ලාංකේය සිනමාවට ගී ගැයූ ලතා මංගේෂ්කාර්

 ඡායාරූපය:

ලාංකේය සිනමාවට ගී ගැයූ ලතා මංගේෂ්කාර්

ලතා මංගේෂ්කාර් කියන්නේ භාරතයට මැණිකක්. ඒ තරමට ලතා මංගේෂ්කාර් කියන ඉන්දීය ගීත කෝකිලාව දිනෙන් දින දිස්නෙ දෙමින් ඔප වැටෙනවා. ටී. සෝමසේකරන් කියන්නේ ලාංකික වුණත් ද්‍රවිඩ ජාතික සිනමා අධ්‍යක්ෂකවරයෙක්. ඔහු ලංකාවේ ප්‍රථම දෙමළ ජාතික චිත්‍රපට අධ්‍යක්ෂකවරයා ලෙසින් හැඳින්වෙද්දි ‘සැඩ සුළං’ චිත්‍රපටය නිසා ඔහු ලාංකේය සිනමා ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිතයක් බවට පත්වෙනවා.

සැඩ සුළං චිත්‍රපටය තිරගත වෙන්නේ 1955 වර්ෂයේදී. එහි ප්‍රධාන චරිත රඟ දක්වන්නේ ෆ්ෙලාරීඩා ජයලත්ය. ඊට අමතරව පද්මිණී දහනායක, ඩේවිඩ් ධර්මකීර්ති ආදීනුත් මෙහි චරිත රඟන්නන් අතරට එකතු වෙනවා. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ ඉන්දියානු සංගීත ශිල්පියකු වුණු එස් දක්ෂිණමූර්ති.

මේ චිත්‍රපටය ලාංකේය සිනමාවේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළා යැයි කියන එකේ වැරැද්දක් නෑ. මොකද මේ චිත්‍රපටය තුළින් තමයි ප්‍රථම වරට ලතා මංගේෂ්කාර් නම් වූ ඉන්දීය ගීත කෝකිලාව මුල්ම වරට සිංහල චිත්‍රපටයකට සම්බන්ධ වෙලා සිංහල ගීතයක් ගායනා කළේ. ඉන්පසු කිසිම දවසක ඇය සිංහල ගීත ගායනා කරන්නට සම්බන්ධ වෙලා නෑ.

මේ චිත්‍රපටයේ තවත් එක් වැදගත් ලක්ෂණයක් තමයි ලංකාවේ ජාතික ගීය රචනා කරපු ආනන්ද සමරකෝන් ගී රචනාවන් සම්බන්ධයෙන් ඍජුවම සම්බන්ධ වීම. දේශීයත්වය මුසු කරගෙන ලියපු මේ ගීතවලට සංගීතය අධ්‍යක්ෂණය කළේ ඉන්දීය ගීත රචකයෙක් වුණු දක්ෂිණමූර්ති. ඒ වගේම ලතා මංගේෂ්කාර්ට මොහිදීන් බෙග්ගෙන් මනා සහයෝගයක් ලැබිලා තියෙනවා මේ ගීතමය කටයුතු සිදුකරන වෙලාවෙදි.

කොහොම වුණත් චිත්‍රපටයේ ගීතවල වැඩකටයුතු අවසන් වුණාට පස්සේ අධ්‍යක්ෂකවරයා ඇයට මුදල්මය ගෙවීමක් කරලා තියෙනවා. නමුත් එය ලබාගත් සැණින් ඇය එම මුදල ආනන්ද සමරකෝන් මහතාට ප්‍රදානය කරලා තියෙන්නේ මේ මුදලේ හිමිකාරිත්වය තිබිය යුත්තේ ඔබටයි පවසමින්. පස්සේ අධ්‍යක්ෂකවරයා තවත් තෑග්ගක් ලබා දීල තියෙනවා ඒ තමයි විශාල ප්‍රමාණයක පාර්සලයක්. කොහොම වුණත් ඇය පසුබිම් ගායනයක් ඉදිරිපත් කළ ප්‍රථම හා එකම සිංහල ගීතයට රඟපෑම පිණිස අවස්ථා ලද නිළිය තමයි ෆ්ලොරීඩා ජයලත්. ඒ, සැඩ සුළං චිත්‍රපටයේ ගීතයක් වන" ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජය භූමි" ගීතයයි.

මාතෘකා