හිතාගන්න බැරි වේගෙන්  ඇහෙන්නෙ නැති මිනිසුන් බිහිවෙන හැටි

 ඡායාරූපය:

හිතාගන්න බැරි වේගෙන්  ඇහෙන්නෙ නැති මිනිසුන් බිහිවෙන හැටි

ජීවිතයේ වටිනාම දේවල් ගැන කතා කරද්දි බොහෝ අය ඒ දේවල් සමාන කරන්නේ ඇස් දෙකට. එහෙමත් නැත්නම් තමන්ගේ පණට. පණ වගේ, ඇස් දෙක වගේ රැකිය යුතු ඒ වගේම වටිනාකමක් තිබෙන තවත් ඉන්ද්‍රියක් ගැනයි මේ කියන්න යන්නේ. ඇසීමේ හැකියාව ලබාදෙන කන්දෙක කියන්නේ අපි හිතනවාට වඩා වටිනා ඉන්ද්‍රියක්. එහෙම කියන්නේ ලෝක ජනගහනයෙන් සියයට 5කට වැඩි සංඛ්‍යාවක්, සරලව කියනවා නම් මිලියන 466කට මේ වන විට තමන්ගේ ඇසීමේ හැකියාව හෙවත් ශ්‍රවණ හැකියාව අහිමි වී තිබෙන නිසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවක් තුළින් හෙළිවී තිබෙන කරුණුවලට අනුව ශ්‍රවණ හැකියාව අහිමි ඒ මිලියන 466 අතර වැඩිහිටියන් මිලියන 432ක් සහ දරුවන් මිලියන 34ක් සිටිනවා. ඒ විතරක් නොවෙයි වසර 2050 වන විට ලෝක ජනගහනයෙන් මිලියන 900කට අධික සංඛ්‍යාවක්, එනම් සෑම පුද්ගලයන් දස දෙනකුගෙන් එක් අයකු ශ්‍රවණ ආබාධයට ලක්වීමේ අවදානමක් තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.

එපමණක් නෙවෙයි, ලොව පුරා ජීවත් වන වයස අවුරුදු 12-35ත් අතර පසුවන යොවුන් ජනගහනයෙන් මිලියන 1.1ක් ශ්‍රවණාබාධවලින් පෙළෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එම සංවිධානයේ දත්ත අනුව ලොව පුරා ශ්‍රවණ ආබාධවලට ලක්වී සිටින බහුතරය ජීවත් වන්නේ අඩු සහ මධ්‍ය ආදායම් ලබන රටවල වීමත් විශේෂත්වයක්.

එවැනි තත්ත්වයක් ඇතිවීම සඳහා මූලික හේතුව දිගු කාලයක් තිස්සේ ‘ශබ්ද ශ්‍රවණ උපකරණ’ (Hands free) භාවිත කිරීම බව පවසන ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක ශ්‍රවණ දිනය වෙනුවෙන් ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය සමඟ එක්වී ශබ්ද ශ්‍රවණ උපකරණ සහ ස්මාර්ට් දුරකථන නිෂ්පාදනය හා භාවිතය සඳහා නව ජාත්‍යන්තර සම්මත නිකුත් කිරීමටද කටයුතු කළා. ඒ අනුව ආරක්ෂිත සවන්දීමේ උපාංග සහ පද්ධතිවල ලක්ෂණ කිහිපයක් ඔවුන් විසින් හඳුන්වා දෙනු ලැබ තිබෙනවා. විශේෂයෙන්ම සංගීතය ඇතුළු ශබ්දවලට ආරක්ෂිතව සවන් දීම සඳහා ප්‍රමිතියක් නිර්මාණය කර තිබෙනවා.

ශ්‍රවණාබාධ ඇති කරන හේතු අතර ශබ්දයට සවන් දීමේ උපකරණවලින් සිදුවන හානි හැරුණුවිට ජානමය හේතු, උපතේදී ඇතිවන සංකූලතා, ඇතැම් බෝවෙන රෝග, නිදන්ගත කන් ආසාදන, විශේෂ ඖෂධ භාවිතය, අධික ශබ්දය සහ වයස්ගත වීම වැනි හේතුද තිබෙනවා.

නොසැලකිලිමත් ලෙස ශ්‍රවණ උපකරණ භාවිතය නිසා ශ්‍රවණාබාධවලට ලක්වන ජනතාවට ප්‍රතිකාර කිරීම සඳහා වාර්ෂිකව ලොව පුරා ඩොලර් බිලියන 750ක් වැය කරන බවද හෙළි වී තිබෙනවා. ඒ අතර ශ්‍රවණ උපකරණ සැපයීම, නඩත්තු කිරීම, අනෙකුත් ආධාරක උපකරණ භාවිතය, සංඥා භාෂාව සහ වෙනත් අධ්‍යාපනික වැඩසටහන් තිබෙනවා. එම නිසා ශ්‍රවණාබාධ ඇති කරන හේතු හඳුනා ගැනීම සහ ඒවාට විසඳුම් සෙවීම එම පිරිවැය අඩු කිරීමට සහ පුද්ගලයන්ගේ නිරෝගී බව, සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා ඉවහල් වනවා.

සාමාන්‍යයෙන් ඩෙසිබල් 30-35 සංඛ්‍යාතයේ ශබ්දයක් ශ්‍රවණය කිරීම හානිකර නොවන අතර 40 ඉක්මවූ ශබ්දයක් ශ්‍රවණය කිරීම වැඩිහිටියන්ට පවා සුදුසු වන්නේ නැහැ. දීර්ඝ කාලයක් තිස්සේ අධික ශබ්දයට නිරාවරණය වීම නිසා ශ්‍රවණය අහිමි වීමෙන් වයස අවුරුදු 65ට වැඩි ජනගහනයෙන් තුනෙන් එකක් බිහිරි බවට පත්වන බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසයි. මෙම තත්ත්වය දකුණු ආසියාව, ආසියා පැසිෆික් සහ අප්‍රිකාවේ වැඩිපුර දැකිය හැකියි.

අධික ශබ්දයට නිරාවරණය වීම සහ අනාරක්ෂිත ලෙස ශ්‍රවණ උපකරණ භාවිත කිරීම නිසා ශ්‍රවණාබාධවලට හේතුවන තවත් කරුණුද තිබෙනවා. ඒ අතර දරුවන්ට ශ්‍රවණාබාධ ඇතිවීමට බලපාන හේතු අතර ගර්භණී සමයේදී මාතෘ රුබෙල්ලා, සිෆිලිස් හෝ වෙනත් ආසාදන ඇතිවීම, අඩු උපත් බර, උපත් ආබාධ, ගර්භණී සමයේදී භාවිත කරන ඇතැම් ඖෂධ නිසා අලුත උපන් බිලිඳකුගේ ශ්‍රවණ ස්නායුවලට හානි කළ හැකියි. එමෙන්ම ඕනෑම වයසක පසුවන පුද්ගලයකුට ශ්‍රවණාබාධ ඇතිකළ හැකි හේතු අතර මෙනින්ජයිටිස්, සරම්ප වැනි රෝගවලට ලක්වීම, කන සම්බන්ධ නිදන්ගත ආසාදන, කනේ තරල (කලාදුරු) එකතු වීම, මැලේරියා, ක්ෂය රෝගය සහ පිළිකා වැනි රෝග සඳහා භාවිත කරන ඇතැම් ඖෂධ වර්ග භාවිත කිරීම, හිසට හෝ කනට තුවාල සිදුවීම, යන්ත්‍රෝපකරණ සහ පිපිරීම් වැනි අධික ශබ්දවලට ලක්වීම, විශාල පරිමාණයේ ශ්‍රවණ උපකරණ භාවිත කිරීම සහ දිගු කාලයක් තිස්සේ රාත්‍රී සමාජ ශාලා, අවන්හල් සහ ක්‍රීඩා ඉසව්වලට දිනපතා සහභාගි වීම ආදී හේතු මූලික වනවා.

ඒ කුමන හේතු මත වුවත් ශ්‍රවණ හැකියාව අහිමි වීම තුළ පුද්ගලයකුට මුහුණ දීමට සිදුවන තත්ත්වය යහපත් වන්නේ නැහැ. ශ්‍රවණ හැකියාව අහිමි වීමත් සමඟ සන්නිවේදන හැකියාව අහිමි වන නිසා අන්තර් පුද්ගල සබඳතා පළුදු වීම තුළ බොහෝ ගැටලුවලට මුහුණ දීමට සිදුවනවා. ඊට අමතරව ශ්‍රවණ අඩුපාඩු සහිත වැඩිහිටියන් අතර වැඩි විරැකියා අනුපාතයක්ද දක්නට තිබෙන අතර ශ්‍රම බළකාය හා සසඳා බැලීමේදී ශ්‍රවණ ආබාධ සහිත පුද්ගලයන් පහත් මට්ටමේ රැකියාවල නිරත වන බවක්ද දක්නට ලැබෙනවා.

එමෙන්ම ළමයකුට ශ්‍රවණය අහිමි වීම තුළ ඔහුගේ භාෂාමය හැකියා වර්ධනය ප්‍රමාද වීම මෙන්ම කථන හැකියාව නැතිවීමද සිදුවිය හැකියි. එය දරුවාගේ අධ්‍යාපන කාර්යය සඳහා දැඩි බලපෑමක් එල්ල කරන අතර දරුවාගේ පෞරුෂ වර්ධනය අඩාල වීමටද හේතු වන්නක් විය හැකියි. ඊට අමතරව ශ්‍රවණ ආබාධයකට ලක්වන සෑම පුද්ගලයකු තුළම පාහේ තනිකම, හුදෙකලා බව සහ ඒ නිසා ඇතිවන මානසික ආතතිය සහ කාංසාවක් දැකගත හැකියි. එය ඔහුගේ කායික මානසික නිරෝගී බවට ප්‍රබල බලපෑමක් කිරීමද නොවැළක්විය හැක්කක්.

එබැවින් රටක් ලෙස ශ්‍රවණාබාධ වළක්වා ගැනීම ජාතික අවශ්‍යතාවක් යැයි කීම වරදක් නොවේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ වයස අවුරුදු 15ට අඩු ළමයින්ට ඇතිවන ශ්‍රවණ ආබාධ සියයට 60ක් පමණ වැළැක්විය හැකි හේතු නිසා ඇතිවන බවයි. සමස්තයක් ලෙස ළමයින්ගේ ශ්‍රවණ ශක්තිය අහිමි වන හේතු අතර සරම්ප, රුබෙල්ලා වැනි ආසාදන සහ නිදන්ගත රෝග සියයට 31ක්, උපත් ආබාධ, උපත් බර ආදී උපත් සංකූලතා සියයට 17ක්, ගැබිනි වියේදී මව ලබාගත් අහිතකර ඖෂධ සියයට 4ක් සහ වෙනත් කරුණු සියයට 8ක් හේතු වන බවද පැවසෙනවා. එම හේතු නිසා ළමුන් ශ්‍රවණාබාධවලට ලක්වීම වළක්වා ගැනීමට සරම්ප, රුබෙල්ලා ආදී රෝගවලට එරෙහිව ළමුන් ප්‍රතිශක්තිකරණ කිරීම, ගැබ් ගැනීමට පෙර යොවුන් වියේ ගැහැනු ළමයින් සහ කාන්තාවන්ට රුබෙල්ලා එන්නත ලබාදීම, ගැබිනි කාන්තාවන් තුළ ආසාදන වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීම, ආරක්ෂිත දරු ප්‍රසූතියක් සඳහා මාතෘ හා ළමා සෞඛ්‍ය වැඩසටහන් ශක්තිමත් කිරීම, කන සම්බන්ධයෙන් සෞඛ්‍ය සම්පන්න පිළිවෙත් අනුගමනය කිරීම මෙන්ම විනෝදාත්මක සහ වෘත්තීය කටයුතුවලදී ආරක්ෂිත ශ්‍රවණ උපකරණ භාවිතය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම ආදී ක්‍රියාමාර්ග අනුගමනය කළ හැකියි.

එමෙන්ම ශ්‍රවණාබාධයකදී 'ගොඩ බෙහෙත්' සහ 'අත් බෙහෙත්' පාවිච්චි කරමින් කල්මැරීමෙන් සදහටම ශ්‍රවණ හැකියාව අහිමි විය හැකි බැවින් සුදුසුකම් ලත් උගුර, කණ හා නාසය පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත වෛද්‍යවරයකුගේ උපදෙස් මත ප්‍රතිකාර ලබා ගතයුතු බවද විශේෂයෙන් කිව යුතුයි. කුඩා දරුවන්ගේ ශ්‍රවණාබාධ කුඩා වියේදීම හඳුනා ගැනීමෙන් ප්‍රතිකාරවලින් සුව කළ හැකි බැවින් අලුත උපන් දරුවන්ගේ ශ්‍රවණ හැකියාව පිළිබඳ මවුවරුන් සැලකිලිමත් විය යුතුයි.

කිසියම් හේතුවක් නිසා සුවකළ නොහැකි බිහිරි තත්ත්වයට පත්වූ දරුවන්ට සංඥා භාෂාව මඟින් හෝ ඉගෙන ගැනීමට අවස්ථාව ලබාදීමද මවුපියන්ගේ වගකීමකි. මේ වන විට ලොව පුරා කන් නොඇසෙන පුද්ගලයන් සඳහා ශ්‍රවණ උපාංග අවශ්‍යතාව සියයට 10කට වඩා අඩුවන අතර සංවර්ධනය වන රටවල මෙම සංඛ්‍යාව සියයට 3කට වඩා අඩු බව වාර්තා වෙනවා. එම උපාංගයන් සවි කිරීම සහ නඩත්තු කිරීම සඳහා පහසුකම් නොමැති වීම සහ බැටරි නොමැතිකම අඩු ආදායම්ලාභී ශ්‍රවණාබාධිතයන්ට තිබෙන ගැටලුවක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරීක්ෂණවලට හසුවී තිබෙනවා.

එමනිසා අකාලයේ බිහිරි බවට පත්වීමෙන් වැළකී සිටීම සඳහා කන් දෙකද ‘ඇස්දෙක’ සහ ‘පණ’ වගේ රැක ගැනීමට උනන්දු වීම වැදගත් බව අමතක නොකළ යුතුයි.

[සුරේඛා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා