අවුරුදු 7දීත් මව් කිරි බී 14දී මව් කිරි දුන් වැලිමඩ හීන්මැණිකේ

 ඡායාරූපය:

අවුරුදු 7දීත් මව් කිරි බී 14දී මව් කිරි දුන් වැලිමඩ හීන්මැණිකේ

ඇය මා පිළිගත්තේ, සිනහමුසු මුහුණින් පෙරමඟට පැමිණ බුලත්හුරුල්ලක් දී ආයුබෝවන් කීමෙනි. දරාගැනීමට අසීරු තරමේ ඒ පිළිගැනීම මගේ දෑස බොඳ කළේය. වයස අවුරුදු 102ක මාතාවකගෙන් එබඳු සැලකීමක් සිහිනෙනුදු අපේක්ෂා කළ හැකිද?

ඇය විජේසිංහ මුදියන්සේලාගේ හීන් මැණිකේ. 1916 ඔක්තෝබර් මස විසි වැනි දින වැලිමඩ නාවල, අමුණුමුල්ල ග්‍රාමයේ උපත ලබා ඇති ඇය මේ වන විට පසු කරන්නේ සිය දිවි මගේ 102 වන කඩ ඉමයි. එහෙත් අප දැනටමත් දන්නා පරිදි ඇය මහලු විය පිළිබඳ සාම්ප්‍රදායික අර්ථකථනවලට සරදම් කරන්නියකි. දරු මුනුපුරන් 125කට ආසන්න පිරිසකගේ රැකවරණය හා ආදරය මැද වැලිමඩ දඹවින්න ප්‍රදේශයේ ඇගේ බාල දියණියගේ නිවසේ සතුටින් දිවි ගෙවන ඇය, අසල්වාසීන්ගේ ආදරයට පාත්‍රව සිටින්නී, "බේකරි ආච්චි" නමිනි.

"එදා, ජීවිතයේ සතුට තමයි ප්‍රධාන වුණේ. එකයි මට දරුවෝ අට දෙනෙක් ලැබුණේ. ඒ වගේම මගේ පවුලේ දරුවෝ දහ තුනයි. අද එහෙමද? අද මිනිස්සුන්ගේ සතුට තමයි හම්බ කරන එක, ඉතිරි කරන එක. හැත්තෑ ගණන්වලින් පස්සේ තමයි ඔහොම වුණේ." ඇය සිරුරින් පමණක් නොව මනසින්ද සවිමත් බව ප්‍රකට කරමින් පැවසුවාය.

මව් කිරි

හීන් මැණිකේ මාතාව, දරුවන් දහතුන් දෙනෙකුගෙන් සමන්විත පවුලක දෙවැන්නියයි. පවුලේ දෙවනියා වුවත් ඇය මේ පවුලේ ලොක්කිය වී ඇත්තේ ඈට වැඩිමහලා සහෝදරයෙකු වූ බැවිනි. පියා විජේසිංහ මුදියන්සේලාගේ ජේමිස් අප්පුහාමි වූ අතර ඔහු අවුරුදු අසූ පහක් පමණ ආයු වළදා තිබේ. ඔහු ගොවිතැනට අමතරව හඳහන් හා නැකත් බැලීමටද සමතකු විය. අවුරුදු අසූවක් පමණ ආයු වැළඳූ කිරි මැණිකේ මාතාව, හීන් මැණිකේගේ මව වූවාය. සිය මව පිළිබදව සදහන් කළ හැම අවස්ථාවේම හීන් මැණිකේ සිහි කළේ ඇය දරුවන් ආදරයෙන් රැක බලා ගත් කදිම ගෘහණියක බවය.

"මට කියලා තියන විදිහට අපේ අම්මට මම ලැබෙද්දී වයස අවුරුදු පහළොවයිලු. මට පස්සේ දරුවෝ එකොළොස් දෙනෙක් අම්මට ලැබුණා. ඉන් කීප දෙනෙක් උප්පත්තියෙන් පස්සේ මැරුණා. කොහොම වුණත් මම අවුරුදු හතක් මව් කිරි බීලා තියනවා. මට මතකයි යාන්තමට වගේ අම්මගේ තන පුඩුවෙන් කිරි බිව්වා. මම එක පැත්තකින් කිරි බොද්දි මට බාල නංගිලා දෙන්නෙක් මාරුවෙන් මාරුවට අම්මාගෙන් කිරි බිව්වා. මට අදටත් තියෙන්නේ ඒ ශක්තිය තමයි."

ඇයගේ කතාව ඇත්තකි. ඇය සතු ශක්තිය ඇගේ මුවින් නික්මෙන වචන වලින්ම පැහැදිලි වෙයි. තරුණ ලමිස්සියකට වුවද ඇය හා තර්ක කර දිනීමේ හැකියාවක් අදටත් නැත. ඇය හා වාදයට යන ඇගේ මිනිපිරියක වන ඉමල්කා චතුරංගනී ඇයට දිනුම දී පසුබසින්නේ ඇය මහලු නිසා නොව ඇය හා වාද කර දිනන්නට නොහැකි බැවිනි.

අධ්‍යාපනය

''මගේ දෙමාපියෝ මාව ඉස්කෝලේ යැව්වේ නැහැනේ..." ඇය දුක්බරව පැවසුවාය.

"ඒ දවස් වල ගැහැනු ළමයි ඉස්කෝලේ ඇරියේ නැහැ. ඒ කාලේ තිබුණු මතය තමයි පිරිමි විතරක් ඉගෙන ගත්තම ඇති, ගැහැනු අය ළමයි හදාගෙන ගෙවල්වල වැඩ කරන්න ඕනෑ කියන එක. අනෙක් ප්‍රධාන හේතුව තමයි මේ පැත්තේ තිබුණේ පිරිවෙන් අධ්‍යාපනය. ඒ නිසත් ගැහැනු ළමයින්ට ඉස්කෝලේ යන්න බැරි වුණා. ගොඩාක් දුරකින් තමයි ඉස්කෝලයක් තිබිලා තියෙන්නේ."

"රැස" දිගාසිරි චාරිකාවේදී හමු වූ වැඩි පිරිසක් පාසල් අධ්‍යාපනය නොලැබූවන්ය. එහෙත් ඔවුන් සතු වූ සමාජ දැනුම විශ්වවිද්‍යාලයකට ගොස් හෝ ලබා ගැනීමේ හැකියාවක් අද කාලයේ ජීවත් වන අයෙකුට තිබේදැයි සිතුණු අවස්ථා එමටය. හීන් මැණිකා මාතාවද එවන්නියකි.

"මට අකුරු ලියන්න, කියවන්න බැහැ. මම අදටත් තියන්නේ ඇගිලි අත්සන. ඒ වුණාට මට වෙන ඕනෑ දෙයක් කරන්න පුළුවන් "

ඇය කියන්නේ ඇත්තකි. අකුරු ලියන්නට, කියන්නට බැරි වුවත් ඇය නොදත් ගාථාවක් නැති තරම්ය. තුන් මුනුපුරන්ද දැක ඇති ඇය තම දරු මුනුපුරනට සිංහල, දෙමළ මෙන්ම ඉංග්‍රීසි කවි ගායනාද කියා දී ඇත.

"සී සෝ අප් ඇන්ඩ් ඩවුන් -ජේම්ස් ගොඉන් ටු ලන්ඩන් ටවුන්" ඇය එම ඉංග්‍රීසි කවිය දිගටම කීවාය. ඊට අමතරව ඇය මගෙන් දෙමළ භාෂාවෙන්ද ප්‍රශ්න කීපයක් ඇසුවාය. ඉක්බිති ඇය දැනුම ලබා ගත් ආකාරය විස්තර කළාය.

"ඇස් පේන්නේ නැති අයටත් පුළුවන්නේ පාර හොයාගෙන යන්න. ඒ වගේ තමයි අකුරු දන්නේ නැති වුණාට මට පුළුවන් වුණා අහගෙන ඉඳලා ඒවා මනසට දා ගන්න."

ආරක්ෂාව

"අපේ අම්මා මාව ඉස්කෝලේ යැව්වේ නැති තව හේතුවක් තිබුණා මට එක මුලින් කියන්න බැරි වුණා. මොකද දන්නවද, අකුරු ඉගෙනගෙන කොල්ලන්ට ලියුම් ලියයි කියලා..." මේ කතාව ඇසූ නිවැසියන්ට හිනාව පාලනය කර ගත නොහැකි වුවත් මීට පෙර අවස්ථා කිහිපයකදීම අවුරුදු සියය ඉක්මවූ මව්වරුන්ගෙන් මේ කතාව අසා තිබු හෙයින් මට මෙහි විශේෂත්වයක් නොදැනිණි.

"ඒ දවස් වල අපේ අම්මා හරි බයයි අපිව කවුරු හරි උස්සන් යයි කියලා. කවුරු හරි පාරේ ගියොත් අම්මා අපිව ගෙට දාලා දොර වහ ගන්නවා. ඒ වගේම තමයි අම්මගේ ලොකු බයක් තිබුණා මෙහෙ හිටපු සුද්දන්ට. එක දවසක් සුද්දෙක් මට විහිළුවක් කළා. ඒ සුද්දා මගේ පිටට තට්ටු කරලා කිව්වා, "නීල පොට්ටු පෝඩුන්ග" කියලා. ඒ කියන්නේ මට නිල් පාට පොට්ටුවක් තියාගන්න කියලයි කිව්වේ. මගේ මෝඩකමට ගෙදර ඇවිල්ලා අම්මට ඒ කතාව කිව්වා. අම්මා ඊට පස්සේ මට සෑහෙන කාලයක් යනකම් ගෙදරින් එළියට බහින්න දුන්නේ නැහැ."

හීන් මැණිකේ මාතාවගේ කුඩා සන්ධියේ වැලිමඩ ජීවත් වූ බ්‍රිතාන්‍ය ජාතිකයනට දෙමළ භාෂාව කතා කිරීමේ හා ලිවීමේ හැකියාව තිබී ඇත. සිංහල අකුරු අමුණමින් අපහසුවෙන් කතා කළත් දෙමළ භාෂාව ඔවුනට පහසුවෙන් කතා කිරීමේ හැකියාව තිබූ බව හීන් මැණිකේ මාතාව කීවාය.

ආදරය

වැඩිවියට පත් වීමටත් පෙරම හීන් මැණිකේට විවාහ යෝජනා පැමිණ තිබේ. ඒ ඇය එතරම්ම සුරුපිණියක් වීම හේතුවෙනි. මේ නිසාම වයස අවුරුදු 13දී හීන් මැණිකේට මංගල සීනු හැඬවිණි. ඇගේ අතගත් සහකරු වූයේ අලුත්ගම මුල් පදිංචිකරුවෙකු වූ, පසු කාලීනව බණ්ඩාරවෙල පදිංචිව සිටි ජෝන් සිල්වා මහතායි. උපන් ගෙයිම බේකරි වැඩ පිළිබද දක්ෂයෙකු වූ ජෝන් සිල්වා මහතාට සිය දියණිය විවාහ කර දීමට හීන් මැණිකේ මාතාවගේ දෙමාපියෝ එක පයින් කැමති වූහ.

"විවාහය ගැන නම් මට මතක නැහැ. ඒ ගැන කතා කරන්න එපා. මගේ කටත් රිදෙනවා මේවා කියලා..." විවාහය ගැන ඇසූ සැණින් හීන් මැණිකේ මාතාව එසේ කීවාය.

"හරි, හරි ඒ ගැන ඕනෑ නැහැ. වෙන දෙයක් ගැන කතා කරමුකෝ..." මම ඇය වෙනත් දිශාවකට කැන්දාගෙන යෑමට සිතුවෙමි. එහෙත් වැඩි ඈතකට නොගොස් මගේ අරමුණ කරා යෑමට පුළුවන් විය.

"කොල්ලා ලස්සනද කියලා අහනවා. ලස්සන නැත්නම් මම කැමති වෙනවද?" ඇය සිය ස්වාමියාගේ හැඩ හුරුකම් සියල්ල මා සමග කීවාය."එයාගේ ගම අලුත්ගම. ගෙදරින් තරහ වෙලා ඇවිල්ලා, බණ්ඩාරවෙල එයාගේ සහෝදරයෙකුගේ ගෙදර තමයි නැවතිලා හිටියේ. කොහොම හරි දවසක් එයයි එයාගේ සහෝදරයයි වැඩකට මේ පැත්තේ ඇවිල්ලා මාව දැකල අපේ දෙමාපියන්ගෙන් අහලා තියනවා. පස්සේ එයා ගැන හොයල බලලා මට මේ මගුල කරලා දුන්නා." විටෙක ඇගේ කතාව සිනහ උපදවයි. තවත් විටෙක ඇගේ කතාවේ සැගවුණු රහසක් තිබේ. මේ සියල්ල මට දැන් නුපුරුදු සෙයක් නොදැනේ.

''මට දහ තුනයි, එයාට දහසයයි හොදයි නේද?'' ඇය අසයි. හොඳයි හොඳයි කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද?

පරපුර

"හීන් මැණිකේ හා ජෝන් සිල්වාගේ විවාහයෙන් පසු මේ දෙපළට දරුවන් අටදෙනෙකු ලැබී තිබේ. ඉන් දෙදෙනෙකු කුඩා අවධියේම මියගොස් ඇති අතර තවත් දෙදෙනෙකු මෑත කාලයේ මියගොස් තිබේ.

"මගේ ලොකු පුතා රිචඩ් සිල්වා. එයා අවුරුදු හැට අටේදී මැරුණා. එයා මැරිලත් දැන් අවුරුදු විස්සක් වෙනවා. එයාගේ ලොකු පුතා තමයි අපේ දෙවෙනි පරපුරේ වැඩිමලා. එයා උපන්නේ 1959 අවුරුද්දේ. එතකොට මගේ බාල දූ උපන්නේ 1960දී. මගේ දෙවෙනියා විල්සන් සිල්වා. එයත් දැන් ජීවතුන් අතර නැහැ. තුන් වෙනියා ප්‍රේමවතී සිල්වා, හතරවෙනියා ගේ නම මතක නැහැ. එයාට කියන්නෙත් ලොකු පුතාගේ නම, ඒ කියන්නේ රිචඩ් සිල්වා කියලයි. මොකද ලොකු පුතා මැරුණට පස්සේ ගමේ අය ආදරේට රිචඩ් කියන්න ගත්තා. පස්සේ ඒ නම දිගටම ගියා. පස්වෙනියා සෝමලතා සිල්වා. හයවෙනියා, එයා ළඟ තමයි මම දැන් ඉන්නේ. එයාගේ නම ශ්‍රියාලතා වීරකෝන්. එයාගේ දුව, පුතාල දෙන්නා මාව හොඳට බලා ගන්නවා. "දරුවන්ගෙන් කාටද වැඩියෙන් ආදරේ? මම ආචාරධාර්මික නොවන ප්‍රශ්නයක් ඇසීමි. ඇය මට වඩා බුද්ධිමත්ය. "ඒවා අහන්න එපා. දරු මුනුපුරෝ 125දෙනාටම මම එක වගේ ආදරෙයි. එක්කෙනෙක්ටවත් වැඩිත් නැහැ, අඩුත් නැහැ.''

ඇයත් සමග පැය තුනකට ආසන්න කාලයක් කතා කර තිබිණි. එහෙත් ඇයට හෝ මට වෙහෙසක් නොදැනුණේ ඇය පැවසූ ඇතැම් රසවත් කතා හේතුවෙනි. ඒ සියල්ල මෙහි කෙසේ සටහන් කරන්නද?

මා ඇයට සමු දුන්නේ නැවතත් ඇය දැක බලා ගැනීම සදහා පැමිණෙන බව කියමිනි. එහිදී ඇය මගේ හිස අල්ලා දීර්ඝ ආශිර්වාදයක්ද කළාය. 'මව්වත්කම...' මට ඒ සිංහල වචනයේ අරුත වෙන කවදාටත් වැඩියෙන් අවබෝධ විය.

[ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න]

මාතෘකා