නැළවෙන ගී මැද ඕවිල්ල

 ඡායාරූපය:

නැළවෙන ගී මැද ඕවිල්ල

ජීවිතය කියන්නෙ කලින් ලිව්ව පොතක්. ඒ පොතේ කිසිම සිදුවීමක් අභව්‍ය නැහැ. සියල්ල හොඳින් සැලසුම් කරලා තියෙන්නේ. ඒක කළේ දෙවියන් වහන්සේ ද කර්මය ද කියන්න මම දන්නෙ නැහැ. හැබැයි ඒක ශ්‍රේෂ්ඨ සැලසුමක්. සියල්ල තර්කානුකූලයි. ඔබ යම් දෙයක් කළොත් එහි නියත ප්‍රතිඵලය ඔබට ලැබෙනවා සත්තයි. අපි කරන්නෙ පිටුවෙන් පිටුවට ඇවිදින එක විතරයි. ඇත්තටම කියනවනම් අපේ ජීවිතය කියන පොතේ පළමු පාඨකයා අපි. මම කියන්නෙ කලකිරෙන්න නෙමේ. අපි අපේ පොත රස විඳින්න පටන් ගන්න ඕනේ. අපි ඒ පොතේ තියෙන දේවල්වලින් සැබෑ ම පාඨකයෙක් වගේ ස`ප්‍රයිස් වෙන්න ඕනේ. සිතින් සිනා නඟන්න ඕනේ. ඇසින් කඳුළු වැටෙන්න ඕනේ. යළි කියවන්න පටන් ගන්න ඕනේ. ඉවර වෙනකන් කියවන්න ඕනේ. මතක තියාගන්න. මේ පොතේ අවසානය කොතන ද කියල ඔබ දන්නෙ නැහැ. අවසාන පිටුවේ අවසාන ඡේදේ අවසාන වාක්‍යයේ අවසාන වචනේ අවසාන අකුර වෙනකන් අවසානය සමහරවිට දැනගන්න ලැබෙන්නෙ නැහැ. සමහරවිට.. එහෙමවත් දැනගන්න ලැබෙන්නෙ නැහැ.

ඉතින් මට කියන්න ඊටත් වඩා හොඳ පොතක් කොයින් ද ?

ජීවිතය කියන්නෙ පොතක් නෙමේ. නිකම්ම නිකං හිස් කොළයක්. නැත්නම්, කොළ ගොඩක්. පෑන තියෙන්නෙ ඔබේ අතේ. ලියාගෙන ලියාගෙන යන්නයි තියෙන්නේ. ආපහු පෙරලලා බලන්න. ඒ හැම පිටුවක්ම ලියවුණේ ඔබේ අතින්. සුනාමිය එද්දී ඔබ දුවල බේරුණා කියමු. සුනාමිය ආවෙ ඔබේ උවමනාවට නොවුණත් දිව්වේ ඔබේ උවමනාවට. ඔබ නොදිව්ව නම් අද අපට කතාකරන්න දෙයක් නැහැ. සමහරවිට කාලයත් එක්ක කල්පනා කරලා බලද්දී, සුනාමිය ආවෙත් ඔබේම උවමනාවට කියල ඔබ ම ලියන්න ඉඩ තියෙනවා. ඔබේ ජීවිත කතාවේ ඔබ පාඨකයා නෙමෙයි, ඔබ එහි යෝධ ලේඛකයා. ඔබට ඕන දෙයක් එහි ලියන්න පුළුවන්. සමහර දේවල් - සමහර චරිත - සමහර සිද්ධි; සම්පූර්ණයෙන්ම වහලා දාන්න හෝ හංගලා දාන්න ඔබට පුළුවන්. ඔබේ කුහකකම්, කුඩුකේඩුකම්, බලුකම්, ජඩකම් සියල්ල වචනවලින් අකුරුවලින් සාධාරණීකරණය කරන්න ඔබට පුළුවන්. දෙවියන් වහන්සේ වෙන කවුරුත් නෙමෙයි ඔබ. කර්මය කියන්නෙ ඔබේ කැමැත්ත. ඉරණම කියන්නේ ඔබේ ආශාව. මරණය කියන්නේ ඔබේ ජීවන සුරතාන්තය.

විමල් කැටිපෙආරච්චි ලියයි

2019 ජනවාරි 23 සිට බදාදා ‘ඉති’ වෙතින් සතිපතා කියවන්න !

---------------------------

සෝෂල් හීන

කැම්පස් ගිහිල්ලා මාස තුන හතරකට විතර පස්සේ මගේ යාළුවෙක් මෙහෙම ඇහුවා.

"කොහොමද කැම්පස් ජීවිතේ?"

"මරු. ගෙදර ඉන්නකොට අම්මාට කියල බත් කවාගත්තු මම කැම්පස් ගිහිල්ලා මගේ අතින් තනියෙන්ම කනවා"

2015 වෙද්දි මගේ අත් දෙකේ පොඩි අපහසුතාවක් ආවා (ඒකට මං ආබාධයක් කියන්න කැමති නෑ). ටික දවසකින් දොස්තරලා හොයාගන්නවා මට යම්කිසි ස්නායු රෝගයක් ඇතිවෙලා කියලා. ලෙඩේ තමා ඇලිවල ශක්තිය අඩුවෙන එක. සාමාන්‍ය ජීවිතයේදී මේ දේ හන්දා අපහසුතාවට මං ලක්වුණු තැන් ගණින්නට බැහැ. මාව ඇසුරු කරලා තියෙන යාළුවෝ ඒ දේ ගැන හොඳාකාරවම දන්නවා.

කැම්පස් ආවට පස්සේ ඒ අසුරු කරන යාළු මිත්‍රයන් අතර ඇතිවන ළෙන්ගතු බැඳීම් හන්දා මට හරි අමුතු ආසාවක් ඇතිවුණා. දැන් අතින් ටික ටික බත් කන්න පුළුවන් හන්දා අපේ බැජ් එකේ හැම කොල්ලෙක්ට, කෙල්ලෙක්ටම බත් කට ගානේ කවන එක. නමුත් ඒ ආසාව ගොඩාක් දුර ඈත ගියේ මගේ දකුණු අතේ මහපට ඇඟිල්ලේ ශක්තිය ගොඩාක්ම අඩුවුණ හින්දා.

"තෂ්මිලා මගේ අතට ටිකක් අමාරුයි කවන්න පුළුවන් ද?"

එදා ඉඳන් අද වෙනකම් කොහේම හරි බත් එකක් ඇරියොත් අපේ එකෙක් මට කවනවා. අතින් කන්න හැදුවත් කන්න දෙන්නේම නැහැ. ලොකුම කටවල් කවන්නේ "ජේලර්". සමහරක් එවුන් බත් කකා ඉද්දි මට අඬගහලා බත් කවනවා. ඊයේ හොස්ටල් එකට අම්මා හදලා එවපු බත් එකක් උණුවෙන්ම දිග ඇරියාම රතන අයියයි, කොමේ අයියයි මට හිර වෙනකන්ම බත් කැව්වා. ඒ බත් කටවල් දෙවැනි වෙන්නේ අපේ තාත්තාගේ "හුණ්ඩුවේ බත් කටවලට" විතරයි.

රාෆිගේ ඇඩ්වටයිසින් වැඩකට උදවු කරන්න කොළඹ කැම්පස් එක ළඟට ගිහිල්ලා 176 ගෙදර යන්න නුගේගොඩට ආවා. අන්තිමට මං නුගේගොඩට ආවේ "කැටයක් ගහන්න". දවසම වෙහෙසිලා බස් එකේ සීට් එකේ වාඩිවෙලා ඉද්දි දකින්න ලැබෙන අකැමතිම අජූතම දේ මගේ ඇස් දෙක ඉස්සරහට ආවා "හිඟන්නියක්".

හිඟන්නන්ට මං සල්ලි දෙන්නේ නැති කෙනෙක්. මගේ අතේ ඒ වේලාවේ තිබුණේ මීට විනාඩි පහකට විතර කලින් පර්ස් එකෙන් එළියට ගත්ත රුපියල් විස්සක්. ඒ වෙලාවේ ඒ මනුස්සයා බස් එක ඉස්සරහට වෙලා කියපු කිසිම දෙයක් මට ඇහුණේ නෑ. ඒත් මං දැක්කා එයාගේ වම් අතේ තියෙනවා රෝස පාට කෝප්පයක්. ආයෙමත් ජනේලේ පැත්තට ඔළුව හරවද්දිමයි ඒ මනුස්සයාගේ දකුණු අත දැක්කේ. එතැන තමා මං හිරවෙච්ච තැන.

මනුස්සයාගේ දකුණු අතේ ඇඟිලි එකින් එක වෙන්වෙලා තිබ්බේ. එවාට කිසිම දෙයක් අල්ලගන්න බෑ. වම් අතෙත් ඒ ගතිය ටිකක් තිබුණා. හරියට මගේ අතේ වගේම. "මේ මනුස්සයා රෑට කන්නේ කොහොමද?"."අතින් වැඩ කරන්නේ කොහොමද?" එක එක විදිහේ මාව කරකවලා අතහරින ප්‍රශ්න වගයක් මගේ ඔලුවට නොනැවතී ආවා. "මගේ අතත් ඔය වගේ වුණොත්? මං කවි ලියන්නේ කොහොමද? පොත් කියවන්න පිටු පෙරලන්නේ කොහොමද? මං ආදරය කරන කෙනාගේ අත අල්ලන් යන්නේ කොහොමද?"

ටිකට් ගන්න තිබුණු රුපියල් විස්ස මං එහෙමම ඒ මනුස්සයාගේ ප්ලාස්ටික් කෝප්පයට දැම්මා. මං ඒ රුපියල් විස්ස එයාට දුන්නේ ඇයි කියන ප්‍රශ්නය ඇතුළේ මං තාමත් හිරවෙලා. නමුත් මේ රුපියල් විස්ස දුන්න ආනිශංසෙන් මගේ අත හොඳ වෙන්න කියලා නෙමෙයි.

"මොකද එයාටත් තියෙන්නේ මට වගේම අත් දෙකක් හින්ද...!"

------------------------

ඒලෙවල්

වෙලාව මධ්‍යම රාත්‍රිය පසුවී විනාඩි පනහක් පමණ ගෙවී ගොස්ය. නොනවත්වා නාද දෙන ජංගමය කනට යොමු වූයේ අනිච්ඡානුගවමය.

“සර් රෑන්ක් එක 34 නේ?”

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වී ඇති බව මට මතක් වේ.

“ඉතිං හොඳයිනේ, සිලෙක්ට් වෙයි!” නින්දත්, නොනින්දත් අතර පවසමි.

“මෙඩිසින් සිලෙක්ට් වෙයිද සර්. අනේ සර් මං මෙඩිසින්...”

“ඔව් සිලෙක්ට් වෙයි. ගිය පාර හතළිස් ගණනුත් ගියානේ?” නිදිමත වාෂ්ප වේ.

“ෂුවර්ද සර්. මං තාම අම්මලට කිව්වෙත් නෑ. සර්ට තමා ඉස්සරවෙලාම කිව්වේ.” සතුට වැඩිකමටදෝ ඒ හඬ හැඬුම්බරය.

“ඔව්, ඔව්. ප්‍රශ්නයක් වෙන එකක් නෑ.”

“එහෙනම් සර් මං ගෙදරට කියනවා.”

ජංගමයට විවේකයක් නොමැත. වෛද්‍ය පීඨ මෙන්ම සරසවි වරම් ලැබූ සහ

උසස් පෙළ කඩඉම සමත් වූ දරුවන්ගේ ඇමතුම්ය. ගුරුවරයකුට පමණක් විඳිය හැකි අභිමානය සහිතව හෝරා කිහිපයක් ගෙවී යයි. නැවත නින්ද එන්නේ එළිවීමට ආසන්න හෝරාවේදීය. උදෑසනම පාර අයිනේ තවත් විභාග ප්‍රතිඵල ගැන සංවාදයකි.

“දැන් එතකොට එකවුන්ටින්වලට පුතාලගේ සර්ටද වැඩිම ‘ඒ’ ගාණක් තියෙන්නේ?”

“ඇයි ඉකෝන්, ඉකෝන් සර්ට තියෙනවනේ A පනහක් විතර.”

සිසුන් විභාගයට මුහුණ දෙන, ගුරුවරු ප්‍රතිඵල ගන්නා හරි අපූරු රටකි මේ. සවස් කාලයේ අපේ නැන්දා කෙනෙක් සිය පුතාද සමඟ මා හමුවීමට පැමිණියාය.

“අනේ පුතේ මල්ලිට වාර විභාගේ ලකුණු මදි. ඒලෙවල් කොමස් කරන හොඳ සර්ලා ටිකක් හොයලා දෙන්නකෝ.”

“ගුරුවරු නම් ඔක්කොම හොඳයි. තමන්ගේ අතේ තමා වැඩේ තියෙන්නේ.”

“හැබෑද, එහෙනම් අර කාටද කාටද A අච්චර මෙච්චර තියෙනවා කියල කියන්නේ.”

මම සිනාසීමි. ඇන්ටි පොඩි මල්ලිට කතා කරයි.

“පොඩි පුතේ, අර ආනන්ද සර්ට නේද වැඩිම A ගාණක් තියෙනවා කිව්වේ?”

“ආනන්ද සර්ට ඉතිං උපරිම ගන්න පුළුවන් ඒ 3යි නැන්දේ. විෂයයන් 4 කාලේ උසස් පෙළ ලිව්වා නම් ඒ 4ක් තියෙන්න තිබුණා.”

“නෑ පුතේ, ඒ සර් ගත්ත A ගැන නෙවෙයි මේ කියන්නේ. සර් අරන් දුන්න A ගැන. පොඩි පුතේ ආනන්ද සර් නේද වැඩියෙන්ම A අරන් දුන්නා කිව්වේ?”

ලබන වසරේ උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදානමින් සිටින කොල්ලා හඬ අවදි කරයි.

“අයියේ, ආනන්ද තමයි ඉකෝන් වැඩ්ඩා. පිට පිටම දිස්ත්‍රික් ප්‍රථමයා බිහි කළා මෑන්. ”

“නෑ, කවුද කීවේ?”

“සර්මයි කීවේ ඔය කොළවලත් ගහලා බෙදන්නේ.”

“සර්ගේ පන්තියේ ෆේල් වෙන ළමයි නැද්ද?”

“ඉන්නවා. මොකද නැත්තේ. ”

“ඉතිං ඒ ෆේල් වෙන ප්‍රතිඵල සර්ගේ නෙවෙයිද? ”

“සර්ට පුළුවන් විෂයය උගන්වන්න, ප්‍රතිඵල ගන්නෙ ළමයින්ගේ මහන්සියෙන්. එකවුන්ටින්වලට කවුද ඉන්නේ මල්ලි හොඳ සර් කෙනෙක්. ”

“ඒකට නම් ඉතිං රුවන් තමා. දිස්ත්‍රික් ප්‍රථමයා හැමදාම වගේ බිහි කරනවනේ.”

“දිස්ත්‍රික් ප්‍රථමයා බිහි කරන්නේ කොහොමද? ඒ සර් එක විෂයක් විතරයිනේ උගන්වන්නේ. තව දෙකක් තියෙනවනේ.”

“රුවනා මාර පොරක්. ආයි උගේ තියරි එකට ගහන්න එකෙක් නෑ. දිස්ත්‍රික් ප්‍රථමයා විතරක් නෙවෙයි අයිලන්ඩ් ෆස්ට් වුණත් අරන් දෙයි. එකවුන්ටින් නම් රුවන්. රුවන් නම් එකවුන්ටින්.”

“ඇන්ටි මම හොයලා දෙන්න ඕනි නෑනේ, මෙයා හොඳ ගුරුවරු ටිකක් හොයාගෙනනේ ඉන්නේ.”

“හොයාගෙන ඉන්නවා කියලා කියවනවා නම් තමයි, ඒත් ඉතිං වාර විභාගවල ලකුණු නෑනේ. ගුරුවරු ගැන පම්පෝරි ගහනවා තමයි.”

“සර්ලගේ ප්‍රශ්නයක් නෙවෙයි අයියේ තියෙන්නේ. අපේ ඉස්කොලේ ලකුණු දෙන්නේ නෑ වෙන පන්තිවලට ගියාම. උසස් පෙළ විභාගෙදි එහෙම ලකුණු කපන්න බැහැනේ.

“අයියේ, මේ වාහනේ මාරු කරමුකෝ. අපේ ආනන්ද සර්ගේ ‘හොබී එක’ තමයි වාහන මාරු කරන එක. දැන් ‘අවුඩියක්’ බස්සලා තියෙන්නේ. හැබැයි ආනන්දයා පට්ට කුණා. ෆ්‍රී කාඩ් නම් දෙන්නෙ නෑ.”

අල්ලපු ගෙදර මල්ලිගේ ටියුෂන් ගුරු විචාර අතරතුරේදී කතාබහෙන් සමුගත්තෙමි. එහෙත් ඒ කතාබහ අපේ රටේ අධ්‍යාපනය පත්ව තිබෙන බරපතළ විකෘති ස්වභාවයේ තරම අනාවරණය කරයි. ටියුෂන් ගුරුවරු වන්දනාමාන කරන මෙරට ජවසම්පන්න යෞවන පරම්පරාව ලෝකය දකින්නේ එකී ගුරුවරුන්ගේ ඇස්වලිනි. අපිද ජීවිත විමුක්තිය ඇත්තේ අධ්‍යාපනය තුළය යන බලාපොරොත්තුවෙන් ටියුෂන් ගියෙමු. දැන් ටියුෂන් කරන්නෙමු. නමුත් ඒ අපගේ කැමැත්ත නොවේ. අධ්‍යාපනය යනු දරුවන්ගේ නෛසර්ගික හැකියාවන් හඳුනාගෙන ඒවා ඔපමට්ටම් කිරීමේ ක්‍රියාවලියක් ලෙස පිළිගන්නා, වෘත්තියක් ලෙස නොව ඉගැන්වීමේ ආශාව හා හැකියාවන් ඇති අය එම කේෂත්‍රයට ඇතුළු කරගන්නා සමාජ ආර්ථික ක්‍රමයක් මේ බිම තුළ ස්ථාපිත වීමේ සිහිනයක් දකිමින් සිටින්නෙමු.

-------------------

 

කෙනෙක් ගෙදරින් පැනල යන එක සැලකෙන්නෙ පවුලට අවනම්බු කරන, පවුලෙ අයගෙ මූණෙ දැලි ගාන වැඩක් විදිහට. කිසි කෙනෙක් පැනල යන කෙනාගේ පැත්තෙ හිටගෙන එයාට පැනල යන්න හේතු වුණ කාරණේ හොයන්න වද වෙන්නෙ නෑ. ඒ වෙනුවට සිද්ධ වෙන්නෙ සරලව එයාව පවුලෙන් අයින් කරන එක. අහම්බෙන් හරි කොහෙදි හරි හම්බුණොත් හතර හන්දි කඩන්නත් ඉඩ තියනව. මේ පුංචි රටේ කොතැනකදි හරි ආපහු හම්බ වෙයංකො මට කියල සින්දුත් ලියනව. අනේ උඹේ දුවත් උඹ වගේම පැනල පලයං එතකොට උඹට තේරෙයි කියල අම්මල කියන සින්දුත් තියනව. සමහර දෙමාපියො ළමයා මළා කියල හිතල දානෙකුත් දෙනව. මේ ගෝත්‍රවාදය විසින් නිදහස හොයන මිනිස්සුන්ට පැනල යන්න තවදුරටත් බල කෙරෙනව. පැනල යෑම, තමන් වෙනුවෙන් තමන් පෙනී සිටින එක්තරා විදිහක්. ස්වාධීනත්වය වෙනුවෙන් ගහන පුද්ගල කැරැල්ලක්. තමන් වෙනුවෙන් නැඟී හිටින්නෙ නැති කෙනෙක් ජීවිතේ කිසිම දෙයක් වෙනුවෙන් නැඟී හිටින්නෙ නැති මිනිහෙක් වෙනව කියල ලියවෙන්නෙ ඇෆ්ගන්-ඇමරිකානු ලේඛක ඛාලෙඩ් හොසෙයිනිගෙ

The Kite Runner පොතේ.

ඉස්සර මිනිස්සු ගෙදර ඉන්න බැරි වුණාම පැනල ආවෙ වෙන කාගෙහරි ගෙදරකට. ගමේ ඉන්න බැරි වුණාම පැනල ආවෙ නගරෙට. දැන්, රටේ ඉන්න බැරි වුණාම මිනිස්සු පනිනව වෙන රටකට. දරුනු අවදානමක් අරං බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට. ඇත්තටම මිනිස්සු පැනල යන්නෙ ඇයි?තමන් ඉන්න තැන සහ තමන් වටේ ඉන්න මිනිස්සු, තමන්ට තමන් කැමති විදිහට ඉන්න ඉඩ අරිනව නම් මිනිස්සු පැනල යයි ද? තමන් අකැමැති රියැලිටියෙ ඉඳන් තමන් කැමති යුතෝපියාවට පැනල යන හැමෝටම ඒ බලාපොරොත්තු වෙන යුතෝපියාව අත්දකින්න හම්බ වෙන්නෙ නෑ. නැත්තෙත් නෑ. යුතෝපියාව කියන සිහිනයම පර්ෆෙක්ට් තැනක් නෙමෙයි. හැබැයි කෙනෙක් මේ උත්සාහය ගන්නෙම තමන් ඉන්න තැනට වඩා හොඳ තැනක් වෙනුවෙන් තියන බලාපොරොත්තුවකින්. ඒ තමන් දැනට ඉන්න තැන මානසිකව හෝ කායිකව හෝ දෙයාකාරයෙන්ම හෝ කම්ෆටබල් නැති වුණාම. ඕන්නං මෙතෙන්ට සිංහල සාහිත්‍යයේ එන පටචාරා, කුණ්ඩලකේශී වගේම ඇමරිකාවේ පළමුවෙනි රොකට් විද්‍යාඥවරිය මේරි ෂර්මන් මෝගන්, ලෝක ප්‍රකට ගායිකා ජෙනිෆර් ලෝපේස් වගේ අයත් කැඳවන්න පුළුවන්.

තමන්ට තමන් වෙන්න ඉඩ දෙන්නැති ගෝත්‍රවාදයෙන් පැනල ආපු සෞදි අරාබි ජාතික රහාෆ් අල්-කුනූන්ට අවුරුදු දහඅටයි. නිදහස පරම බලාපොරොත්තුව කරගත් ඇය හඬ නඟා මුළු ලෝකයෙන්ම තමන්ගේ අයිතිය ඉල්ලා සිටිනවා. ලෝකයටම දැනුම් දී පැන යෑම, හඳපානේ පැන යෑමෙන් වෙනස් වෙන්නෙ එතැනදි. පනින්න පෙර සිතා බලනු කිව්වට පිටුපසින් තමන් ගොදුරු කරගන්නට යමෙක් ඉන්නව නං නොසිතා පනින්න සිදු වෙනව. අනුන් තමන්ට ඕනෑ විදිහට ජීවත් විය යුතු යැයි විශ්වාස නොකරන ශිෂ්ට ලෝකය ඇයව බාරගන්නවා. තමන් වෙනුවෙන් නිර්භයව පෙනී සිටිය රහාෆ් දැන් කැනේඩියානුවෙක්. කූඩුවක උපන් කුරුල්ලන්, පියෑඹීම අසනීපයක් ලෙස දකින බව පැවසුවේ චිලී - ප්‍රංශ ජාතික සිනමාකරුවෙකු වන අලෙජොන්ද්‍රෝ ජොදොරොව්ස්කි.

මේ පුද්ගල කැරැල්ල ගසන්නන් ලෝකය පුරා බෝ වෙමින් ඉන්නවා. ඒ නිසා දැන් දැන් එය සමාජ කැරැල්ලක් බවට පත් වෙමින් තියනවා. ඒ අනුව පැන යෑම යන්නේ භාෂාර්ථයත් වෙනස් වෙමින් පවතිනවා. අතීතයේ ඒ දිහා බැලූ සෘනාත්මක දෘෂ්ටිය වෙනුවට පැන යෑම දැන් ධනාත්මක අදහසක් ලෝකයට හඳුන්වා දෙනවා. පැන යන්නන් කළු චරිත බවට පත් කළ ඉතිහාසයේ හිස ගසා ගන්නට වැඩිහිටියන්ට සිදු වෙනවා. ශිෂ්ට මනුෂ්‍ය ජීවිතයක් වෙනුවෙන් පැන යන්නට හීන මවන්නන්ට රහාෆ් පාර කියනවා.

මාතෘකා