ඇමරිකන් හමුදාවේ විශේෂඥ වෛද්‍යවරයකු වූ පළමු ශ්‍රී ලාංකිකයා මේජර් රවීන් කෝණාර

 ඡායාරූපය:

ඇමරිකන් හමුදාවේ විශේෂඥ වෛද්‍යවරයකු වූ පළමු ශ්‍රී ලාංකිකයා මේජර් රවීන් කෝණාර

මේජර් රවීන් කෝණාර

වෛද්‍ය උපාධියට ගත් ලකුණක් පාසා පන්සලකට ඩොලරය බැඟින් පූජා කරලා

ලාංකිකයන් දස්කමෙන් සපිරි ජාතියකි. ලොව කොතනක සිටියත් තම උපන් බිමට මහත් අභිමානයක් ගෙන දෙන්නට සමත් බොහෝ දෙනකු නිසා ලක් මවට ලැබෙන්නේ මහා ගෞරවයකි. මේ කතාවත් අපූරු ලාංකික පුතකු ගැනය. දැන් ඔහු සිටින්නේ ඇමරිකාවේය. ලංකාවේ ඉපදී ඇමරිකාවේදී විශේෂඥ වෛද්‍යවරයෙක් වෙමින් මේ වන විට ඔහු ඇමරිකානු යුද හමුදා වෛද්‍ය බළකායේ මේජර්වරයකු වශයෙන් කටයුතු කරයි. මේ හපන්කම කළ පළමුවැන්නා ඔහුය.

ටෝනි ජයතිලක කෝණාර මහතා සමඟින් යමුණා කෝණාර මහත්මිය යුග දිවියට පිවිසියේ දහසක් පැතුම් පොදි බැඳගෙනය. ගාලු පුරවරයේ පදිංචිව සිටි මේ යුවළගේ කැදැල්ලට අලුත් සාමාජිකයෙක් එක් වූවේය. ඒ වැඩිමහල් පුතු රවින් මෙවන් කෝණාරය.

එවකට විදුලි කාර්මික ශිල්පියකු ලෙස කටයුතු කළ ජයතිලක කෝණාර ඉන්දියාව සහ ඉතාලිය ආදී රටවල් කිහිපයක රැකියාවන් කර තිබුණි. ඉන් අනතුරුව ජයතිලක මහතා රැකියාව තෝරා ගන්නේ ඇමරිකාවේය. 1973 වසරේදි ඇමරිකාවට පැමිණි ජයතිලක මහතා විදුලි කාර්මික ශිල්පියෙක් ලෙස කටයුතු කරන්නට වූවේය. මේ අතර 1984 වසරේදී සිය බිරිඳ සහ පුතුවද ඇමරිකාවට ගෙන්වාගෙන නිව්යෝර්ක් නගරයේ ජීවත් වන්නට විය. දෙමහල්ලන්ගේ සතුට වැඩි කරමින් මෙම පවුලට තවත් සුරතල් කොලු පැටියෙක් එකතු වන්නේය. ඔහු ධනුෂ්ක මිතුන් කෝණාර නමින් නම් කෙරිණි.

සුරතල් දරු දෙදෙනා කුඩා කල සිටම බුදු දහම ඉගෙන ගනිමින් මවු පිය සෙවණේ හැදී වැඩුණි. ඇමරිකාවේ ජිවත් වුවද හැදී වැඩුණේ උපන් බිමේ සිරිත් විරිත් සහ සුන්දරත්වය නිරන්තරයෙන් අගය කරමිනි. දරු දෙදෙනාම ඉගෙනුමට සහජ දක්ෂතාවක් දැක්වූහ.

වැඩිමහල් පුත් රවීන් ඉගෙනුමට උපන් හපනෙකි. ඔහු ඇමරිකාවේ බොස්ටයින් බ්‍රැන්ඩයිස් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාව, ආර්ථීක විද්‍යාව සහ දර්ශන විද්‍යාව යන විෂයයන් පිළිබඳව උපාධිධාරියෙකි. ඉන් අනතුරුව සින්සිනාටි විශ්වවිද්‍යාලයේ කායික විද්‍යා උපාධියක්ද හිමිකර ගන්නට ඔහු සමත් වූවේය. පසුව 2008, 2009 වසරේ ඇමරිකාවේ යුනිපෝම් සර්විස් වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ඇතුළු වන රවීන් 2013 වසරේදී වෛද්‍ය උපාධිය ලබා ගන්නට සමත් වූයේය. ඉන් අනතුරුව ලංකාවේ ඉපිද පළමුවැනියා වශයෙන් ඇමරිකානු යුද හමුදා වෛද්‍ය බළකායේ කපිතාන්වරයකු වශයෙන් සේවයට එක්වන්නටද සමත් වූවේය.

රවීන්ගේ මව වන යමුනා කෝණාර මහත්මිය තම ආඩම්බරකාර දරුවන් ගැන මෙසේ ‘රැස’ත් සමඟ දොඩමලු වන්නට වූවාය.

“පුතාලා පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්න හරිම ආසයි. ඒ වගේම බුදු දහමට පුදුමාකාර ළැදියාවක් තියෙන්නේ. පන්සලත් එක්ක නිතර සම්බන්ධකම් තියා ගත්තා. පුතා වෛද්‍ය උපාධියට පෙනී සිටින්න සූදානම් වූ මොහොතේ ප්‍රාර්ථනාවක් කළා විභාගයෙන් ගන්න හැම ලකුණකටම මම පන්සලකට එක ඩොලරය ගාණේ පුජා කරනවා කියලා. පැය 09ක් පුරා තිබෙන මේ විභාගය ඉතා අමාරුයි. පුතා සෑහෙන මහන්සි වුණා. පාඩම් කළා. මවුපිය අභාසය මෙන්ම තමන්ට නිරතුරුව හිතවත්කම් දක්වන ඇමරිකාවේ නිව්යෝර්ක් හි පිහිටි ටැප් අයිලන් විහාරස්ථානයේ විහාරාධිපති හින්ගුන්නේ කොණ්ඩඤ්ඤ හිමියන්ගේ ආශිර්වාදය ඇතිව විභාගයට පෙනී සිටියා. පැය 09ක් තිස්සේ පැවැති විභාගයෙන් රවීන් මහා ඉහළින් සමත් වුණා. ඒ නිසා ඔහු කුරුණෑගල නිකවැරටිය ප්‍රදේශයේ විහාරස්ථානයකට ඩොලර් 600ක මුදලක් පුජා කළා විභාගයට බාර වුණු විදියටම. එයාට ඇමරිකානු වෛද්‍ය උපාධිය ලකුණු 324ක් වැනි මහා ඉහළ ලකුණු සංඛ්‍යාවක් ලබා ගෙන සමත් වුණා.”

විශේෂඥ වෛද්‍යවරයෙක් වූ ඔහු කපිතාන්වරයෙක් ලෙස සේවයට එක්වූ අතර මේ වන විට ඇමරිකානු වෛද්‍ය බළකායේ මේජර්වරයෙක් වශයෙන් ඔක්ලෝහෝමා නගරයේ රෙනොල්ඩ් හමුදා සොඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයේ කටයුතු කරමින් සිටියි.

ඉතාලි ජාතික සුරූපී තරුණියක් වූ එලිසා නම් තරුණිය කෙරෙහි රවීන්ගේ සිත ඇදී යන්නට වූවේය. ඇය වංශවත් කතෝලික පවුලක යුවතියකි. ටැප් අයිලන් විහාරස්ථානයේදී දිනක් රවි එලිසාට පැවසූ වදන් හින්ගුන්නේ කොණ්ඩඤ්ඤ හිමියන් ඇසූ මිහිරිතම වදනක් විය. එනම්, “අපි මේ ගමන යන්නෙ, ඒක සිද්ධ වෙන්නේ මේ පොරොන්දුව මතයි. මම අදහන ආගම වෙනස් කරන්නේ නැහැ. අපට ඉපදෙන දරුවෝ බෞද්ධ වෙන්න ඕන. එහෙම වුණොත් තමයි මේ විවාහය කෙරෙන්නේ. ඔයා ගිහින් ගෙදරින් අහලා එන්න.” යැයි රවීන් ඉතා කාරුණිකව සිය සුන්දර පෙම්වතියට පවසා සිටින්නට විය.

එලිසා රවීන්ට මුළු හදවතින්ම ආදරය කරන්නට වූවාය. රවීන්ද එසේමය. නමුත් මේ විවාහය කරන්නට නම් එලිසාට දෙමවුපියන් රවීන්ගේ තීරණයට කැමති කරවා ගැනීමට සිදුවනු ඇත. ඇය කතෝලික ආගමට ළැදි වංශවත් පවුලකින් පැවත එන විශාල ඥාති පිරිසකට නායකත්වය දෙමින් කටයුතු කරන සිය පියාව රවීන්ගේ තීරණයට කැමති කරවා ගන්නේ කෙසේදැයි එලිසා දැඩිසේ කල්පනා කරන්නට වූවාය.

අවසානයේදී ඇය පියාට මේ බව පවසද්දි පියා තම දියණියගේ කැමැත්තට ඉතා ආදරයෙන් අවසර දෙන්නට විය. පසුව ඔවුන් දෙදෙනා කොණ්ඩඤ්ඤ හිමියන් මුණ ගැසීමට ටැප් අයිලන් විහාරස්ථානයට ගිය අවස්ථාවේ කොණ්ඩඤ්ඤ හිමියන් එම දෙදෙනාගේ දෑඟිලි එකට එක් කර පිරිත් නූලක් ගැට ගසන්නට විය. අවසානයෙදි එලිසා එම පිරිත් නූල සුරක්ෂිතව තබා මංගල දින ඇයගේ මංගල මල් කලඹේ ගැටගසා ගත්තාය.

එදිනට එලිසාගේ පවුලෙන් පනහකට අධික කාන්තාවන් පැමිණි ආකාරය බොහෝ දෙනෙක් මවිතයට පත්කරවන්නට විය. ඒ, එලිසාගේ පාර්ශ්වයෙන් පැමිණි සියලුම කාන්තාවන් ලංකාවේ කාන්තාවන්සේ සාරි හැඳ පැමිණ සිටීම නිසාය.

“මම දරුවෝ ලැබෙන්න කලින් හැමදාම සිහිකරේ මට ආගමට දහමට ළැදි යහපත් දරුවෝ ලැබෙන්න කියලා. ඒ වගේම තමන්ගේ පණ වගේ ආගමට ළැදි දරුවෝ දෙන්නෙක් මට ලැබුණා. එලිසාත් දැන් බුදු දහම හරිම කැමතියි. ඇයට මේ දිනවල දරුවෙක් ලැබෙන්නේ ඉන්නේ. හැමදාම එයාලා රෑට පිරිත් අහනවා. මේ වනවිට බුදු දහමට කෙරෙහි එයාගේ හිත ගොඩක් ඇදිලා ගිහින් තියෙනවා. අනෙක පුතා නිතරම පන්සල්වලට උදවු කරනවා. ටැප් අයිලන් විහාරය සහ නිව් ජර්සි විහාරය ආදී අපේ පන්සල්වලට පුතාලා ගිහින් නිතරම උදවු කරනවා. එයා බුදු දහමට හරිම ආදරෙයි” යනුවෙන් යමුනා කෝණාර මහත්මිය තම දරුවන් ගැන අදහස් දක්වමින් පවසා සිටියාය.

ජයතිලක කෝණාර මහතාද අපත් සමඟ දොඩමලු වෙමින් මෙසේ කීවේය.

“පුතා හරිම කරුණාවන්තයි. උණු වෙන හදවතක් තියන්නේ නිතරම අනුන් ගැන හිතනවා. ලංකාව ගැන නිතරම හිතනවා. කතා කරනවා. ලංකාව දියුණු කරන්න, ලංකාව වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කරන්න ඕන කියලා නිරන්තරයෙන් කියනවා. ඒ වගේම ඒ වෙනුවෙන් කටයුතු කරනවා. ඒ වගේම රවීන් අවදානම් වැඩ කරන්න හරිම කැමතියි. එයා පාපන්දු ලෝක කුසලාන අවසන් තරගය නැරඹුවේ කුඩා ගුවන් යානයකින් ගුවනෙ ඉඳන්. ඒ වගේ වෙනස් වැඩවලට එයා හරි කැමතියි. ඒ වගේම මගේ දෙවැනි පුතා ධනුෂ්ක සිසුන් 6000ක් අතරින් බැන්ඩෙක්ස් විශ්වවිද්‍යාලයට එවර තේරුණු සිසුන් 6 දෙනා අතර සිටියා. මේ වන විට එයත් වෛද්‍ය ඉංජිනේරුවෙක් විදියට පුහුණුව ලබමින් සිටිනවා. තව මාස හයකින් විතර පස්සේ එයාට ඒ රැකියාව ලැබේවි. ඇත්තටම අපිට බොෙහාම සතුටුයි අපේ පුතාල ලංකාවේ ඉඳන් ඇවිල්ලා මේ ආකාරයෙන් ඇමරිකාවේ විශේෂඥ ෙවෙද්‍යවරයෙක් වෙලා යුද හමුදාවේ වෛද්‍ය බළකායේ මේජ්ර්වරයෙක් වශයෙන් කටයුතු කිරීම ගැන. ඔහු ලෝකයේ කොහේ හිටියත් කතා කරන්නේ ලංකාව ගැන. හිත තියෙන්නේ ලංකාවේ.”

අම්පිටියේ සුමනරතන හිමියන් මේ දක්ෂයන් ගැන කීවේ මෙවන් කතාවකි.

“රවීන් කෝණාර කියන්නේ ලංකාවට මහත් කීර්තියක් ගෙන දුන් අයෙක්. මේ රවීන් වගේම කෝණාර පවුලේ සාමාජිකයන් මඩකළපුව විහාරස්ථානයට සහ අසරණ ජනයා වෙනුවෙන් කරන ආගමික, ශාසනික, ජාතික, මෙහවරේදී විශාල සහයෝගක් දෙනවා. පසුගියදා ඇමරිකාවේ ටැප් අයිලන් විහරස්ථානයේ විහාරාධිපති හින්ගුන්නේ කොණ්ඩඤ්ඤ හිමියන්ගේ මඟපෙන්වීමෙන් ඇමරිකාවේ පදිංචි යමුනා කෝණාර මහත්මියගේ අනුග්‍රහයෙන් ඇමරිකාවට ගිය ගමනේදි අපට උපකාර ලබා දෙන්නට මේ පින්වතුන් මහත් වෙහසක් ගත්තා. ඒ අවස්ථාවේ ඇමරිකාවේ නිව්යෝර්ක්වල සිටින අශෝක රාජපක්ෂ මහතා ඇතුළු පරිත්‍යාගශීලී පින්වතුන්ගෙන් උපකාර ලැබුණා. දුර රටක සිටියත් රවීන් කෝණාර, යමුනා කෝණාර ඇතුළු මෙම කෝණාර පවුලේ සියලුමදෙනා පුදුමාකාර සහායක් දෙනවා. ඒ සමඟ අනෙක් අයගේ සහාය අරන් දෙන්නට කටයුතු කරන බුදු දහමට ළැදි පිරිසක් බව මම විශ්වාසයෙන් කියනවා.”

බොහෝ ඇමරිකානුවන් ඔවුනට පවසා සිටින්නේ උපතින් බෞද්ධයන් වීමට හැකිවීම ලංකාවේ බොහෝ දෙනකුගේ වාසනාවක් බවය. ඒ අය බුදු දහමට හරිම කැමතියි. විශේෂයෙන් බොහෝ ඇමරිකානුවන් බුදු දහම පිළිබඳව පැහැදිලා ඒ පිළිබඳව සොයනවා. දැනුම ලබා ගන්නවා. භාවනා වැඩසටහන්වලට හරිම කැමතියි. අපි බෞද්ධයෝ. නමුත් සමහර අය පාරේ බල්ලෙක් ගියත් ගලකින් හරි ගහනවා. නමුත් ගොඩක් ඇමරිකානුවෝ කරන්නේ පාරේ බල්ලෙක් තුවාල වෙලා හිටියත් ගෙදර ගෙනල්ලා බෙහෙත් කරලා ඇඳේ හරි තියන් ඉන්න එක. ඒ නිසා අපි නමට බෞද්ධයන් වෙනවා වෙනුවට වඩා බුදු දහමට අනුව කටයුතු කරනවා නම් කොච්චර වටිනවාද. එය තමන්ගේ ජීවිතයට මහත් සැනසීමක්, සතුටක් ළඟා කරගත හැක්කක් බව මෙම කෝණාර පවුලේ සාමාජිකයෝ 'රැස'ට අදහස් දක්වමින් පවසා සිටින්නට වූහ.

දැන් ඔවුන් සිටින්නේ ඇමරිකාවේය. නමුත් හිත ඇත්තේ ලංකාවේය. ඒ නිසා ඉඩ ලැබෙන සෑම මොහොතකම ලංකාව ගැන නිරන්තරයෙන් තොරතුරු සොයා බලන්නට ඔවුහු වෙහෙසෙති. මඩකළපුව පුදබිම රැකගන්නට නැඟෙනහිර පළාතත් සිංහල ජනතාවත් වෙනුවෙන් මඩකළපුව මංගලාරාම විහාරස්ථානාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් ගෙන යන වැඩපිළිවෙළේදීද මහත් සහයක් දෙති.

මවුපිය නිසි ඔවදන් මැද බුදු දහමත් සමඟ ජිවිතය ගොඩනඟා ගත් රවී ලංකාවට මහත් කීර්තියක් ගෙන දෙන්නට සමත් වූවේය. අරක්කු, මත් කුඩු පස්සේ ගොස් තමන්ගේ ජීවිතය නන්නත්තාර කරගන්නා අයට රවී පෙන්වා දෙන ආදර්ශය වන්නේ නිසිසේ මවුපිය උපදෙස් ගෙන දහම් අධ්‍යාපනය ලැබ යන ගමන මත ජීවිත සාර්ථකත්වය හිමිවෙන බවය. රවීන් සැබවින්ම ඔබ ලක්මවට ආඩම්බරයකි.

[එස්. අමර බන්දු]

මාතෘකා