සඳ මත චීන විප්ලවය - 2වැනි කොටස

 ඡායාරූපය:

සඳ මත චීන විප්ලවය - 2වැනි කොටස

අප අද මේ දෙවැනි කොටසින් බලමු, සඳ මතුපිටට මෙන්ම වෙනත් ඕනම ග්‍රහලෝකයකට, ග්‍රහ වස්තුවකට මිනිස් වර්ගයාගේ අභ්‍යවකාශ ගවේෂණ වැඩසටහනේ උන්නතිය වෙනුවෙන්, මිනිසා විසින් යවන ලද අභ්‍යවකාශ යානාවල "ගොඩ බස්නයන් " හෙවත් “Lander Spacecrafts” සහ " Rovers" හෙවත් "ප්‍රචාලක ගවේෂක යානා" පිළිබඳව තොරතුරු ටිකක්.
පසුගිය ලිපියෙන් මා ඔබට ඉතාම කෙටි හැඳින්වීමක් කරා, මහජන චීන සමූහාණ්ඩුවේ "Chinese Lunar Exploration Program" හෙවත් "චැංගි" ව්‍යාපෘතිය පිළිබඳව…
චීනය විසින් සඳ ගවේෂණය සඳහා යවන ලද චැංගි ගවේෂක යාත්‍රා හතරින් දෙකක, සඳ මතුපිට චලනය වෙමින් එය ගවේෂණය කරන රෝවර් යාත්‍රා තිබුණු අතර ඒවා අතුරින් චීනය විසින් නිපදවන ලද වඩාත් දියුණුම තාක්ෂණය සහිත රෝවරය වූයේ, පසුගිය ජනවාරි 3 වැනිදා සඳ මතුපිටට ගොඩබට "චැංගි 4" චන්ද්‍ර ගවේෂක මෙහෙයුමේදී රැගෙන ගිය "යුටූ - 2"  රෝවරයයි....

 

අභ්‍යවකාශ යානයක් යනු කුමක්ද? 
( What is a Spacecraft ?)

අභ්‍යවකාශ යානයක් ලෙස හඳුන්වනු ලබන්නේ, පෘථිවි වායුගෝලයේ භාවිත සීමාවන් ( ජීවය විසින් ) ගේ මායිම දක්වා හෝ ඉන් ඔබ්බට මිනිස් වර්ගයාගේ අභ්‍යවකාශ ගවේෂණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය, සම්පත් සහ ජීවය, "පාලිත පියාසැරියක" ගෙන යන යානා විශේෂයකටය. (නාසා ආයතනයේ විවරණය)


අභ්‍යවකාශ යානා වර්ග 


අද දින ලිපියෙන් ඔබට හඳුන්වා දීමට බලාපොරොත්තු වෙන්නේ මේ තාක්ෂණික පැතිකඩයි. ගවේෂණය සඳහා අප යොදාගනු ලබන යානා මාදිලි සහ ඒවායේ භාවිතාවය.
නාසා ආයතනය සහ යුරෝපා සංගමයේ අභ්‍යවකාශ ආයතනය, මිනිස් වර්ගයා විසින් ගවේෂණ කටයුතු සඳහා යවනු ලබන යානාවන්, පහත පරිදි කොටස්වලට බෙදනු ලබනවා... මෙලෙස කොටස් වර්ගීකරණයේදී යොදාගනු ලබන නිර්ණායක වන්නේ, එම යානාවල හැසිරවීම, ඒවායේ කාර්යභාරය, ඒවා ස්ථානගත කරනු ලබන ආකාරය, ගවේෂණ කටයුතුවලදී එම යානාවල ස්වාධීනත්වය යනාදී කරුණුය. ඒ අනුව මිනිස් වර්ගයාගේ ගවේෂක අභ්‍යවකාශ යානා මෙලෙස වර්ග කළ හැකිය. 
ආසන්න පියාසැරි සහිත අභ්‍යවකාශ යානා 
Flyby Spacecrafts 
කක්ෂගත වන අභ්‍යවකාශ යානා 
Orbiter Spacecrafts 
වායුගෝලීය අභ්‍යවකාශ යානා
Atmospheric Spacecrafts 
ගොඩ බස්න යානා
Lander Spacecrafts 
ප්‍රචාලක ගවේෂක යානා
Rover Spacecrafts 
විනිවිදක අභ්‍යවකාශ යානා
Penetrator Spacecrafts 
නිරීක්ෂක අභ්‍යවකාශ යානා
Observatory Spacecrafts 
සන්නිවේදක අභ්‍යවකාශ යානා
Communication Spacecrafts 
මෙම අභ්‍යවකාශ යානා වර්ගීකරණයන් අතරින්, ඕනෑම ග්‍රහ වස්තුවක, මතුපිටට ගොඩබැස කරන සමීප නිරීක්ෂණ කටයුතු සහ දත්ත, තොරතුරු මෙන්ම ද්‍රව්‍ය ඒකරාශී කිරීමේ කටයුතු සඳහා රෝවරයද, ග්‍රහ වස්තුවේ පෘෂ්ඨයෙන් අභ්‍යන්තරයට "සංවේදක" හෙවත් "Sensors" යොදා කරනු ලබන නිරීක්ෂණ කටයුතු මෙන්ම, තොරතුරු ඒකරාශී කිරීම සඳහා "පෙනෙට්‍රේටර් ස්පේස්ක්‍රාෆ්ට්ස්" ද, ඒ අභ්‍යවකාශ යානා සමග වෙනත් අවශ්‍ය ආම්පන්න අදාළ ග්‍රහ වස්තුව මතට ගොඩබැස්වීම සඳහා "ලෑන්ඩර් අභ්‍යවකාශ යානාද" යොදා ගනු ලබනවා. චීනය විසින් සඳ මත සිදු කරන ලද ගවේෂණ පිළිබඳව වාරතාකරණයේදී වැදගත් වනුයේ ඉහත කී අභ්‍යවකාශ යානා මාදිලි ත්‍රිත්වයයි. 


ඒෂකය, ලෑන්ඩරය සහ නැවතුම් දාරකය 
( Probe, Lander and Base)

මෙම අභ්‍යවකාශ යානාවලින් රොකට් ප්‍රචාලක ශක්තිය මඟින් අභ්‍යවකාශ ගත කිරීමෙන් පසුව ඉලක්ක ගත ග්‍රහ වස්තුව හෝ, ස්ථානය වෙතට අභ්‍යවකාශ ගවේෂක උපකරණ රැගෙන යන සමස්ත පද්ධතියට අප "Probe" හෙවත් "ඒෂකය" කියා හඳුන්වනු ලබනවා.
අභ්‍යවකාශයේ ගවේෂණය කරනු ලබන්නේ වෙනත් ග්‍රහ වස්තුවක් නම්, එම ග්‍රහ වස්තුව මත ඉලක්ක ගත ස්ථානයට ගවේෂණ උපකරණ නිරුපද්‍රිතව ගොඩබැස්වීම සිදු කරනු ලබන්නේ ලෑන්ඩර මඟින්. නාසා ආයතනය මෙලෙස ග්‍රහ වස්තුවක් මතට උපකරණ පතනය කරන ක්‍රමවේදයන් දෙකක් මෙතෙක් යොදාගෙන තිබෙන අතර ඉන් එක් ක්‍රමවේදයක් වනුයේ "සංඝට්ටන ක්‍රමවේද භාවිත කරන ඒෂක" (Impact Probe method) වන අතර අනෙක් ක්‍රමවේදය වන්නේ "ලෑන්ඩර" භාවිත කිරීමයි. පළමු ක්‍රමවේදයේදී ගොඩබැසීමේ ක්‍රියාවලිය "උප පද්ධතික පාලනය"ක් මඟින් සිදු නොවන අතර ඒ නිසා ලෑන්ඩරය අධික වේගයකින් යුතුව ග්‍රහ වස්තුව මතට පතනය වී නතර වීමෙන්, එම ලෑන්ඩරයට හානි සිදුවනවා. දෙවන ක්‍රමවේදයේදී වඩා සියුම්ව, සුමටව, කිසිවකට හානියක් සිදු නොවන පරිද්දෙන් අදාළ උපකරණ ගොඩබැස්විය හැකි අතර සියුම් සහ සංවේදී තාක්ෂණික උපකරණ ග්‍රහ වස්තුවක් මතු පිටට ගොඩ බැස්වීමේදී ද, එයින් පසුව ලෑන්ඩරය නැවතුම් දාරකයක් ලෙස ප්‍රයෝජනයට ගෙන, එම සැකිල්ල මත සවිකර තිබෙන උපකරණ යොදාගෙන වෙනත් ගවේෂණ සහ ඡායාරූපකරණය ආරම්භ කරන්නට අවශ්‍ය නම් ඊට හැකියාව තිබේ.
චීන චන්ද්‍ර ගවේෂණ වැඩපිළිවෙළේදී මෙන්ම, මෑතකදී සිදු කරන ලද "ඉන්සයිට්" නම් අඟහරු ගවේෂණ වැඩපිළිවෙළේදී අදාළ ග්‍රහ වස්තුව මතට ගොඩබැසීම සඳහා යොදාගත් ගොඩබැසුම් තාක්ෂණය වන්නේ, ගොඩබැසීම ඉතාම සීරුමාරුවට හසුරුවන "ලෑන්ඩර" ක්‍රමවේදයන්ය. 
මෙසේ යොදාගත් ගොඩබැසුම් ක්‍රමවේදයන්ගේ දක්නට ලැබුණු පොදු ලක්ෂණ වන්නේ 
අදාළ ග්‍රහ වස්තුව මත ගොඩබස්වන්නට ප්‍රශස්ත දුරකට අභ්‍යවකාශ ඒෂක කොටස පැමිණි වහාම විවෘත වන සුපර්සොනික් පැරචුට් මඟින් එම ඒෂකයේ පතන වේගය අඩාල කිරීම. (මේ සුපර්සොනික් පැරෂුට් එක කියන්නෙ සුපර්සොනික් ජෙට් යානයක් ධාවන පථයකට ගොඩ බැසීමේදී එහි වේගය අඩු කරන්න, යානය පිටුපසින් විවෘත වන පැරෂුටය. ඔබ මේක දැකල ඇති.)
එය තවදුරටත් ග්‍රහ වස්තුවේ පෘෂ්ඨයට ආසන්න වන විට, ඉතාම සුමට ප්‍රශස්ත ගොඩබැසීමකට සරිලන පරිදි එහි වේගය තවත් අඩු කිරීම සඳහා, එහි අඩංගු රෙට්‍රොග්‍රේඩ් රොකට් හෙවත් "ප්‍රවේග ඛණ්ඩක රොකට්"  සක්‍රිය වී, පථන වේගයට ප්‍රතිවිරුද්ධ දිශාවට බලය සැපයීම.
මේ ක්‍රමවේදයන් මඟින් ඉලක්කගත ග්‍රහ වස්තුවට ඉතාම මෘදු ලෙස සහ නිවැරදිව ඒෂකය පථනය කළ හැකි අතර එහිදී ග්‍රහ පෘෂ්ඨයේ ගැටීමෙන් එහි සංවේදී උපකරණවලට කිසිදු හානියක් සිදුවන්නේ නෑ.


රෝවරය (Rover) 
වත්මනේදී අභ්‍යවකාශ ගවේෂණය පිළිබඳව තොරතුරු පිපාසයකින් පෙළෙන, ඒවා විධිමත්ව සහ අවිධිමත්ව හදාරන ඕනම වයස් සීමාවක, තරාතිරමක අයගේ ජනප්‍රියතම අභ්‍යවකාශ යානා විශේෂය වන්නේ "ප්‍රචාලක අභ්‍යවකාශ යානා" හෙවත් රෝවරයන්ය. 
මෙම ව්‍යාපෘතියට පෙර සිටම සඳ මතු පිටත් අඟහරු ග්‍රහයා මතු පිටත් සඳ මතු පිටත් විවිධ ආකාරයේ ගවේෂණ කටයුතු සඳහා මිනිසුන් විසින් පදවන ලද, දුරස්ථ පාලක නියමුවන් සහිත, සහ නියමුවන් රහිතව කෘත්‍රිම බුද්ධිමය පදනමක් සහිත මෘදුකාංග, මිකැට්‍රොනික තාක්ෂණික ක්‍රමවේදයන් ඇති රෝවර යානා කිහිපයක්ම භාවිත කර ඇත ( මිකැට්‍රොනික් යනු ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු ක්‍රමවේදයන් සහ තාක්ෂණය, යාන්ත්‍රික ඉංජිනේරු ක්‍රමවේදයන් සහ යාන්ත්‍රණය සමග "සම පියවර, පෙර පියවර, සහ පසු පියවර ආදී වශයෙන් මුසු කොට සිද්ධාන්තගත කරන ලද ඉංජිනේරු ක්‍රමවේදයන්ය. මේ ඉංජිනේරු තාක්ෂණ ක්‍රමවේදයන් දෙකම දී ඇති උපදෙස් මාලාවක් ඔස්සේ හෝ මෘදුකාංග සඳහා රීති හෙවත් "ඇල්ගොරිතම" මාලාවක් විසින් හඳුන්වා දෙන පරිදි බොහෝ විට එකම යන්ත්‍රයක, එක්ව ක්‍රියා කර, යන්ත්‍රයේ අරමුණු සාර්ථක කර ගනියි.).
මෙතෙක් මිනිස් වර්ගයා රෝවර් යවා ගවේෂණය කර තිබෙන්නේ චන්ද්‍රයාගේ මතුපිට පෘෂ්ඨය සහ අඟහරු මතුපිට පෘෂ්ඨය පමණයි. පහතින් දක්වන්නේ සඳු මතුපිට ගවේෂණ කටයුතු සහ අඟහරු මතුපිට ගවේෂණ කටයුතු සඳහා එතෙක් මෙතෙක් යවන ලද නියමුවන් සහිත සහ රහිත රෝවරවල තොරතුරුයි. 


චන්ද්‍ර ගවේෂක රෝවර ( Lunar Rovers)
ලූනොඛොද් 1 - 1970 - 1971 කාලය තුළ දුරස්ථ පාලක ක්‍රමවේදය යොදාගෙන චන්ද්‍රයා මතුපිට ගවේෂණ කටයුතු සඳහා සෝවියට් සංගමය යවන ලද නියමුවන් රහිත රෝවරය 
ලූනොඛොද් 2  - 1973 වසරේදී චන්ද්‍ර ගවේෂණය සඳහා සෝවියට් සංගමය යවන ලද නියමුවන් රහිත රෝවරය 
ඇපොලෝ 15,16,17 පියාසැරිවලදී චන්ද්‍ර ගවේෂණය සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් සඳ මතුපිටට යවන ලද නියමුවන් "සහිත" රෝවර 
චැංගි 3 සහ 4 පියාසැරි සමග චන්ද්‍ර ගවේෂණයට චීනය යවන ලද "යූතු" 1 සහ 2 රෝවර 


අඟහරු ගවේෂක රෝවර (Mars Rovers) 
"ඔපචුනිටි "  - ඇමරිකා එක්සත් ජනපදය විසින් 2004 වසරේ සිට මේ දක්වා අඟහරු මතුපිට මෙහෙයවනු ලබන රෝවරය
"කියුරියෝසිටි" - 2012 වසරේ සිට මේ දක්වා ඇමරිකාව විසින් අඟහරු ගවේෂණයට යොදවා තිබෙන රෝවරය 
"ස්පිරිට්"  - 2004 -2010 කාල වකවානුව තුළ අඟහරු ගවේෂණයට ඇමරිකාව යෙදූ රෝවරය 
"සෝජෝනර්" - 1997 වසරේදී ඇමරිකාව විසින් අඟහරු ගවේෂණයට යොදන ලද රෝවරය 


ඉතිරි කොටස ලබන සතියේ  
    

(සෝවියට් සංගමය විසින් ලුනෝකෝද් 1 ව්‍යාපෘතිය යටතේ 1970 යවන ලද නියමුවන් රහිත රෝවර් යානය)

(2004 වර්ෂයේ මාර්තු මාසයේ සිට අඟහරු මත ක්‍රියාත්මක නාසා ආයතනය විසින් යවන ලද ඔපටුනිටිය් රෝවර් යානය)
 

මාතෘකා