අපට අහිමි වූ අපේම පාරම්පරික ගොවිතැන

 ඡායාරූපය:

අපට අහිමි වූ අපේම පාරම්පරික ගොවිතැන

ආචාර්ය ලයනල් වීරකෝන්

මෙරට පාරම්පරික ගොවිතැනට වසර දහස් ගණනාවක ඉතිහාසයක් ඇත. එය ගොවිතැනක් මෙන්ම ගොවි සංස්කෘතියක් ද විය. මෙම පාරම්පරික ගොවිතැන් පද්ධතිය නියමාකාරව අවබෝධ කර ගැනීමට නම් එය අනුගමනය කළ යම් යම් මූලධර්ම තේරුම් ගැනීම, ඒවා විශ්ලේෂණාත්මකව බැලීම ප්‍රයෝජනවත් විය හැකිය.

මෑත කාලයේ බොහෝ දෙනකු කතාකරන ‘පාරිසරික ගොවිතැන’, ‘තිරසර ගොවිතැන’, ‘ප්‍රති උත්පාදන ගොවිතැන’ආදී නම්වලින් හඳුන්වන ගොවිතැන් ක්‍රම අනුගමනය කරන්නේද එම පාරම්පරික ගොවිතැනේ යම් යම් අංග ලක්ෂණයන්ය. බොහෝ විද්වතුන් වර්තමානයේ විවිධ නම්වලින් හඳුන්වන ඉහත කී ගොවිතැන් ක්‍රම පාරම්පරික ගොවිතැනේ සහ ස්වාභාවික පරිසර පද්ධතිවල මූලධර්මවල සංයෝජනයක්, මිශ්‍රණයක් හෝ සංකලනයක් ලෙස හඳුනා ගත හැක.

1868 නාවලපිටිය ලූල්කඳුර වත්තේ පළමු තේ පැළය සිටුවීමත් සමඟ ශ්‍රී ලංකාවේ ජනතාවට එතෙක් උරුමව තිබූ පාරම්පරික ගොවිතැනට මුල්වරට බලපෑමක් ඇති කළේය. එතෙක් තිබූ ස්වයංපෝෂිත ආර්ථික සංස්කෘතිය වෙනුවට තනි බෝග වගාව හා අපනයන කෘෂිකර්මයට මඟ පෑදුනි. අපනයන බෝග වගා කළ සීමිත ප්‍රදේශයක මෙම තත්ත්වය දක්නට තිබුණත් 1960 ගණන් අවසානයේ පමණ හඳුන්වා දුන් ‘හරිත විප්ලව‘ තාක්ෂණය හා එම තාක්ෂණ කට්ටලයත්, 1977න් පසුව කැඳවාගත් විවෘත ආර්ථිකයත්, අපේ පාරම්පරික ගොවිතැන සමස්ත වශයෙන් මුලිනුපුටා දැමීමට සමත් විය. පාරම්පරික ගොවිතැන ප්‍රාථමික, ඵලදායී නොවන දෙයක් ලෙස එම භාවිතයන් දුර්භික්‍ෂයකට ඇද දමන ගොවිතැන් ක්‍රමයක් බවත් හඳුන්වාදීමට තරම් ඔවුහු සමත් වූහ. මේ අන්දමට ගොවිතැන යාන්ත්‍රීකරණය හා රසායනීකරණය වූ අතර, විදේශීය යෙදවුම් මත යැපුණු පරපුටු ගොවිතැනක් පාරම්පරික ගොවිතැනට ආදේශ විය.

පාරම්පරික ගොවිතැනේ ලක්‍ෂණ මොනවා ද?

මෙම ගොවිතැන සඳහා බාහිර යෙදවුම් කිසිවක් යෙදුවේ නැත. ගොවිතැන සඳහා ප්‍රාදේශීයව ලබාගත් ජෛවීයව වියෝජනය වන සම්පත් පමණක් භාවිත කළහ. සමහරවිට තම ගොවි බිමේ නොමැති වුවොත්, අඩු වශයෙන් තම අසල්වැසියාගෙන් එම සම්පත් ලබා ගත්තේය. සමහරවිට බීජ වැනි යෙදවුමක් විය හැක. ගොම පොහොර හෝ කොළ පොහොර තම ගොවි බිමේම තිබුණි.

පෝෂක ද්‍රව්‍ය ප්‍රතිචකී‍්‍රකරණය තුළින් ගොවිතැනට අවශ්‍ය පාංශු සාපල්‍යතාව රැක ගත්තේය. වනාන්තරයක සිදුවන ආකාරයටම පදාර්ථ දිරාපත් වීම හා විවිධ පාංශු ස්ථරවල දී නැවත වරක් මුලෙන් ඒවා අවශෝෂණය කර වැඩෙන ශාකයට අවශ්‍ය පෝෂණය සපයා දෙන්නේය. මෙම මූලධර්මය හේන් ගොවිතැනේ දී හා කුඹුරු ගොවිතැනේ දී ද යොදා ගැනුනේ පුරන් කාලය තුළිනි. ගොඩ ගොවිතැනේ දී කන්න කිහිපයක් වගා කර එම ඉඩම කැලෑවීමට නැතිනම් ‘පුරන් ’ වීමට ඉඩ හලේය. මෙම පුරන් කාලය තුළ දී නැවතත් වනාන්තරය වැඩී වල් පැළෑටි යටපත් වී, පසේ පෝෂණය වර්ධනය වේ. පුරන් කාලය දික් වන විට මෙහි රැඳෙන පෝෂක ප්‍රමාණ අධිකය. හේනක් කරන විට, වැඩී ඇති ගස්වල අතු කඳු බා, පඳුරු කපා මඳ ගින්නකින් ඒවා පිලිස්සීමෙන් බිම සකස් කර ගන්නා ලදී. බීජ ඉසින්නේ මේ පසටය. ප්‍රංශ ජාතික ඩුමේගුවේස් විද්‍යාඥයාට අනුව, මෙම ගිනි තැබීම නිසා ඇතිවන අළු පසට එකතු වනවිට පස ක්‍ෂාරීය වේ. මෙම පරිසරය ස්වාභාවිකව වර්ධනය වන ක්‍ෂුද්‍ර ජීවීන්ට හිතකරය, පහළ ස්ථරවල සිටින ක්‍ෂුද්‍ර ජීවීහු පස මතුපිටට පැමිණ ක්‍රියාකාරීවීමෙන් පසේ පෝෂණ තත්ත්වය ප්‍රවර්ධනය කරති. මෙය ස්වාභාවිකව සිදුවන ක්‍රියාවලියක් වන අතර මෙවන් පරිසරයක් බීජ ප්‍රරෝහනයට හා බෝග වර්ධනයට අවශ්‍ය සාධක ළඟා කර දෙයි. කුඹුරේ සිදුවන්නේ ද මෙම කාර්යයමය. අස්වැන්න නෙළීමෙන් පසු කුඹුර පුරන්වීමට ඉඩ හලේය. එහි විවිධ පැළ වර්ග වැඩිණි. නිදිකුම්බා, පිල, ලෙගුමිනෝසිකුලයේ රනිල ශාකද මෙහි වැඩුණි. පුරන් කාලයේ දී ගමේ හරකුන් සිය කෑම ලබා ගත්තේ කුඹුර උලා කෑමෙනි. මෙමඟින් ගව මුත්‍රා සහ ගොමද කුඹුරට එකතු විය. කුඹුරේ තැනින් තැන මීගස් ලොකුවට වැවී තිබුණි. මේවායේ ගෙඩි කෑමට එන වවුලන්ගේ මළපහද, එහි පත්‍රද කුඹුරටම එකතු විය. ඊළඟ කන්නය සඳහා සී සාන විට මේවා කුඹුරට එකතු විය. මේවා පොහොර වී පැළයට පෝෂණය ලබා දුන්නේය. මෙම පුරන් කාලය පෝෂණ ද්‍රව්‍ය ප්‍රතිචකී‍්‍රකරණයට හොඳම නිදර්ශනයකි. අපේ අතීත ගොවියා මෙය හොඳින් තේරුම් ගත්තේය.

පාරම්පරික ගොවිතැනේ, විශේෂයෙන් ගොඩ ගොවිතැනේ දී බිම සකස් කිරීමක් සිදු නොවන තරම්ය. පිහිටි පොළොව ගොවිතැනට යොදා ගනී. බොහෝ විට වියළි කලාපයේ හා අතර මැදි කලාපයේ ගොවි බිම්වල මෙම ගොවිතැන සිදුවන විට එම භූ විෂමතාවට සරිලන ආකාරයට බෝග රටා ද තෝරාගනු ලැබීය. බිමේ උස් ස්ථානවල වියළීම ඉක්මන් නිසා ඒ ස්ථානවල වට්ටක්කා, බඩඉරිඟු, ඉදල් ඉරිඟුද වගා කළ අතර තෙතමනය ටිකක් වැඩි බෑවුමේ මිරිස්, මුං, උඳු වගා කළහ. බෑවුමේ තවත් පහළට වනවිට තෙතමනය වැඩි කාලයක් පවතින ස්ථානවල කෙටි කාලීන වී වර්ග වගා කෙරුණි. මේ අනුව එකම භූමියේ තෙතමන රෙජිමය අනුව වගාවන් ද බෝග රටාවද වෙනස් වීම පාරම්පරික ගොවිතැනේ විශේෂ ලක්ෂණයකි. වර්තමානයේ පොළොවේ හෝ ඉඩමේ පිහිටීම නොසලකා, භූමිය සමතලා කර බෝග වගා කරයි.

තවද සෑම විටම බෝග වගා කළේ මිශ්‍රවය. එය ගොවියාගේම අත්දැකීමකි. අබ හා කුරක්කන් එකට වැපිරීය. හුඹස් ඇති තැන්වල බඩඉරිඟුද, වට්ටක්කාද තවත් පහළට වනවිට වම්බටු, මිරිස්, බණ්ඩක්කා, මුං, උඳු එකම බිමේම වගා කෙරුණි. මේ අනුව විශාල බෝග විවිධත්වයක් එම වගා බිම්වල දක්නට තිබුණි. වර්තමානයේ මෙන් මුළු වගා බිම අතුරා ගෙන එක බෝගයක්, තනි බෝගයක් වගා කළේ නැත. මිශ්‍ර වගාව ගොවිතැනක අවදානමට හොඳම උපක්‍රමයකි. කෘමි රෝග අවම වීම, නියඟය හෝ ගං වතුරෙන් වන හානි අවම වීම මෙහි ඇති ලක්ෂණයන්ය. කුඹුර ද මෙසේම විය. ගොයම ප්‍රධාන වූවත් ලූනුවිල, කංකුංද, තවත් තැනක පං, ගල්ලැහැද වගා විය. කුඹුරේ වෙල්මාළු, කාවයියන්, මගුරන්, වැලි ගොව්වෝ ඕනෑ තරම් සිටියහ. මැඩි වර්ග ද ඒ අතර වූහ. මෙය සමස්ත ජෛව විවිධත්වයම නියෝජනය කළේය. ගෙවත්ත නිර්මාණය කළේද පාරම්පරික ගොවියාය. මෙය ප්‍රදේශයට ගැළපෙන ලෙස සකස් කර ගත් බව පෙනේ. ස්ථරායනයක් සහිත ශාක වර්ග මෙහි වගා කර තිබුණි. එළවළු ද අල බෝගද වගා විය. මෙමඟින් කෘෂිබෝග විවිධත්වයද වැඩිකර ගත්තේය.

විශාල කෘෂි බෝග විවිධත්වයක් හා ගොවිපළ සතුන් විවිධත්වයක් ද පාරම්පරික ගොවියා විසින් වර්තමානයට උරුම කර දී ඇත. විවිධ මාංශ බෝග, රළු බෝග, අල වර්ග, පලතුරු වර්ග මේ අතර වෙයි. ගොවිතැනට උපකාර කර ගැනීමට, පරිභෝජනයට හා සංචාරක කටයුතු සඳහා සතුන් ගෘහස්ථගත කළේද තෝරා ගැනීම හා මේච්චල් කර ගැනීම කළේ ද අපේ මුතුන් මිත්තන් විසිනි. අද තිබෙන සියලුම බෝග හා අද සිටින ගොවිපළ සතුන් අපට උරුම කළේද ඔවුන්ය. එය සිදුකළේ සිය පරිශ්‍රය තුළමය. රසය, ඖෂධීය ගුණය, දේශගුණ වෙනස්වීම්වලට හෝ පළිබෝධ වසංගතවලට ඔරොත්තු දෙන ලෙස ජාන විවිධත්වයක් පරිණාමනය කළේ ද මෙම පාරම්පරික ගොවියා සිය පරිශ්‍රය, ගොවිපළ තුළදීමය. විවිධ බෝග මිශ්‍රණ ද මෙලෙස ගොවිතැනට අදාළ කර ගනු ලැබීය.

සමස්ත භූමිය පුරාම වගා කරනවා වෙනුවට වගා නොකරන බිම් කඩ, පොදු අයිතියක් ලෙස සලකා ඉතිරි කිරීම ද පාරම්පරික ගොවිතැනේ ලක්ෂණයක් විය. මෙම භූමි නිර්මාණ, විවිධ නම්වලින් හඳුන්වන අතර ඒවා ස්ථානයේ ස්වභාවය අනුව වෙනස් වේ. ඕවිට, බඩවැටි, දෙනිය, පිල්ලෑව, ලන්ද, ගම් කැලෑව මෙවැනි භූමි නිර්මාණයන්ය. ඒවායේ සෑදෙන වෘක්‍ෂලතාවලද වෙනස්කම් දැකිය හැක. තෙතමනය වැඩි ඕවිට හෝ දෙනිවල විවිධ පං වර්ග, ගල්ලැහැ වැනි ශාක වැඩේ. උස් බිම්වල සෑදෙන්නේ මධ්‍ය ශාකය. විශේෂයෙන් වියළි කලාපයේ කුඩා වැව්වල බැම්මට පහළින් පිහිටා ඇත්තේ පහළ රක්‍ෂිතයයි. එය කට්ටකඩුව නම් වේ. වැවට ඉහළින් ඇත්තේ ගස් ගොම්මනය. වැවේ ආරක්ෂාව මෙමඟින් ඇතිකරයි. මෙලෙස විවිධ භූමි නිර්මාණ එලෙසම ඉතිරි කර තිබෙන නිසා ගොවීන්ට ප්‍රයෝජනවත් පරාගකාරයන්ට සහ විලෝපිකයන් හෝ පරපෝෂිතයන් මෙම වාසස්ථානවල බෝ වේ.

ගොවිතැන හා බැඳුණු සිරිත් විරිත් හා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ද පාරම්පරික ගොවියා රැකගත්තේය. ස්වභාවධර්මය, ඉර, හඳ මෙනෙහි කරන ගොවියා සමස්ත ගොවිතැනම ගොවි සංස්කෘතියක් බවට පත් කර ගත්තේය. ඔවුන් සතුවූ පාරම්පරික ඥානය ගොවිතැන හා බැඳුණි. පාරම්පරික ගොවියන් ගොවිතැනේ සියලුම අංග, ක්‍රියාකාරකම් යම් පාලනයකට ගෙන තිබුණි. සමස්ත සම්පත් පරිහරණය, ජලය, භූමිය, වැව රැකගැනීම ඔවුන් සතුවිය. බීජ, බෝග නිෂ්පාදනය, හුවමාරුව ඔවුන්ගේම විය. වගා කරන්නේ කවදා ද වගාව සඳහා ජලය ලබා දෙන්නේ කවදා ද යන්න තීරණය කළේ ද ඔවුන්මය. කැලෑව ඔවුන් අරපරිස්සමින් පාවිච්චි කළේ තවත් පරම්පරාවක් ගැන සිතමිනි. මුළු මහත් ග්‍රාමයම ගැමියාට නතුවිය. එය කුඩා රාජ්‍යයක් විය. අවාසනාවකට මෙන් අද වන විට ගොවිතැන වාණිජ අරමුණුවලට යටවී ඇති නිසා ගොවිතැන පරිසර පද්ධතියක් ලෙස සලකන්නේ නැත. එහි තිබූ අංග ලක්‍ෂණ, සංරචක, තනි බෝග වගා හා වැඩිදියුණු කළ බීජවලින් අවලංගු කර තිබේ. එයට උරුම වූ සංස්කෘතියත් සිරිත් විරිත් ද අහිමි වී ඇත.

මාතෘකා