ආච්චිලා සීයලාත් සටන් කලාව හදාරන ඌවේ අපූරු ගම්මානය

 ඡායාරූපය:

ආච්චිලා සීයලාත් සටන් කලාව හදාරන ඌවේ අපූරු ගම්මානය

සුන්දර කඳු වළලුවලින් වටවුණු බදුල්ලට හිරු පායන්නේ අනිත් නගරවලට පස්සේ කියලා හිතෙන තරමටම බදුල්ල සීතලයි. ගත හිරිගඩු නැඟෙන ඒ සීතලේ උදේ පාන්දර මුළු ගමක්ම එකතු වෙලා ව්‍යායාම්වල යෙදෙනවා කියලා ඇහුවමත් සමහර විට ඔබේ ගතේ හිරිගඩු නැඟෙන්න පුළුවන්. ඒත් ඒ කතාව ඇත්ත. අපි ඔබට කියන්න යන්නේ ඒ විදිහේ ක්‍රියාශීලී මිනිස්සු ගොඩක් ජීවත්වෙන ගමක් ගැන. මේ ගමේ නම බදුල්ලේ කොරදෙකුඹුර. වයස් භේදයක් නැතුව මේ ගමේ ඉන්න අය හැමදාම උදේ පාන්දරට ශාරීරික සුවතා ව්‍යායාම්වල යෙදෙනවා. කුඩා දරුවන් කරාටේ ක්‍රීඩාව පුහුණුවීම් කරනවා. වැඩිහිටි උදවිය පාරම්පරික සටන් කලා ශිල්ප හදාරනවා. කෙටියෙන් කියනවා නම් හැමදාම උදේට කොරදෙකුඹුර ගමේ හැමදෙනාම ක්‍රියාශීලීයි. වැලිමඩ සානුව ආසන්නයේ මේ ගම පිහිටා තිබෙන අතර, රාවණා පුරාවෘත්තයේ එන කූරත්ත කන්ද පිහිටා තිබෙන්නේත් මේ ගමේ බවයි පැවසෙන්නේ. ගම්මානයට නැඟෙනහිරින් ශ්‍රී පුර කන්දත් බටහිරින් බෝමුරු ඇල්ලත්, ගම්මානය ඇතුළේ රාවන් ඇල්ලත් පිහිටා තිබෙනවා. ඒ වගේ ඓතිහාසික වටිනාකමින් යුක්ත මේ ගමේ ජීවත්වන ඒ බොහෝදෙනෙක් ඌව වෙල්ලස්ස කැරැල්ලට සම්බන්ධ වූ අතීත මීමුත්තන්ගේ පරම්පරාවට උරුමකම් කියන අයයි. ගොවිතැනින් දිවි රැකගන්නා මේ ගම්මානයේ බොහෝ ගැමියන් තමන්ගේම ගෙවත්තේ එළවළු වගාකරමින් ජීවනෝපාය සරි කරගන්නා අයයි.

ඒ වගේ සුන්දර, සරල, අව්‍යාජ පරිසරයක් තියෙන, හැමදාම උදේට ගමම එකතුවෙලා ව්‍යායාම් කරන මේ අපූරු ගම ගැන වැඩි විස්තර දැනගැනීමේ අපේ කුතුහලය මුසුවූ විමසීමට පිළිතුරු දෙන්න එකතු වුණේ ඒ ශාරීරික සුවතා වැඩසටහනේ පුහුණුකරු විදිහට කටයුතු කරන ජයවීර ජයසුන්දර මහතායි. මේ විදිහට ක්‍රියාශීලී ගමක් හදන්න මුල්වුණේ කොහොමද කියලා අපේ පළමු ප්‍රශ්නෙට ඔහු මේ විදිහට පිළිතුරු දුන්නා.

"මම ඉස්සර රාජකාරි කළේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් විදිහට. රාජකාරි ජීවිතයේ අවසාන කාලෙදී මම ඌව පළාතේ බෝ නොවන රෝග ඒකකයේ නිලධාරියෙක් වශයෙන් සේවය කළා. 2015 වර්ෂයේදී මම සේවයෙන් විශ්‍රාම ලැබුවා. ඒ වෙද්දි මට වයස පනස් හයයි. මම පාසල් යන කාලේ ඉඳන්ම කරාටේ ක්‍රීඩාවේ යෙදුණා. මගේ මුල් ගම තමයි කොරදෙකුඹුර කියන්නේ. ඉතින් ඒ ගමේ ඉන්න බොහෝමයක් දෙනා මගේ ඥාතීන්. කොරදෙකුඹුර ගමේ ගම්වැසියෝ මට යෝජනාවක් ගෙනාවා ගමේ දරුවන්ට කරාටේ පන්තියක් කරමු කියලා. ඊටපස්සේ මම එයාලට කිව්වා හැමතැනම වගේ පුහුණු පන්ති තියෙන නිසා මවුපිය සංසදයක් වගේ පුහුණුවීම් ආරම්භ කරමු කියලා. ඉතින් ගමේ ඔක්කොමලා වගේ කතා වෙලා 2016 වසරේ ජූලි මාසයේදී අපි මේ මවුපිය සංසදය පිහිටුවා ගත්තා. දරුවන්ගේ අනෙක් වැඩවලට බාධාවක් නොවෙන ආකාරයට බදාදා හවස 2.30ට පුහුණුවීම් කරන්න අපි තීරණය කළා. ඒක තමයි මේ ව්‍යායාම් වැඩසටහනේ ආරම්භය."

එහෙම ආරම්භ කළ මේ වැඩසටහනට මේ වන විට ගමේ බොහෝදෙනෙක් වයස් භේදයකින් තොරව සහභාගි වනවා. හැබැයි එහෙම සහභාගි වන හැමකෙනාම පුහුණුකරු ජයවීර මහතා විසින් පවත්වාගෙන යන ක්‍රමවේදයට එකඟව කටයුතු කළ යුතුයි. ඒ කියන්නේ මේ පුහුණු වැඩසටහනේදී වෙලාවට වැඩ කිරීම, පිළිවෙළ හා පිරිසුදුකමට විශේෂ තැනක් හිමිවන බව ජයවීර මහතා පැවසුවා.

"කොරදෙකුඹුර ගමේ තියෙන ප්‍රජා ශාලාවේ තමයි අපි මුලින්ම පුහුණුවීම් කටයුතු කළේ. හරියටම 2.30 වෙද්දි මම ප්‍රජා ශාලාවේ දොර වහනවා. 2.30න් පස්සේ පන්තියට එන කිසිම දරුවෙක් ඇතුළට ගන්නේ නෑ. එහෙම පරක්කු වෙලා පන්තියට එන දරුවන්ව ඊළඟ දවසේ වෙලාවට පන්තියට එන්න කියලා මම හරවලා යවනවා. මගේ පන්තියට එන ළමයින්ට මම පුරුදු කළා පන්තියට පැමිණෙන පිළිවෙළට ලස්සනට එයාලගේ සෙරෙප්පු ප්‍රජා ශාලාව ඉදිරියෙන් තියන්න කියලා. ඒ වගේම ගෙදරදිත් හැමදේම පිළිවෙළට, පිරිසුදුව කරන්න කියලා මම දරුවන්ට උපදෙස් දුන්නා. ටික දවසක් යද්දි මවුපියන්ට දරුවන්ගේ ලොකු වෙනසක් දැනිලා අපි පන්ති කරන තැනට එන්න පටන් ගත්තා. එහෙම ඇවිත් එයාලා දරුවන් පුහුණුවීම් කරන දිහා බලාගෙන ඉන්න පුරුදු වුණා.

ඉතින් එහෙම නිකන් බලාගෙන ඉන්නවාට වඩා දරුවන්ගේ පිටිපස්සට වෙලා ව්‍යායාම කරන එක හොඳයි කියලා මම මවුපියන්ට යෝජනාවක් ගෙනාවා. එයාලත් ඒකට කැමති වෙලා දරුවන්ගේ පිටිපස්සට වෙලා ව්‍යායාම කරන්න ගත්තා. "

කොරදෙකුඹුර ගමම ව්‍යායාම කරන්න පුරුදු වුණ හැටි ජයවීර මහත්මයා අපිට හෙළිකළේ ඒ විදිහටයි. ඉතින් ඒ විදිහට පටන් ගත්ත දේ කාලයත් එක්ක ගොඩාක් ජනප්‍රිය වී තිබෙනවා. ඒක නිසාම හැම සෙනසුරාදා දවසකම උදේ 5.30ට මවුපියන්ට පුහුණුවීම් කරන්න ජයවීර මහතා තීරණය කරනවා.

" කොරදෙකුඹුර ගම්මානයේ සොහොන් පිට්ටනිය අසල තිබෙන වොලිබෝල් ක්‍රීඩාංගණයේ අපි ඒ විදිහට පුහුණුවීම් කටයුතු කරන්න පටන් ගත්තා. දැන් කාලේ මිනිස්සු ගන්න ආහාරපාන නිසා මහලු වියට ළඟා වෙද්දිම වගේ දණහිස් අමාරුව හැදෙනවා. ඒක මේ කාලේ මහලු උදවිය අතර දක්නට ලැබෙන සුලබ රෝග ලක්ෂණයක්. දරුවොත් එක්ක අම්මලා තාත්තලා විතරක් නෙවෙයි ටික කාලයක් යද්දි ආච්චිලා සීයලත් එන්න පටන් ගත්තා. ඉතින් මේ අයගේ වයස වැඩි නිසා මම එයාලට යෝග්‍ය ආකාරයට ව්‍යායාම කිහිපයක් හඳුන්වලා දුන්නා. ඊටපස්සේ ඒ අයට දැනෙන සුවය එක්ක මේ පුහුණු වැඩසටහනෙන් ප්‍රතිඵල තියෙනවා කියලා ගම පුරා පැතිරිලා ගියා. ළමයි සහ මවුපියන් දෙගොල්ලන්ම එකට මේ පුහුණුවීම් කරන නිසා මවුපියන් යෝජනා කළා බදාදා උදේ 5.30ට විතරක් මවුපියන්ට පමණක් පුහුණුවීම් කරමු කියලා. ඔහොම ටික කාලයක් යද්දි මේ පුහුණුවීම් කටයුතුවලට සහභාගී වන සියලුදෙනාටම හැඟුණා එක දිනයක් පමණක් මේ පුහුණුවීම් කිරීම ප්‍රමාණවත් නෑ කියලා. ඒ නිසා සෑම දිනකම පාන්දර පහේ සිට හය දක්වා පුහුණුවීම් කටයුතු කිරීම අපි ආරම්භ කළා. හැමදාම පාන්දර පහට පන්සලේ ඝන්ඨාර සද්දේ ඇහෙද්දි අපි පුහුණුවීම් ආරම්භ කරනවා. මං අඳුනන මහත්තයෙක් හිටියා ගැමුණු සාලිය පෙරේරා කියලා. ඒ මහත්තයාව එක දවසක් මම ගමට ගෙනල්ලා බෝ නොවන රෝග පිළිබඳ වැඩසටහනක් කළා. ඒ වැඩසටහනට පස්සේ ගමේ විශාල වෙනසක් ඇති වුණා. වස විසෙන් තොර ස්වාභාවික ආහාර රටාවකට ගම්වැසියෝ පුරුදු වුණා. ඒ මහත්තයා එක දවසක් අපේ ගම්මානය ගැන පත්තරේක ලිපියක් පළකරලා තිබ්බා. ඊටපස්සේ ටිකෙන් ටික අපේ ගම ලංකාව පුරා ප්‍රචලිත වුණා."

එහෙම ජනප්‍රිය වූ මේ පුහුණු වැඩසටහනේ ප්‍රතිඵලයක් විදියට බෝ නොවන රෝග සායනවලට ගමෙන් යන පිරිස අඩුවූ බවත් ජයවීර මහතා අප සමඟ පැවසුවා. ගමේ ජීවත්වෙන හැමෝගෙම යහපත් සෞඛ්‍ය තත්ත්වය ඉහළ යද්දි ගමේ කාන්තා සමිති, වැඩිහිටි සමිති හා ළමා සමාජවලිනුත් මේ වැඩසටහනට සහභාගීත්වය හිමිවී තිබෙනවා. ඒ නිසාම මෑත කාලයේදී ගමට පුස්තකාලයක්ද ආරම්භ කිරීමට අවස්ථාව ලැබුණු බව පුහුණුකරු ජයවීර මහතා පැවසුවා.

"අපි සෑම මාස දෙකකටම සැරයක් වගේ විශේෂ වැඩසටහනක් කරනවා. පුහුණු වැඩසටහනට අමතරව දුනු ශිල්පයත් ගමේ උදවියට පුරුදු කරනවා. මේ වෙද්දි පුහුණු වැඩසටහන් පිළිබඳව හැමෝගෙම අවධානය යොමුවෙලා තියෙනවා. පළාත් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්තුමා ඇතුළු 40ක පමණ කණ්ඩායමක් මෑතකදී අපේ පුහුණු වැඩසටහනට සහභාගී වුණා. ඒකේ ප්‍රතිඵලයක් විදියට හැම කොට්ඨාසයකම මේ වගේ වැඩසටහන් කරන්න ඕනේ කියලා ප්‍රාදේශීය ලේකම්තුමා යෝජනා කළා. මෑත කාලයේදී මගේ පුහුණු වැඩසටහනට සහභාගී වෙන මවුවරුන් 55ක් විශේෂ සායනයකට යොමු කළා. එහිදී ඔවුන් සියලු දෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවත්, ඔවුන් සියලු දෙනාම බෝ නොවන රෝගවලින් තොර බවත් අනාවරණය වුණා. මේ වෙද්දි සෞඛ්‍ය නිලධාරී කාර්යාලය මඟින් ක්‍රියාත්මක කෙරෙන ‘සතුටු ගම්මාන’ වැඩසටහනට අපේ ගම්මානය ඇතුළත් කරලා තියෙනවා. ගමේ සියලුදෙනා සමඟ අපි ගොඩක් සතුටින්, සහයෝගයෙන් මේ කටයුතු කරගෙන යනවා."

ජයවීර මහතා පැවසුවේ හරිම අව්‍යාජ විදිහට නිහතමානී ආඩම්බරයකින්. ඒ එක්කම මේ පුහුණු වැඩසටහනට සහභාගි වෙන්න අවස්ථාව ලබාදෙන්නේ කොහොමද කියලත් අපි ඔහුගෙන් ඇහුවා.

"මේ පුහුණු වැඩසටහනට කැමති ඕනේ කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන්. පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්ය මණ්ඩලය, සෞඛ්‍ය වෛද්‍ය කණ්ඩායම් අපේ වැඩසටහන සඳහා සහභාගී වෙනවා. අපි කිසිම වෙලාවක දේශපාලන පක්ෂවලින් උදවු උපකාර ඉල්ලලා නැහැ. පුහුණුවීම් කටයුතු සිදුකෙරෙන උදෑසන 5ත් 6ත් කාලයට අමතරව විනාඩි පහක්වත් වැඩියෙන් අපි පුහුණුවීම්වල යෙදෙන්නේ නෑ. ගම්වැසියන්ගේ දෛනික රාජකාරි කටයුතුවලට බාධාවක් නොවන ආකාරයට තමයි අපි පුහුණුවීම්වල යෙදෙන්නේ. ඒ වගේම තමයි පුහුණු වැඩසටහනට සහභාගී වීම සඳහා කිසිදු වයස් සීමාවක් නැහැ. නමුත් මහලු උදවියගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව හොයලා බලලා, වෛද්‍ය උපදෙස් අනුව තමයි මම ඔවුන් මේකට සම්බන්ධ කරගන්නේ.දේශීය සටන් කලාව හදාරන අතරේදී බෝ නොවන රෝගවලින් වැළකෙන්නේ කොහොමද කියලා මේ වෙද්දි මම පර්යේෂණ කටයුතු කරගෙන යනවා. මේවා පාරම්පරික ඉඩම් නිසා සිංහල බෞද්ධ පිරිස තමයි ගොඩක් ඉන්නේ. සෑමදෙනා එක්කම සමඟියෙන් කටයුතු කරනවා. මේ වෙද්දි සෑම දිනකම පුහුණු වැඩසටහන පැවැත්වෙනවා. කරාටේ පුහුණු කරන්නේ දරුවන්ට පමණයි. වැඩිහිටියන් සඳහා දේශීය සටන් කලාවත්, මහලු උදවිය සඳහා යෝගා ව්‍යායාමත් කරනවා. කැමති උදවිය සඳහා දුනු ශිල්පයත් පුහුණු කරනවා. විශේෂ වැඩසටහන්වලදී ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ ආශීර්වාදය නිරන්තරයෙන් ලැබෙනවා. . මම මේ පුහුණු වැඩසටහන සඳහා කිසිම මුදලක් අයකරන්නේ නැහැ. මම ලබලා තියෙන අත්දැකීම් සහ මගේ චර්යා රටාවන් එක්ක මෙහෙම දෙයක් කළොත් හොඳයි කියලා හිතලයි මම මේ වැඩසටහන ආරම්භ කළේ. මගේ දැනුමින් කාට හෝ යහපතක් ප්‍රයෝජනයක් වනවා නම් එය තමයි මම ලබන ලොකුම සතුට"

ජයවීර මහතා සිය දැනුම පමණක් නොව කාලය, ශ්‍රමය කිසිම ලෝබකමක් නැතිව ගමක් සුවපත් කරන්න යොදවන ආකාරය මොනතරම් ප්‍රසංශනීයයිද කියලා අපිට හිතුණා. පසුගිය වසරේ අග භාගයේදී ඌව වෙල්ලස්ස කැරැල්ලට වසර 200ක් පිරීම නිමිත්තෙන් පැවැත්වූ වැඩසටහනේදී ඌවට ආවේණික සටන් කලාව පිළිබඳ සංදර්ශනයක් කිරීමට එහි සංවිධායක කමිටුවෙන් මේ කණ්ඩායම අවස්ථාව ලැබී තිබෙනවා. මෙම පුහුණු වැඩසටහනට සහභාගී වන අයගෙන් පහළොස් දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් ඌවේ සටන් කලාව හදාරන බවත් ජයවීර මහතා පැවසුවේ නිතහමානී ආඩම්බරයකින්.

" මේ වැඩසටහන මම දකින්නේ යුගයේ කාලීන අවශ්‍යතාවක් ලෙසයි. වස විස සහිත ආහාර පරිභෝජනය නිසා මිනිසුන් අතර ලෙඩරෝග පැතිරීම වර්තමානයේ සුලබ දසුනක්. මේ ලෙඩරෝග නිසා ඒවාට බේත් හේත් කිරීමට විශාල මුදලක් වැය වෙනවා. කොරදෙකුඹුර ගම්මානය කියන්නේ සෞඛ්‍යසම්පන්න මිනිසුන් වෙසෙන ගම්මානයක්. මේ වගේ දේවල් රට පුරාම ව්‍යාප්ත කරන්න පුළුවන් නම් හොඳයි. මේ සඳහා රාජ්‍ය මැදිහත්වීම මූලිකවම අවශ්‍යයි කියා මා හිතනවා. එසේ කිරීමෙන් මේ රට සෞඛ්‍ය සම්පන්න රටක් කිරීමේ හැකියාව පවතිනවා."

ගමේ විහාරස්ථානයේ විහාරාධිපති පන්නල සුමන හිමියෝ මේ වැඩසටහනේ වටිනාකම ගැන පැවසුවේ ඒ විදිහටයි.

 [නිමාෂා සඳරුවනි]