SLASSCOM වෙතින් කෘත්‍රිම බුද්ධි ජාතික සැලසුම් රාමුවක්

 ඡායාරූපය:

SLASSCOM වෙතින් කෘත්‍රිම බුද්ධි ජාතික සැලසුම් රාමුවක්

ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් (Sri Lanka Association of Software and Services Companies - SLASSCOM) විසින් පසුගියදා ශ්‍රී ලංකාව සඳහා කෘත්‍රිම බුද්ධි (AI)ජාතික සැලසුම් රාමුවක් හඳුන්වා දෙන ලදි. 2019 ජූනි මස 26 වනදා කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවති උත්සවයකදී මෙය එළිදැක්වීම සිදුකෙරිණි. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය :(Information and Communication Technology Agency of Sri Lanka - ICTA) සහ විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය සමග එක්ව නිර්මාණය කරන ලද මෙම වැඩසටහන් රාමුව මගින්, ශ්‍රී ලංකාව විසින් කෘත්‍රිම බුද්ධි හා රොබෝ තාක්ෂණයන් සිය පුරවැසියන්ගේ යහපත උදෙසා භාවිතා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි මගපෙන්වීමක් ලබාදෙයි.

21 වන සියවස තුළදී දැනටමත් පුද්ගලයන්, සමාගම් හා රජයන් ඇතුළු විවිධ පාර්ශ්ව වල දායකත්වය නිසා නවීන තාක්ෂණයන් වේගයෙන් දියුණු වෙමින් පවතී. මෙහිදී කෘත්‍රිම බුද්ධි තාක්ෂණයන්ගේ වර්ධනය බෙහෙවින් කැපීපෙනෙන අතර එහි බලපෑම දැනටමත් ක්ෂේත්‍ර රැසක වෙනස්කම් සිදුකිරීමට සමත් වී ඇත. මේ නිසාම එය අනාගත ආර්ථික සංවර්ධනයේ තීරණාත්මක සාධකයක් ලෙස මේ වනවිට සැලකේ. කෙසේ වුවද හුදෙක් ආර්ථික සංවර්ධනයෙන් නොනැවතී ලොව හමුවේ ඇති අභියෝග රැසකට විසඳුම් සැපයීම සඳහා පෙර නොවූ විරූ අවස්ථාවක් දැන් උදාවී ඇත.

ශ්‍රී ලංකාවේ සතු හැකියාව සහ ශක්තිය දෙස බලන විට, කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ ප්‍රතිපත්ති, පර්යේෂණ හා ක්‍රියාත්මක කිරීම් සම්බන්ධයෙන් දකුණු ආසියානු කලාපයේ ප්‍රමුඛයෙකු ලෙස ඉදිරියට පැමිණීමට මෙරටට හැකියාව පවතී.

මෙම සැලැස්ම මගින් විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යන රාජ්‍ය ආයතන අතරද, ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමය, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය සහ ශ්‍රී ලංකා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සංගමය යන පෞද්ගලික අංශයේ පාර්ශ්ව අතරද හවුල්කාරීත්වයක් යෝජනා කරයි. ඉදිරි මාස 6 ක කාලය තුළ මේ සම්බන්ධයෙන් විවාද හා යෝජනා සඳහා අවස්ථාව ලබාදී ඇති අතර මෙම කාලය තුළ SLASSCOM මගින් මෙම වැඩසටහන් රාමුව තවදුරටත් දියුණු කිරීමට නියමිතය.

මාතෘකා