සුබ පැතුම් පණිවුඩ

 ඡායාරූපය:

සුබ පැතුම් පණිවුඩ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා

දිනපතා 'රැස' ජාතික පුවත්පතේ පළමු සංවත්සරයට සුබපැතුම් එක් කරනුයේ ඉමහත් සතුටිනි. වසරක කාලයක් මුළුල්ලේ ස්වකීය මාධ්‍ය වගකීම මනාව වටහාගෙන පාඨක විශ්වාසයද දිනාගෙන 'රැස' ජයග්‍රාහී ගමනක යෙදී තිබේ.

මෙහිදී 'රැස' සමාරම්භක කතෘ අභාවප්‍රාප්ත ප්‍රවීණ මාධ්‍යවේදී චාමර ලක්ෂාන් කුමාර මහතාද සිහිපත් වෙයි. ඔහුගේ සංකල්පීය ප්‍රවණතා සහ මාධ්‍ය සම්ප්‍රදාය ඔහුගෙන් ගිලිහුණු යෂ්ඨිය අතට ගත් 'රැස පිරිවරද' මනාව පෙරට ගෙන යමින් සිටීම සතුටකි.

ජනමාධ්‍ය යනු දෙපැත්ත කැපෙන තියුණු ආයුධයක් යැයි ජනමාධ්‍යයේ භූමිකාව ගුරුවරයකුගේ භූමිකාවට සමාන යැයිද කියමනක් තිබේ. සමාජය අපහසුවට පත් කිරීමේ හෝ එම සමාජයට අපහාස කිරීමේ හෝ අයිතියක් ජනමාධ්‍යට නැත. සමාජය පමණක් නොව, සිද්ධීන්වලට සම්බන්ධ වින්දිත පාර්ශ්වය අපහසුවට පත්කිරීමේ හෝ ඔවුනට අපහාස කිරීමේ හෝ අයිතියක් ද ජනමාධ්‍යට නැත. මේ සම්බන්ධයෙන් වන ආචාරධර්ම ගැනද, නෛතික රාමුව ගැනද දීර්ඝ සංවාදයක් එවක යුරෝපා සමාජය තුළ පැවැතිණි. ශ්‍රී ලංකාව වැනි රටවල්ද කාලයක් තිස්සේ වාර්තාකරණය සඳහා එවැනි ආචාර ධර්ම යොදා ගත්හ. නිදසුනක් ගතහොත් කුරිරු දර්ශන ඇතුළත් ඡායාරූප එදා අපේ පුවත්පත් පළ කළේ නැත.

එහෙත් තරගකාරී සමාජය තුළ කුණු රස අලෙවි කිරීම ඉතා අවාසනාවන්ත ලෙස සිදුවී තිබේ. 'රැස' ස්වකීය භූමිකාවෙහි යෙදෙනුයේ ඊට සහමුලින්ම වෙනස් දිශාවකටය.

මාධ්‍ය කලාවේ ආචාරධර්ම 'රැස' වෙතින් පහව ගොස් නැත. ඕලාරික කුණු කන්දල් වෙනුවට සුපසන් සහ ශිෂ්ටසම්පන්න මාධ්‍යකරණයක 'රැස' යෙදී සිටී. වගකිවයුතු මාධ්‍ය කලාවක යෙදෙමින් උත්තුංග මාධ්‍ය කලාවෙහි ‘රැස්‘ පතුරුවන ‘රැසට‘ අපේ සුබපැතුම් පිළිගන්වමු.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා

පුවත්පත් කලාවේ පවත්නා හර පද්ධතීන් රැක ගනිමින්, වඩාත් මැදිහත් මාධ්‍යකරණයක යෙදෙන මාධ්‍යවේදීන් පිරිසකගේ ප්‍රශස්ත මෙහෙවරක් ලෙස "රැස" පුවත්පත හැඳින්විය හැකිය.

විද්‍යුත් වේවා, මුද්‍රිත වේවා ඕනෑම මාධ්‍යක පැවැත්ම උදෙසා ශ්‍රාවක සහ පාඨක ප්‍රජාව අතිශයින් වැදගත් වන අතර ඔවුන්ගේ විශ්වාසය තහවුරු කරගැනීම අතිශයින් වැදගත්ය. ‘රැස’ මේ කෙටි කාලය තුළ එකී අභියෝගයද ජයගෙන තිබේ.

යහපාලන ආණ්ඩුව ස්වකීය ප්‍රමුඛ තීන්දුවක් ලෙස සලකා ක්‍රියා කරන 'මාධ්‍ය නිදහස' තහවුරු කිරීම කෙතරම් ප්‍රායෝගිකවීද යන්න වඩාත් මැනවින් කුළුගැන්වෙන්නේ 'රැස' පුවත්පත ස්වකීය මාධ්‍ය භාවිතය ස්වාධීනව ගොඩනඟාගෙන තිබෙන අයුරු නිරීක්ෂණය කරන විටය.

වගකිවයුතු මාධ්‍යක් සතු අනන්‍යතාව වඩාත් ප්‍රායෝගික ලෙස සාක්ශාත් කරගන්නට 'රැස' පුවත්පත මේ කෙටි කාලය තුළ සමත්ව සිටින අතර ජාතිවාදී, ආගම්වාදී පටු සීමාවන්ගෙන් විනිර්මුක්තව ඔවුන් යන ගමනට අපේ ආශීර්වාදය පළ කරන්නටද, අප අතරින් වියෝ වූ "රැස" ආරම්භක කර්තෘ චාමර ලක්ෂාන් මහතා කෘතවේදීව සිහිපත් කරන්නටද මෙය අවස්ථාව කරගනිමි.


මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා

රටක යහපැවැත්ම උදෙසා දායක වන කොඳුනාරටිය ලෙස ජනමාධ්‍ය හැඳින්විය හැකිය. ජනමාධ්‍ය රටේ සිව්වන ආණ්ඩුව ලෙස සංකල්පීකරණයට ලක්වන්නේද එහි පවත්නා බලපෑම් සහගත බව හේතුවෙනි.

ජනමාධ්‍ය යනු කුමක්ද? එහි කාර්යභාරය, ජනමාධ්‍ය ඔස්සේ ග්‍රාහකයාට සිදුවන බලපෑම, ජනමාධ්‍ය පිළිබඳ මූලික න්‍යායන්, එක් එක් මාධ්‍යවල පවත්නා ශක්‍යතා ආදිය පිළිබඳ ජනමාධ්‍යවේදියාට සහ එම මාධ්‍යට අවබෝධයක් පැවතීම අත්‍යවශ්‍යය.

එසේ නොවන විට සිදුවන්නේ අයාලේ ගිය මාධ්‍යකරණයක් සමාජයට අත්විඳින්නටය. වසරක් සපිරෙන 'රැස' සිය වසරක කාලය තුළ වඩාත් වගකීමෙන් සහ කිසියම් දැක්මක් සහිතව මාධ්‍යකරණයෙහි යෙදුණු ජාතික පුවත්පතකි. පටු ආකල්පවලින් මිදී උදාර පුරුෂාර්ථයන් වෙනුවෙන් 'රැස' පුවත්පත කටයුතු කොට තිබේ. අනීතික සිදුවීම් නීත්‍යනුකූල කරන්නට 'රැස' කිසිවිටෙක පෙනී නොසිටි අතර ඊට රුකුල් දීමක්ද නොකළේය. තීරණාත්මක සමාජ සහ දේශපාලන අර්බුද අවස්ථාවල 'රැස' වඩා පරිණතව සිය මාධ්‍ය භූමිකාව නිරූපණය කළ අතර එය සමාජයට සත්‍යය අවබෝධ කර දෙන්නට ඉවහල් විය. මාධ්‍ය නිදහස පුළුල් වීම, ජනමාධ්‍ය ආයතන බහුල වීම හා එම ආයතන අතර ජනප්‍රියත්වය උදෙසා වූ තරගය උග්‍රවීම හා තවත් හේතු නිසා ආචාරධර්ම අභියෝගයට ලක් වී ඇත. නෛතික රාමුව ප්‍රශ්න කිරීමට ලක් වී ඇත. තව ද ජනමාධ්‍යයේ කාර්යභාරය විසංවාදයට ලක් වී ඇත. මේ අනුව නූතන ජනමාධ්‍ය සීමා - මායිම් බිඳගෙන ඉදිරියට යයි. මෙහි සාධනීය තත්ත්වයන් මෙන්ම නිශේධනීය තත්ත්වයන්ද දැකගත හැකිය. ජාතියක පොදු අරමුණු වෙනුවෙන් ක්‍රියා කිරීමට වඩා පෞද්ගලික න්‍යායපත්‍ර ක්‍රියාත්මක කිරීමක් නූතන ජනමාධ්‍ය වෙතින් දැකගත හැකිය.

'රැස' පුවත්පත ඊට එකහෙලාම වෙනස් ස්ථානයක පිහිටා කටයුතු කළ පුවත්පතකි. වසරක් සපිරෙන 'රැස'ට සුබපැතුම් එක් කරන අතර ස්වකීය මාධ්‍ය මෙහෙවර පෙරටත් වඩා යෙහෙන් කරන්නට ශක්තිය පතමු.


ලේක්හවුස් සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා

වර්තමානය වන විට සන්නිවේදන තාක්ෂණය ඉතා වේගයෙන් දියුණු වී ඇත. ලෝකය පුරාම මාධ්‍ය නව ප්‍රවණතා සොයාගෙන යමින් තිබේ. නව මාධ්‍ය සහ අන්තර්ජාලය ඒ අභියෝගය දෙගුණ තෙගුණ කොට තිබේ. එවන් වකවානුවක මුද්‍රිත මාධ්‍යට සිය අනන්‍යතාව යළිත් තහවුරු කර ගැනීමට සිදුව ඇත.

ඒ සඳහා නව ගවේෂණයක් අවශ්‍යව තිබේ. තවදුරටත් නොවෙනස්, සම්ප්‍රදායික රාමුව තුළ සිරවී සිටිනතාක් කල් අපට සිදුවන්නේ ඒ පරිණාමයන් තුළ ප්‍රතික්ෙෂ්ප වන්නටය.

එහෙත් ,"රැස" නිර්මාණය කරන්නේ එකී ප්‍රවණතා තුළ අපේ පොළොවට උචිත 'මධ්‍යකරණය' සොයන අරමුණ ඇතිවය. එකී අරමුණ ජය ගැනීමේ පෙරනිමිති මේ කෙටි කාලය තුළ 'රැස' සාක්ෂාත් කොටගෙන තිබෙන ලකුණු දැකිය හැකිය. මාර්ක් ටේවින් නමැති ගවේෂකයා "ඔබ නිවැරදි යැයි සිතන දේ කරන්න" යැයි මාධ්‍යවේදීන්ට පවසා තිබේ. එහෙත් ඔහු තවදුරටත් පවසන්නේ යමක් ප්‍රකාශයට පත් කිරී‍මට පෙර තමන් නිවැරදිව කරනු ලබන්නේ දැයි සිතා බැලිය යුතු බවයි. වත්මන් මාධ්‍යට මෙය වඩාත් ගැළපේ. යමක් වාර්තා කිරීමේදී එක් පාර්ශ්වයකින් පමණක් නොව පාර්ශ්වයන් කිහිපයකින් තොරතුරු ගවේෂණයක් කොට සත්‍ය වාර්තා කිරීම මාධ්‍යකරණයේදී අත්‍යවශ්‍ය කාරණයකි. "රැස" ඒ කාර්ය ඉටු කරන පුවත්පතක් යැයි මා විශ්වාස කරමි. හෙට දිනයේදීද එකී අරමුණු මනාව ජයගනු ඇතැයි විශ්වාස කරමි. ‘රැස’ට යහපත් අරමුණක් තිබෙන අතර එය සමාජයට වැඩදායී අරමුකි. සාමය, සංහිඳියාව සහ ප්‍රජාතන්ත්‍රවාදය අගයන පුවත්පතක් සමාජගත කිරීමට දායක වීමේ සතුට අප තුළ පවතින අතර, එවන් පුවත්පතකට දිරිය දීම අපගේ වගකීමක් සේ සලකමු. සිය පළමු වර්ෂය සමරන 'රැස' කාර්යමණ්ඩලයට අපේ සුබපැතුම් පිළිගන්වමි.

මාතෘකා