ලස්සන සමකට ගෙදරදීම සත්කාර

 ඡායාරූපය:

ලස්සන සමකට ගෙදරදීම සත්කාර

මෙලොව පැවැත්ම රඳා පවතින්නේ කාන්තාවන්ගෙනි. කුඩා කල ළදරුවෙක් ලෙසත්, දියණියක, බිරිඳක, මවක මෙන්ම මිත්තනියක ලෙසද ජීවිතයේ විවිධ අවස්ථා හොබවන කාන්තාව සැබවින්ම ආකර්ෂණීය වීම වඩාත් වැදගත්ය. කාන්තාවක් කොතරම් වයසට ගියද ඇගේ රූප ස්වභාවය සුන්දරව පවත්වා ගැනීමට හැකි නම් එය එම කාන්තාවගේ වාසනාවක් බව කිව හැකිය.

ජීවිතයේ විවිධ අභියෝග හේතුවෙන් ඇතැම් අවස්ථාවල දී කාන්තාවන්ට තම රූපය පිළිබඳව සිතීමට පවා අමතක වී යයි. එමෙන්ම අධික කාර්යබහුල බව නිසා රුව රැකගැනීමට වැය කිරීමට කාලයක්ද නැතිවිය හැකිය. එහෙත් නිවසේදීම කළ හැකි පහත සඳහන් රූපලාවණ්‍ය සත්කාර තුළින් ඔබටත් සුන්දර සමක් ලබාගත හැකිය.

කහ සහ කඩල පිටි ආලේපය

කඩල පිටි මේස හැඳි 1ක්, කහ මේස හැඳි භාගයක් , සහ රෝස වතුර මේස හැඳි 1ක් එකට මිශ්‍රකර සකස් කරගත් ආලේපය මුහුණෙහි සහ බෙල්ලෙහි ආලේප කර විනාඩි 15ක් පමණ තබා සෝදා හැරිය යුතුය. කහ විසබීජ නාශකයකි. ඒ වාගේම සමට දිදුලන ස්වභාවයක් ගෙනදෙන ස්වභාවික ඖෂධයකි. කඩල පිටි සමෙහි pH අගයෙහි සමබරතාව මනාව පවත්වා ගැනීමට උපකාර වේ. මෙම ආලේපය සතියකට දෙවරක් මුහුණෙහි සහ බෙල්ලෙහි ආලේප කිරීම වඩාත් සුදුසු වේ.

සුදු හඳුන් ආලේපය

සුදු හඳුන් තේ හැඳි 1ක්, සහ මී පැණි තේ හැඳි 1ක් මිශ්‍රකර සකස් කර ගත් ආලේපය මුහුණ මත ආලේප කර විනාඩි 15-20ක් පමණ තබා සෝදා හැරිය යුතු ය . සුදු හඳුන් ප්‍රතිබැක්ටීරියා ගුණයෙන් යුතුය. මී පැණි මඟින් සමෙහි මෘදු ගුණය රැක දෙයි. මෙම ආලේපය මුහුණ මත සතියකට තුන් වරක් ගැල්වීමෙන් ලප කැළැල් අවම කර සුසිනිඳු සමක් හිමිකර ගැනීමට පුළුවන.

හාල්පිටි සහ සුදු හඳුන් ආලේපය

හාල් පිටි මේස හැඳි එකක්, සුදු හඳුන් තේ හැඳි එකක්, පොල් කිරි මේස හැඳි භාගයක්, කඩල පිටි මේස හැඳි 1ක්, සහ රෝස වතුර මේස හැඳි 1ක් එකට මිශ්‍රකර සකස් කර ගත් ආලේපය මුහුණේ ආලේප කර විනාඩි 5ක් පමණ සම්බාහනය කරගත යුතුය. ඉන් පසු විනාඩි පහළවකින් පමණ මුහුණ සෝදා පිරිසුදු කර ගත යුතුය. මෙම ආලේපය තෙල් අධික වශයෙන් පවතින සමක් සඳහා සුදුසු ස්වාභාවික ප්‍රතිකාරයකි. මෙම ප්‍රතිකාරය සතියකට දෙවරක් කිරීම වඩාත් සුදුසු වේ.

කෝමාරිකා, දෙහි සහ කහ ආලේපය

කෝමාරිකා මදය මේස හැඳි එකක්, දෙහි යුෂ තේ හැඳි 1ක්, සහ මී පැණි මේස හැඳි 1ක් එකට මිශ්‍රකර සකස් කරගත් ආලේපය දෑස් වටා ප්‍රදේශය හැර මුහුණෙහි ගල්වා විනාඩි 15කින් පසුව සෝදාහරින්න. කෝමාරිකා සහ දෙහි කුරුළෑ පාලනය කිරීමේ හැකියාවෙන් යුක්තය. ඒ වාගේම මුහුණේ පැහැපත් බව රඳා පවත්වා ගැනීමට මෙම ආලේපය වඩාත් උපකාරී වේ. මෙම සත්කාරය සතියකට තුන් වරක් සිදු කිරීමෙන් අගනා ප්‍රතිඑල හිමි කර ගැනීමට පුළුවන.

පැණි සහ දෙහි ආලේපය

මී පැණි මේස හැඳි 1ක් සහ දෙහි යුෂ මේස හැඳි 1ක් එකට මිශ්‍රකර ගත යුතු ය. ඉන්පසු සකස්කර ගත් ආලේපය දෑස් වටා හැර මුහුණෙහි අනෙක් ප්‍රදේශවල ආලේප කරගත යුතුය. විනාඩි 20කින් පසුව මුහුණ සේදීමෙන් ආලේපය ඉවත් කළ යුතුය. දෙහි යුෂ මඟින් මැරුණු සම ඉවත් වීම සිදුවේ. මී පැණිවල තිබෙන ප්‍රති ඔක්සිකාරක මුහුණේ දීප්තිමත් පෙනුම රැකදීමට වඩාත් උපකාරී වේ. මෙම සත්කාරය සතියකට තුන් වරක් සිදුකිරීමෙන් යපහත් ප්‍රතිඑල ලබා ගැනීමට පුළුවන.

 

[මදාරා මුදලිගේ]' stylecraze ' ඇසුරිනි.

මාතෘකා