ජාත්‍යන්තරය විස්මයට පත් කළ අපේ අංගම් ශාස්ත්‍රය

 ඡායාරූපය:

ජාත්‍යන්තරය විස්මයට පත් කළ අපේ අංගම් ශාස්ත්‍රය

‘‘මට ඔබගේ සටන් පුහුණු පන්තියට සහභාගී වෙන්න ඕන’’

‘‘හොඳයි එහෙනම් ඔයා ඉරිදා උදේ පන්තියට එන්න’’

‘‘නෑ. නෑ මට එහෙම එන්න බැහැ. මම ඉන්නේ ඔබේ පන්තියට කිලෝ මීටර් නවදාහක් ඈතින්, ජර්මනියේ...

ඒ 2008 වසරේදී ශ්‍රී ලංකාවේ පාරම්පරික දේශීය සටන් කලා සංගමයේ (STIMA) පියුමාල් එදිරිසංහ සහ ජර්මනියේ ඔලිවර් හර්මන් අතර හුවමාරුවූ ඊමේල් පණිවිඩ කිහිපයකින් උපුටා ගැනුණකි.

අවසන් පණිවිඩය ලැබෙන තුරු පියුමාල් සිතා සිටියේ ඒ පණිවිඩය එවා ඇත්තේ මෙරට අයෙක් බවයි. එහෙත් ඒ පණිවිඩය ජර්මනියේ සිට බව දන්වා ඇති විට පියුමාල්ට හැඟී ගියේ මේ තැනැත්තා විශේෂ අයෙක් වියහැකි බවයි. එලෙසින් විද්යුත් තෑපැලෙන් පණිවුඩයක් එවූයේ ඔලිවර් නමැත්තෙකි. ඔහු තමන්ගේ අදහස යළිත් සනාථ කරමින් පවසා ඇත්තේ ඉක්මනින්ම ශ්‍රී ලංකාවට පැමිණ අංගම් සටන් ශාස්ත්‍රය හැදෑරීමට තමන්ට අවශ්‍ය බවයි.

අංගම් සටන් ශාස්ත්‍රය හැදෑරීමට නම් ඉතා හොඳ කැපවීමක් අවශ්‍ය බවත් ආහාරපාන පවා ඊට අනුකූල විය යුතු බවත් දන්වමින් ඊළඟ ඊමේල් පණිවිඩය ඔලිවර් වෙත යැවීමට පියුමාල් පියවර ගත්තේ විශේෂයෙන්ම හරක් මස් සහ ඌරු මස් ආහාරයට ගැනීමෙන් වැළැකිය යුතු බවද දන්වමිනි. ඉතා ඉක්මනින්ම ඔලිවර් ඊට ප්‍රතිචාර දක්වා තිබුණේය. එකී පිළිතුරට අනුව තමන් දැන් සිටම එම මස් වර්ග ආහාරයට ගැනිමෙන් වැළකී සිටින බව ඔහු දැනුම් දී තිබිණි.

ඒ සමගම තමන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට දිනයක් දන්වා සිටින ලෙසද ඔහු ඉල්ලීමක් කර තිබුණේය. එම වකවානුවේ රට තුළ යුදමය තත්ත්වයක් පැවැති සමය බැවින් පියුමාල් දන්වා ඇත්තේ යුද්ධය අවසන්වූ පසුව ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසයි.

එහි ප්‍රතිඵලයක් ලෙස 2009 මැයි 17 වැනිදා යුද්ධය අවසන් වීමෙන් පසුව එම වසරේම අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාව පැමිණි අතර මාසයක පමණ කාලයක් මෙරට රැදී සිට යළි ජර්මනිය බලාගියේ අංගම් ශාස්ත්‍රයේ මූලික තත්ත්වය අවබෝධ කරගනිමිනි. එතැන් පටන් වාර්ෂිකව ශ්‍රී ලංකාවට පැමිණෙන ඔලිවර් මාස දෙක තුනක් මෙරට රැඳී සිටිමින් මුල සිටම අංගම් සටන් ශාස්ත්‍රය හැදැරීම ආරම්භ කර තිබුණේය.

අවසානයේදී අංගම් ශාස්ත්‍රය මෙන්ම දේශීය ආහාර පාන වර්ග අවසන් කළ නොහැකි අධ්‍යයනයක් බවත් ඔහු ඒත්තු ගෙන තිබිණි. එහෙයින් එම සටන් ක්‍රමය තවමත් හදාරන ඔලිවර් මේ වන විට අතුරුගිරිය මූලස්ථානය කොට ගෙන පිහිටුවා ඇති ශ්‍රී ලංකා පාරම්පරික දේශීය සටන් කලා සංගමයෙන් (STIMA) අංගම් සටන් උපදේශකවරයෙකු ලෙස පුහුණුව ලබා ඇත. ඔලිවර් වසර 30කට අධික කාලයක් වෙනත් ආත්මාරක්ෂක සටන් ක්‍රම හදාරා ලත් අත්දැකීම්ද වසර 10ක් වූ අංගම් සටන් අත්දැකීම්ද උපයෝගී කරගනිමින් මේ වන විට ජර්මනියේ ෆැන්ක්ෆර්ට් සහ ස්විට්සර්ලන්තයේ බේසල් හි අංගම් පුහුණු පාසල් දෙකක පවත්වා ගෙන යයි.


මම බටහිර රටවල්වල තියෙන ආත්මාරක්ෂක සටන් ක්‍රම ගණනාවක්ම හදාරා තියෙනවා. ඒ අනුව මට කික් බොක්සිං ක්‍රීඩාවේ යුරෝපා ශූරතාව දිනා ගන්න සමත් වුණා. ඒ සටන් ක්‍රම කොතරම් ඉගෙන ගත්තත් මට මොකක් හරි ලොකු අඩුවක් ඇතිබව දැණුනා. ඒ නිසා පෙරදිග සටන් ක්‍රම ගැන උනන්දු වන්නට පටන් ගත්තා. අන්තර් ජාලය හරහා එවැනි සටන් ක්‍රමයක හෝඩුවාවක් සොයා ගන්න මහන්සි වුණා. ඒ විධිහට මට එක දවසක් අංගම්පොර ක්‍රීඩාව ගැන අහම්බෙන් දැක ගන්න ලැබිලා තමයි STIMA එකට ඊමේල් එකක් එව්වේ.

ඉන් පස්සේ මෙහේ ඇවිල්ලා අංගම් ඉගෙන ගන්නකොට මට ඒ සටන් ක්‍රමය අනෙක් ඒවායින් ගොඩක් වෙනස් බව තේරුණා. මම හොයපු දේ හමුබවුණා. වැනි හැඟීමක් මට දැනුණා. විශේෂයෙන්ම සටන් පුහුණු වෙන්න කළින් ගුරුවරුන්ට වැඳලා, ජ්‍යෙෂ්ඨයින්ට ආචාර කරලා, සටන් ඉගෙන ගන්න භූමියටත් නමස්කාර කරලයි මේ විෂය ඉගෙන ගන්න පටන් ගන්නෙ. ඒක සුවිශේෂ දෙයක්. වෙනත් කිසිම සටන් ක්‍රමයක් ඉගෙන ගනිද්දි එහෙම කරනවා මම දැකලා නැහැ.

අංගම් කියන්නේ අධ්‍යාත්මිකවත් දියුණු ශාස්ත්‍රයක්. ඒ සටන් ශිල්පය හදාරන්න ලැබීම භාග්‍යක් කියලා හිතනවා. මෙ සටන් ක්‍රමයටම ආවේණික ආයුධ පවා ඉගෙන ගන්න හොඳ ඉවසීමක් තියෙන්න ඕන. මට පුලුවන් තරම් කාලයක් අංගම් ශාස්ත්‍රය ඉගෙන ගන්න කාලය යොදවනවා. ඒ වගේම අංගම් ශාස්ත්‍රය බටහිර රටවල ප්‍රචාරය කරන්නත් මම උනන්දුයි.

ඔලිවර් හර්මන් (වයස අවුරුදු 46)

තත්ත්ව පාලක විශේෂඥ ඉංජිනේරු


ඉලංගම්පොර සටන් ශිල්පයේ ප්‍රධාන ආයුධ

රිටි , සිරිය, කඩු, වේලායුධ (පටි හයේ), කොටමුගුර (කෑලි දෙක), ගදා, යගදා, කෙටේරි, හෙල්ල, හුලච්චිය, මුගුර, පටි කඩුව (තනි පටිය), කලා කිරිංචිය, අංකිරිච්චිය, මන්නය, පළිහ, දුන්න, මර දණ්ඩ, ලේන්සුව, කටාරම්, දණ්ඩි පටිය


අංගම් කියන්නේ ආත්මාරක්ෂක සටන් ක්‍රමයක්. හුඟක් අය අංගම්පොර සටන් ක්‍රමය කිව්වට ඒක වැරදියි. සටන් ක්‍රමය හඳන්වන්නේ අංගම් කියලා. අංගම් සටන් ක්‍රමය හුඟක් පැරණි දේශීය පාරම්පරික සටන් ක්‍රමයක්. මේ සටන් ක්‍රමයේ ලිඛිත නොවන ඉතිහාසය වසර පන්දාහක් පමණ ඈතට දිව යනවා. ලිඛිත ඉතිහාසය අවුරුදු දෙදහස් පන්සීයක් පමණ වෙනවා. මහා වංශය සහ චූලවංශයේ පවා අංගම් සටන් ක්‍රමය ගැන දැක්වෙනවා. ‍මේ සටන් ක්‍රමයේ හිටිය හොඳම සටන් කරුවා ලෙස සැලකෙන්නේ රාවණා රජතුමායි.

අංගම් ශාස්ත්‍රයේ ප්‍රධාන කොටස් 4ක් තියෙනවා අංගම්පොර, ඉලංගම්පොර, මායා අංගම්, දේහ ධම්ම වෛද්‍ය විද්‍යාව, බෙරවාදනය සහ ජෝ‍තිෂය කියලා. ඒ අතරින් අංගම්පොර කියන්නේ අතින් පයින් කරන සටන් ශිල්පයට. ආයුධවලින් කරන සටන් ශිල්පයට කියන්නේ ඉලංගම්පොර කියලා. අපි උගන්වන ප්‍රධානම සටන් ශිල්ප දෙක තමයි. අංගම්පොර සහ ඉලංගම්පොර.

ඉලංගම්පොර සටන් ශිල්පයට අයත් ආයුධ 21ක් භාවිතා කරනවා. මේ සටන් ශිල්පයේ ඇති ආයුධ ජීවිතකාලයේදී පුහුණු වෙලා අවසන් කරන්න බැහැ. මොකද කඩුව කියන ආයුධය ගත්තොත් නැවත ඒක කඩු වර්ග 32කට බෙදෙනවා. ඒ වගේ ගොඩක් ආයුධ නැවත නැවත බෙදෙනවා. ඒ නිසා හරඹ කරන්න ඉගෙන ගන්න ආයුධ විශාල සංඛ්‍යාවක් තියෙනවා.

 

පියුමාල් එදිරිසිංහ (අංගම් ගුරු)

පරිගණක පද්ධති ඉංජිනේරු

[ඩබ්.ආර්. කුමාර]

මාතෘකා