‘රැස’ සහ මාධ්‍ය ආචාර ධර්ම

 ඡායාරූපය:

‘රැස’ සහ මාධ්‍ය ආචාර ධර්ම

‘රැස’ පුවත්පත තම පළමු වැනි උපන් දිනය සමරයි. එය හුදු සැමරුමක් නොවී ජනමාධ්‍ය ආචාරධර්ම පිළිබඳ කථිකාවතක් ජනමාධ්‍ය සංස්කෘතිය ආශ්‍රිතව ගොඩනැඟීමේ අවස්ථාවක් කර ගනී.

අපේ රටේ ජනමාධ්‍ය තමන්ට උරුම ආචාරධර්ම බරපතළ ලෙස උල්ලංඝනය කරමින් සිටියි. එසේ කරමින් දේශපාලන සංස්ථාව සහ ආගමික සංස්ථාව ඇතුළු සමාජ සංස්ථා බරපතළ ලෙස ප්‍රශ්න කරයි.

"ඔවා දෙනු පරහට-තමා සම්මතෙහි පිහිටා සිට"

මේ ජන කියමන වත්මන් ජනමාධ්‍යට අතිශයින් අදාළය. ජනමාධ්‍ය යනු හතරවැනි ආණ්ඩුවයි. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය පිළිවෙළින් අනෙකුත් ආණ්ඩු වෙත්. මෙහිදී හතරවැනි ආණ්ඩුව කකුළු වෙස් ගෙන අනෙක් ආණ්ඩු ඇදේට යෑම ගැන බැණ අඬ ගැසීම හොඳම විහිළුවකි.

මීට වසරකට පෙර ‘රැස’ පාඨකයන් අතරට එන්නේ රජයේ මාධ්‍ය ආයතනයක් ලෙස චිරසම්භාවිත ලේක් හවුස් ආයතනයෙනි.

ඇතැම් මාධ්‍ය ‘රැස’ දෙස වප‘රැස’ින් බැලීය. ආණ්ඩුවට කඩේ යන තවත් පුවත්පතක් ලෙස අර්ථ දැක්වීය. එහෙත් මේ ඇතැම් මාධ්‍ය පිටුපස සිටියේ කළු ආර්ථිකයේ දැවැන්තයෝය. ඔවුහු කළු ආර්ථිකයට සුජාත පෙනුමක් ලබාදීම සඳහා මාධ්‍ය ආයතන පවත්වාගෙන ගියහ. ඒ ආයතනවල ලුම්පන් ධනපතියන්ට කඩේ ගිය මාධ්‍යවේදීන් සමඟ සසඳන කල රාජ්‍ය මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ගේ පැටිකිරිය සෙවීම උත්ප්‍රාසජනකය.

ආණ්ඩුවේ මාධ්‍යවලටත් කාර්යභාරයක් තිබේ. එනම් ජනමාධ්‍ය ආචාරධර්මවල සීමා මායිම් හඳුනාගනිමින් රජයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග පිළිබඳ තොරතුරු සන්නිවේදනයක් පවත්වාගෙන යන අතරතුර ජනතාවට පක්ෂපාත වෙමින් අවශ්‍ය අවස්ථාවන්හිදී රජයට විවේචනාත්මක සහායක් ලබාදීමය.

මෙහිදී රජය සහ ආණ්ඩුව අතර වෙනස පිළිබඳ අවබෝධයක් ජනමාධ්‍යවේදියාට අවශ්‍ය වේ. මේ දෙකම නැතිව ඇඳි වතද ලිහාගෙන කඩේ යන මාධ්‍යවේදීන්ගෙන් රජයට හා ආණ්ඩුවට සිදුවන හානිය සුළුපටු නොවේ.

කිසියම් දේශපාලන පක්ෂයක ආධාරකරුවකු වූ පමණින් ජනමාධ්‍යවේදයට සුදුසුකම් නොලබයි. ‘රැස’ ආරම්භක කර්තෘ චාමර ලක්ෂාන් යනු පිළිගත් ජනමාධ්‍ය ආයතන කිහිපයක සේවය කළ නිර්භීත මාධ්‍යවේදයෙකි. ඔහුගේ ඇරයුමෙන් රොක්වූ මාධ්‍යවේදී කණ්ඩායමේ ඉතිහාසයද නරක නැත. චාමර රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවයට පැමිණියේ ඇඳි වත ලිහාගෙන කඩේ යන මාධ්‍යවේදීන් අතර වෙනස් අනන්‍යතාවක් ඇති මාධ්‍ය‍වේදියකු හැටියටය. එනිසා ඔහුගේ පුරෝගාමිත්වයෙන් ඇරඹුණු ‘රැස’ තම තම නැණ පමණින් සිරිකොත හෝ ඩාර්ලි පාරට ලියා තැබීමට උත්සාහ කළ ඊනියා විචාරකයන්ගේ හඬ මේ වන විට නිහඬව ඇත. චාමර අකල්හි නික්ම ගියේය. ඔහුගෙන් ලද යෂ්ටිය ඉදිරියට යයි.

‘රැස’ යනු ජනමාධ්‍ය ආචාර ධර්ම ආරක්ෂා කිරීමට බැඳී සිටින පුවත්පතකි. අනුන්ට කෙළින් යෑමට ඉගැන්වීමට පෙර තමන් කෙළින් ගොස් පෙන්විය යුතුය.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත අවංක බව ප්‍රමුඛ ආචාර ධර්මය ලෙස සලකන නිසා නිවැරදි කිරීම් සඳහා සැලකිය යුතු ඉඩක් ලබාදෙයි.

ලංකාවේ බොහෝ පුවත්පත් එම ආචාර ධර්මය කඩ කරයි. සෙසු ආචාරධර්මවල ඉරණමද එබඳුය. මේ ආයතනවල කර්තෘවරු මාධ්‍ය පුහුණුකරුවන් ලෙසද කටයුතු කරති!

ලේක් හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජේවර්ධන ශ්‍රීමතාණන් සහ සිළුමිණ, දිනමිණ කතුකම් හෙබවූ මාර්ටින් වික්‍රමසිංහයන් අතර තිබූ අන්‍යොන්‍ය අවබෝධය එම ආයතනයේ පුවත්පත් පෘථුල සමාජ වගකීමක් ඉටු කරන සන්නිවේදන ප්‍රවාහයක් බවට පත් කළේය. සිරිමා බණ්ඩාරනායක මැතිනිය ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමෙන් පසුව එය රාජ්‍ය මාධ්‍ය ආයතනයක් බවට පත් වුවද ලේක් හවුස් පුවත්පත් සම්ප්‍රදාය එයින් අහෝසි නොවේ.

ලේක් හවුස් පරිපාලනයෙහි මිත්‍රශීලී සහයෝගය ඇතිව ‘රැස’ පුවත්පත විසින් ඉටු කරන එක් වගකීමක් වන්නේ අහිමි වී ගිය පුවත්පත් කලාවේ තරු ලකුණ සොයා යෑමය. යුගයේ අවශ්‍යතා අනුව එය යාවත්කාලීන කිරීමය.

මැතිවරණයක් අභිමුව කළු මාධ්‍ය සහ ඊනියා දේශප්‍රේමය පිරුවටය කරගත් දේශපාලන බලවේග පෙඩරල් බිල්ලකු මවමින් සිටී. රාවණා ප්‍රවාදය උලුප්පමින් උරුමය රැකගැනීමේ දේශපාලන සූදුව කෙළිමින් සිටී. මෙහි අතකොලු බවට පත්වන මාධ්‍ය සමාජය තෝරා බේරා ගනිමින් ‘රැස’ තම පළමු ජන්ම දිනයේදී ආචාරධර්ම පද්ධතියක් ප්‍රකාශයට පත් කරයි. ඒවා ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දෙයි.

‘රැස’ පුවත්පත ජන දිවියේ යහ පැවැත්ම සුරක්ෂිත කෙරෙන මාධ්‍ය භාවිතාවක් වෙනුවෙන් පෙනී සිටී. එහිදී මානව හා ජෛව විවිධත්වය පිළිගනිමින් භාෂා, ආගම් හා සංස්කෘතික අනන්‍යතා පලුදු නොකිරීමේ භාවිතයකට වග කියයි. නිවැරදි මූලාශ්‍ර නොමැති වාර්තාකරණය ප්‍රතික්ෂේප කරයි. ගැටුම් අවුළුවනසුලු වර්තාකරණයෙන් බැහැරවෙයි. ආගම, මිථ්‍යාව, අපරාධ සහ ලිංගික අපයෝජන පුවත්පත ජනප්‍රිය කිරීම සඳහා භාවිත කිරීමේ දුර්ගුණයෙන් බැහැර වෙයි.
මානව ගරුත්වය අගයන සමාජයක් සඳහා නිවැරදි තොරතුරු සන්නිවේදනය, විචාරවත් බව සහ වින්දනය ඔස්සේ පාඨක මනස රංජනය කිරීම ‘රැස’ අරමුණයි. එසේ හෙයින් ලේක් හවුස් ආයතනයේ මාධ්‍ය ආචාර ධර්මවලට අනුගත වෙමින් ‘රැස’ පුවත්පතෙහි කාර්ය මණ්ඩලය වශයෙන් පහත සඳහන් ආචාර ධර්ම අනුව කටයුතු කිරීමට අපි බැඳී සිටිමු.

1. අවංක බව
2. මධ්‍යස්ථ බව
3. විවිධත්වය පිළිගැනීම
4. පිළිතුරු දීමේ අයිතිය පිළිගැනීම
5. නිවැරදි මූලාශ්‍ර භාවිතය
6. පුද්ගලිකත්වයට ගරු කිරීම
7. ගවේෂණශිලී බව

මාතෘකා