රටකට විදේශ ආයෝජන වැදගත් වන්නේ ඇයි? : චිත්‍රාල් ජයවර්ණ - ආර්ථික විශ්ලේෂක

 ඡායාරූපය:

රටකට විදේශ ආයෝජන වැදගත් වන්නේ ඇයි? : චිත්‍රාල් ජයවර්ණ - ආර්ථික විශ්ලේෂක

රටකට සංවර්ධනය සඳහා ඍජු විදේශ ආයෝජන අත්‍යවශ්‍ය වේ. විදේශ ආයෝජන තුළින් රටක යටිතල පහසුකම් සංවර්ධනය දියුණු කිරීම අලුතින් කර්මාන්ත ඇති කිරීමට, සේවා අංශයන් දියුණු කිරීමට මෙන්ම කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහාත් අවශ්‍ය සාධකයක් ලෙස පෙනී යයි. විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික සංවර්ධනය සඳහා විදේශීය ආයෝජන වැදගත් සාධකයකි. නොදියුණු රටවල ප්‍රධාන ගැටලුවක්ව පවතින්නේ ප්‍රාග්ධන ඌනතාවයි. ප්‍රාග්ධන ඌනතාව නැතිකිරීම සඳහා විදේශීය ආයෝජන විශාල රුකුලක් වේ. විශේෂයෙන්ම භෞතික ප්‍රාග්ධනය දියුණු කිරීම සඳහාත්, රැකියා උත්පාදනය සඳහාත් නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහාත් දේශීය ශ්‍රමිකයන්ගේ කුසලතාව වර්ධනය කිරීම සඳහාත් නවීන තාක්‍ෂණය හා දැනුම අලුතින් රට තුළට ආකර්ෂණය කර ගැනීම සඳහාත් දේශීය නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා රැගෙන යාම සඳහාත් ඍජු විදේශ ආයෝජන ඉතා වැදගත් වේ.

මෙහිදී මතක තබාගත යුතු තවත් ප්‍රධාන කරුණක් වශයෙන් පෙන්වා දිය හැක්කේ විදේශ ආයෝජන තුළින් රටකට වාසි මෙන්ම අවාසිද ඇතිවන බවයි. විදේශ ආයෝජනවල වාසි අවාසි ද්විත්වයම කළමනාකරණය කළ හැක්කේ රජයකටයි. ඒ සඳහා රජය ඍජු ප්‍රතිපත්ති රාමුවක් සැකසිය යුතුය. උදාහරණයක් ලෙස විදේශීය ආයෝජන මගින් රට තුළට විදේශ සම්පත්, මුදල් ගලා එන්නා සේම එම ආයෝජනවල ලාභ රට තුළින් යළිත් ගලා යාමේ අවදානමක් තිබේ. මෙහිදී රජය සිදුකළ යුත්තේ ඒ සඳහා ක්‍රමෝපායික ලෙස නීතිමය රාමු මගින් කඩයිම් බැඳීමය. තවද විදේශීය ආයෝජන මගින් දේශීය ව්‍යාපාරිකයන්ට හා දේශීය වෙළෙඳාමට කිසියම් තර්ජනයක් මතුවන අවස්ථාද ඇති විය හැකිය. මෙහිදී ආයෝජන පැමිණෙන අවස්ථාවේදීම ගිවිසුම් අත්සන් කිරීමේදී දේශීය වෙළෙඳපොළට නිකුත් කරන ඔවුන්ෙග් නිෂ්පාදන සඳහා ඉහළ බදු අනුපාතයක් අය කිරීමේ ක්‍රමවේදයක් හෝ එය වළකාලීමේ වගන්ති ඇතුළත් කළ හැකිය.

1983 වර්ෂයේදී මොටරොල්ලා (Motarolla) සමාගම, ලෝ ප්‍රකට හැරිස් සමාගම (Hris Coperation) යන සමාගම් මෙරට ආයෝජන කලාපය තුළ ආයෝජනය කිරීම සඳහා කැමැත්ත පලකර තිබිණි. එසේම මරුබෙනි (MaruBeni), සෝනි (Sony), සන්යෝ (Sanyo), ටෝකියෝ බැංකුව (Bank of Tokyo), චාස් මැන්හැන්ටන් බැංකුව (Chase Manhattan Bank) යන සමාගම් 1980 දශකයේ ලංකාව තුළ සිය ආයෝජන සිදු කිරීම සඳහා සැලසුම් කර තිබිණි. එහෙත් බෙදුම්වාදී ගැටුම් ආරම්භවීමත් සමඟම එම ආයෝජකයෝ සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල ආයෝජන සිදු කළහ.

නමුත් 2009 වර්ෂයෙන් පසු බෙදුම්වාදී ගැටුම් නිමා වීමෙන් පසු විදේශ ආයෝජකයන්ගේ ආකර්ෂණය වැඩි වූ අතර 2012 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා කාලය තුළ විදේශීය ආයෝජනයන් ක්‍රමයෙන් ඉහළ යාමක් පෙන්නුම් කරයි.

2012 වර්ෂයෙන් පසු වැඩිම විදේශීය ආයෝජන ප්‍රමාණයක් ලැබී ඇත්තේ 2017 වර්ෂයේදීය. එය ඇ. ඩො. මිලියන 1,710කි. 2014 වර්ෂයේද ඇ. ඩො. මිලියන 1,528ක විදේශ ආයෝජන ප්‍රමාණයක් ලැබී තිබේ. කෙසේ වෙතත් සාපේක්‍ෂව මෙම ප්‍රමාණය රටේ දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස ගත් කල සියයට 2කට අඩු සුළු ප්‍රමාණයකි. එය රටේ ඉදිරි සංවර්ධනයේදී ප්‍රමාණවත් නොවේ. වියට්නාමය වැනි රටවල විදේශ ආයෝජන දළ දේශීය නිෂ්පාදනයන්ගේ ප්‍රතිශතයක් ලෙස සියයට 5-6ත් අතර ප්‍රමාණයකි. කාම්බෝජයේ සියයට 12.6කි. මාලදිවයින සියයට 11කි. මැලේසියාව සියයට 03කි. ලංකාව ඉදිරියේදී ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගමන් කිරීම සඳහා විදේශ ආයෝජන, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 4-5ක මට්ටමක පවත්වා ගෙන යා යුතුය.

2017 වර්ෂයේදී ඍජු විදේශ ආයෝජනවලින් වැඩි ප්‍රමාණයක් ආයෝජනය කර ඇත්තේ චීනය සහ හොංකොං රාජ්‍යයන්ය. එය මුළු ආයෝජනවලින් සියයට 35ක ප්‍රමාණයකි. ඉන්දියාව සියයට 16.4කින්ද, සිංගප්පූරුව සියයට 9.3ක්ද වශයෙන් ආයෝජන සිදුකර ඇත. අනෙක් ප්‍රධාන රටවල් වන්නේ නෙදර්ලන්තය, මහා බ්‍රිතාන්‍යය, ජපානය, මැලේසියාව, ස්වීඩනය හා ඔස්ට්‍රේලියාවයි. මේ වනවිට චීනය රට තුළ සිදුකර ඇති මුළු ආයෝජන ප්‍රමාණය ඇ.ඩො. බිලියන 7ක් ඉක්මවා තිබේ.

වැඩිම ආයෝජන ප්‍රමාණයක් පැමිණ ඇති අංශයන් සැලකීමේදී වැඩිම ආයෝජන ප්‍රමාණයක් ලැබී ඇත්තේ නිෂ්පාදන හා සේවා අංශ සඳහාය. එය ඇ.ඩො. මිලියන 397ක ප්‍රමාණයකි. දෙවනුව වැඩිම විදේශ ආයෝජන ප්‍රමාණයක් ලැබී ඇත්තේ යටිතල පහසුකම් හා උපයෝගිතා අංශය සඳහාය. එය ඇ.ඩො. මිලියන 353කි. පසුගිය කාලපරිච්ජේදය සැලකීමේදී ප්‍රධාන වශයෙන් විදේශ ආයෝජන ලැබී ඇත්තේ යටිතල පහසුකම් සංවර්ධනයට බව පෙනී යයි. යටිතල පහසුකම් සංවර්ධනය සඳහා විදේශ ආයෝජන අවශ්‍ය වුවත් දීර්ඝකාලීන වශයෙන් වැදගත් වන්නේ කර්මාන්ත, සේවා අංශයන් සඳහා ආයෝජන වැඩි කර ගැනීමයි. විශේෂයෙන් එකතු කළ අගය වැඩි කළ නිෂ්පාදන තුළින් ලෝක වෙළෙඳපොළ තුළ ඉතා ඉහළ මිලක් ලබාගත හැකි වේ. සේවා අංශයෙන් වුවද ඉහළ සේවාවන් සැපයිය හැකිය. ලෝක වෙළෙඳපොළ තුළ වැඩි ඉල්ලුමක් ඇති සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස තවදුරටත් ලංකාව දියුණු විය යුතුය. පරිගණක තාක්‍ෂණය, මෘදුකාංග සංවර්ධනය, (Business Outsourcing) වැනි අංශයන් සඳහා අවශ්‍ය උපාධිධාරීන් මේ වනවිට ලංකාවේ විශ්වවිද්‍යාල තුළින් බිහිවෙමින් පවතී. ඒ සඳහා ආයෝජන අවස්ථාවන් වැඩියෙන් ඇති කිරීම සඳහා අවශ්‍ය පහසුකම් රජය ලබා දීම සඳහා යොමුවිය යුතුය.

ලංකාව තුළ ආයෝජන ඉහළ නැංවීම සඳහා අවශ්‍ය යෝජනා කිහිපයක් පෙන්වා දිය හැකිය.

සේවා සැපයුම් සහ වෙළෙඳ පහසුකම් වැඩි දියුණු කිරීම

කලාපයේ අනෙකුත් ආර්ථිකයන් සමඟ සැසඳීමේදී ලංකාවේ ආර්ථිකය ඉතා කුඩා ප්‍රමාණයේ ආර්ථිකයක් වේ. නමුත් ලංකාව පිහිටීම අතින් ගත් කල ලෝකයේ නාවුක හා වෙළෙඳ ක්‍ෂේත්‍රයේ ක්‍රමෝපායිකව වැදගත් ස්ථානයක පිහිටා තිබේ. විශේෂයෙන් නාවික ගමනාගමනයේ බටහිර කලාපයේ කේන්ද්‍රීය රටක් ලෙස පිහිටා තිබීම මගින් එහි වාසිය උපරිමයෙන් තවමත් ලබා නොගෙන ඇති බව කිව යුතුය. කොළඹ වරාය මෙහෙයවන භාණ්ඩවලින් සියයට 75ක ප්‍රමාණයක් ප්‍රතිඅපනයනය වන අතර කොළඹ වරාය ආසියාවේ ප්‍රතිඅපනයන කේන්ද්‍රීය වරායක් බවට පත්වී තිබේ. ඉතා ඉහළ පහසුකම් සහිත වරායක් ලෙස කොළඹ වරාය ලෝකය හඳුනාගෙන තිබේ.

ලෝක බැංකුව ගණනය කරන සේවා සැපයුම් දර්ශකයට අනුව (2018) ශ්‍රී ලංකාව 94 වැනි ස්ථානයට පත් වී තිබේ. 2010 වර්ෂයේදී එය 134 වැනි ස්ථානයේ පසු විය. ගණනය කරන නිර්ණායකවල වර්ධනයක් පෙන්නුම් කරයි. රටක ආයෝජනය ඉහළ තබා ගැනීම සඳහා මෙම දර්ශකය ඉතා වැදගත් වන්නේ තමන්ගේ නිෂ්පාදන ලෝක වෙළෙඳපොළට පහසුවෙන් අපනයනය සඳහා අවශ්‍ය පහසුකම් ස්ථාපනය වී ඇතිද යන්නෙයි. කලාපීය වශයෙන් එකිනෙක වරායන් සම්බන්ධ කිරීමේ අවශ්‍යතාව අනුව (2017) වර්ෂයේදී (Linner Shopping Index) ලෝකයේ වරායන් අතුරින් 15 වැනි ස්ථානයට පත්වීමද ඉතා වැදගත් වේ. මෙම පහසුකම් වර්ධනය තුළින් විදේශ ආයෝජකයන් ආකර්ෂණය කර ගත හැකි වේ.

නව වෙළෙඳ ප්‍රතිපත්තියක් සකස් කිරීම

2017 වර්ෂයේ අග භාගයේදී වෙළෙඳ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය තුළින් පැරණි තීරු බදු ඉවත් කිරීම හා අඩු කිරීම මගින් වෙළෙඳපොළ වැඩිදියුණු වීමක් සිදුවී තිබේ. 2019 අය-වැය තුළින් අපනයන සඳහා දිරිගැන්වෙන තීරුබදු ප්‍රතිසංස්කරණයන් හා වෙළෙඳ ප්‍රතිපත්තිවල වඩා ඵලදායී වෙනස්කම් සිදුකළ යුතුය. වෙළෙඳපොළ හා ප්‍රතිපත්ති තව තවත් නිදහස් කිරීමක් අපේක්‍ෂා කරයි. අපනයන විවිධාංගීකරණය මගින් වැඩි ආර්ථික වර්ධනයක් අපේක්‍ෂා කරයි. වෙළෙඳ ප්‍රතිපත්ති ලිහිල් කිරීම මගින්ද ආයෝජනයන්ට හිතැති පරිසරයක් ගොඩනැඟෙනු ඇත. ඒ තුළින් තිරසාරත්වය ඉහළ නැංවීම, තාක්‍ෂණය අවශෝෂණය, නිපුණතා වැඩිදියුණු කිරීම සිදුවනවා ඇත.

ප්‍රතිපත්තිවල සංකූලතාවන් ඉවත්කොට ආයෝජන දිරි ගැන්වීම

ව්‍යාපාර පවත්වාගෙන යාමේ දර්ශකය අනුව (2015) ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතරින් 100 වැනි ස්ථානයට පත්වී තිබේ. 2018 වර්ෂය දර්ශකයට අනුව එය 111 වැනි ස්ථානයට පත්විය. එහෙත් ආයෝජකයන් දිරි ගැන්වීම සඳහා ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදුවිය යුතුය. විශේෂයෙන් ඉඩම් මිලදී ගැනීමේදී, ඉඩම් ලියාපදිංචියේදී මෙන්ම ඉදිකිරීම් සඳහා බලපත්‍ර ලබා ගැනීමේදී විශාල බාධාවන් සිදුවේ. අනෙක් අතට බස්නාහිර පළාත තුළ කර්මාන්ත ආරම්භ කිරීම සඳහා ප්‍රමාණවත් ඉඩම් පහසුකම් නොමැති වීම නිසා අලුතින් ආයෝජන කලාපයක් ඇති විය යුතුය.

විනිමය පාලනයන් ලිහිල් කිරීම හා දේශීය ආදායම් පනත්වල පවත්නා අඩුපාඩු ඉවත් කොට විදේශ ආයෝජන විධිමත් වන පරිදි සැකසීම ඉතා වැදගත්ය. නිරන්තරයෙන් වෙනස්වන ප්‍රතිපත්තීන්, විදේශ ආයෝජන සඳහා බාධාවන අතර විදේශ ආයෝජන සඳහා ඍජු දැක්මක් රජය විසින් සකස් කරනු ලැබිය යුතුය.

තරගකාරී නිෂ්පාදන හා මූල්‍ය වෙළෙඳපොළ මගින් නව්‍යතා වර්ධනය කිරීම

පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ අපනයනයන් සලකා බැලීමේදී ඉතා සුළු වෙනස්කම් දක්නට ලැබුණද විශාල වෙනස්කම් දක්නට නොලැබේ. අපනයන නිෂ්පාදන නව්‍යකරණය වීමක් හෝ විවිධාංගීකරණය වීමක් සිදුවී නොමැත. නවෝත්පාදනයන් සිදුවී ඇත්නම් එය ඉතා අතලොස්සක් පමණ වේ. පවතින නවෝත්පාදන ක්‍රමෝපායන් හා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා අවශ්‍ය කරන දැනුම නොඅඩුව ලැබිය යුතුය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සහාය දැක්වීම සිදුවිය යුතුය. ඒ සඳහා විදේශ ආයෝජන ඉතා වැදගත් වේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් ශක්තිමත් කිරීම සඳහා මූල්‍ය වෙළෙඳපොළ තුළ තවදුරටත් අවශ්‍ය පහසුකම් ඇති කිරීම හා අවශ්‍ය ණය යෝජනා ක්‍රමයන් හඳුන්වා දිය යුතුය.

කාර්මික ගැටලුවලට විසඳුම් ලබා දීම

ශ්‍රී ලංකාවේ ශ්‍රම බළකායේ පවත්නා දුර්වලතා හා කාර්මික ගැටලු ආයෝජන සඳහා පුළුල්ව බලපෑම් කරයි. විශේෂයෙන් ශ්‍රම බළකාය තුළ කුසලතාවන් නොගැළපීම, නිපුණ ශ්‍රම බළකායේ දුර්වලතා මඟ හරවා ගැනීම ඉතා වැදගත්ය. කාර්මික ගැටලු නිරාකරණය කිරීම හා කාර්මික නීති රීති ලිහිල් කිරීම තවදුරටත් නියාමනය හා සලකා බැලීම කළ යුතුය. කාන්තාවන් ශ්‍රම බළකායට සහභාගි කරවා ගැනීම හා ශ්‍රම බළකායේ සහභාගිත්ව අනුපාතය ඉහළ නැංවීම මගින් වාසි සහගත තත්ත්වයක් ලබාගත හැකිය.

සැපයුම් පහසුකම් දියුණු කිරීම හා යටිතල පහසුකම් පුළුල් කිරීම

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධතියේ පවතින දුර්වලතා ආයෝජන සම්බන්ධයෙන් ඍණාත්මකව බලපා තිබේ. කෙසේ වෙතත් පසුගිය දශකය තුළදී ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධතිය හා යටිතල පහසුකම් සංවර්ධනය ප්‍රබල දියුණුවක් ලබා තිබේ. එය ආයෝජකයන් දිරිගන්වනසුලු වේ. තවදුරටත් භාණ්ඩ ප්‍රවාහනය සඳහා යටිතල පහසුකම් සංවර්ධනය සිදුවිය යුතුය. භාණ්ඩ ප්‍රවාහනය සඳහා දුම්රිය සේවාව යොදා ගැනීම පිළිබඳව දීර්ඝ කාලයක් පුරා සාකච්ජා කළද තවමත් හරිහැටි ක්‍රියාත්මක වී නොමැත. ගුවන් ගමන් සේවාවන් පුළුල් වීම ඉතා වැදගත් වේ. නාවුක ක්‍ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක් දැකිය හැකිය. ලොව ප්‍රධාන පෙළේ නෞකා සමාගම් තම සේවාවන් ලබා ගැනීම සඳහා කොළඹ වරාය භාවිතයට ගනියි. ඒ තුළින් ලංකාව ප්‍රධාන පෙළේ සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස දියුණු වෙමින් පවතී. ඉදිරියේදී රටේ සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා තෝරාගත් ක්‍ෂේත්‍ර සඳහා කඩිනම් ආයෝජන අවස්ථාවන් ඇති කිරීම තුළින් වඩාත් ඵලදායී, දීර්ඝකාලීන සංවර්ධනයක් ලබාගත හැකිවේ. ඒ සඳහා රාජ්‍ය සැමවිටම ශක්තිමත් අඩිතාලමක් දැමිය යුතුය.

මාතෘකා