කෙනකුට සාර්ථක ලේඛකයකු වෙන්න බැහැ කියන දේද?

කලාකරුවකුට ස්පර්ශ කළ හැකි වෙළෙඳපොළ ආකාර දෙකක් තිබෙනවා. එකක් තමයි වාණිජ වෙළඳ පොළ. අනික තමා සම්භාව්‍ය, ශාස්ත්‍රීය ප්‍රේක්ෂකාගාරය. අපි චිත්‍රපට ගත්තොත් සම්භාව්‍ය චිත්‍රපටයක් ප්‍රදර්ශනය වෙද්දී ප්‍රේක්ෂකාගාරයේ ප්‍රේක්ෂකයන් එක්කෙනක් දෙන්නෙක් ඉන්න අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. එත් වාණිජ ගණයේ චිත්‍රපටයක් බලන්න ගියොත් පෝලිමේ ඉඳලා ප්‍රවේශපත්‍ර අවසන් වීම නිසා ආපසු හැරිලා එන්න වෙන අවස්ථා පවා තියෙනවා. මම විශ්වාස කරනවා කලාකරුවකුට හැකියාවක් තිබිය යුතුයි මෙම වාණිජ සහ සම්භාව්‍ය කියන සංකල්ප දෙක අතර සම්මිශ්‍රණයක් ගොඩනැඟීමට. තරුණ කලාකරුවන්ගේ වගකීම විය යුත්තේ මෙම වාණිජ ගුණාංග සහ සම්භාව්‍ය මානවවාදී ගුණාංග සමබරව මිශ්‍රව ඇති නිර්මාණ එළිදැක්වීම. කලා කෘතියක් කොයි තරම් උසස් වුණත් එය අලෙවි කර ගත නොහැකි නම් ඇත්තටම එයින් ඵලක් නැති වෙනවා. ඒ නිසා මෙම සම්භාව්‍ය සහ වාණිජ කියන ගුණාංග දෙකම මිශ්‍ර වුණු සමබරතාවයක් ඇති නිර්මාණ බිහිවන මට්ටමට කලාව යොමුවිය යුතුය කියන දේ තමා මගේ අදහස.

ලංකාවේ වර්තමාන කාව්‍ය සාහිත්‍යය පිළිබඳ ඔබේ මතය කුමක්ද?

හැමදේම වානිජකරණයට ලක්වෙලා තිබෙන අද වගේ අවධියක බොහේ දෙනා යොමුවෙලා තියෙන්නේ තමන් සමාජගත කරන දේහි හරවත් බව ගැන සිතනවාට වඩා එය කොතරම් වැඩි පිරිසක් වැලඳ ගනීවිද කියන දේ ගැන විශාල අවධානයක් යොමු කිරීමට. මේ හේතුව නිසා වර්තමාන කලාකරුවන් තමන්ගේ නිර්මාණ සඳහා ප්‍රස්තුත තෝරා ගැනීමේදී සමාජ ප්‍රගමනයට අවශ්‍ය වන ඒවා පසෙක තිබියදී එකම රැල්ලකට එකම චක්‍රයකට කොටු වුණු නිර්මාණ සිදු කිරීමට යොමු වෙලා තිබෙන බවක් පේනවා. ඔවුන් එසේ කරන්නේ එවැනි මාතෘකා තෝරාගෙන නිර්මාණ කිරීම තුළින් ලෙහෙසියෙන් අලෙවි කර ගැනීම නැත්නම් මාකට් කිරීම සිදුකළ හැකි නිසා කියලා. විශේෂයෙන් ලිංගිකත්වය හුවා දක්වන නිර්මාණ වගේ දේවල්. මම විශ්වාස කරනවා කලාකරුවකු ඊට වඩා පෘථුල සහ සංයමයකින් යුතුව සමාජය ස්පර්ශ කළ යුතුයි කියල.

ඔබ අලුතින් ලේඛනයට පිවිසි කෙනෙක්. ඔබට හිතෙන විදියට මේ ක්ෂේත්‍රෙය් රැඳෙන්න නම් කළ යුත්තේ කුමක්ද?

මට මූලිකවම කියන්න තියන දෙය තමයි රැල්ලට හසු නොවී සිටිය යුතුයි. ලෝකයේ පවතින අමරණීය නිර්මාණ සිදු කළේ හැම වෙලාවෙම මේ රැල්ලෙන් මිදුණු අය තමයි. කෙටිකාලීන ජනප්‍රියත්වය සොයා යන්නෙ නැතිව සමාජයට ඇත්තටම වටිනාකමක් එක්කළ හැකි නිර්මාණ කිරීමට යොමු වීම තමයි කළ යුත්තේ.

සංවාද සටහන [කපිල ලියනගම]

මාතෘකා