වායු දූෂණය පිළිබඳ ගෝලීය තත්ත්වයන් හා ශ්‍රී ලංකාව

 ඡායාරූපය:

වායු දූෂණය පිළිබඳ ගෝලීය තත්ත්වයන් හා ශ්‍රී ලංකාව

වඩා හොඳ වාතයක් ආඝ්‍රාණය කිරීමේ අයිතිය අනාගත පරපුරට ලබා දීම සඳහා මෙවර පරිසර දිනයේ තේමාව වායු දූෂණයයි. ඒ අනුව මෙම ලිපිය සැකසේ.

නූතන ලෝකයේ ගැටලුවක් ලෙස හඳුනාගත හැකි වායු දූෂණය මිනිස් සංහතියේ ඉදිරි ගමනට විශාල බලපෑමක් සිදු කරයි. වායු දූෂණය උග්‍ර වීමට ප්‍රධාන හේතු වන්නේ නාගරීකරණය සහ කාර්මීකරණයයි. ලෝක දේශපාලනය, තාක්ෂණික දියුණුව, ආර්ථික වර්ධනය ආදී බොහෝ සාධක මේ සඳහා සෘජුවම බලපායි. ඒ අනුව මෙම ලිපියෙන් වායු දූෂණය පිළිබඳ නව ප්‍රවණතා මෙන්ම අතීතයේ තත්ත්වයන් හා ලෝකයේ නොයෙක් නව ප්‍රවණතා පිළිබඳව සැලකිලිමත් වේ.

වායු දූෂණය ආකාර දෙකකින් සිදු වේ. එනම් ගෘහාශ්‍රිතව සිදුවන වායු දූෂණය හා බාහිර පරිසරයේ සිදුවන වායු දූෂණය ලෙසයි. මෙම ලිපිය ඉලක්ක කර ගනුයේ බාහිර පරිසරයේ සිදුවන වායු දූෂණය පිළිබඳයි. වායුගෝලයට දූෂිත අහිතකර රසායන ද්‍රව්‍ය නිදහස් වීම වායු දූෂණයයි. මේ සඳහා බලපාන ප්‍රධාන රසායන ද්‍රව්‍ය කිහිපයකි.

·සල්පර් ඩයොක්සයිඩ් Sulphur Dioxide (SO2),

·නයිට්‍රජන් ඔක්සයිඩ්ස්Nitrogen Oxides (NOx),

·ඕසෝන් Ozone (O3),

Particulate matter (small suspended particles of varying sizes),

·කාබන් මොනොක්සයිඩ් Carbon Monoxide (CO) හා

·Volatile Organic Compounds (VOCs).

හරිතාගාර ආචරණයක් ඇති කරන්නා වූ වායු විමෝචනය හා කාබන්ඩයොක්සයිඩ් විමෝචනය මේ යටතට නොගැනේ. මිනිසා විසින් කෘත්‍රිම ලෙස නිෂ්පාදනය කෙරෙන ප්‍රධාන වායු දූෂක විමෝචක රසායන ද්‍රව්‍ය පමණක් මෙහිදී සැලකිල්ලට ලක්වේ. මෙවැනි සමහර වායු දූෂක විසින් අනෙක් දූෂක විජටනය කර මානවයන්ට හා සත්ත්වයන්ට සෞඛ්‍ය ගැටලු ඇති කිරීමේ හැකියාව පවතී. උදාහරණ ලෙස සල්ෆර්ඩයොක්සයිඩ සහ නයිට්‍රජන් ඔක්සයිඩ් මඟින් වායුගෝලීය වායූන් වෙනත් අංශුමය සංයෝග බවට හැරවීමේ හැකියාව පවතී. එවිට එම දූෂිත වාතය මඟින් මානවයාට, ශාකවලට සහ සත්ත්වයන්ට එය අහිතකර විය හැකිය. තවද පරිසරයේ තුල්‍යතාවටද දැඩි බලපෑමක් ඇති කරයි.

මෙවැනි වායු දූෂක පරිසරයට නිදහස් කෙරෙන්නේ බොහෝ විට වාහනවල සිදු කෙරෙන ඉන්ධන දහන ක්‍රියාවෙන් හා කර්මාන්ත ශාලා ආශ්‍රිත යන්ත්‍ර සූත්‍ර ක්‍රියාකාරීත්වය ඇසුරිනි. ඒ සඳහා ප්‍රධාන වශයෙන් යොදා ගැනෙන්නේ පොසිල ඉන්ධනයි. මේ අනුව වායු දූෂණයේ ප්‍රධානම දූෂකයා වන්නේ පොසිල ඉන්ධනයි. වායු දූෂණයේ ප්‍රධාන බලපෑම් එල්ල වන්නේ මානව සෞඛ්‍යයට, සත්ත්ව ප්‍රජාවට, ශාකවලට හා පරිසරයේ තුල්‍යතාවටය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මානව සෞඛ්‍යයට වැඩිපුරම බලපෑම් ඇති කරන්නේ වායු දූෂණය බව පෙන්වා දී තිබේ. එනම් වර්තමානයේ සිදුවන හානියට අමතරව වායු දූෂණය හේතුවෙන් ද්‍රැවවල ග්ලැසියර දියවීම ආදී කාලගුණ විපර්යාස වැනි අනාගත පරිසර හානිද මෙහිදී වැදගත් වේ. වසරකට මිලියන හතක් පමණ නොමේරූ ළදරු මරණ සඳහාද වායු දූෂණය හේතු වේ.

වායු දූෂණය පිළිබඳ ඓතිහාසික තත්ත්වය

නිවෙස්වල ඝන ඉන්ධන භාවිතය හේතුවෙන් ඇතිවන වායු දූෂණයට ඉතා ඈත අතීතයක් තිබේ. විශාල වායු දූෂණයක් සිදුවීම ආරම්භ වූයේ ශක්ති ප්‍රභවයක් ලෙස ගල් අඟුරු භාවිතය හේතුවෙන්ය. අතීතයේ කර්මාන්ත සඳහා භාවිත කෙරුණු ප්‍රධාන ඉන්ධනය වූයේ ගල් අඟුරුය. ගල් අඟුරු භාවිතය හේතුවෙන් ක්‍රි. ව. 1500දී පවා එංගලන්තයේ ලන්ඩන් නුවර වාතය දූෂණය වී තිබුණු බවට සාධක සොයා ගැනීමට තිබේ. මේ අනුව ගල් අඟුරුවලින් සිදුවන වායු දූෂණයට 13 වැනි සියවස දක්වා පැරණි අතීතයක් ඇති බව පෙනේ. ගල් අඟුරු භාවිතයෙන් සිදුවන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් මඟින් වාතය දූෂණය වීමයි.

ගෝලීය වායු දූෂණයේ ප්‍රධාන සංඝටකයක් වන සල්ෆර් ඩයොක්සයිඩ් පොසිල ඉන්ධන දහනය හා සෘජුව බැඳී ඇත. ක්‍රි.ව. 1850 සිට පොසිල ඉන්ධන දහනය ක්‍රමයෙන් වේගවත් වීමත් සමඟ සල්ෆර් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයද වායුගෝලය තුළ ක්‍රමයෙන් වැඩිවීම ආරම්භ වේ. ශක්තිය ලබා ගැනීමේ එකම ක්‍රමවේදය බවට පොසිල ඉන්ධන භාවිත වූ 1970 සිට 1990 දක්වා කාලය සල්ෆර් ඩයොක්සයිඩ් වායු ගෝලයට විමෝචනය වූ වැඩිම කාලය ලෙස වාර්තා වී ඇත. උතුරු ඇමෙරිකාවේ එය උපරිමයට එන්නේ 1970 දශකයේය. 1980දීත් යුරෝපය එහි උපරිම අගය පෙන්වයි. දැන් ක්‍රමයෙන් මෙය පහතට වැටෙමින් තිබේ.

1980 දශකයේදී උතුරු ඇමෙරිකාව ටොන් මිලියන 30.46ක උපරිම අගයක් දක්වාත් යුරෝපය ටොන් මිලියන 71.25 දක්වාත් සිය උපරිම අගයන් පවත්වා ගනී. එවිට එම කාලයේදී ආසියාව සිය උපරිම වායු දූෂක සල්ෆර් ඩයෝක්සයිඩ් විමෝචනය ලෙස ටොන් මිලියන 36. 72ක් හා අප්‍රිකාව ටොන් මිලියන 4.33ක් පවත්වා ගනී. එතැන් සිට ඇමෙරිකාව හා යුරෝපය ක්‍රමයෙන් අහිතකර වූ වායු විමෝචනය අඩු කරන ස්වභාවයක් තුළ ආසියාවේ හා අප්‍රිකාවේ සල්ෆර් ඩයොක්සයිඩ් විමෝචනය ක්‍රමයෙන් ඉහළ යන ප්‍රවණතාවක් පෙන්වයි. (වගුවේ සල්ෆර් විමෝචනය ටොන් මිලියන ලෙස වේ.)

ආසියාව සහ අප්‍රිකාව ඉතා වේගයෙන් කාර්මීකරණය වෙමින් තිබේ. ඇමෙරිකාව වැනි ධනවත් රටවල මහා පරිමාණ ආයෝජන දැන් සිදු කෙරෙන්නේ ආසියා හා අප්‍රිකා රටවලය. මේ හේතුව නිසා ක්‍රමයෙන් ඇමෙරිකාවෙන් කාර්මික නිෂ්පාදනාගාර ඉවත් වෙමින් ආසියාවේ හා අප්‍රිකාවේ ස්ථාවර වෙමින් පවතී. එබැවින් මේ කලාප දෙකේ සල්ෆර් ඩයොක්සයිඩ් විමෝචනය ක්‍රමයෙන් වැඩිවන බව දක්නට ලැබේ. ඒ අතරම යුරෝපය හා ඇමෙරිකාව තම වායුගෝලය රැක ගැනීමේ විශාල සංරක්ෂණ වැඩපිළිවෙළවල් ආරම්භ කර තිබේ. මෙයද එම රටවල සල්ෆර් ඩයොක්සයිඩ විමෝචනය අඩුවීමට හේතුවක් බව පෙනේ.

දරිද්‍රතාවෙන් ඉහළ රටවල් දියුණු රටවල ආයෝජන කෙරෙහි මීට වඩා සැලකිලිමත් විය යුත්තේ එබැවින්ය. එනම් ඒවා සමඟ ලැබෙන ධනස්කන්ධය හා සමානම හානියක්ද එම රටවල ජනතාව වෙත මෙම සංවර්ධනය හරහා සිදුවෙමින් පවතී.

වායුගෝලයේ ඝන මීටරයක ඇති මයික්‍රෝන ප්‍රමාණය අනුවද වායු දූෂණය මනිනු ලබයි. එය ඉතා විශාල වශයෙන් දියුණු ඇමෙරිකාව, වේගයෙන් කාර්මික විද්‍යාත්මක ජයග්‍රහණ අත්කර ගන්නා චීනය, අපගේ ආසන්නම රට වන ඉන්දියාව සහ මුළු ලෝකයේම අගයද සමඟ ශ්‍රී ලංකාවේ මෙම අගයන් සැසඳීමක් මෙහිදී සිදු කරනු ලැබ ඇත.

මේ අනුව ශ්‍රී ලංකාව තම වායු දූෂණ මට්ටම ක්‍රමයෙන් යහපත් අතට හරවාගෙන තිබෙන බව පෙනේ. ඒ සඳහා හේතු වන්නට ඇත්තේ ඉතා විශාල කර්මාන්ත මෙරට ස්ථාපිත නොවීමත් 2000 වර්ෂය වන විට නොයෙක් ආකාරයෙන් වායුගෝලය ආරක්ෂා කිරීමට රජයේ ප්‍රතිපත්ති සැකසීමත් විය හැකිය. ඇමෙරිකාව ඉතා විශාල ලෙස වායු ගෝලයේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වන අතර ඉන්දියාව සහ චීනය දිගින් දිගටම තම වායු ගෝලය පිළිබඳ වැඩි තැකීමක් නොකරන බව පෙනේ. ඉන්දියාවේ වායු දූෂණය අපට බලපාන්නේ අප ඉන්දියාවට ඉතාම ආසන්නයේ පිහිටි රට බැවිනි.

මේ අනුව තව තවත් අපගේ රට වායු දූෂණය පිළිබඳ ජාත්‍යන්තර නීති රීති මෙන්ම අපගේම වූ පාලනයක් පවත්වා ගැනීමෙන් අනාගතයට ඉතා හොඳ වායුගෝලයක් ඉතිරි කර ගැනීමේ මහඟු ඵලය අත්කර ගත හැකිය.

 

පරිසර නියමු

[දුලා නෙත්මිණි රණසිංහ]

විශාඛා විද්‍යාලය කොළඹ,

13 වසර ජීව විද්‍යාව අංශය

 

මාතෘකා