කෑම දී අලි මැරීම

 ඡායාරූපය:

කෑම දී අලි මැරීම

Elephas maximus maximus ශ්‍රී ලංකාවට ආවේණික උප අලි විශේෂයයි. මේ අලියා ශ්‍රී ලංකාවේ පමණක් ජීවත් වන සතෙකි. සොබාදහම් සංරක්ෂණය සඳහා වන ජාත්‍යන්තර සංගමය විසින් වර්ෂ 1986 සිට

අාසියානු අලියා අන්තරායට ලක්වූ විෙශ්ෂ ගණයට අැතුළත් කර තිෙබ්. ෙද්ශීය රතු දත්ත වාර්තාෙව්ද අලියා තර්ජනයට ලක්වූ සතකු ෙලස නම් කර තිෙබ්. වෙඩි තැබීම, හක්ක පටස් තැබීම නිසා මරණයට පත්වීම, දුම්රියට බිලිවීම වැනි බොහෝ මිනිස් ක්‍රියාකාරකම්වල මැදිහත්වීමෙන් අලි විශාල වශයෙන් මිය යති. 2018 වසරේ පමණක් ශ්‍රී ලංකාවේ අලි තුන්සියයකට වැඩි ගණනක් ශෝචනීය ලෙස මරණයට බිලි විය.

දවසින් දවස අලි මරණ වාර්තා වෙන රටක ක්‍රමයෙන් අලින් මරණයට පත් කරන තවත් විදියක් දිටිමි. ප්‍රදේශය තණමල්විල උඩවලව මාර්ගයයි. මේ පාරේ විදුලි වැටෙන් එහාට තැනින් තැන අලියකු බැගින් ලැගගෙන සිටී. දෙස් විදෙස් සංචාරකයන් වාහනය නවතා අලියා නරඹනු පෙනේ. නැතිනම් අලියාට කෙසෙල් ඇවරියක් දෙනු දැකිය හැකිය. අලියාට දෙන්නට කෙසෙල්, කොමඩු ආදී පලතුරු කඩය බැගින්ද අලියා සිටින තැනට පාරේ එහා පසින් පිහිටා ඇත. විමසිල්ලෙන් බලන අලියකු සිටින සෑම තැනකම පාහේ පලතුරු කඩයකි.

අපිද අලියකු සිටින තැනක් බලා වාහනය නැවැත්වීමු. ඒ අලියා කෙට්ටුය. කැසටුය. පලතුරුවලට හුරු වුණු අලියා දැන් කෑම සොයාගෙන ඇවිදින්නේ නැත. ලේසියට පාර අයිනට එයි. එහෙත් අලියාට අවශ්‍ය කෑම ප්‍රමාණය නිසි පරිදි ලැබෙන්නේ නැත. පෝෂණය මදය.

සංචාරක මඟපෙන්වන්නකු අප හුන් තැන වාහනය නවත්වා කෙසෙල් ඇවරියක් මිලට ගෙන විදෙස් සංචාරකයා අත එම කෙසෙල් ඇවරිය තැබීය. අනතුරුව අලියා ළඟට ගිය සංචාරකයා කෙසෙල් ඇවරිය හොඬය දෙසට දිගු කළේය. එය අලංකාර ලෙස තරුණ මඟපෙන්වන්නාගේ කැමරාවේ සටහන් විය.

වැඩුණු අලියකු දිනකට කිලෝග්‍රෑම් 250 - 300ත් අතර ප්‍රමාණයක්‌ ආහාර ලෙස ගනී. තෘණ හා කොළ දඬු යනාදිය ආහාර ලෙස බුදී. එසේම දිනකට ජලය ලීටර් 200-250ත් අතර ප්‍රමාණයක්‌ පානය කරයි. මේ සඳහා දිනකට කිලෝමීටර් 20-25ක්‌ දුර ඇවිද යෑම වන අලියාගේ සිරිතය. පළතුරුවලට හුරු වුණු මේ අලි දැන් ආහාරයට ගන්නේ කිලෝ 100කටත් අඩු ප්‍රමාණයකි. පළතුරු පමණක් ආහාරයට ගැනීම ඔවුන්ගේ ශරීරයට අවශ්‍ය නිසි පෝෂණය නොලැබී යෑමකි.

සංචාරකයන් නැති අවස්ථාවක කඩයක අයිතිකාර ස්ත්‍රියක් අලි වැටෙන් එහා පැත්තේ සිටි අලියාට කෙසෙල් ඇවරියක් විසිකරනවා වාහනයේ යන අතරමඟ අපට අහම්බෙන් දැකගත හැකි විය. ව්‍යාපාරය රඳවා තබා ගන්නට අලියාට කෙසෙල් අල්ලස් ලැබෙන්නේ එලෙසය.

තණමල්විල - උඩවලව මඟ අයිනේ ජීවත්වන මිනිසුන් අලියාට කෑම සපයන මාර්ගයක් තනාගෙන මේ කරන්නේ තමන් සිටින තැනින් අඩියක් පා ඔසවන්නට දරණ වෑයම බව දනිමු. එහෙත් මේ කතාව පිටුපස අනාගත ඛේදනීය ඉරණමක් ලියැවෙමින් තිබේ. මේ කෑම අලියාගේ මරණය ළං කිරීමකි. එක් අලියකු නොව අලි සිය ගණනකගේ මරණය ළං කිරීමකි. සිය ගණනකගේ අලි මරණ යනු පවුල් සිය ගණනකගේ බඩවල් පිරෙන එක අඩුවීමකි. කැලයේ සිටින අලින් පාරට කෑම සඳහා හුරුවුණොත් එහි කෙළවර අලි මිනිස් මරණවලින් පවා අවසන් විය හැකිය. උඩවලව රක්ෂිතය නැරඹීමට සංචාරකයන් පැමිණීමේ ප්‍රවණතාවද මන්දගාමී කිරීම මෙවැනි ක්‍රියාකලාපයක අවසන් ප්‍රතිඵලය විය හැකිය.

මේ කෑම දීමෙන් තාවකාලිකව ලාභයක් ලැබෙනු ඇත. එහෙත් දිගුකාලීනව මේ කරන්නේ රත්තරං බිත්තර දෙන කිකිළිගේ බඩ පලා එකවර බිත්තර සියයක් සෙවීමකි.

අලින් ඉලක්ක කරගෙන රස්සාවක් හදාගෙන ජීවන අරගලයක නිරත ජනතාවට පමණක් දොස් කියා අතපිසදා ගන්නට තරම් මුග්ධයන් නොවෙමු. අලින්ට මෙසේ කෑම දීම සම්බන්ධව සංචාරක මඟපෙන්වන්නන්ටද වගකීමක් තිබිය යුතුය. තමාට ඒ පිළිබඳව ස්වයං විනයක් තිබිය යුතුය. හෘද සාක්ෂියක් තිබිය යුතුයි.

මේ ආකාරයට අලින් කෑම ලබාදීම පිළිබඳව පියවර ගැනීමේ වැඩිම වගකීම ඇත්තේ වනජීවී දෙපාර්තමේන්තුවටය.

ජනතාව දැනුම්වත් කරමින් අලින් නොව සංචාරකයන් ඉලක්ක කරගෙන ව්‍යාපාර පවත්වාගෙන යෑමේ ගාමක බලය දිය හැකිවන්නේ වනජීවී දෙපාර්තමේන්තුව ප්‍රමුඛ නිලධාරීන්ටය. එසේම ඒ හා සම්බන්ධ නීතිමය පියවර ගත හැකි වන්නේ ඊට අදාළ නිලධාරීන්ටය. සංචාරකයන් නියාමනය කිරීමේ නීතිමය හැකියාව වනජීවී දෙපාර්තමේන්තුවට තබා ගත හැකිය. විදෙස් රටවල සංචාරකයන් ශ්‍රී ලංකාවට එන්නේ අලින් බැලීමට මිස කුකුළන් බැලීමට නොවන බව මිතුරකුගේ ෆේස්බුක් සටහනක තිබිණි. ඒ කතාව සියයට සියයක් සත්‍යයකි. ඒ වටිනා සම්පත රැක ගැනීම වනජීවී දෙපාර්තමේන්තුවේ මෙන්ම රටේ ජීවත්වෙන ජනතාවගේද වගකීමකි. යුතුකමකි. තම රට වෙනුවෙන් කළ යුතු මෙහෙයකි. අනෙක් අතට මේ මහ පොළොව අයිතිව ඇත්තේ මිනිසාට පමණක් නොවේ. සුවිශාල තර්ජනයට ලක්වී ඇති ශ්‍රී ලංකාවට පමණක් අවේණික උප අලි විශේෂය සම්බන්ධව පියවර නොගෙන ඇස් කන් පියාගෙන සිටියහොත් තව නොබෝ කලකින්

ශ්‍රී ලංකාවේ අලියා මෙලොවින් තුරන්වන සත්ත්වයකු වනු නොඅනුමානය. එය ජාතික අපරාධයක් පමණක් නොවේ; එය මේ මහ පොළොවටම කරන අපරාධයකි.

නීතියට කළ නොහැකි බොහෝ දේ ආකල්පවලට කළ හැකිය. සිතිවිලි නීතියෙන් පමණක් වෙනස් කළ හැකිව තිබුණා නම් මේ ලොව අද නීතියෙන් ශිෂ්ටසම්පන්න වූ ලොවක් වී අවසන්ය. කළ යුත්තේ මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීමය. යහපත් ආකල්පවලින් වැඩිහිටියන්ගේ මෙන්ම කුඩා දරුවාගේ මනස පුරවාලිය හැකි නම්, එය මේ රටේ අනාගතයට මහත් ආයෝජනයක් වනු ඇත. වැඩිහිටි මනසටත් වඩා දරුවාගේ මනසෙහි එම ආකල්ප රෝපණය කළ යුතුය. මිනිසකු සතුව ස්වයං පාලනයක් තිබිය යුතුය. එය නීතියෙන් පමණක් පාලනය නොවන්නක් විය යුතුය. එසේ විය හැකි නම් මේ රටේ අලි ප්‍රශ්නය පමණක් නොව බොහෝ ප්‍රශ්න විසඳීමේ පාලම් ඒදඬු ඒ මත තැනෙනු ඇත.

[රසිකා හේමමාලි]

මාතෘකා