හැරවුම් ලක්ෂ්‍යය සොයා...

 ඡායාරූපය:

හැරවුම් ලක්ෂ්‍යය සොයා...

ජීවිතය වෙනස් කරන ජීවිතයට වාසනාව ගෙන එන මොහොත උදාවන තුරු ඔබ බලා සිටිනවා විය හැකිය. එසේත් නැතිනම් ඔබ ඒ ගැන අදහස අත්හැරගෙන සිටිනවාද විය හැකිය. මෙවර අපි ඒ ගැන කතාකරමු.

ජීවිතය වෙනස් කරන ඒ මොහොත ඔබේ ජීවිතයේ ඕනෑම වෙලාවක ඕනෑම වයසකදී පැමිණිය හැකිය.

මහත්මා ගාන්ධි කියන්නෙත් ඒ වගේ පුද්ගලයෙක්. තමන්ගෙ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය ඉතා හොඳින් ප්‍රයෝජනයට ගත් අයෙක්. මහත්මා ගාන්ධි ලෝක සංචාරයක් අතරතුර දුම්රියකදී සුදු ජාතිකයකුගේ අවමානයට පාත්‍රවන්නේ ඔහුට උපතින් හිමි වූ කළු සම නිසයි.

මොහොතක් සිතන්න. මෙවැනි සිදුවීමකට මුහුණ දුන් පළමු පුද්ගලයා ගාන්ධි නොවෙයි. අවසන් පුද්ගලයාද ඔහු නොවෙයි. නමුත් එවැනි සිදුවීම්වලට මුහුණ දුන් බොහෝ දෙනා එය තවත් එක් සිදුවීමක් ලෙස සිතා බැහැර කළා විය හැකිය. නමුත් මහත්මා ගාන්ධිතුමාගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය බවට මෙම සිදුවීම පත් වෙනවා. ඔහු එම වෙනස් කොට සැලකීමට එරෙහිව නැඟී සිටිනවා. ඒ වෙනුවෙන් සත්‍යග්‍රහ ව්‍යාපාර ආරම්භ කරනවා. ඒ සමඟ එදා කවුරුත් නොහැඳිනූ මහත්මා ගාන්ධිගේ නම ලෝකය පුරා ව්‍යාප්ත වනවා. ඒ ඔහු තමන්ගේ ජීවිතේ මුහුණ දුන් එක් අමිහිරි සිදුවීමක් තවත් එක් සිදුවීමක් ලෙස බැහැර නොකොට එයින් උපරිම ප්‍රයෝජන ගත් නිසයි. ඔබේ ජීවිතයේදීත් ඔබ නොහිතන අවස්ථාවලදී මෙවැනි අවස්ථා උදාවෙනවා. ඔබට මුහුණ දීමට සිදුවන ඔබ දුකට පත් කරවන සෑම සිදුවීමකින්ම ඔබට ලබා ගත හැකි යමක් තියෙනවා. නමුත් එය දෙස ඔබ දකින ආකාරය වෙනස් නොවන තාක්කල් ඔබට එයින් ප්‍රයෝජනයක් ලබාගත නොහැකිය.

ඒ වගේම ඔබ බොහෝ අවස්ථාවල අහිමිවීම් පමණක් ලැබූවකු ලෙස දුක් වෙමින් සිටිනවා ඇති. ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය ඕනෑම දිනයක ඕනෑම වෙලාවක උදාවෙන්න පුළුවන්. ඒ ආශ්චර්යමත්අවස්ථාව ඔබ කරා එන්නේ බොහෝ වේලාවට වේදනාවක් හෝ අහිමිවීමක් සමඟ විය හැකිය.

K.F.C නිර්මාතෘ කනල් සැන්ඩර්ස් ජීවිතේ අවසන් කාලයේදී තමාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය සොයාගෙන සාර්ථක වූ අයෙක්. කුඩා කාලයේදීම පියා අහිමි වූ ඔහුගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා. ඔහුගේ බිරිඳ හා දරුවන් ඔහු අත්හැර යනවා. රැකියාවන් ගණනාවකින් ඔහු අසමත් වෙනවා. වාසනාව ඔහු වෙත එන්නේ ජීවිතේ සියලුම බලාපොරොත්තු අහිමි වී ජීවිතයත් එපා වී සිටි මොහොතක. ජීවිතයෙන් සමු ගන්නට ඔහු ගත් තීරණය සමඟ ඔහු තමන්ගේ අතීතය දෙස බලනවා. තමා දක්ෂ කෝකියකු බව ඔහු හඳුනාගන්නේ ඒ මොහොතේ. තමාගේම වට්ටෝරුවකට කුකුළුමස් බැදුමක් සකස් කරමින් ලෝකය පුරා රටවල් ගණනාවකට ඔහු තමාගේ නම රැගෙන යනවා. ඒ වයස අවුරුදු 65දී.

ඒ වගේම තමයි දේශීය නාට්‍ය කලාවේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වූ සරච්චන්ද්‍රයන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විධියටත් මනමේ සහ සිංහබාහු නාටක යුගලය හඳුන්වන්න පුළුවන්. බිරිඳ හා දරුවන් තමා අත්හැර යෑමේ වේදනාව සිංහබාහු නාටකය තුළින් සරච්චන්ද්‍රයන් ප්‍රේක්ෂකාගාරයට රැගෙන එනවා.

සිතන්න... අහිමි වූ දේ පිළිබඳ සිතමින් ඔබ දුකට පත් කළ දේවල් පිළිබඳ සිතමින් කල් ගෙවනවා ඇති. ජීවිතයේ සිදුවන සෑම දෙයකින්ම ගත හැකි යමක් තිබෙනවාමයි. ප්‍රශ්න දෙස බලන ආකාරය වෙනස් කර ගන්නට හැකිනම් බොහෝ දේ වෙනස් කර ගැනීමටත් ඒ තුළින් ජීවිතයේ හැරවුම් ලක්ෂය සොයාගැනීමටත් ඔබට හැකිවෙනවා.

මනෝ උපදේශිකා

[ඉවෝනි දිල්කි]

මාතෘකා