අවුරුද්දයි

 ඡායාරූපය:

අවුරුද්දයි

චින්තන ධර්මදාස

රැස’’ට අවුරුද්දක්. ඒ කියන්නෙ මං අවුරුද්දක් තිස්සෙ ‘වයි සෝ සීරියස්’ ලියනවා. ආපහු හැරිලා බලනකොට මටම පුදුම හිතෙනවා. ලේක්හවුස් පත්තරේක මගේ වගේ කොලමක් දිගට යන එක. අඩුගානෙ විකල්ප පත්තරවලටත් බැරි වුණා මං ලියන දේවල් දරාගන්න. ඒත් ‘රැස’ කවදාවත් මාව කප්පාදු කළේ නෑ. සමහර විට පතරංග දිගට ලියැවුණු තැන් ඉඩ මදි නිසා කැපුවොත් මිස, මගේ අදහස් මගේ වහර ‘රැස’ කිසි දවසක වාරණය කළේ නෑ. ජාතික පත්තරයක එහෙම නිදහසක් කියන්නෙ හීනයක්. ජනවාරි 08 විප්ලවෙන් දිනාගත්ත දේවල්වලට ‘රැස’ත් අයිතියි. ඒක ලේක්හවුස් එකේ තිබුණු සම්මත සදාචාර සිළුමිණ කලාවට පරස්පරයි.

පුස්සෙ පත්තරේට කොලමක් ලියන්න කතා කළාම මං එකඟ වුණේ කාරණා දෙකක් හින්දයි. එකක් ලියන්න තිබුණේ පොඩි ප්‍රමාණයක්. හැම සතියකම අනිවාර්ය කළ දිග රචනයක් ලියන්න වුණා නම් වැඩේ අන්දොස් වෙනවා. ඒෆෝර් පිටුවකින් එකයි කාලකින් මට කියන්න තියෙන දේ කියන්න ඕනි. කොහොමත් දැන් කවුරුවත් දිග ලිපි කියවන්නෙ නෑ. ඉතිං එකක් ඒක ලේසියි. අනික ලේක්හවුස් පත්තරයක් වුණු එකක අපේ වගේ සම්පූර්ණ පරිධියේ තියෙන අදහසක් ඒ වගේ දැවැන්ත ජාලයක් තියෙන පත්තරේක ප්‍රින්ට් වෙනවා කියන්නෙ ඒ අදහස්වලට ලොකු අවකාශයක් ලැබෙනවා කියන එක. ඒ ලියන දේවල් ඉන්ටර්නෙට් එකේ නැති නාගරික සංවාදවලින් දුරස් අයටත් කියවන්න ලැබෙනවා කියන එක. ඒ වගේම පත්තරේ රුපියල් දහයයි කියන්නෙ වැඩියෙන් කියවනවා කියන එකෙ. ‘රැස’ මට ලොකු වුණේ මේ කාරණා හින්දා.

ඒක ලේක්හවුසියෙ විකල්ප පත්තරේ වුණා. ඒ විකල්පය ඉස්සර වගේ ප්‍රබුද්ධයන්ට විතරක් සීමා වුණේ නෑ. ෆේස්බුකියෙ ලියන හැප්පෙන නිදහස් වල්මත් අදහස්වලටත් ඒ පිටුවල සමාන වටිනාකමක් ලැබුණා. කැපිටල් අදහස්වලට වගේම සිම්පල් අදහස්වලටත් එක විදිහට ධාවනය වෙන්න පුළුවන්, ගම නගරය යා කරන හයිවේ එකක් වුණා.

මේ යුගයෙ පත්තරේකට තියෙන ප්‍රධාන අභියෝගය පැවැත්මක් නැති වීම. ඉන්ටර්නෙට් එකේ නිවුස් සංසරණය වෙන වේගයට අලගු තියන්නවත් මුද්‍රිත පත්තරේකට බෑ. දෙපැත්තට ගලන සන්නිවේදනයක් එක්ක හැප්පෙන්න එක දිශාවකට විතරක් සිදුවෙන අධිකාරී තොරතුරු ගලනයකට බෑ. අපි කොයිතරම් බැන්නත් පත්තර යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, ආගම් විකුණන්නෙ ඒකයි. පත්තර කියවන්නෙ ඔන්ලයින් නැති ජනතාව හින්දයි.

ඒත් ‘රැස’ ඒ අභියෝගකාරී පිට්ටනියම තෝරගත්තා. තරුණ පිරිසම ඉලක්ක කළා. අන්තර්ජාලයට එරෙහිව නෙවෙයි අන්තර්ජාලය සමඟ එකට ගමනක් යන්න උත්සාහ කළා. අන්තර්ජාල ලියන්නන්ගේ අදහස් මුද්‍රිත අකුරු කියවන්නන් අතරට අරගෙන ගියා. අවුරුද්දක් කරගෙන ගියා කියන්නෙ එහෙම පිරිසක් ඇත්තටම ඉන්නවා කියන එක. මං දකින විදිහට ‘රැස’ වගේ පත්තර මේ රටේ ක්‍රිටිකල් මාස් එක වැඩි කරන්න ලොකු දායකත්වයක් දෙනවා.

‘රැස’ කියන්නෙ වෙනම ස්ටයිල් එකක් තියෙන පත්තරයක්. ඒකෙ ලියන අයගෙ ගොනුව වගේම පිටු සැකසුම, ලිපි සැකසුම ඉඳන්ම ඒ අලුත් හැඩය යෝජනා කරනවා. මොනවා හරි දාලා දෙනවා වෙනුවට දාන්න පුළුවන් උපරිමය දාන්න ට්‍රයි කරන වග දැනෙනවා. සාමාන්‍යයෙන් පත්තරයක් පරණ වෙද්දි නැති වෙන්නෙ මේ ඇම්ම සහ ගැම්ම. තමන්ට කරන්න පුළුවන් ඉස්පිල්ලකින් පාපිල්ලකින් හරි වෙනසක් කරන්න ගන්න උත්සාහය. ඒක අවුරුද්දකට පස්සෙත් ‘රැස’ ඉතුරුවෙලා තියෙන එක වාසනාවක්.

රාජපක්ෂ යුගයක් ආවොත් ඉස්සෙල්ලම වැහෙන්න නියමිත පත්තරයක් ‘රැස’. ඒකට හේතුව වෙන්නෙම ‘රැස’ විසින් ගෙනියන සංස්කෘතික පෙරළිය රාජපක්ෂ පාලනයකට විරුද්ධ දේශපාලන මතවාදයකට වඩා තීරණාත්මක හානියක් කරන හින්දා. නාගරික සහ ප්‍රාදේශීය තාරුණ්‍යය පාලමකින් යා කිරීම කියන්නෙ වැඩවසම් පාලනයකට තියෙන ඉඩකඩ අහෝසි කිරීමක් වෙනවා. ‘රැසේ’ පුංචියට වුණත් කරමින් ඉන්නෙ මේ සංස්කෘතික දේශපාලනය.

-------------------------------

‘‘රැස’’ වර්ෂ පූරණය වෙනුවෙන් අදහසක්

සීතා රංජනී

පුවත්පත් වනාහි ජනතාවගේ ප්‍රතිබිම්භයේද, මනෝභාවයේද පිළිබිඹුවයි.” කියා කියමනක් ඇත. මට හැඟෙන විදිහට මේ කියමන ගැන විවිධාකාරයෙන් තර්ක කළ හැකිය. ඇත්තටම අද අපේ රටේ පුවත්පත් විතරක් නෙවෙයි අනෙක් සියලු මාධ්‍ය මේ පෙන්නුම් කරන්නේ ඒ රටේ ජනතාවගේ ප්‍රතිබිම්භයක්ද, ඔවුන්ගේ මනොභාවයේ පිළිබිඹුවක්ද? එසේ වන්නට නම් මේ රටේ මාධ්‍ය තම සමාජ වගකීම අවබෝධ කරගෙන, ජනතාවගේ යහපත වෙනුවෙන් තම මාධ්‍ය භාවිත කරනවාද? නිරවද්‍ය, අපක්‍ෂපාතී සහ වගකීම්සහගත වාර්තාකරණයක යෙදෙනවාද? නැති නම් අද මේ රටේ මාධ්‍ය ක්‍රියාකරමින් සිටින්නේ ජනතාවගේ අවශ්‍යතා අනුවද? ජනතාව වෙනුවෙන්ද?

සයිබර් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අද ලෝකය ආක්‍රමණය කර ඇති බව ප්‍රකාශ වුවත්, ශ්‍රී ලංකාවේ මාධ්‍ය පාරිභෝගිකයන් අතර පුවත්පතට ඇති ඉඩ තව දුරටත් පවතින බව පිළිගැනීමට සිදු වේ. තොරතුරු පිපාසයෙන් පෙළෙන මිනිසාට එයින් වැළකී ජීවත් වීම අසීරුය. නමුත් අද ශ්‍රී ලංකාවේ මාධ්‍ය හැසිරීම අනුව ඒ සියලු මාධ්‍ය කෙරෙහි ඇති විශ්වාසය පලුදු වීම දරුණු ලෙස වර්ධනය වී ඇත. ඉතිහාසයේ කිසිදාකත් නොවූ විරූ ලෙස මාධ්‍ය ආයතන සංස්කෘතියම දේශපාලනීකරණය වී තිබීම එයට ප්‍රධාන හේතුවක් බව පෙනේ.

රාජ්‍ය මාධ්‍ය, පෞද්ගලික මාධ්‍ය යන ප්‍රධාන ධාරා දෙකක් යටතේ පැවැති මාධ්‍ය ආයතන අනුව ඔවුන්ගේ වාර්තාකරණයන් යම් කිසි කිරා මැන බැලීමකින් පසු සිදු වන දේ ගැන තීරණයකට ඒමට ජනතාවට හෙවත් මාධ්‍ය පාරිභෝගිකයන්ට හැකියාවක් මුලින් තිබිණි. රාජ්‍ය මාධ්‍ය දැඩි ලෙස ඒ ඒ කාලයට පවතින ආණ්ඩුවේ හොරණෑ බවට පත්වීමත්, පෞද්ගලික මාධ්‍ය ආයතන අයිතිකරුවන් වැඩි දෙනෙක් ඒ ඒ පක්‍ෂ නියෝජනය කරන දේශපාලකයන් වීමත්, දේශපාලන පක්‍ෂවල උදව්කරුවන් බවට පත්වීමත් සමඟ මාධ්‍ය පාරිභෝගිකයන් පත් වූයේ අවුලකටය.

සමහර මාධ්‍ය ආරම්භ වන්නේම එම මාධ්‍ය ප්‍රධානීන්ගේ දේශපාලන න්‍යායපත්‍ර ඉදිරියට ගෙන යෑමට මෙන්ම ඔවුන්ගේ කළු සල්ලි සුදු කරවා ගැනීමට උපක්‍රමයක්ද වශයෙනි. මේවා දන්නා සිවිල් සමාජයට හා දැනුවත් මාධ්‍ය පාරිභෝගිකයන්ට ඔවුන්ගේ වාර්තාකරණයන් ගැන තක්සේරුවක් කර ගත හැකි වුවත් මේ තත්ත්වය නොදන්නා ජනතාව තම තමන්ගේ පරිභෝජනයට ලැබෙන මාධ්‍ය අනුව රැවටීමට ලක්වීම සිදු වේ. පාලකයන් සහ වෙනත් දේශපාලන න්‍යාය පත්‍ර අනුව ක්‍රියාකරන්නන් විසින් වපුරණ මිථ්‍යාවන්, යුදවාදී, ආගම්වාදී, ජාතිවාදී ආකල්ප සහිත මාධ්‍ය හැසිරවීම් දෙස බලන විට ඒවා ජනතාවගේ ප්‍රතිබිම්භය හෝ ජනතාවගේ මනෝභාවය සේ සැලකිය හැකිද? ඒවායින් සිදු වන්නේ මාධ්‍යයේ ප්‍රතිබිම්භය හා මාධ්‍යයේ මනෝභාවය ජනතාව වෙත පිළිබිඹු කිරීම නොවේදැයි සිතා බලන්නට කාලයයි මේ.

නිරවද්‍යභාවය, අපක්‍ෂපාතීභාවය සහ වගකීම පෙරදැරිව, ජනතාවගේ අයිතිවාසිකම් සුරැකෙන යහපත් රටක් වෙනුවෙන් ඉදිරි දැක්මක් සහිත මාධ්‍යවේදීන්ගෙන් සමන්විතව මෙහෙයවන මාධ්‍යකට එම යහපත් මාධ්‍ය සංස්කෘතිය වෙනුවෙන් ආදර්ශයක් විය හැකිය. සයිබර්, සමාජ මාධ්‍ය හෝ විද්්‍යුත් මාධ්‍ය අධිකාරියක් පැවතුණත්, පුවත්පතට ඇති ඉඩ අහිමි නොවුණ මාධ්‍ය පාරිභෝගික සමාජයට අතීතයේ පැවතුණ විශ්වාසවන්ත පුවත්පත් කලාවක අවශ්‍යතාව පවතී. ඒ සඳහා කැප වන පුවත්පතක් ඇත්නම් අසත්‍යය, ඇවිලවීම්, රැවටීම් පිරි අනෙකුත් මාධ්‍ය අභිභවා එයට ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි වනු ඇත. එසේ උඩුගං බලා පිහිනිය හැකි පුවත්පතකට ජනතාවගේ ප්‍රතිබිම්භයේද, මනෝභාවයේද පිළිබිඹුව වීමට නොහැකි නොවනු ඇත.

-----------------------

මිනිස්කම විශද කළ වසරක්

ප්‍රදීප් රණතුංග

මෙරට ජාතික පුවත්පත් කලාවේ නව මංපෙතක් විවර කළ ‘‘රැස’’ වසරක් පසුරා ඇත. ‘රැස’ කියවන්නකුට එය රජයේ පත්තර මහ ගෙදරින් මුද්‍රණය වන්නක් සේ නොහැඟේ.

හුදු පෞද්ගලික, අපුල න්‍යායපත්‍ර මත මාධ්‍ය හිමිකරුවන් පිළිබඳවත්, ඊටම සරිලන මාධ්‍යකරුවන් පිළිබඳවත් විවේචන බොහොමයකි. රටට බණ කියන සහ බණ ලියන අප්පුලා මත්පැන් වීදුරුවට, රුපියල් සතවලට ආත්මය පාවාදෙන එතරම් ප්‍රසිද්ධ නොවන කතාද ඒ අතරය. ඒ හැම අතරේ මානව සමාජයේ වටිනාකම්, සම්ප්‍රදායන් යථාවත් කරමින් සරු ගමනක් ඒමට ‘රැස’ සමත්ව ඇත. ජාතික තලයටත්, ඈත පිටිසර ගම්මැදිවල මිනිසුන්ගේ හඬටත් ඒ ගමන තුළ ඉඩක් වෙන්වී තිබිණි. සෑම දිනකම පාහේ පුළුල් ලෙස දිගහැරුණු විශේෂාංග ලිපි ගණනාවකටම ‘රැස’ෙහි ඉඩ වෙන්විය. එය ‘රැස’ෙහි අනන්‍යතාව විය. එය මෙරට තුළ මුද්‍රණය වන වෙනත් කවර හෝ පුවත්පතක දැකිය නොහැකි යහපත් සහ සාධනීය ප්‍රවණතාවකි. එහෙයින්ම යහපත් සහ හරවත් දෑ කියවීමට රිසි කවරකු හෝ වුවේ නම් ‘රැස’ පුවත්පත තම නිවසට ගෙනයෑමට පසුබට නොවූහ.

බත් පත එතීමට නිවසට පුවත්පත් ගෙනගිය අයට ‘රැස’ එසේ හෑල්ලු කළ නොහැකි විය. දිනපතා ‘රැස’ ලිපි එකතුකරන්නවුන් පිළිබඳවත්, දරුවන්ට ‘රැස’ කියවීමට හුරු කරවූ මව්පියන් පිළිබඳවත් පුවත් අසන්නට ලැබුණේ එහෙයිනි. එනයින් ‘රැ‍ෙස’හි වසරක ගමන මිනිස්කම විශද කළ වසරක්ම විය. තවත් වසරක් ගතවන තැන්හි ‘රැස’ මෙරටෙහි දිනපතා පුවත්පත් ‘රැස’ක ‘රැස’් අභිභවනු ඇති බව නම් නොඅනුමානය. ඒ දෙස අප උපේක්ෂාසහගත ලෙස බලා හිඳිමු.

---------------------

පරිණාමවාදය හා ‘‘රැස’’

ගාමිණි බස්නායක

අහෝ! ස්මාර්ට් හිසකින්ද නිරුවත් ගතකින්ද යුත් ශ්‍රී ලාංකේය මානව මානවිකාවනි. නුඹව ගල් යුගයෙන් උදුරා දමා නූතන ලෝකයක් වෙත ඔසවා තැබීම අරබයා ලියමි. එකී අරමුණ කොතරම් දුෂ්කර වුවත් ඉටුකළ යුතුය. ඒ වෙනුවෙන් නැවත හමුවෙමු.”

“මන්දාරම” මුලින්ම ලියැවුණේ එකී පැතුමත් බලාපොරොත්තුවත් සමඟින්ය. තෙල්දෙණිය ජාතිවාදී ගිනි බුර බුරා නැඟෙමින් තිබූ සතියකය. ලංකාව පුරාම ඉතා බිහිසුණු තත්ත්වයක් ඇති වෙමින්, දොරෙන් දොර කළු වලාකුළු ලැගුම් ගනිමින් තිබූ සතියකය. අහෝ, මෙතරම් විනාශයක්... ලියුම්කරු තමාටම කියා ගත්තේය. නැවත නැවතත් ඉතිහාසය පුනර්භවය ලබමින් ලංකා මාතාව ජාතිවාදී කළ කෝලාහලවලින් විනාශ මුඛයට ඇදී යාවීදෝයි සැක සිතුණි. එය කොළඹ උදවියට වඩා නැඟෙනහිර මායිම් ගම්මානවල ජීවත් වූ අපට හොඳින් දැනේ. ඉතා සුළු පිරිසකගේ බලලෝභී අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමේ අරමුණින් දියත් කෙරෙමින් තිබූ කුමන්ත්‍රණකාරී වටපිටාවකය. වාසනාවකට නැඟෙමින් තිබූ ජාතිවාදී ගිනි, සති කිහිපයකින් නිවා දැමීමට ආණ්ඩුවට හැකි විය. ශ්‍රී ලාංකිකයකු වශයෙන් පමණක් නොව, ලේ මස් නහර ඇති සාමාන්‍ය මිනිසෙක් වශයෙන් එලෙසින් ගැටුම නිමාවීම පිළිබඳව සතුටු වුණෙමි. එම කාලවකවානුවෙත් ඉන් පසුවත් මන්දාරම ලියැවිණි. ලියුම්කරු අපේක්ෂා කළ සුන්දර ලොව වෙනුවෙන් ‘රැස’ද නිරතුරුවම පෙනී සිටියේය.

මීට මාස කිහිපයකට පෙර නැවතත් කුමන්ත්‍රණකාරීව ආණ්ඩු බලය දෝලනය වන්නට විය. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජනතාව වීදි බසින්නට වූහ. රටේ සිහිබුද්ධිය තිබෙන යම් කෙනෙක් වේවා, ඔහු තමාට හැකි උපරිමයෙන් ඒ සදහා දායක විය. කිසිත් කරකියාගත නොහැකි වූ ගමේ ගොඩේ උදවිය පවා කඩපිළට ගොඩවැදී ඇති වූ තත්ත්වය විවේචනය කළහ. ලංකාව ගත යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ගමන් මඟ විනා කුමන්ත්‍රණකාරී මඟ නොවන බව කියා සිටියහ. තිබූ තත්ත්වය මත, තිබූ අවම සීමාවන් භාවිතා කරමින් ‘රැස’ නිවැරදි ස්ථාවරයේ පෙනී සිටියේය. විශේෂයෙන්ම “තීරු ලිපි” විසින් අදාළ වෙනස දැඩි සේ විවේචනය කළේය. ඒ නිදහස ලැබුණේ ‘රැස’ නිසාය. බලලෝභී කලිකියුලා අධිරාජ්‍යයා, කුමන්ත්‍රණකාරීව ජුලියස් සීසර්ව ඝාතනය කළ අයුරු ලියන විට ‘රැස’ ඒවා නොබියව පළ කළේය. තිඹිරියාගම බණ්ඩාර වැනි පුරවැසියන් වීදි බැස ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඬ නඟන විට ‘රැස’ නිහඬව එය දරා සිටියේය. පුරවැසියන් වශයෙන්ද ලේඛකයන් වශයෙන්ද අප බලාපොරොත්තු වූයේද වන්නේද එවන් ‘රැස’කි.

කාලීන සිදුවීම් වාර්තා කරමින් ජනතාව පෙළෙන ගැටලු වාර්තා කරමින් ‘රැස’පසුගිය කාලයේ විශාල මෙහෙයක් සිදුකර තිබේ. පෙර දිනවලදී ‘රැස’ මිලදී ගැනීමට සවස් වී ගියත් වෙළෙඳපොළේ ඉතිරි වී තිබෙන ‘රැස’ අද වන විට උදේ ගියත් මිලදී ගැනීමට නොහැකි වන අවස්ථා ඇත. පුළුල් ජනතා ආකර්ෂණයක් ‘රැස’ කෙරේ ඇති වී තිබෙන බව ඉන් ගම්‍ය වේ. සාක්ෂරතාව ඉතා අඩු අම්පාර, මහඔය, පදියතලාව වැනි පරිධියේ ප්‍රදේශවලත් ‘රැස’ කෙරෙහි නව ආකර්ෂණයක් ඇති වී තිබීම සතුටට හේතුවකි.

සිකුරාදා දිගහැරෙන සාහිත්‍ය පිටුව හා කවි පිටුවද සාහිත්‍යකාමීන්ට සෑමවිටම නව ඉඩක් ලබා දී තිබිණි. සිනමාව, සාහිත්‍ය, ජනශ්‍රැති, ලේඛකයන්, වේදිකා නාට්‍ය, සාහිත්‍යයේ නව ප්‍රවණතා ආදී බොහෝ දේ එහි ගැබ්ව තිබිණි. ඉතාමත් රස කවි පිටුවක් දිගහැරුණේ ‘රැස’ පුවත්පතින්ය. කාව්‍ය ලෝකයේ ජයකෙහෙළි නංවා සිටින කවීන්ට මෙන්ම නව කවීන්ටද තිඹිරියාගම බණ්ඩාරගේ කවි පිටුවේ ඉඩක් විවර වී තිබිණි.

ලෝකය ඉතා ඉක්මනින් වෙනස් වෙමින් පවතී. ඉර හඳ තාරකා ඉතා උදාසීන ගමනින් වසර දහස් ගණනක් ඔහේ දැල්වී තිබුණා සේම තව දුරටත් දැල්වෙමින් තිබේ. විවිධ අර්බුද විවිධ ප්‍රවණතා, විවිධ ජන කොට්ඨාස, විවිධ ජාතීන් සමඟින් ලෝකය අඛණ්ඩ ගමනක යෙදී සිටී. චාර්ල්ස් ඩාවින් ප්‍රකාශ කලාක් මෙන් ලෝකයේ ඇති වන්නා වූ තත්ත්වයන්ට හැඩ ගැසීමට නොහැකි සෑම ජීවියෙක්ම විනාශ වන්නෝය. අලුතින් ඇති වන්නා වූ තත්ත්වයන්ට හැඩ ගැ‍ෙසමින් නව ප්‍රවණතා ග්‍රහණය කරමින් බුද්ධිමත්ව ගමන් කරන්නා වූ ජීවීහු වෙනස් වෙමින් ඉදිරියට යති. පුවත්පතකටත් පරිණාමවාදය එක සේ අදාළය. මෙතෙක් කලක් ‘රැස’ නොබියව ඉදිරියට ගමන් කරනු ලැබුවේ එකී ගුණාංගය නිසාමය. දෛනික දේශපාලනික තොරතුරුවලින්, ජනතා අභිලාෂයන් සමඟින්, සාහිත්‍ය සමඟින්, ක්‍රීඩා ලෝකයේ ජයග්‍රහණ හා පරාජයන් සමඟින්, නවමු තීරු ලිපි කිහිපයක් සමඟින් ‘රැස’ තවත් බොහෝ කලක් ජනතාව අතරෙහිම රැඳෙනු ඇත. “මන්දාරම” මනුෂ්‍යත්වය වෙනුවෙන් හා වඩා යහපත් ලොවක් වෙනුවෙන් අඛණ්ඩව ලියවෙනු ඇත.

‘රැස’ ආරම්භ වූ මුල් යුගයේදී තෙල්දෙණියේ සේම ගිනි නැවත ඇති වීමේ අවදානමක් පුපුරු ගසමින් තිබේ. කෑගල්ලේ බුදුපිළිමවල හිස සිඳ දැමූ පාපතරයන් හසු නොවීමට ඒ දුර්භාගය බොහෝ ඉක්මනට උදා වන්නට ඉඩ තිබිණි. ජාතිවාදය, ආගම්වාදය පතුරවමින් හෝ නැති වූ බලය ලබා ගැනීමේ කුමන්ත්‍රණයක් මේ මොහොතේද ලංකාවෙහි දියත් වෙමින් පවතී. අප කුමන දේශපාලන කඳවුරක සිටියත්, කුමන දේශපාලන මතිමතාන්තර දැරුවත් මොනයම් වූ හේතුවක් හෝ වෙනුවෙන් ලංකා මාතාව නැවතත් ලෙයින් තෙත් කිරීමේ සූදානමක් වේ නම් එය පරාජය කළ යුතුය. අදට වඩා යහපත් ලොවක්, අපට උපදින්නට සිටින දරුවන්ට උදා කළ යුතුය. එයට ‘රැස’ පෙර සේම පෙනී සිටිනු ඇත. තවදුරටත් “මන්දාරම” ඒ වෙනුවෙන් ලියැවෙනු ඇත.

මාතෘකා