යකඩ ගොඩක හීන කතන්දර මවන ප්‍රගීත්ගේ අමුතු කලාව

 ඡායාරූපය:

යකඩ ගොඩක හීන කතන්දර මවන ප්‍රගීත්ගේ අමුතු කලාව

යකඩ යනු දෙනෙතට මෙන්ම දෑතටද සුමුදු හෝ සුන්දර වූවක් නොවේ. නොනැමෙන යකඩයක් කපා කොටා නවා එයින් විස්මිත නිර්මාණයක් කළ හැකි අයකු වේ නම් ඔහු විස්මකර්මයකුම විය යුතුය. එවැනි විස්මකර්ම කලාකරුවන් බිහිවන්නේ කලාතුරකිනි. "යකඩවලින් කොහොමද කලා නිර්මාණ කරන්නේ?" එසේ සිතන කෙනෙකුට දිය හැකි සුන්දරම උදාහරණය කොළඹ පංචිකාවත්තේ වටරවුමේ තබා ඇති ඉවතලන වාහන අමතර කොටස්වලින් නිමවා ඇති අඩි දහයකට වඩා උසැති බර කිලෝග්‍රෑම් දහසකට වඩා වැඩි විසල් අශ්වයාය. එමෙන්ම මත්තල ගුවන්තොටුපළේ ඉදිකර තිබෙන මොනරා මෙන්ම හිල්ටන් හෝටලයේ ඇති මූර්ති නිර්මාණයද එවැනි විස්මිත සොඳුරු කලා නිර්මාණයන්ය. ඒවා නිර්මාණය කළ විස්මිත කලාකරුවා නමින් ප්‍රගීත් මනෝහංසයි. මේ වන විට යකඩ සහ ඉවතලන අබලි ද්‍රව්‍ය යොදාගනිමින් ඔහු විසින් කර තිබෙන නිර්මාණ සංඛ්‍යාව තුන්දහස ඉක්මවා තිබේ.

"මේක අපූරු කලාවක්. ඒ විතරක් නෙවෙයි සම්ප්‍රදායික මූර්ති කලාව තුළින් නිරූපණය කරන්න බැරි බොහෝදේවල් මේ කලාව තුළින් කරන්න පුළුවන්. රටේ ආර්ථික, සමාජීය වගේම දේශපාලන තත්ත්වයත් යකඩවලින් තැනූ නිර්මාණයකින් ලෝකයට කියන්න පුළුවන්"

ප්‍රගීත් මනෝහංස නම් කලාකරුවා අප සමඟ කතාබහට එක්වූයේ එසේ කියමිනි. එවදන්වල යකඩවලටත් වැඩි හරයක් ගැඹුරක් ඇතැයි සිතිණි. යකඩවලින් විස්මිත කලා නිර්මාණ කරන ප්‍රගීත් මනෝහංස මෙන්ම ඔහුගේ පවුලම විවිධ හැකියාවන්ගෙන් පොහොසත් කලා පරපුරකි. ගම්පහ ඉහළ යාගොඩ ප්‍රදේශයේ ජීවත්වන ප්‍රගීත් මනෝහංසගේ පියා වන කලාභූෂණ මිල්ටන් ජයපාල මහතා වසර විසිහතරක් කොළඹ කේරි විද්‍යාලයේ ලලිත කලා ගුරුවරයකු ලෙස කටයුතු කර ඇති දක්ෂ මූර්ති ශිල්පියෙකි. මාවනැල්ල සූර සරදියල් ගම්මානයේ මූර්ති නිර්මාණ ශිල්පියා වන්නේද ඔහුය. රජයේ සේවයෙන් විශ්‍රාම ලැබීමෙන් පසු යාගොඩ තම නිවසේ මූර්ති නිර්මාණ වැඩබිමක් පවත්වාගෙන යන ඔහු කොළඹ නුවර පාරේ බැළුම්මහරත් මිරිස්වත්තත් අතර තැනෙකද තවත් වැඩබිමක් පවත්වාගෙන ගියේය. සජීවී ලෙස නිර්මාණය කළ විවිධ සතුන්ගේ මූර්ති ඒ වැඩබිමේදී කලකට පෙර ඕනෑතරම් දැකගන්නට තිබිණි. එමෙන්ම කඩවත ඇල්දෙනිය දෙව්මැදුරේ ගර්භවාස දේවමෑණියන්ගේ ප්‍රතිමාව, ගම්පහ මැදගම විහාරස්ථානයේ හස්තිරාජයා සහ කඩවත සමාධි මැදුර පන්සලේ සීගිරිය අනුරුවද මිල්ටන් ජයපාල කලා ශිල්පියාගේ නිර්මාණයන්ය.

අපේ කථානායකයා වන ප්‍රගීත් මනෝහංසගේ විස්මිත කලා කුසලතාව ඔහුට ඔහුගේ පියා වන මිල්ටන් මහතාගේ ලේ උරුමයෙන් හිමිවූවක් බඳුය. ප්‍රගීත් පමණක් නොව මිල්ටන් මහතාගේ දරුවන් සියලුදෙනාට ඒ හැකියාව නිතැතින්ම හිමිවී තිබේ. ඔහුගේ වැඩිමහල් පුත් ශාමෙන් මනෝහංස ‘ස්පේ‍්‍ර කලාව’ ආශ්‍රයෙන් ජීවමාන රූප පින්තාරු කිරීමේ අති දක්ෂයකු වන අතර මේ වන විට ඔහු ඩුබාහි සේවය කරයි. බාල පුතු ජීවන් මනෝහංස ජීවමාන ලෙසින් සත්ත්ව රූප නිර්මාණය කිරීමේ මූර්ති කලාවේ නිරත විශිෂ්ටයෙකි. එපමණක් නොව මනෝහංස පරපුරේ සියලුදෙනා සංගීතය, ගායනය සහ කලා හැකියාවන්ගෙන් පිරිපුන් වූවන්ය. කලා පවුලක් ලෙස ඔවුහු ගමේ කාගේත් ආදරයට බඳුන්ව සිටිති.

ප්‍රගීත් මනෝහංස යනු එම මනෝහංස පවුලේ මද්දුමයාය. යකඩ සහ ඉවත දමන අබලි ද්‍රව්‍ය එක්කොට මූර්ති නිර්මාණය කරන”ඇසම්බල් ආටිස්ට්” කෙනෙකු වන ඔහු කැටයම් සහ පින්තාරු කලාව ප්‍රගුණ කළ දක්ෂ උපාධිධාරියෙකි. අබලි ද්‍රව්‍ය එකලස් කිරීමෙන් මූර්ති නිර්මාණ කිරීම මෙරටට හඳුන්වා දීමට පුරෝගාමී වූ කලාකරුවකු ලෙස ප්‍රගීත් මනෝහංස හැඳින්වීම වරදක් නොවේ. ඇසම්බල් මූර්ති කලාකරුවකු ලෙස ඔහුගේ තිඹිරිගෙය සැකසී ඇති අයුරුද අපූරුය.

"මට වගේම අපේ පවුලෙ හැමෝටම කලා හැකියාව ලැබුණේ අපේ තාත්තගේ ලේවලින්. මම ඉගෙන ගත්තේ කොළඹ කේරි විද්‍යාලයේ. තාත්තාත් කාලයක්ම ඉගැන්වුවේ ඒ ඉස්කෝලේ. තාත්තා නිසා පුංචි කාලේ ඉඳලම කලාවට ලොකු ආදරයක් උනන්දුවක් මගේ හිතේ තිබුණා. පොඩි කාලේ ඉඳලම අපි තාත්තාට කලා වැඩවලට උදවු වෙනාව. හුඟක් වෙලාවට තාත්තාගේ ගෝලයා වුණෙත් මම තමයි. ඉස්සර අපේ තාත්තා ළඟ පරණ කාර් තිබුණා. ඒවගේ කෑලියි පංචිකාවත්තෙන් යකඩයි අරන් ඇවිත් එක එක නිර්මාණ කරන්න මම ඒ කාලේ ඉඳන්ම උත්සාහ කළා. උසස්පෙළට පෙනී සිටියට පස්සේ මම ඉන්දියාවේ බරණැස විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා චිත්‍ර හා මූර්ති කලාව ඉගෙනගත්තා. ඉන්දියාවෙන් ආවට පස්සේ මම මෙහේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් මූර්ති ශිල්පය ඉගෙන ගත්තා. එසෙම්බල් ආර්ට් ගැන ඉගෙන ගත්තට ඒ කාලේ අපේ රටේ එවැනි නිර්මාණ කෙරුණේ නැහැ. නමුත් පිටරටවල්වල එවැනි එසෙම්බල් ආර්ට් දැකලා ඒ ගැන මගේ හිතේ ලොකු ආශාවක් ඇතිවුණා. ඒ නිසා මම දිගින් දිගටම ඒ ගැන හැදෑරුවා. අත්හදාබැලීම් කළා. එහෙම කරපු නිර්මාණ ගොඩක් එකතු කරලා මම 2000දී "ගමන අතරමඟ" නමින් ප්‍රදර්ශනයක් පැවැත්වුවා. ඒ නිර්මාණ අතර තිබුණා මම බයිසිකල් ලැගේජ් එකකින් කරපු බෞද්ධ ප්‍රතිමාවක්. ඒ නිර්මාණයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. මහාචාර්ය ආතර්.සී ක්ලාක් මහත්මයා පවා මගේ ඒ නිර්මාණය අගය කළා. ඒක මට ලොකු ශක්තියක් වුණා. විශ්වවිද්‍යාලයේ උපාධියේ අවසන් ව්‍යාපෘතියට මම කළේ වොක්ස්වැගන් කාර් එකකුයි කේම්බ්‍රිජ් කාර් එකකුයි අරගෙන යුවළක් විදිහට කරපු නිර්මාණයක්. ඒක අවුරුදු දෙකක් විතර කැම්පස් එකේ තිබුණා. ඒ නිසාම ඒ නිර්මාණය ගැන ගොඩක් අය කතාකරන්න පටන්ගත්තා. ඊටපස්සේ මම දිගින් දිගටම විවිධ නිර්මාණ කළා. පරණ බයිසිකල් පෝක් දෙදාහකින් හදපු ගහත් ඒ අතර විශේෂයි."

සිය නිර්මාණවලට ලැබෙන ප්‍රතිචාර වැඩිවද්දී යකඩ ඇතුළු අබලි ද්‍රව්‍යවලින් ප්‍රගීත් නිර්මාණ රාශියක් නිර්මාණය කරන්නට විය. සිය නිර්මාණ දිවියට වැඩි වටිනාකමක් එක්වූයේ කොළඹ Saskia Fernando Art Gallery හා සම්බන්ධ වීමෙන් පසු බවද ඔහු නිහතමානීව සිහිපත් කළේය. ඔහුගේ නිර්මාණ මෙරට ප්‍රදර්ශන ගණනාවකට මෙන්ම විදෙස් රටවල ප්‍රදර්ශන සඳහාද ඉදිරිපත් කරන්නට ඒ හරහා අවස්ථාව ලැබී තිබේ. සිංගප්පූරුව, මාලදිවයින, ඩුබායි, එක්සත් රාජධානිය, ඔස්ට්‍රියාව ආදී රටවල්වල මේ වන විට ප්‍රගීත් තනිව සහ කණ්ඩායම් වශයෙන් ප්‍රදර්ශන රාශියක් පවත්වා තිබේ.

"විදේශ රටවල්වලට ගිහින් මේ දැනුම එහේ අය එක්ක බෙදාගන්න මට කීප සැරයක්ම අවස්ථාව ලැබුණා. ඒ වගේම ඒ රටවල්වලිනුත් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මුලින් නම් පරණ යකඩ හොයද්දි මිනිස්සු මට පිස්සු කියලත් හිතන්න ඇති. නමුත් දැන් ගොඩක් අය දන්නවා මම යකඩවලින් ප්‍රයෝජන ගන්න බව. අපේ රට පුරා විවිධ තැන්වල වගේම ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ වෙනත් රටවලත් අපේ නිර්මාණ තියෙනවා. මේ වෙද්දි අපි මුර්ති දහස් ගණනක් නිර්මාණය කර තිබෙනවා. ඒවායින් අපේ රටට හොඳ විදේශ විනිමයක් ගෙනත් දෙන්නත් පුළුවන් වෙලා තියෙනවා. ඒ ගැන මනෝහංස පරපුර විදිහට අපිට අහිංසක ආඩම්බරයක් තියෙනවා. "

ඔහු පවසන්නේ අව්‍යාජවය.

"මේක නිකම්ම නිකම් කලාවක් නෙවෙයි. මූර්තියකට එහා ගිය ගැඹුරක් මේ හැම නිර්මාණයකම තියෙනවා. මම බොහෝවිට උත්සාහ කරන්නේ අපේ ජීවිතවල යථාර්ථය මේ නිර්මාණවලින් පිළිඹිබු කරන්නයි. උදාහරණයක් විදිහට කියනවා නම් මම ලංකාවේ වාහන අමතර කොටස්වලින් ලංකාවේ කම්කරුවන් ගැන නිර්මාණයක් කළා. එතැනදී මම යොදාගත්ත අමුද්‍රව්‍ය ඉතාම අබලන් තත්ත්වයේ අන්තිමය දක්වා පාවිච්චි කළ ඒවා. නමුත් මම මාලදිවයිනේදී එහේ අමතර කොටස්වලින් ඒ විදිහේ නිර්මාණයක් කළා. ඒත් ඒ අමුද්‍රව්‍ය මෙහේ ඒවාට වඩා ගොඩක් හොඳ තත්ත්වයේ ඒවා. මම එයින් කියන්න උත්සාහ කළේ මේ වගේ නිර්මාණයකින් අපේ රටේ ආර්ථික, සමාජ සහ දේශපාලන තත්ත්වය වුවත් නිරූපණය කරන්න පුළුවන් කියන එකයි. ඒ වගේම මේක ලොකු පරාසයක් තිබෙන කලාවක්. කෙනෙකුට තමන් කැමති මාධ්‍ය තෝරගෙන ඒ අනුව අලුත් නිර්මාණ කරන්න පුළුවන්. මම මේ මූර්ති කලාව පටන්ගන්න කාලේ අත්දැකීම් ලබන්න තිබුණ අවස්ථාව අඩුයි. නමුත් දැන් මේ කලාවේ යෙදී ඉන්න තවත් අය ඉන්නවා. නමුත් මම කියන්න කැමතියි කෙනෙක් මාව බලලා කොපි කරලා දෙයක් කරනවාට වැඩිය ඒ තුළින් අත්දැකීම් අරගෙන වෙනමම කෙනෙක් විදිහට තමන්ගේ අනන්‍යතාව රැකගෙන මේ කලාවේ යෙදෙන්න කියලයි"

ඔහු පවසන්නාක් මෙන් මේ වන විට අබලි ද්‍රව්‍යවලින් මූර්ති නිර්මාණය කිරීමේ කලාව මෙරට ප්‍රචලිතව තිබේ. ඉදිරියේදී මෙම මූර්ති නිර්මාණවලින් සමන්විත සංස්කෘතික උද්‍යානයක් නිර්මාණය කිරීම මේ කලාකරුවාගේ සිත රැඳි අපේක්ෂාවයි. ඒ තුළින් මෙම කලාව ඉදිරියට ගෙනයෑමටත් රටේ ආර්ථිකයට දායකත්වය දැක්වීමත් ඔහුගේ අපේක්ෂාවයි.

"මගේ ජීවිතයම මේ කලාව වෙනුවෙන් කැපවෙලා තියෙන්නේ. මම හිතන්නේ කලාකාරයෙක් විදියට මට රාමුව ලැබුණේ මගේ තාත්තාගෙන්. Saskia Fernando Gallery එකෙන් තමයි ඒ රාමුවේ කොළ අලවලා ලස්සන කළේ. හැබැයි මම අද ලස්සන සරුංගලක් වගේ උඩ ඉන්නවා නම් ඒ මගේ නිර්මාණවලට ආදරේ කරපු, ඒවා අගය කරපු හැමදෙනාම නිසායි. ඒ ගැන මම හැමදෙනාටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මගේ නිර්මාණ මේ රටේ වගේම ලෝකේ හැමතැනම ජනප්‍රිය වුණත් මට කිසිම සම්මානයක් නම් ලැබිලා නැහැ. මම හිතන්නේ ජනතා සම්මානය තමයි කලාකරුවකුට ලැබෙන වටිනාම සම්මානය. ඒ සම්මානය මට මේ වෙද්දි ලැබිලා තියෙනවා. මේ කලාව තුළ මම ඉතාමත් තෘප්තිමත් කලාකරුවෙක්. යකඩවලට මම හැමදාමත් ආදරෙයි"

ප්‍රගීත් මනෝහංස අපේ කතාබහට විරාම තැබුවේ එලෙසිනි. රටක් ලෝකයක් කතාකරන්නට තුඩු දෙන විස්මයට පත්වන තවත් සුන්දර නිමැවුම් රැසක් ඉදිරියේදීද ඔහු අතින් නිමවෙනු ඇත.

 [සුරේකා නිල්මිණි ඉලංගකෝන්]