මේ වසරේ ලෝක ප්‍රශ්න

 ඡායාරූපය:

මේ වසරේ ලෝක ප්‍රශ්න

ලෝකය සංවර්ධනය කරා වේගයෙන් ගමන් කරමින් තිබෙන නමුත් ඒ හා සමානවම ලොව පුරා සෞඛ්‍ය ගැටලු රාශියක්ද ඇතිවෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කරයි. එන්නත් හා ප්‍රතිකාර මඟින් වැළැක්විය හැකි රෝග පැතිර යෑම, තරබාරු බව සහ ශාරීරික අකර්මණ්‍යතාවන්, බෝ නොවන රෝග ව්‍යාප්තිය, පාරිසරික දූෂණය, දේශගුණික විපර්යාස හා විවිධාකාර මානුෂීය අර්බුදයන් නිසා ඇතිවන සෞඛ්‍යමය බලපෑම් ඒ අතර ප්‍රධාන වේ.

මෙම තර්ජනවලට විසඳුම් සෙවීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය 2019 වසරේදී පස් අවුරුදු සැලැස්මක් ආරම්භ කර තිබෙන අතර මෙම වසරේදී මුහුණ දීමට තිබෙන ප්‍රබල සෞඛ්‍ය අභියෝග කිහිපයක්ද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුනා ගනු ලැබ තිබේ.

වායු දූෂණය සහ දේශගුණික වෙනස්වීම්

ලොව පුරා පුද්ගලයන් දස දෙනකුගෙන් 9ක්ම දිනපතා දූෂිත වායුවක් සමග හුස්ම ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කරයි. ඒ අනුව 2019 වසරේ සෞඛ්‍යට අහිතකර වැඩිම පාරිසරික අවදානම ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුනාගෙන ඇත්තේ වායු දූෂණයයි. ඒ හේතුවෙන් ශ්වසන ආබාධ, පෙණහලු අකර්මණ්‍යතා, හෘදයට හා මොළයට හානිවීම, පිළිකා, ආඝාතය වැනි රෝගවලට ලක්වීමෙන් ලොව පුරා වසරකට මිලියන 7ක පමණ ජනතාවක් මරණයට පත්වේ. එම මරණවලින් සියයට 90ක් පමණ අඩු සහ මධ්‍ය ආදායම් ලබන රටවල ජීවත්වන ජනතාවයි. එමෙන්ම දේශගුණික විපර්යාස හේතුවෙන් මන්දපෝෂණය, මැලේරියාව, පාචනය හා ආතතිය වැනි රෝග නිසා 2030 වසර වන විට වසරකට මරණ 250,000ක් පමණ සිදුවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු හඟවයි.

බෝ නොවන රෝග

ලොව පුරා වසරකට මියයන සංඛ්‍යාවෙන් සියයට 70කට වැඩි සංඛ්‍යාවක් මියයන්නේ දියවැඩියාව, පිළිකා සහ හෘද රෝග වැනි බෝ නොවන රෝගවලිනි. එයින් මිලියන 15ක් පමණ වයස අවුරුදු 30ත් 69ත් අතර පුද්ගලයන්ය. එම මරණවලින් සියයට 85ක්ම සිදුවන්නේ අඩු හා මධ්‍ය ආදායම් ලබන රටවල බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. දුම්කොළ භාවිතය, ශාරීරික අකර්මණ්‍යතාව, මත්පැන් භාවිතය, සෞඛ්‍යට අහිතකර ආහාර සහ වායු දූෂණය ඒ සඳහා හේතුවන අතර එම අවදානම් සාධක මගින් මානසික සෞඛ්‍ය ගැටලුද උග්‍ර වේ. මෙම තත්ත්වය අඩුකර ගැනීම සඳහා වැඩි වශයෙන් ජනතාව ක්‍රියාශීලී වන ක්‍රියාකාරකම්වල යෙදීම අත්‍යවශ්‍ය බවද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

වසංගත රෝග සහ එන්නත්කරණය

කලින් කලට පැතිර යන විවිධ උණ රෝග ආදී වසංගත රෝග තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ආරක්ෂිත එන්නත් සහ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියක අවශ්‍යතාව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි. එන්නත් කිරීම යනු රෝගයෙන් වැළකී සිටීම සඳහා වඩාත්ම ඵලදායී ක්‍රමවලින් එකකි. එන්නත් කිරීම මගින් දැනට වසරකට සිදුවන මරණ මිලියන 2-3ක් වළක්වා ගත හැකි අතර එන්නත් කිරීම පිළිබඳ ගෝලීය ආවරණය වැඩි දියුණු කිරීමෙන් තවත් මරණ මිලියන 1.5ක් වළක්වා ගත හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එමෙන්ම ඇතැම් ප්‍රතිජීවක ඖෂධවලින් සිදුවන බලපෑම කාලයත් සමග කල් ඉකුත් වී තිබේ. එබැවින් නියුමෝනියාව, ක්ෂය රෝගය සහ විවිධ ආසාදනවලට ප්‍රතිකාර කිරීම සඳහා නව ප්‍රතිජීවක ඖෂධ සොයාගැනීමේ අවශ්‍යතාව දැඩිව මතුවී තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කරයි. ඊට අමතරව ඇතැම් ශල්‍යකර්මවලදී සිදුවන ආසාදන වැළැක්වීම සඳහා ඇති නොහැකියාවද බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වෙමින් තිබේ.

දුර්වල ප්‍රාථමික සෞඛ්‍ය සේවා

ප්‍රාථමික සෞඛ්‍ය රැකවරණය තුළින් පුද්ගලයකුට ජීවිත කාලය පුරාවටම රැකවරණය සැලසෙන අතර, බොහෝ රටවල ප්‍රමාණවත් ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම් නොමැත. ඊට හේතුව අඩු හෝ මධ්‍ය ආදායම් ලබන රටවල සම්පත් නොමැතිකම විය හැකිය. 2018 ඔක්තෝබරයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රාථමික සෞඛ්‍යය සඳහා වූ කැපවීම අලුත් කරමින් සියලු රටවල් සඳහා ප්‍රධාන ගෝලීය සමුළුවක් පවත්වන ලදී. ඊට සමගාමීව 2019 වසරේදී ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක වනු ඇත.

ඩෙංගු

ඩෙංගු රෝගය මාරාන්තික විය හැකි අතර ඩෙංගු රෝගයට ලක්වන්නන්ගෙන් සියයට 20ක් පමණ මරණයට පත්වීම වසර කිහිපයක් තිස්සේ සිදුවන බරපතළ සෞඛ්‍ය ගැටලුවකි. පසුගිය වසරේදී බංග්ලාදේශයෙන් වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව බව පැවසේ. ඩෙංගු රෝගයට ගොදුරු වීමේ අවදානම සියයට 40ක් පමණ වන අතර වසරකට මිලියන 390කට පමණ ඩෙංගු ආසාදනය වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ඩෙංගු මර්දනය කිරීමේ ක්‍රමෝපාය මගින් 2020 වන විට එම ඩෙංගු මරණ සියයට 50කින් අඩු කිරීමට සැලසුම් කර තිබේ.

එච්.අයි.වී

මේ වන විට ලොව පුරා එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් මිලියන 22ක් ප්‍රතිකාර ලබමින් පසුවන අතර නව ආසාදිතයන් ඇතිවීම වළක්වා ගැනීම සඳහා එම ප්‍රතිකාර ඉතා වැදගත් වේ.

සෑම වසරකදීම එච්.අයි.වී. ආසාදනයෙන් මියයන සංඛ්‍යාව ලක්ෂයක් පමණ වේ. ආරම්භයේ පටන් මේ දක්වා මිලියන 70කට අධික එච්.අයි.වී ආසාදිතයන් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති අතර, ඉන් මිලියන 35ක් මියගොස් තිබේ. මේ වන විට ලොව පුරා හඳුනාගෙන ඇති

එච්.අයි.වී. ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 37ක් පමණ වන අතර ලිංගික වෘත්තිකයන්, සිරකරුවන්, සමලිංගිකයන් සහ ලිංගික සංක්‍රාන්තිකයන් ඒ අතර වේ. බොහෝ විට මෙම කණ්ඩායම් සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමෙන් බැහැරව ජීවත් වීම නව ආසාදිතයන් බිහිවීමට අභියෝගයකි. නවතම සමීක්ෂණ වාර්තා අනුව එච්.අයි.වී. ආසාදනයට ලක්වන කණ්ඩායමක් වන්නේ වයස අවුරුදු 15-24 වයස්වල පසුවන තරුණ තරුණියන්ය. ඊට අමතරව ජනගහනයෙන් සියයට 10කට පමණ එච්.අයි.වී. ආසාදනය වීමේ ඉහළ අවදානමක් පවතින බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ඇත්තේ පසුගිය දෙසැම්බර් මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කරන ලද නව මඟපෙන්වීම ක්‍රියාත්මක කිරීමට යෝජනා කරයි. ඒ අනුව මෙම වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එච්.අයි.වී. ආසාදිතයන් හඳුනාගැනීම සඳහා පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීමට නියමිත අතර එයින් එච්.අයි.වී. ආසාදිත පුද්ගලයන් වැඩි පිරිසක් ප්‍රතිකාර සඳහා යොමුකිරීමට අපේක්ෂා කෙරේ.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා