මල්වතු ඔයට හදි කරන පූජා නගර වැසියෝ

 ඡායාරූපය:

මල්වතු ඔයට හදි කරන පූජා නගර වැසියෝ

මල්වතු ඔය මෙරට සාම්ප්‍රදායික ජන ජීවිතයේත් ආර්ථික සමෘද්ධියේත් සහජීවන දිවි පැවැත්මෙත් ජීවමාන සාක්ෂිකරුවකි. මේ මත ගලනුයේ හුදු දිය කඳක් පමණක් නොවේ. සංස්කෘතික දායාදයන් රැසක ගුණ සුවඳ ඒ දිය සිසිල හා මුහුව තිබේ. එහෙත් වත්මනදී අනුරාධපුර නගරය මැදින් ඇළ මාර්ග තුනක් ඔස්සේ ගලා එන අප ජලය සහ විවිධ අපද්‍රව්‍ය මල්වතු ඔයට ගලායෑම මගින් එහි ජලය දැඩි දුෂණයකට ලක්වන බව ආචාර්ය තුසිත අමරසේකර මහතා පවසයි.

අනුරාධපුර මහ රෝහල පිටුපසින් ගලා යන ඇළ මාර්ගය, කුඹිච්චන්කුලම සහ කඩපනහ වැව්වලින් ඇරඹෙන ඇළ මාර්ගය, පැරණි බස් බස් නැවතුම්පොළ හා මාර්කට් පෙදෙස හරහා ගලා යන ඇළ මාර්ගය යන ඇළ මාර්ග හරහා ගලා එන අපජලය සහ විවිධ අපද්‍රව්‍ය මල්වතු ඔයට එක්වීමෙන් මෙම අවදානම මතුව ඇත. රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය මගින් සිදුකළ පර්යේෂණයක් හරහා තහවුරු වී ඇත්තේ නගර සීමාවේ මල්වතු ඔයට යාබදව පිහිටි හෝටල් සහ නේවාසිකාගාර මගින් මුදාහැරෙන අපද්‍රව්‍ය මල්වතු ඔයට සෘජුව මුදාහැරීමෙන් මෙම අවදානම තවදුරටත් උත්සන්න වී ඇති බවය.

රිටිගල සිට සැතපුම් ගණනාවක් උපද්‍රව රහිතව ගලා එන මල්වතු ඔය අනුරාධපුර නගරය පසුකොට ගලායත්ම විවිධ හේතු පදනම්ව දැඩි දූෂණයකට ලක්ව ඇති බව ජල සාම්පල පරික්ෂාව මගින් තහවුරු වී ඇතැයි ආචාර්ය අමරසේකර මහතා පවසයි. ගෘහාශ්‍රිතව මුදාහැරෙන මුළුතැන්ගෙයි අපජලය, නාන කාමර අපජලය, ගෙවතු අපජලය, නිවාසවල බහිස්‍රාවී අපද්‍රව්‍ය ආදිය ඔයට එකතු වීමෙන් එහි ජලය දුෂණය වීමට ලක් වේ. බැරලෝහ අඩංගු විෂ රසායනික ද්‍රව්‍ය එනම් කෘමිනාශක සහ වල්නාශක, නයිට්‍රේට්, පොස්පේට් අඩංගු පොහොර අධි භාවිතය, සත්ව පාලනය ආශ්‍රිතව මුදාහැරෙන අප ජලය ආදී කෘෂිකාර්මික අපද්‍රව්‍යවල බලපෑමද මල්වතු ඔයේ ජලය දුෂණයට හේතු වී ඇති බවද තහවුරු වී ඇත. එමෙන්ම කර්මාන්ත ආශ්‍රිතව මුදාහැරෙන තෙල්, ග්‍රීස් වැනි බැර ලෝහ සහිත අපජලය, අධික උෂ්ණත්වයෙන් යුතු ජලයද මෙම පාරිසරික හානිය සදහා හේතුපාදක වන බව හෙළිදරව් වී තිබේ.

මෙම තත්ත්වය හේතුවෙන් පානීය ජලය අපිරිසිදු වීම, චර්ම රෝග ඇතිවීම, පාචනය, කොළරාව, අතීසාරය වැනි රෝග වැළඳීම, ජලජ ජීවින් විනාශ වීම, දුර්ගන්ධය ඇති වීම, සොබා සෞන්දර්ය විනාශ වීම ආදී අහිතකර තත්ත්වයන්ද මේ වන විට උද්ගතව ඇති බව මෙම පර්යේෂණය මගින් තහවුරු වී ඇත. ලැගුම්හල්, විවිධ මාදිලියේ හෝටල්, ආපනශාලා, ඉහළම ගණනක් ඇති නගර අතර අනුරාධපුරයද නිරන්තරව රැඳේ. මෙහි ඇති එවැනි ස්ථාන ගණනින් පන්සියය ඉක්මවන බව නම් නිසැකය. මෙපුර ආහාර සහ අනෙකුත් සේවාවන්වල මිල ගණන්ද ඊට නොදෙවැනි නොවේ. අනාගත පරපුරෙන් ණයට ගත් මේ පාරිසරික දායාද සුරක්ෂිත කිරීම මානව දයාවෙන් සහ නිර්ව්‍යාජ හැඟීමෙන් යුතු අයකුට පමණක්ම කළ හැක්කකි. මෙම අවදානම් සහගත තත්ත්වය පිළිබඳව ප්‍රජාව දැනුම්වත් කිරීම සඳහා සංවිධාන කළ පා ගමනක් රජරට විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සිට අනුරාධපුර නව නගරය දක්වා ඉකුත් දා පැවැත්විණි. විශ්වවිද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය සහ කෘෂිකර්ම පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යවන් එක්ව පිහිටුවා ඇති මල්වතු ඔය සුරැකීමේ සංසදය මගින් පා ගමන සංවිධාන කොට තිබිණි. සංසදයේ සම්බන්ධීකාරක සඳරූ හසරංග ශාන්තප්‍රිය පැවසුයේ විවිධ ස්වේච්ඡා සංවිධාන සහ පාසල් මට්ටමින් දැනුම්වත් කිරීමේ වැඩසටහන් ඉදිරියේදී පැවැත්වීමට සැලසුම් කොට ඇති බවය.

රෝහල් හා ගෘහාශ්‍රිත අපජලය සෘජුවම ඔයට මුදා නොහැරීම, හෝටල් හා ගෘහාශ්‍රිතව සනීපාරක්ෂක වැසිකිළි භාවිතය, ප්ලාස්ටික්, පොලතීන් වැනි නොදිරන අපද්‍රව්‍ය ඔයට බැහැර නොකිරීම, පොහොර භාවිතයේදී නියමිත ප්‍රමාණය පමණක් නියමිත කාලය තුළ නිවැරිදි ක්‍රම අනුගමනය කර යෙදීම, ඔය දෙපස ඇති කුඹුක් ගස්, පඳුරු හෝ තෘණ

වර්ග ඉවත් නොකිරීම, රසායනික පොහොර වෙනුවට හැකි තරම් කාබනික පොහොර භාවිතය, කෘමිනාශක වෙනුවට ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රම අනුගමනය කිරීම වැනි ක්‍රියාකාරකම් මගින් මල්වතු ඔයේ අනාගත පැවැත්ම සහතික කළ හැකිය යන්න පර්යේෂකයන්ගේ පැහැදිලි කිරීම වී ඇත. පිරිසිදු පානීය ජලයේ ඇති හිඟකම නිසාම රජරට ඈත ගම්මැදිවල ඇත්තෝ මාරාන්තික වකුගඩු රෝගය සමග දැන් දශක තුනක පමණ කලක සිට සටන් වදිති. එක් පසෙකින් එය සොබාදහමට පිටුපෑමේ විපාකයකි. මේ ගහට කොළට, ඇළට දොළට, සතා සිවුපාවන්ට, වැව් අමුණුවලට පෙම් බඳින කවරකු හෝ වෙත්නම් අත රැඳි ටොෆි කොලයක් හෝ හැල්මේ අත නොහරිනු ඇත.

තඹුත්තේගම විශේෂ - [ඩබ්ලිව්. ප්‍රදීප්]

මාතෘකා