එන්න, කහටක් නැති කිලුටක් නැති අහිංසක හිත් එක්ක දවසක් ගත කරන්න

 ඡායාරූපය:

එන්න, කහටක් නැති කිලුටක් නැති අහිංසක හිත් එක්ක දවසක් ගත කරන්න

මමත් චාමිකාත් ‘ඉති’ ඔස්සේ අලුතින්ම නොයෙක් තැන් සොයා යෑමට සිතුවෙමු. මේ තැන් අලුත්ම තැන් යැයි කියන්නේ නැත. කියන්නටද බැරිය. ඔබ දැකපු තැන් වන්නටද පුළුවන. නමුත් ඔබ නොදුටු මං ඔස්සේ අපි එවැනි ස්ථාන තරණය කරන්නට සිතුවෙමු. මේ සුවඳ දැනෙන්නේ රටේ ආර්ථිකය ගොඩනැංවීමට නිහඬවම උරදෙන ජීවිතවල දාබිඳුවල වන්නට පුළුවන. මේ නඟන්නේ හඬක් නැති තැන්වල රාවය වන්නට පුළුවන. වේදනාව කියා ගත නොහැකි ඉඟියන් වන්නට පුළුවන. ලෝකයම පිළිකුල් කරන කතාවක අභ්‍යන්තරය වන්නට පුළුවන. ‘ඉති’ වෙතින් මේ පියනඟන්නේ ඒ චාරිකාවේ පළමු නවාතැන වෙතටය.

‘රැස’ හිටපු ප්‍රධාන කර්තෘ හා සිළුමිණ හිටපු කර්තෘ චාමර ලක්ෂාන් මහතාගේ පළමු වැනි වර්ෂ පූර්ණ සැමරුම යෙදී තිබුණේ පසුගිය ජුනි 29 වැනිදාටය. ඒ නිමිති කොටගෙන ‘රැස’ පුවත්පතේ කාර්ය මණ්ඩලයේ අපි මත්තෙගොඩ ‘කැමිලා’ පාසලේ අසාමාන්‍ය හැකියාවන් ඇති ළමයින් පුනරුත්ථාපනය සඳහා වූ මධ්‍යස්ථානයේ නේවාසික පිරිස සඳහා දහවල් ආහාර වේලක් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට කටයුතු කළෙමු. ඒ සඳහා එදින සමස්ත කාර්ය මණ්ඩලය මෙන්ම ලේක්හවුස් ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා ඇතුලු පාලනාධිකාරිය, දිණමින ප්‍රධාන කර්තෘ පුෂ්පා රොවෙල් මහත්මිය, චාමර ලක්ෂාන් මහතාගේ මවුපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

කැමිලා පාසලට යෑමට පෙර එය කුමනාකාරයේ ස්ථානයක් වේදැයි මනසින් චිත්‍රයක් මවා ගැනීමට අපට හැකියාවක් තිබුණේ නැත. මේ ගමනින් අපි පටන් ගමු... චාමිකාගේ අදහස අනුව යමින් අපි දෙදෙනා එක්ව කැමිලා පාසල පිළිබඳ ඉතා උනන්දුවෙන් දැක බලා ගැනීමට උත්සුක වුණෙමු.

කොට්ටාව හන්දියේ සිට මත්තෙගොඩ බස් නැවතුමපොළ ළඟින් මීටර් විස්සක්, තිහක් ඉදිරියට ගොස් වම් පසින් කැමිලා පාසලට ඇතුළු විය. පාසලේ පිවිසුම මනරම්ය. ගසින්, වැලින් පරිසරය නිල්ල ගැසී ඇත. සිසිලසය. තුරු වියන නිසා ඇති වී තිබුණු ළාමක අඳුර ඇස්වලට සනීපය. එය පුංචි ගම්මානයක් සේය. වටපිටාව පිරිසුදුය. අක්කර තුනහමාරක පමණ භූමි භාගයක් පුරා ඉදිවුණු පිරිසුදු ගෙවල් කිහිපයක රැක බලාගැනීමට සිටින පුද්ගලයන් සමඟින් ඇතැම් ආබාධිත පුද්ගලයන් වෙසෙන්නේය. එක් දරුවකු පොතක් කියවමින් හිඳියි. අප ඔහු කරා යන විට රජිත බස්නායක මාධ්‍ය සගයා දරුවාට කන් දෙමින් සිටියි. දරුවා අකුරු එකතු කරමින් පොත කියවයි. වචනයක් අවසන් කරන විට "හරි හොඳයි" රජිත කියයි. දසුන ප්‍රියය. අනතුරක් නිසා ඇති වූ හිසේ ආබාධයක් හේතුවෙන් ඔහුට කැමිලා පාසලට එන්නට සිදුවී තිබේ. ඔහු මදින් මද අකුරෙන් අකුර ජීවිතය ගලපන්නට උත්සාහ කරමින් සිටියි...

“ආ...අක්කේ...., කොහොමද?”

දිගු කලෙක පටන් හැඳින සිටියා සේ හැඟීමෙන් එතැනින් යනෙන අප සමඟ ඔහු දොඩමලු වීමට උනන්දු වෙයි.. තවත් විටෙක අපේ මාධ්‍ය සගයන්ගේ අත්වලින් අල්ලාගෙන අපත් සමගම ඉදිරියට ඇදෙයි..ඒ ඔහු ප්‍රිය කරන තාලය වන්නට පුළුවන. අපිද ඔහුට සිතැඟි පරිදි අප සමඟ කාලය ගත කරන්නට ඉඩ හැරියෙමු.

අපි ඉදිරියට ඇදෙමු. දන්නේම නැතිව වේලාව මධ්‍යහ්න දොළහටත් වී ඇත. යාත්තමින් “බුදු සරණ වේවා...සදහම් සරණ වේවා...” කියමින් පිරිසක් ගායනා කරන හඩ ඇසේ. දරුවන් අධ්‍යාපන කටයුතු අවසන් කොට පන්ති කාමරයෙන් පිටවෙමින් හිඳියි. ඔවුන් ඔවුන්ටම ගැළපෙන නිල ඇඳුමින් සැරසී පන්ති කාමරයෙන් එළියට ආවේ පේළියටය. තරමක් යමක් කරගත හැකි දරුවන් තම මිතුරකුට, මිතුරියකට සහාය දෙමින් පන්ති කාමරයේ සිට නේවාසිකාගාරය දක්වා එක්ක යනු පෙනේ. කිසිම රැවටීමකින් තොරව, සැබෑවටම එකිනෙකාට උදවු කර ගැනීම කැමිලා පාසලෙන් දැක ගත හැකි සොඳුරු ලකුණකි. අප අතරින් ගිය එක් අයකුගේ දෑස්වල නතර නොවන කඳුළුය. හඬන්නේ ඇයිදැයි ඇසීමම මෝඩකමකි. අපි පසෙකට වීමු. ඔවුන් දකින විට ඇසින්, හිතින් නොඇඬෙන කෙනෙක් නැති තරම්ය.

අපි එතන නතර නොවී කැමිලා පාසලේ ප්‍රධාන පාලිකාව වෙත හැරුණෙමු. ඒ අප නොදන්නා ඔවුන් දන්නා තවත් බොහෝ දේ අසා දැනගැනීමටය. ඇය අමිලා පෙරේරාය. ඇය සමගින් සහාය පාලිකා ශ්‍යාමලී පෙරේරාද මේ කතාබහට එක්වූවාය. මෙහි නේවාසිකයෝ හතළිස් නව දෙනෙක් වෙති. ඔටිසම්, ඩවුන්සින්ඩ්‍රෝම් ආදී සෑම තත්ත්වයකටම අයිති පිරිස මෙහි වෙසෙති. වයස අවුරුදු දහයේ සිට පනස් පස් වැනි වියේ පසුවන නේවාසිකයෝ මෙහි වෙති. වැඩි දෙනකු වයස අවුරුදු විසි පහට වැඩිය. වයස කෙසේ වුවද දකින්නන්ට නම් තවමත් ඔවුන් දරුවන් සේමය.

දරුවන්ට නිවසක හැඟීම ගෙන දීමේ තේමාව යටතේ පවත්වාගෙන යෑම කැමිලා පාසලේ ආරම්භක අරමුණ විය. ඒ අනුව නිවාස ක්‍රමයක් මෙහි වෙයි. පූර්ණ ආබාධිත දරුවන්ට පහසුවෙන් ජීවත් වීමට නම් ඔවුන්ට විශාල ඉඩක් තිබිය යුතුය. එම නිසා පූර්ණ ආබාධිත දරුවන්ට පමණක් වාට්ටු ක්‍රමය යොදාගෙන තිබේ. ක්‍රියාකාරී ගැහැනු දරුවන් සෝදා වේළුණු රෙදි එකතු කිරීම, රෙදි නැමීම, අතුගෑම වැනි කටයුතුවල නිරත වෙයි. එසේම තරමක ක්‍රියාකාරී බවෙන් වැඩි දරුවන් රැක බලා ගැනීම් කටයුතු කරන අයට උදවු කිරීමද සිදු කරයි.

මේ පාසලට දරුවන් බාර දීම බොහෝ විට සිදුව ඇත්තේ පෞද්ගලිකවම පවුල්වලිනි. එසේම උසාවි මාර්ගයෙන්ද දරුවන් කිහිප දෙනකු මෙම ආයතනයට යොමු කිරීම සිදුව තිබේ. දරුවන් බාරගත යුත්තේ කැමිලා පාසලට දරුවන් රැකබලාගත හැකි නම් පමණි. මේ වන විට කුඩා දරුවන් බාර ගැනීම කැමිලා පාසලට අපහසුය. නේවාසික හතළිස් නව දෙනාගෙන් වැඩි දෙනකු වසර විසිපහට වැඩිය. සෑම වයස් මට්ටමකම පිරිසක් බලා ගැනීම ප්‍රායෝගිකව අපහසුය. එසේම සුවිශාලම ගැටලුව වන්නේ කුඩා වයසේ දරුවන් රැක බලා ගැනීමට පිරිස අවම වීමය. රැක බලා ගන්නට එන පුද්ගලයන් දිගු කලක් සේවය නොකිරීමද මෙහි ගැටලුවකි. රාජකාරියට පැමිණීමට පෙර කැමිලා පාසල නිරීක්ෂණය කොට ඔවුන්ගෙන් එම රාජකාරි කළ හැකිදැයි විමසීමට කටයුතු කිරීම සාමාන්‍ය සිරිතය. පසුව ඔවුන් රාජකාරියට පැමිණියත් එක් රාත්‍රියකින් පසුව උදෑසන බෑගයත් කරලාගෙන ඔවුන් යන බව පාලිකාව අපේ කතාබහේදී කීවාය. කැමිලා පාසලට ඉදිරියේදී මුහුණු දීමට සිදුවන විශාලම ගැටලුව වන්නේ රැක බලා ගන්නා පිරිස නොමැති වීම යැයිද ඇය සිහිපත් කළාය.

රැකියාවක් කරනවා යැයි සිතා පැමිණෙන කිසිදු කෙනකුට කැමිලා පාසලේ සේවය කළ නොහැකි බව ඇය කීවාය. සත්‍යයකි. එය රැකියාවට එහා ගිය කටයුත්තකි. අපි එය ඇස්වලින් දැකගතිමු.

පාලිකාව හදිසියේම තවත් අතුරු කතාවක් සිහිපත් කළාය.

මීට වසරකට පෙර වසර දහයක පමණ දරුවකු කැමිලා පාසලට බාර දුන්නේය. දරුවා තැනින් තැනට යන්නේ පැන පැනය. දරුවාගේ ඔළුවේ විශාල ගෙඩි වැනි තුවාල දෙකකි. ඔහුට ඒ ගැන හැඟීමක් නැත. දරුවාගේ මවට දරුවා රැක බලාගෙන ජීවත් කරවීමට තරම් හැකියාවක් තිබී නැත. මඩුවක, කණුවක දරුවා ගැට ගසා ඇය තේ වත්තේ වැඩට ගොස් තිබුණාය. ඉන් ලැබෙන සොච්චමෙන් දරුවා ඇති දැඩි කළාය. අසල්වාසීහූ දරුවා ගැට ගැසීම පිළිබඳ පොලිසියට පැමිණිලි කළහ. උසාවි මාර්ගයෙන් දරුවා කැමිලා පාසලට ඇතුළත් කෙරිණ. දරුවා රැක බලා ගැනීමට මවද රැගෙන ආවාය. සති දෙකකින් නිවසට ගොස් එන්නම් යැයි කැමිලා පාසලෙන් පිටත් වූ මව අදටත් නැත. ඉන්නා ඉසව්වක් සොයා ගන්නටවත් නැත. දරුවා පාසලේය. මව ගැන ඇති වන්නේ තරහක් නොවේ. ඇති වන්නේ සමාජ කම්පනයක්ය. දුප්පත්කම විසින් මනුෂ්‍යත්වය පාගා විනාශ කරනු ලැබ තිබේ. යථාර්ථය නම් ඒ මවද අසරණ වී ඇතිවා වන්නට පුළුවන. ශාප කරනවා නම් ශාප කළයුත්තේ ඒ මවට නොවේ. දුප්පත්කමටය. දුප්පත්කම ගොඩනැඟූ දේශපාලනයටය. දුප්පත්කම නඩත්තුකරන දක්වන සමාජ ක්‍රමයටය.

සමාජ සේවා දෙපාර්තමේන්තුවට මේ දරුවා පිළිබඳ වාර්තා කළද ඔවුන් කන් දුන්නේ නැත. අවසානයේ දරුවා රැකබලා ගන්නේත් වෛද්‍ය පහසුකම් සියල්ල ලබා දෙන්නේත් කැමිලා පාසලෙන්ය. දරුවා වර්ධනය වන විට, අතපය උස්මහත් වන විට ඔහු රැක බලා ගැනීම අපහසු වන බව කාර්ය මණ්ඩලය හොඳාකාරවම දන්නා කරුණකි. ඒ සඳහා සුදුසු මට්ටමේ රැක බලාගන්නා පිරිසක් මෙහි නැති තරම්ය. රැකබලා ගන්නවුන් සියල්ලන්ම පාහේ කාන්තාවන්ය.

කැමිලා පාසලේ ඉතිහාසය ‘සාහිල් මොරිසස්’ නම් ඩෙන්මාර්ක් කාන්තාව විසින් ලියනු ලැබ තිබේ. ඇය මෙම පාසල ආරම්භ කළාය. රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා විසින් පාසල සඳහා ඉඩම් වෙන් කොට දෙනු ලැබ තිබේ. අද වන විට කැමිලා පාසලේ පාලන කටයුතු සිදු කෙරෙන්නේ සිංහ සමාජය විසිනි.

“ඔබ කොහොමද මේ පාසලට සම්බන්ධ වෙන්නේ?” පාලිකාව වෙත අපගෙන් හදිසියේ නැඟුණු පැනයකි.

“මගේ ගම දෙහිවල. කොට්ටාවේ කුලියට නැවතිලා ඉන්නේ. රෑට හදිසියකදී එන්න පුළුවන් තැනක ඉන්න ඕන. අනෙක් පාලිකාව මේ පාසලේ නතර වෙලා ඉන්නේ. මම සිංහ සමාජයේ මූල්‍ය විධායකවරිය ලෙස කටයුතු කළා. ඒ වගේම සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නාවින්න පවතින මධ්‍යස්ථානයේ ආබාධිත පිරිසට ඉගැන්වීම් කටයුතු කළා ස්වේඡාවෙන්. ඉන්පසුව ඩුබායි බැංකුවක සේවය කළා. ඩුබායිවලදීත් නිවාඩු දවසට ආබාධිත පුද්ගලයන් රැකබලා ගන්නා ආයතනයක ස්වේඡාවෙන් කටයුතු කළා. ඩුබායිවල ඒ දරුවන්ට පවතින පහසුකම් සහ මේ දරුවන්ට තිබෙන පහසුකම් සංසන්දනය කරන විට අහසට පොළොව වගේ. පසුව

ශ්‍රී ලංකාවට පැමිණ රාජ්‍ය අමාත්‍යාංශයක වැඩ කළා. ඇත්තම කීවොත් එහි කිරීමට වැඩක් නොමැතිව නිකම්ම ඉඳලා මට රැකියාව එපා වුණා. බදාදාට විතරයි වැඩක් තිබුණේ” යැයි ඇය කියාගෙන ගියාය. ඉන්පසුව මේ කැමිලා පාසලේ පාලන කටයුතු කිරීමට ඇයට අවස්ථාව ලැබී තිබේ.

“කැමිලා පාසලේ කටයුතු කිරීම පිළිබඳව නිවසින් ගැටලුවක් නැද්ද?” ඊළඟට මා මුවින් පිටවූ ප්‍රශ්නයයි. “මුලින් කැමති වුණේ නෑ. ඒත් මම විවාහ වුණෙත් කැමිලා පාසලට ආවාට පසුවයි. මගේ සැමියා මේ සඳහා විශාල උදව්වක් වෙනවා මට.” ඇය නිවීසැනසිල්ලේ කියයි.

“වැඩි කාලයක් මම ගත කළේ මේ අයත් එක්ක. ඉවසීමේ ගුණය ප්‍රගුණ කළේ මේ අයත් එක්ක. ජීවිතය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තේ මේ අයත් එක්ක.” ඇය පාඩමක් සේ කියවන්නීය. ඇගේ කතාවේ සත්‍ය ඒ වන විට අපටත් මොනවට පසක් වී තිබුණි.. ඇත්තෙන්ම අපට නැත්තේ මොනවාද? අප යම් යම් දේ පසුපස හැල්මේ හඹා යන්නේ කුමක් උදෙසාද? යන පිළිතුරු දීමට අපහසු හද දවාළන ප්‍රශ්න වැලක් ඒ වන විටත් අප සියල්ලන්ටම මතුව තිබුණි.

දාන මාන දෙන්නට කැමිලා පාසලට එන බොහෝ අය අනේ අපොයි කියති. ඇතැමෙක් දරුවන් දැකීම පවා ප්‍රතික්ෂේප කරති. සියයට හැත්තෑපහක් මෙම ස්ථානයට එන්නේ මේ නේවාසිකයන්ගෙන් පිනක් කරගන්නට යැයි කීම ඔබට පිළිගැනීමට සිදුවෙනු ඇත. මේ අප කැමිලා පාසලේදී ඇසූ දේවල්ය. කනට ඇසුණු විට පපුවෙන් හිරියක් නැඟුණු වදන්ය.

නේවාසික සියලු දෙනා කෑම ලබාදෙන ස්ථානයේ සිටිය යුතු බවට කෑම වේල් දීමට පැමිණෙන පුද්ගලයන් බලාපොරොත්තු වනවා යැයි කීවොත් ඔබට එය පිළිගත හැකිද? ඔව්. එය සත්‍යයකි. කැමිලා පාසලේ කාර්ය මණ්ඩලය ජනතාව මුළා කරමින් වැඩිපුර ආහාර රැස් කරගන්නා බව එවැනි පිරිස සිතති. ඒ නිසා ඔවුන් බලාපොරොත්තු වන්නේ මේ සියලු දෙනා ඔවුන් ඉදිරියේ හිඳිමින් ආහාර ගත යුතු යැයි කියාය. නමුත් ප්‍රායෝගිකව කිසිසේත් එය සිදු කළ හැක්කක් නොවන බව මෙහි යන අය තේරුම් ගත යුතුමය. ප්‍රමාණවත් තරම් ආහාර නොගෙන එන අවස්ථාවලදී කාර්ය මණ්ඩලය ඉතා අපහසුතාවට පත් වෙති. දාන දෙන බව කියන ඇතැම් අය නියමිත දිනයට නොපැමිණීම තවත් ගැටලුවකි. නේවාසිකයන් බඩගින්නේ තැබීමට නොහැකිය. එවැනි දවසට බතකින් පරිප්පුවකින් නේවාසිකයන්ගේ කුස පිරවෙයි.

අපේ කණ්ඩායම නේවාසිකයන්ට කෑම ලබාදීමට ගියහ. ඔවුන් අප සිටින විට කෑම ගන්නට ආසාය. කෑමෙන් පසුව ගීතවලට සවන් දෙන්නට කැමතිය. නර්තනයට කැමතිය. ඔවුන් එයින් ලබන්නේ අපූරු සතුටකි.

ඔවුන් විනෝද චාරිකාවල පවා රැගෙන යෑමට කැමිලා කාර්ය මණ්ඩලය කටයුතු කරයි. පරිස්සමින් නැවත ආපසු එක්ක එති. සාමාන්‍යයෙන් තරමක් දැනුම් තේරුම් ඇති විසි දෙනකුට ආසන්න ප්‍රමාණයක් මෙහි වෙති. ඔවුන් මේ ගමන්වලට සහභාගි කරවා ගනියි.

කැමිලා පාසලේ ක්‍රමවේදය අනුව නම් කුඩා කාලයේ පාසලට බාර ගන්නා දරුවන් වයස අවුරුදු විස්ස ඉක්මවූ විට නැවත මවුපියන් වෙත බාර දිය යුතුය. නමුත් ඔවුන් නැවත බාර ගැනීමට පවුල්වලින් නොපැමිණෙන නිසා නේවාසිකයන් පාසලේදීම වැඩිහිටියන් බවට පත් වී තිබේ. කැමිලා පාසල යනු පුනරුත්ථාපන ආයතනයකි. එය නිවාසයක් නොවේ. නමුත් අලුත් පිරිස පුනරුත්ථාපනය කිරීමට නොහැකි වී ඇත්තේ නේවාසිකයන් තම පවුල්වලින් රැගෙන නොයන බැවිනි. සිතීමට දන්නේ නැති, ඊළඟට කරන්නේ කුමක්දැයි දන්නේ නැති පිරිස පිටත් කර යවන්නේ කෙසේද? ඔවුන්ගේ නිවහන දැන් කැමිලා පාසල වී අවසන්ය.

ඔබ දන්නවාද, ඔවුන්ට ඒ ඒ වයස් මට්ටම්වලදී අපට මෙන්ම හැඟීම් දැනීම් ඇති වේ. නමුත් සාමාන්‍ය පුද්ගලයකුට මෙන් ඒවා තෝරා බේරාගෙන පාලනය කරගැනීමට ඔවුන්ට තේරෙන්නේ නැත. අප මේවා දැන ගත්තේ පාලිකාව සමඟ කතාබහ කරන අතරතුරදීය. ඔවුන් පාලනය කළ යුත්තේ සංයමයකිනි. ඔවුන්ගේ ක්‍රියාවන් දෙස බැලිය යුත්තේ දැඩි ඉවසීමකිනි.

කැමිලා පාසලේ පාලිකාවක් අමතක නොවන කතාවක් අප හා කීවාය.

"සමහරුන් හිතන්නේ මේ පුද්ගලයන් උදෑසනකට දැක්කොත් දවසම ඉවරයි කියලා. හැබැයි මේ අය තමයි හිතේ කිසිම කහටක් නැති අය. ඉතින් එයාලා උදේ දැක්කොත් දවසම සුබයි. අපේ ජීවිත නම් කිසිම දවසක අසුබ වෙලා නෑ මෙයාලා එක්ක ඉඳලා.." අපි ඇගේ සිතිවිලි සමඟ එවෙලේ ආදරයෙන් වෙළුණෙමු. හදවතේ තැන්පත් වුණු ඒ ආදරය මෙලෙස අකුරු ලෙසින් සදාතනිකව ලියා තබමු.

අබාධිත පුද්ගලයන් පිළිබඳ රජය දක්වන සැලකිල්ල කොයි වගේද යන්න සොයා බලන්නටත් අප දෙදෙනා අමතක කළේ නැත. සාමාන්‍යයෙන් ආබාධිත පුද්ගලයන්ට නඩත්තු ආධාර ලබාදීමක් රජයන් විසින් සිදුකරනු ලබයි. අතපය වලංගු නැති ජීවිත වෙනුවෙන් කටයුතු කිරීමට සමාජ සේවා සුබසාධන දෙපාර්තමේන්තුවක්ද තිබේ. ඒ සියල්ලන්ගේ වැඩි අවධානය මෙවන් ස්ථානවලට නිරන්තරයෙන් ලැබිය යුතු යැයි අපි විශ්වාස කරමු.

අමාරුවෙන් එදා වේල ගැටගසා ගන්නා පවුලක සාමාජිකයකු ආබාධිත වීම ගහෙන් වැටෙන මිනිහාට ගොනා ඇනීමකි. මාසිකව ලබාදෙන කුඩා ආධාරයකින් පමණක් ඒ දරුවා නඩත්තු කිරීම කොහෙත්ම පහසු නැත. ප්‍රායෝගිකද නැත. එවැනි පවුලක ආර්ථිකය සවිමත් කළ නොහැකි නම් අඩුම තරමේ එම දරුවා රජයෙන් බාර ගැනීමට හෝ තැනක් තිබිය යුතුය. වෙනත් රටවල එවැනි ස්ථාන පිහිටුවා තිබේ. ඔවුන් සම්පූර්ණයෙන්ම රජයේ වියදමෙන් රැක බලා ගැනීම සිදු කෙරෙයි.

මෙවැනි රාජ්‍ය මධ්‍යස්ථාන අපේ රටේද රට පුරා දිස්ත්‍රික්ක මට්ටමෙන් හෝ ස්ථාපනය කළ යුත්තකි. මාසිකව නඩත්තු මුදලකින් පමණක් ඔවුන්ගේ සුබසාධනයක් සිදුවෙන්නේ නැත. රාජ්‍යකට ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ රටේ ජනතාව වෙනුවෙනි. දනට පිනට කැමති මිනිසුන් ඉන්නා රටක රැක බලා ගැනීමේ මධ්‍යස්ථාන රාජ්‍ය මැදිහත්වීමෙන් පිහිටුවූවා යැයි කියා රජයේ භාණ්ඩාගාරයට සම්පූර්ණ බරක් පැටවෙන්නේ නැත. අදටද එවැනි බොහෝ මධ්‍යස්ථාන රැකෙන්නේ දනට පිනට කැමති මිනිසුන්ගෙනි. බදුත් ගෙවා ආපදාවකදී ශ්‍රමය, මුදල්, බඩු භාණ්ඩ සියල්ලම අවශ්‍ය පුද්ගලයන්ට ලබාදීමට අපේ රටේ මිනිසුන් දෙවරක් සිතන්නේ නැත. එවැනි රටක රාජ්‍ය මැදිහත් වී කළ යුත්තේ ශක්තිමත් ක්‍රමවේදය සකස් කිරීමකි. නිසි නියාමනයක් කිරීමකි. ඒ සඳහා අවශ්‍ය වන්නේ සැබෑ උවමනාවක් පවතින පාලක, නිලධාරී පිරිසකි. සැබෑ උවමනාවක් සහිත පාලක නිලධාරී පිරිසක් සිටී නම් බස්වල හඳුන්කූරු විකුණන දරුවන් මෙන්ම හන්දිවලදීත් බස්වලදීත් දුක කියමින්, කමිසය ගලවා තුවාල කැලැල් පෙන්වන විශාල පිරිසකගේ ප්‍රමාණය කුඩා පිරිසක් දක්වා හෝ සීමා කළ හැකිය. රෝද පුටුවක් හෝ හාල් කිලෝ දහයක් දීමෙන් පමණක් සමාජ සුබසාධනයක් වෙන්නේ නැත. ඒ යථාර්ථය තේරුම් අරගෙන ඒ අනුව ක්‍රියාත්මක නොවන තාක් තමන්ගේ ජීවිතය තමන්ට වාරු නැති ජීවිතවලට සැනසීමක් උදාවන්නේ නැත.

ඉතින්, අපි කැමිලා පාසලෙන් පිටවීමට සිතුවෙමු. බර සිතිවිලි ගොන්නක් හිතේ දරාගෙන කොට්ටාව මාර්ගයට හැරුණෙමු. මෙලෙස ලබන සතියේදී ‘ඉති’ එක්ක වෙනත් හඬක් සමඟින් හමුවීමට බලාපොරොත්තුවෙන් අපි දෙදෙනා සමු ගනිමු.

[රසිකා හේමමාලි] [චාමිකා මුණසිංහ]

ඡායා [සුදම් ගුණසිංහ]

මාතෘකා