රොනීට ඉම්තියාස්ගෙන් ආරාධනයක්

 ඡායාරූපය:

රොනීට ඉම්තියාස්ගෙන් ආරාධනයක්

 

සිරිමාගේ සමගි පෙරමුණු ආණ්ඩුවේ අසාර්ථක හා අදූරදර්ශී පිළිවෙත් විවේචනය කරමින් රොනී කළ කතාවට ජනතාවගෙන් හිමිවූයේද අති මහත් ප්‍රසාදයකි. ජනතා හදවත් ඇද බැඳ ගනිමින්, ඔවුන්ගේ ආකර්ෂණය තමා වෙත දිනා ගැනීමට රොනී බේරුවලදී සමත් විය. සිය කතාව නිම කර අසුනට පැමිණෙත්ම ජේ.ආර්. රොනී දිරිමත් කරමින් ඔහුගේ කතාව අගය කළේය.

“රොනී... ඔයා හොඳට ස්කෝර් කරනවනේ... ඔයා දිගටම මගේ කැම්පේන් එකේ කථිකයෙක් විදියට මාත් එක්ක එන්න. ඔන්න මීට පස්සෙ යූ.ඇන්.පී. ස්ටේඩියම් එකේ ඕපන් බැට්ස්මන් ඔයා තමයි...” ජේ.ආර්.ගේ වදන් එසේ විය. ජේ.ආර්.ගේ ආරාධනයට අනුව 77 මැතිවරණ සටනේ ලංකාව පුරා පැවති සියලුම මහජන රැලිවල ප්‍රධාන කථිකයකු ලෙස එක්වීමට රොනීට ඒ අනුව සිදු වුණි.

 

1977-1987 දක්වා මෙරට සිටි මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය රොනී ද මැල් මහතාගේ ජීවන මඟ පිළිබඳ ‘රැස‘ පුවත්පත ගෙන එන ලිපි මාලාවේ විසි හතර වැන්න (24) මතු දැක්වේ.

1975 සැප්තැම්බර් 30දා අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අමතමින් රොනී ලිපියක් යොමු කළේය. ඉන් කියැවුණේ අද පටන් තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් හා කණ්ඩායමෙන් ඉවත් වන බවයි. එමෙන්ම තමා මෙම තීරණයට එළැඹියේ තම මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද දායකයන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කර බවත් මේ කටයුත්ත සඳහා ඔවුන්ගේ අනුමැතියද හිමිවූ බවත් රොනී ද මැල් මහතාගේ ලිපියේ විය. පසුගිය සමය පුරා පැවති අදක්ෂ, දූෂිත හා මර්දනකාරී පාලනය හේතුවෙන් රටවැසියන්ට විඳීමට සිදුවූ දුක් ගැහැට හේතුවෙන් මුළු මහත් ජනතාවටම ඔබගේ ආණ්ඩුව කෙරේ විශ්වාසය අහිමි වී ඇති බවද මෙම තීරණය තමා ගත්නේ පොදු යහපත පිණිස බවද මැල් මහතා බණ්ඩාරනායක මැතිනිය වෙත යැවූ ලිපියේ දැක්විණි.

රොනීගේ ලිපිය අග්‍රාමාත්‍යවරියට යොමු කළ දිනට පසු දින, එනම් 1975 ඔක්තෝබර් 01 වැනිදා ඩාලි පාරේ පිහිටි ශ්‍රීලනිප මූලස්ථානයෙන් පෙරළා රොනී වෙතද ලිපියක් යොමු කර තිබිණි. එවකට එම පක්ෂයේ ප්‍රධාන ලේකම්, එස්.කේ.කේ. සූරියආරච්චි මහතාගේ අත්සනින් යුතු එම ලිපියෙන් රොනී වෙත දන්වා සිටියේ වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඔහු නෙරපා හරින බවයි. 1975 ජූලි 24, 1975 අගෝස්තු 16, 1975 අගෝස්තු 17 සහ 1975 සැප්තැම්බර් 14දා දෙවිනුවර මැතිවරණ කොට්ඨාසයේ ස්ථාන කිහිපයකදී හා උතුරේ ස්ථාන රැසකදී ඔබගේ දේශපාලන කතාවන් හා ක්‍රියාකලාපයන් පිළිබඳ ලැබී තිබූ පැමිණිලි පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බැව් සූරියආරච්චි මහතාගේ ලිපියෙන් රොනී වෙත වැඩිදුරටත් දන්වා තිබිණි.

රොනී, ශ්‍රීලනිප සාමාජිකත්වයෙන් ඉවත් වූ වහාම විපක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධන මහතා අතින් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තේය. පාලක සමගි පෙරමුණට එරෙහිව ජනහමු මාලාවක් මේ සමයේදී රට පුරා පැවැත්වීමට ජේ.ආර්. සැලසුම් කරමින් සිටියේය. එම ජනහමුවලටද හැකි අයුරින් දායක වන ලෙස ජේ.ආර්. රොනීගෙන් ඉල්ලා සිටියේය.

එසමයේදී විශ්වවිද්‍යාල තරුණයන් පිරිසක් රොනී හමුවීමට පැමිණියේ ආරාධනයක් කිරීමේ අභිලාෂයෙනි. එම ශිෂ්‍ය කණ්ඩායමේ නායකත්වය දැරුවේ, එ.ජා.ප.යට අනුබද්ධිත එක්සත් සමවාදී ශිෂ්‍ය පෙරමුණේ සභාපතිවරයා වූ ඉම්තියාස් බාකීර් මාකාර් ශිෂ්‍ය ව්‍යාපාර නායකයාය. ඔහුගේ ආරාධනය වූයේ බේරුවලදී පැවැත්වීමට නියමිත තම පියා විසින් සංවිධානය කරනු ලබන එ.ජා.ප. ජන රැලියේ ප්‍රධාන කථිකයකු ලෙස සහභාගී වන ලෙසයි. එවකට බේරුවල එ.ජා.ප. සංවිධායක වරයා වූයේ පසු කලෙක මෙරට කීර්තිමත් කථානායක වරයෙක් වූ කෘතහස්ත දේශපාලන නායක, අල්හාජ් බාකීර් මාකාර් මහතාය. ශිෂ්‍ය ඉම්තියාස්ගේ ආරාධනාව රොනී ඉතා කැමැත්තෙන් බාර ගත්තේ බාකීර් මාකාර් මහතා පිළිබඳ තිබූ පළල් අවබෝධයක් නිසා නොව ඉම්තියාස්ගේ සුපැහැදිලි හා නිරවුල් කරුණු දැක්වීම සම්බන්ධයෙන් වූ පැහැදීම නිසාය. එදා බේරුවලට සැපත් වූ මැල් මහතා බාකීර් මාකාර් ඇතුළු එ.ජා.ප. ක්‍රියාකාරීන් විසින් ඉතා උණුසුම්ව පිළිගත් ආකාරය නිසා එ.ජා.ප.ය පිළිබඳ රොනී තුළ පැවති ධනාත්මක හැඟීම් තව තවත් උද්දීපනය විය. ඉම්තියාස් ප්‍රමුඛ සමවාදී ශිෂ්‍ය පෙරමුණේ සරසවි සිසුන් බේරුවල රැලියට සහභාගි වූයේ සැතපුම් ගණනාවක් දිග පෙළපාළියකිනි.

 

සමගි පෙරමුණු රජයේ මර්දනයේ හස්තය සරසවි සිසුන් වෙත සෘජුව එල්ල වී තිබූ එකල, එම මර්දනයට එරෙහිව සිසුන් පෙළගස්වමින් ඔවුන්ගේ සහාය එ.ජා.ප. මැතිවරණ සටනට යොමු කළේ ඉම්තියාස් විසිනි. එමෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය, වීරසූරිය සහෝදරයාගේ ඝාතනයට එරෙහිව සරසවි සිසුන් පෙළගැස්වීමේදීද ඉම්තියාස් සුවිසල් කාර්යභාරයක් ඉටු කළේය. ඉම්තියාස්ගේ සමකාලීන සගයකු වූ කැලණිය සරසවියේ කේ.එච්. විල්ෆ්‍රඩ් ශිෂ්‍යයාද සරසවි සටන්වලදී කැපී පෙනුණු තවත් අයෙකි. ඔහු සමවාදී ශිෂ්‍ය සංගමය යටතේ වූ ආර්ථික විද්‍යා සංගමයේ සභාපතිවරයාය. වීරසූරිය ඝාතනය එ.ජා.ප. වේදිකාව මත සංවේදී අයුරින් සජීවීකරණය කළේ විල්ෆ්‍රඩ් විසිනි. පේරාදෙණිය සරසවියේදී වීරසූරිය ඝාතනය වන අවදියේ කැලණිය සරසවියේ අධ්‍යයනයන්හි නිරත වවුන්වි විල්ෆ්‍රඩ්, වීරසූරිය ඝාතනය තමා ඉදිරිපිට වූවා සේ පණ පොවා වේදිකාවේ දිගහැරීමට තරම් නිර්මාණශීලී විය. විල්ෆ්‍රඩ්ගේ චතුර දේශනය අවසන් වන විට බොහෝ එ.ජා.ප. පාක්ෂිකයන් සිටියේ නෙතගින් කඳුළු වගුරුවමිණි.

එදා බේරුවල රැලියේදී රොනී කළ කතාව පිළිබඳ වේදිකාවේ වුන් ජේ.ආර්. ද මනා සේ පැහැදිණි. සිරිමාගේ සමගි පෙරමුණු ආණ්ඩුවේ අසාර්ථක හා අදූරදර්ශී පිළිවෙත් විවේචනය කරමින් රොනී කළ කතාවට ජනතාවගෙන් හිමිවූයේද අති මහත් ප්‍රසාදයකි. ජනතා හදවත් ඇද බැඳ ගනිමින්, ඔවුන්ගේ ආකර්ෂණය තමා වෙත දිනා ගැනීමට රොනී බේරුවලදී සමත් විය. සිය කතාව නිම කර අසුනට පැමිණෙත්ම ජේ.ආර්. රොනී දිරිමත් කරමින් ඔහුගේ කතාව අගය කළේය. “රොනී... ඔයා හොඳට ස්කෝර් කරනවනේ... ඔයා දිගටම මගේ කැම්පේන් එකේ කථිකයෙක් විදියට මාත් එක්ක එන්න. ඔන්න මීට පස්සෙ යූ.ඇන්.පී. ස්ටේඩියම් එකේ ඕපන් බැට්ස්මන් ඔයා තමයි...”ජේ.ආර්.ගේ වදන් එසේ විය. ජේ.ආර්.ගේ ආරාධනයට අනුව 77 මැතිවරණ සටනේ ලංකාව පුරා පැවති සියලුම මහජන රැලිවල ප්‍රධාන කථිකයකු ලෙස එක්වීමට රොනීට ඒ අනුව සිදු වුණි.

එදා බේරුවලදී තවත් විශේෂ සිදුවීමක් විය. එනම්, වීරසූරිය ඝාතනය වේදිකාව මත දිග හළ කේ.එච් විල්ෆ්‍රඩ් ශිෂ්‍යයා කැඳවූ රොනී, ඔහුගෙන් විමසා සිටියේ සිය කාර්ය මණ්ඩලයට ලේකම් වරයකු ලෙස එක්වීමට කැමතිද යන්නයි. ඒ අනුව ඔහුගේ කැමැත්ත මත රොනීගේ පෞද්ගලික ලේකම් ලෙස විල්ෆ්‍රඩ් පත්වූ අතර එදා සිට අද දක්වාම රොනීගේ පෞද්ගලික ලේකම්වරයා වන්නේ ඔහුය.

සිවිල් අරගලයක අමිහිරි මතකයත්, දරිද්‍රතාවයේ හා ආර්ථික අහේනියේ ශෝකාලාපයත් මැද ලෝක නායකයින්ගේ අවධානය ශ්‍රී ලංකාව වෙත නාභිගත වූ අවස්ථාවක් 1976 අගෝස්තු මාසයේදී උදාවිණි. ඒ නොබැඳි ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව කොළඹදී පැවැත්වීමට කටයුතු සම්පාදනය වීමත් සමඟිනි.

1976 අගෝස්තු මස 16 වැනි දින සිට 19 වැනි දින දක්වා කොළඹදී පැවති නොබැඳි ජාතීන්ගේ පස් වැනි මහා සභාවට රටවල් 86ක රාජ්‍ය නායක නායිකාවන් රැසක් මෙරටට පැමිණියහ. සත්කාරක ශ්‍රී ලංකා ජනරජයේ අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එම සමුළුවේදී නොබැඳි ජාතීන්ගේ සංගමයේ සභාපතිනිය ලෙස පත්ව සුවිසල් කාර්යභාරයක් ඉටු කළාය. එමෙන්ම ඇගේ නායකත්වය කලාපයේ මෙන්ම වෙනත් මහාද්වීපයන්හි රාජ්‍ය නායකයන්ගේද පැසසුමට ලක්වූ අතර ශ්‍රී ලංකාව පිළිබඳ ලෝක බලවතුන්ගේ අවධානය දිනා ගැනීමට එය සමත්වූ බව පෙනෙන්නට විය.

රටේ ජනතාව ආහාර අහේනියකින් පෙළෙන හා ආර්ථිකය බිංදුවට වැටී තිබූ සමයක ලෝක නායකයන් පිනවීම උදෙසා සුවිශාල ධනස්කන්දයක් නිස්කාරනේ වැය කළ බව ජනතාවගේ චෝදනාව විය. සමුළුව පැවැත්වුණු කොළඹ නගරය එකල සුරපුරයක් සේ දිස්වූ අතර ඇතැම් මහාමාර්ග මත දේශීය බතික් නිර්මාණ ශිල්පීන් ලවා අලංකාර මෝස්තර රටා නිර්මාණය කර තිබිණි. සමුළුව සඳහා මෙරටට පැමිණි රාජ්‍ය නායකයන්ගේ ගමන් පහසුකම් වෙනුවෙන් සුඛෝපභෝගී ෆෝර්ඩ් වර්ගයේ මෝටර් රථ 400ක් ආනයනය කොට තිබූ අතර ලක්ෂ හයසීයක් වැය කර ගෙන්වා තිබූ මෙම එක් රථයක වටිනාකම වූයේ රුපියල් එක්ලක්ෂ පනස් දහසකි. එමෙන්ම විදේශීය නායකයන් හා දූත මණ්ඩලවල සාමාජිකයන්ට ලැගුම් ගැනීම සඳහා කොළඹ පිහිටි සුපිරි හෝටල් හා රජයේ නිල නිවාස පූර්ණ අලුත්වැඩියාවකටත් ඒවායේ පහසුකම් නැංවීමටත් කටයුතු කර තිබිණි. සමුළුව පැවති බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව සඳහාද අවට මාර්ග පද්ධතිය පිළිසකර කටයුතු වෙනුවෙන්ද ආණ්ඩුව ලක්ෂ ගණනින් මුදල් වැය කළේ රට සෑම අතින්ම ස්වයංපෝෂිත යැයි ලෝකයට කියා පෑමට ය.

ජාත්‍යන්තර වශයෙන් කුමන ප්‍රතිලාභයක් හිමිවුවද නොබැඳි ජාතීන්ගේ සමුළුව සඳහා රජය විසින් වැය කළ මුදල් කන්දරාව හා සිදු කළ සංවිධාන කටයුතු හේතුවෙන් සමගි පෙරමුණු ආණ්ඩුව තව තවත් ජනතාවගේ විවේචනයට ලක්විය.

රොනී වැලිකඩ බන්ධනාගාරයට...

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මීළඟ සතියේදී බලාපොරොත්තු වන්න.

මාතෘකා