සේනා ආව තැන හොයනවට වඩා විනාශ කරන්න මහන්සි වෙන එක වටිනවා

 ඡායාරූපය:

සේනා ආව තැන හොයනවට වඩා විනාශ කරන්න මහන්සි වෙන එක වටිනවා

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ

මහාචාර්ය බුද්ධි මාරඹේ

මේ දිනවල ආක්‍රමණශීලී ආගන්තුක විශේෂ පාලන පනතක් කෙටුම්පත් වෙමින් තිබෙනවා. හේතුව සේනා දළඹුවාගේ වගා ආක්‍රමණය. 2016 ජුනි 05 වැනිදා ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ආක්‍රමණශීලී ආගන්තුක විශේෂ පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක්ද එළිදක්වනු ලැබුවා. එවැනි වටපිටාවක සේනා දළඹුවා හේතුවෙන් සිදුවන වගාවේ විනාශය පමණක් නොව, විනාශය මැඬපැවැත්වීමටත් නැවතත් එවැනි ආක්‍රමණ නොපැමිණීමට පියවර තැබීමටත් අවශ්‍ය කථිකාව ගොඩනැඟිය යුතු බව අප හිතුවා. මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ ආක්‍රමණශීලී ආගන්තුක විශේෂ පිළිබඳව ජාතික විද්වත් කමිටුවේ සභාපති, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ සමඟ ‘සේනා’ ගැන සිදුකළ සංවාදයක සටහනකි මේ.

අපේ රටට ඇතුළු වන බොහෝ ආගන්තුක ජීවීන් ආක්‍රමණිකයන් වීමට පටන් ගන්නවා. ඒකට හේතුව මේ වෙද්දි අපේ රටේ බත්කූරන් වැනි කෘමීන් විසින් කරන ස්වාභාවික පාලනය නැති වී තිබීම. ඒ නිසා අපේ රටෙන් ජන්මය නොලබන ඕනෑම සතකු අපේ පරිසරයට මුහු වූ පසු පහසුවෙන් පැතිරීමට පටන් ගන්නවා. එම සතුන් බොහෝ විට හානිදායක වෙන්න පුළුවන්. මෙවැනි සතුන් ආගන්තුක ආක්‍රමණික ජීවීන් ලෙස හඳුන්වනවා. ඒත් මතක තබාගත යුතුයි හැම ආගන්තුකයකුම ආක්‍රමණශීලී වන්නේ නෑ. උදාහරණ විදිහට තේ, පොල්, රබර් මේ සියල්ලක්ම අපේ රටට ආගන්තුකයි. නමුත් ඒවා ආක්‍රමණශීලී වෙලා නැත්තේ අප විසින් මනාව පාලනයකින් යුතුව එම වගාවන් පවත්වාගෙන යන නිසා.

'ෙස්නා' නිජ භූමිය කරගෙන තිබුණේ මධ්‍යම ඇමෙරිකානු කලාපය. ඒ වගේම මධ්‍යම අප්‍රිකානු කලාපයෙනුත් මෙම කෘමියා වාර්තා වුණා. ඇමෙරිකාවේ දශක පහක හයක කාලයක් පුරා මේ ප්‍රශ්නය තියෙනවා. මෙම සතා 2018 වර්ෂය වන විට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වගේ රටවල ආගන්තුකයකු ලෙස හඳුනාගෙන තියෙනවා. ඒ වගේම ආක්‍රමණිකයන් පාලනය වීමට අවශ්‍ය ස්වාභාවික තත්ත්වයන් නොමැති නිසා අපි නොහිතන තරම් වේගයකින් බෝවීමට සහ පැතිරීමට පටන් අරන් තියෙනවා.

මේ සතාගේ ජීවන චක්‍රය හරිම කෙටියි. මාස දෙකක් වගේ කාලයක සම්පූර්ණයෙන්ම ජීවන චක්‍රය අවසන් වෙනවා. ඉවර වෙනකොට තවත් තැනකින් මේ සතා බිහි වෙනවා. එක සතකුට වරකට සාමාන්‍යයෙන් බිත්තර උපරිම 200ක් පමණ දැමිය හැකි බව සොයාගෙන තියෙනවා. සතා පස් වතාවක් පමණ බිත්තර දානවා. එනම් බිත්තර 1000ක් පමණ දමනවා. ඇතැම් රටවල වරක් බිත්තර 1500 - 2000ක් පමණ දමන බවටත් ගණන් බලා තියෙනවා. නිවර්තන කලාපීය රටවල මේ සතා පැතිරීමට පටන් අරගෙන තියෙන්නේ. ඒ නිසා නිවර්තන කලාපීය රටක් වන අපේ රටේ පරිසරයත් මේ සතාට බොහොම සුදුසුයි.

සතා මර්දනය කිරීමට නම් උගේ හැසිරීම අප අවබෝධ කර ගත යුතුයි. මේ සතා බිත්තර දාන්නේ කඳ විද හෝ පත්‍ර ආශ්‍රිතවයි. බිත්තරවලින් ඇති වෙන කීටයා එනම් දළඹුවා දවස් 21ක කාලයයි ජීවත් වෙන්නේ. ඒ දින 21 තුළ දළඹුවා ශාකයේ ඇති ළපටි පත්‍ර හෝ නැතිනම් අලුතින් එන පත්‍ර ආහාරයට ගන්නේ. බඩඉරිඟුවලට සතා වැඩිපුර කැමැත්තක් දක්වනවා. බඩඉරිඟු ශාකයට අමතරව තවත් ශාක වර්ග 100ක පමණ තම ජීවිතය ගත කළ හැකි බව සොයාගෙන තියෙනවා.

මිනිසුන් කන්නේ දින 76ක් පමණ ෙම්රූ කරල්. ඒවා කිරි කරල්. ඒවට තමයි සතා වැඩිපුරම කැමති. සත්ත්ව ආහාරවලට ගන්නා හොඳට මෝරපු බීජවලට හානි කරන්නට බෑ. මෝරපු කරල්වලට සතාගේ හානිය අවමයි.

දළඹුවා පිලා කෝෂයක් හදනවා. එය පසට වැටෙනවා. පසේ දින කීපයක් ගත වී සලබයා බිහිවෙනවා. සලබයාට සුළං අතත් එක්ක එක රැයකදී කිලෝමීටර් 100ක් පියඹා යෑමට හැකියාව තියෙනවා. මේ පියඹා යෑමේ හැකියාව නිසයි පැතිරීම වැඩි වෙන්නේ. සතා මූලිකව හඳුනාගත් පසු මර්දනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශාල මෙහෙයක් ඉටු කළා.

ඒ නිසා මේ සතා පාලනය කිරීමට නම් පස පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. පළිබෝධ තමන් කැමති ශාක මත පමණක් ජීවන චක්‍රය ගෙවන්නේ නෑ. වල්පැළෑටිවලත් ජීවන චක්‍රයේ කොටසක් ගත කරනවා. අවට තියෙන ශාක පත්‍රවල බිත්තර දාන්න පුළුවන්. ඒ නිසා වල්පැළෑටි පාලනය ගැනත් උනන්දු විය යුතුයි.

සේනා දළඹුවා වගාවකට ඇවිත් නම් ඕනෑම දෙයක් වෙද්දෙන් කියලා අතෑරලා දාලා ඉන්න එපා. එමඟින් කරන්නේ තමන් ඒ සතාට වැඩෙන්න අවශ්‍ය පරිසරය නිරන්තරයෙන්ම නිර්මාණය කර දීමයි. තමා වගාව අතහරින්න අදහසක් තියෙනවා නම් වහාම එය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වගා නිලධාරීන්ට දැනුම් දෙන්න.

වගාවට සේනා දළඹුවා පැමිණි පසු බොහෝ ගොවීන් කළේ සත්ත්ව ආහාර සඳහා මේ ශාක ලබාදීම. මේ අවස්ථාවේදී එය නොකළ යුතු දෙයක්. පණුවන්, බිත්තර එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට මේ හේතුවෙන් යා හැකියි. සත්ත්ව ආහාර සඳහා සයිලේජ් වැනි දේ හදනවා නම් ඒවා එම ස්ථානයේම හදන්න ඕනෑ. තමාට ඒ දෙය කිරීම අපහසු නම් පෞද්ගලික අංශයේ හෝ රාජ්‍ය අංශයේ සහාය ලබාගෙන සයිලේජ් හදලා ඉන්පසුව සත්ත්ව ආහාර සඳහා වෙනත් ස්ථානවලට රැගෙන යා හැකියි.

මේ සඳහා රාජ්‍ය ආයතනත් බලසහිත කළ යුතුයි මීට වඩා. සයිලේජ් හැදීමට අවශ්‍ය උපකරණ පශු සම්පත් සංවර්ධන මණ්ඩලය වැනි ආයතනවලට ලබා දිය හැකිනම් අදාළ ක්ෂේත්‍ර තුළම මේ කටයුත්ත කළ හැකියි.

මේ සතා මර්දනය කිරීමට නිවැරදි තාක්ෂණය භාවිතකොට නිසි ක්‍රමවේදයට කෘෂි රසායන පාවිච්චි කළ යුතුයි. කෘෂි රසායන ගැන අනියත බියක් මිනිසුන් තුළ ඇති කර තියෙනවා. වස විසෙන් තොරව කෘමීයන් මර්දනය කළ හැකියැයි කියයි නම් එය මිථ්‍යාවකි. එම නිසා මෙම කෘමියා මර්දනය කිරීමට කළ හැකි සෑම උපක්‍රමයක්ම භාවිත කළ යුතුයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සේනා මර්දනය සඳහා කෘෂි රසායන ද්‍රව්‍ය පහක් හඳුනාගෙන තියෙනවා. Spinetorn, Spinosad, Emamectin benzoate, Chlorantraniprole, Chlorantraniprolet + Thiomexam ආදී වශයෙන්. තම පළාතේ මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් සමඟ සම්බන්ධ වෙලා ඒ කෘෂි රසායන වර්ග පහ නිසි පරිදි භාවිත කළ යුතුයි. මේ සතා කරල ඇතුළෙත් ඉන්නවා. කිරි කරල් නොව හොඳින් මෝරපු කරල් නොවෙයි නම් කරල ඇතුළට කෘමිනාශක යොදන්න එපා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් පෙරොමෝන භාවිතය හඳුන්වා දී තියෙනවා. පෙරොමෝන කියන්නේ සලබයාගේ පිරිමි සතා ආකර්ෂණය කරන උගුල්. පිරිමි සතා ආකර්ෂණය කිරීම ලේසියි එමඟින්. ප්‍රජනන ක්‍රියාවලියට බාධාවක් වෙනවා මේ නිසා. මේ වන විට පෙරොමෝන් උගුල් 30,000ක් පමණ ආනයනය කර තියෙනවා.

තමන්ට සාර්ථකයි කියා හැඟෙන පාලන ක්‍රමයක් තියෙනවා නම් එය පාවිච්චි කරන්න. තමන්ගේ සහෝදර ගොවි ජනතාවටත් ඒ ක්‍රමය හඳුන්වා දෙන්න සහ දැනුවත් කරන්න. හැකි සෑම උපක්‍රමයක්ම මේ සඳහා පාවිච්චි කරන්න.

සතා පාලනය කිරීමට ජෛව පාලනය තමයි හොඳම ක්‍රමය කියලා බොහෝ අය කියනවා. එනම් මේ සතාව පාලනය කිරීමට තව සතකු යොදා ගැනීම. ඇ‍ෙමරිකාවේ ජෛව පළිබෝධනාශකත් සොයාගෙන තියෙනවා. එය වෛරසයක්. ඒ වෛරසය ආසාධනය කරන්නේ සේනා දළඹුවාට පමණයි. මෙවැනි දේවලටත් යොමු වෙනවා නම් හොඳයි.

ඒකාබද්ධ පළිබෝධ මර්දන ක්‍රම එනම් පළිබෝධ මර්දනය කළ හැකි විවිධ ක්‍රම එක විට හෝ වෙන වෙනම පාවිච්චි කිරීමත් වැදගත්.

ගොවිමහතුන් මහන්සි වී හදන වගාවන් සතකු නිසා විනාශ කිරීම අපහසුයි තමයි. තමන්ගේ වගා බිම බේරා ගැනීමටම බැරි නම්, අනික් වගාවන් ගැන හිතලා ගිනි තබා විනාශ කළ යුතුයි. තමන්ට එය කිරීමට නොහැකි නම් රාජ්‍ය මැදිහත් වීමෙන් හෝ කළ යුතුයි. එහිදී ඒ පාඩුවට ගොවි මහතුන්ට වන්දි මුදල් ලබා දීමක්ද කළ යුතු වෙනවා.

කෙටි කාලීන ක්‍රම ලෙස පෙරෙමා්න් උගුල් භාවිත කිරීම, කන්නයට වගා කිරීම වැනි ක්‍රම අනුගමනය කිරීමෙන් හානි අවම කර ගත හැකියි. බිත්තර, දළඹුවන් විනාශ කිරීම වැනි උපක්‍රමත් භාවිත කළ යුතුයි.

මහ කන්නයේ වැඩිපුරම බඩඉරිඟු වවන්නේ. එනම් මෙවර මහ කන්නයේදී හෙකටයාර අසූ දෙදාහක බඩඉරිඟු වවලා තියෙනවා. එයින් හෙක්ටයාර හතළිස් තුන්දාහක පමණ මෙම සතා පැතිරී තියෙනවා. සීයට පනහකට වඩා පැතිරිලා. එනම් සම්පූර්ණ වගාව විනශ වෙලා නෑ. උපරිම අස්වනු හානිය 25%ක් ලෙස ගණන් බලලා තියෙන්නේ.

යල කන්නයේදී බඩඉරිඟු වවන්නේ හෙක්ටයාර 9000ක් විතර. ඊළඟ කන්නයේදීත් බඩඉරිඟු වවන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් අස්වනු නෙළීමෙන් පසු තම ක්ෂේත්‍රය ගිනි තබා, පසුව පස යාන්ත්‍රිකව පෙරළන්න.

බඩඉරිඟු බීජවලින් වඩා හොඳ බීජ මොනවාද කියලා දත්ත නෑ. ඊළඟට බඩඉරිඟු වගාවක් කරනකොට අපට හැකි වෙයි මොන වර්ගයේ බඩඉරිඟුවලටද හානිය වැඩි කියලා සොයා බලා සුදුසු වර්ගය නිර්දේශ කරන්න.

මේ තාක් කල් සතා පැතිරුණු තැන්වල සම්පූර්ණයෙන් ගහනය ඉවත් කිරීමට නොහැකි වුණා. පළිබෝධ ගහනය අවම කිරීමට රාජ්‍ය මැදිහත්වීම ඇතුව හෝ සැර කෘමිනාශකයක් පාවිච්චි කරන්න සිදුවේවි. එයටත් අප සූදානම් විය යුතුයි.

විද්‍යාඥයන්, කෘෂිකර්ම පීඨ වැනි සියලු මානව සම්පත්වල උපදෙස් අරගෙන සේනා දළඹුවා මර්දනය කරන්න මැදිහත් වියයුතුයි.

සේනා ආවේ කොහෙන්ද කියන ප්‍රශ්නයත් අද බොහෝ දෙනාට තියෙනවා. ඍජු උත්තරයක් දෙන්න නෑ මේකට. රෝපණ ද්‍රව්‍යක් මෙරටට ගේනකොට පැළෑටි නිරෝදායන අංශය නිර්දේශයෙන් පසුව ගෙන එන්නේ. සත්ත්ව ආහාර හැටියට ගෙන ආ බවක් ඇතැමුන් කියනවා. ඒවා නිරෝදායන කටයුතුවලට භාජන වෙන්නේ නෑ. නමුත් සතාගේ ජීවන චක්‍රය දිහා බැලුවාම එය සිදුවිය නොහැක්කක් බව කීට විද්‍යාඥයන්ගේ අදහස. මේ රටට ආවේ කොහොමද කියලා සොයා බැලීමෙන් නැවතත් මෙවැනි ආක්‍රමණිකයන් පැමිණීම වළක්වා ගැනීමට පියවර ගත හැකියි.

මෙහිදී වඩා වැදගත් මේ සතාව හරියට හඳුනාගැනීම. මීට සමාන දළඹුවන් අපේ රටේ ඕනෑ තරම් ජීවත් වී තියෙනවා. දළඹුවකු දුටු පමණින් එයට දඟලනාවට වැඩිය එම සතාව හඳුනාගැනීම ඉතාම වැදගත්.

 

සංවාද සටහන [රසිකා හේමමාලි]

මාතෘකා