තෙවැනි ඇසින් කොෙළාම්පුරේ ලෝකෙන්ම අංක එක වූ හැටි

 ඡායාරූපය:

තෙවැනි ඇසින් කොෙළාම්පුරේ ලෝකෙන්ම අංක එක වූ හැටි

චිංගීස් අයිත්මාතව් අපූරු නවකතාවක් ලියා තිබේ. ‘ද අර්ලි ක්‍රේන්ස්’ නමැති ඒ නවකතාව ඩබ්ලියු. ඒ. අබේසිංහයන් රමණීය ලෙස සිංහලට පරිවර්තනය කරන්නේ ‘වේලාසන කොක්කු ඇවිත්’ නමින්ය. ස්ටෙප්ස් තණ බිම්වලට, පොප්ලර් ගස්වලට වගේම ගුරුකමටත් නොසෑහෙන්න පෙම් කරන මේ අසිරිමත් ලේඛකයා 'ද අර්ලි ක්‍රේන්ස්’ පටන් ගන්නේ සේද මාවතේ පිහිටි රමණීය දිවයින වූ ශ්‍රී ලංකාව ගැන මනස්කාන්ත වර්ණනාවකින්ය. ශ්‍රී ලංකාව ඉන්දීය වෙරළාසන්නයෙහි පිහිටා ඇති ඒ පරම රමණීය සුන්දර දිවයින, ඉන්කමාල් අපායි සිය පන්තියේ ළමයින්ට උගන්වමින් සිටියේ, ශ්‍රී ලංකාව ගැනය. ගෙදරදී ගොතන ලද දළ ලොම් සාළුවක් පොරවාගෙන සිටියද ගුරුවරිය සීතලේ ගැහෙන්නට වූවාය. මහාද්වීපය නමැති කිරි බුරුල්ලෙන් වැටෙන කිරි බිඳුවක් ලෙසින් ශ්‍රී ලංකාව ලෝක සිතියම මත සිත්තම්ව ඇත. "ශ්‍රී ලංකාවේ නොයෙක් අපූරු දේ ඇත. වඳුරන්, අලි-ඇත්තු, කෙසෙල්, මුළු ලොවෙහිම ඇති හොඳම තේ, එතැනින් ගියාම නානා විධ පලතුරු, ගස්වැල් එහි ඇති දේ නිමක් නැත්තේය. එහෙත් වැදගත්ම දෙය නම් ශ්‍රී ලංකාව උණුසුම් රටක් වීමයි.

කොතරම් උණුසුම්ද කිවහොත් මුළු වසර පුරාම කිසිම දිනක සීතලේ ගැහෙන්නේ නැතුව ජීවත්විය හැකිය. හිම සපත්තු, හිම වැසුම් උණුසුම් පාවහන්, හිම කබා මේ කිසිවක් අවශ්‍ය නැත. උණුසුම ලබනු සඳහා දරද අවශ්‍ය වන්නේ නැත. මොනතරම් අපූරු ප්‍රීතිමත් ජීවිතයක්ද? ඕනෑම තැනක කැමති විදියට ඇවිදින්න, සක්මන් කරන්න, හිරු රැසින් නැහැවෙන්න, උණුසුම වැඩි නම් හෙවණකට ගොස් දාහය නිවන්න, ශ්‍රී ලංකාවේ දවාලත් රැයත් එක සේ උණුසුම් ය.”

වේලාසන කොක්කු ඇවිත් (ඩබ්ලිව්. ඒ. අබේසිංහ)

මවුබිම ගැන එවැනි චමත්කාරජනක වර්ණනාවක් අසන සෑම වැසියකුගේම සිතට නැඟෙන්නේ අභිමානයකි. ඉන්දු සයුරේ කඳුළු බිඳුව ගැන සුන්දර වර්ණනාවලට නිමක් නොවේ. ඒ නිසාම වරින්වර ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ලොව කතාබහට ලක්වේ. පසුගිය වසරේදී ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස සහ 2019 වසරේ සංචාරයට උචිත අංක එකේ රට ලෙස ශ්‍රී ලංකාව නම් කරනු ලැබුවේ ලොව ප්‍රකට සංචාරක මාර්ගෝපදේශක සඟරාව වන 'ලෝන්ලි ප්ලැනට්' සඟරාව විසිනි.

පසුගියදා ශ්‍රී ලංකාවට තවත් භාග්‍යයක්ද හිමිවිය. ඒ, ලොව අන් රටවලට සාපේක්ෂව ඡායාරූපගත වීමේ ඉහළ අවධානයක් සහිත නගරය හෙවත් "ෆොටෝජෙනික්" නගරය ලෙස කොළඹ නගරය නම් කරනු ලැබීමයි.

බ්‍රිතාන්‍යයේ 'මිරර්' පුවත්පත විසින් අන්තර්ජාලය ඔස්සේ කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵල අනුව එම තෝරාගැනීම කර තිබිණි. සමාජ මාධ්‍යවල සැරිසරන තරුණ පිරිස් අතර නව සංචාරක කේන්ද්‍රස්ථාන වෙත වැඩි අවධානයක් යොමුවී ඇති බවත් ඒ අනුව කොළඹ නගරය එවැනි අවධානයක් ඇති නගර අතර මුල් තැනක පසුවන බවත් එම සමීක්ෂණයෙන් වැඩිදුරටත් අනාවරණය වී තිබේ. එම සමීක්ෂණය සඳහා සහභාගි වී ඇති අතර, එහි පළමු ස්ථානය කොළඹ දිනාගන්නා විට ජපානයේ යොකෝහමා, උගන්ඩාවේ ගෝරිල්ලා ජාතික උද්‍යානය, ජර්මනියේ බාඩේන්, පුවටෝ රිකෝහි ඔල්ඩ් සැන් ජුවාන්, සිම්බාබ්වේ වික්ටෝරියා දියඇල්ල, පාකිස්තානයේ කාටාර්පූර්, ජොර්දානයේ වාඩි රාම් ජාකික උද්‍යානය, ඇලෙස්කාවේ අයිසීස් ස්ට්‍රේයිට් පොයින්ට් සහ ස්කොට්ලන්තයේ අයිල් ඔෆ් හාරිස් යන ස්ථාන පිළිවෙළින් ඡායාරූපගත වීමේ ඉහළ අවධානයක් ඇති ස්ථාන ලෙස නම්කර තිබේ.

පුරාවිද්‍යා ස්ථාන මිලියන 1.3කට වඩා වැඩි සංඛ්‍යාවක් මෙම සමීක්ෂණයේදී විමසුමට ලක්වී ඇති අතර, ඒ අතරින් හොඳම ඡායාරූප ආකර්ෂණය සහිත ස්ථානය බවට පත්වීමට කොළඹ නගරයට හැකිවීම අරුමයක් නොවන්නේ මෑත කාලයේදී කොළඹ ආශ්චර්යවත් නගරයක් ලෙස දෙස්විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට පාත්‍ර වී ඇති නිසාය. අධික ජනතාවක් දිනපතා කොළඹ නගරයට ඇදී ආවද එම ජනාකීර්ණ බව සහ ඝෝෂාකාරී බව පරයන සුන්දරත්වයක් කොළඹ නගරය සතුවීම විශේෂත්වයකි. විශේෂයෙන් ප්‍රධාන ජන වර්ග තුනටම අයත්වන ජනතාවක් කොළඹ නගරයේ ජීවත්වන අතර සංස්කෘතික, ආගමික සහ සමාජීය සංකලනයේ කදිම නගරයක් ලෙස කොළඹ නගරය හැඳින්විය හැකිය. එම විවිධත්වය තුළින් ජනතාව අතර ඇතිවී තිබෙන සුහදත්වය සහ සංහිඳියාවද කොළඹ වඩාත් සුපසන් නගරයක් බවට පත්වීමට හේතු වූවා විය හැකිය. ඒ අනුව වර්ණවත් සහ පොහොසත් සංස්කෘතික නගරයක් ලෙස කොළඹ නගරය හැඳින්වීම වරදක් නොවේ.

ඡායාරූප ආකර්ෂණය අතින් මුල් තැන දිනාගැනීමට ඉවහල් වූ කොළඹ නගරයේ සුන්දර ස්ථාන මොනවාදැයි විමසීමද වැදගත් වනු ඇත.

ගාලුමුවදොර හෙවත් 'ගෝල්ෆේස් ග්‍රීන් ' කොළඹට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් අතර වැඩි ඡායාරූප ආකර්ෂණයක් හිමි ස්ථානයයි. මුහුදට මුහුණ ලා ඇති පටු වෙරළ සහ දිගු විවෘත අවකාශය තුළ පවුල් පිටින් පැමිණ කෙළිදෙලෙන් ගතකරන විනෝදකාමීන්ගෙන් පිරී ඉතිරී යයි. එමෙන්ම ගෝල්ෆේස් හා බැඳුණු අපූරු ආහාර සංස්කෘතියක්ද දක්නට ලැබීම එහි ඇති තවත් විශේෂත්වයකි. ගැඹුරු තෙලේ උණු උණුවේ බදින නැවුම් ඉස්සෝ වඩේ, පරිප්පු වඩේ සහ රොටී නැවුම් එළවළු, ලුණු මිරිස් සමඟ ඉතා රසවත් ආහාරයක් ලෙස සංචාරකයන් අතරද ජනප්‍රිය වී තිබේ. ගාලුමුවදොර මෙන්ම සිත්ගත් තවත් වෙරළ තීරයක් වන්නේ ගල්කිස්ස වෙරළ තීරයයි. සෞම්‍ය හිරු කිරණින් සැදී සුන්දර වෙරළ තීරයක් වීම මෙන්ම වෙරළබඩ දුම්රිය මාර්ගය නිසාද මෙම වෙරළ තීරයට අපූර්වත්වයක් එක්වී ඇති අතර ඒ නිසාම බොහෝ ඡායාරූපගත කිරීම් සඳහා සුන්දර ස්ථානයක් ලෙස ප්‍රචලිතය.

කොළඹ ජාතික කෞතුකාරය සහ ඕලන්ද යුගයේ කෞතුකාගාරයද විශේෂ ඡායාරූප ආකර්ෂණයක් සහිත ස්ථානයන්ය. කොළඹ විශාලතම උද්‍යානය ලෙස සැලකෙන විහාරමහාදේවි උද්‍යානය සෑම වසරකම මාර්තු, අප්‍රේල් සහ මැයි මාසය වන විට මලින් බරවේ. ආදරවන්තයන්ගේ පාරාදීසයක් ලෙස සැලකෙන එම උද්‍යානයද හොඳම ජායාරූපකරණයක් සඳහා උචිත මනරම් උද්‍යානයකි. විශේෂයෙන් එහි ඇති විසල් බුදුරුව දෙස් විදෙස් සංචාරකයන්ගේ තෙවැනි ඇසට නිරන්තරයෙන් ලක්වන විශිෂ්ට නිර්මාණයකි.

ගංගාරාමයේ බෞද්ධ විහාරස්ථානය, බෙල්ලන්විල රාජමහා විහාරය, කැලණි රාජමහා විහාරය, කොළඹ සීමාමාලකය, පිටකොටුවේ පාවෙන වෙ‍ෙළඳ සංකීර්ණය, බත්තරමුල්ලේ දියත උයන මෙන්ම නිදහස් චතුරශ්‍රයද සංචාරකයන්ගේ තෙවැනි ඇසට වැඩිපුර යොමුවන ආකර්ෂණීය ස්ථානයන්ය.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා