ආදරවන්තයන්ට සිහිවටන තනන රෆීනා

 ඡායාරූපය:

ආදරවන්තයන්ට සිහිවටන තනන රෆීනා

නාවලපිටිය කියන්නේ කාර්යබහුල නගරයක්. ඒ නගරය මැද පුංචි ගෙදරක ජීවත් වන රෆීනා හමීඩ් මහත්මියත් කාර්යබහුල කාන්තාවක්. ඇගේ කාර්යබහුලත්වයට හේතුව ආදරවන්තයන්ගේ දිනයයි.

“මට ගොඩක් ඕඩර්ස් ඇවිල්ලා තියනවා. ඒකයි බිසී වෙලා ඉන්නේ. ෆෝන් එකවත් බලන්න වෙන්නේ නැහැ.” ඇගේ දැනුම්දීමකින් තොරවම ඇගේ නිවසට ගිය අප පිළිගනිමින් ඇය පැවසුවා. නිවසට ගොඩ වූ විටම අපට දැකගන්නට ලැබුණේ නිවසේ හැමතැනම තිබූ හුරුබුහුටි විසිතුරු බඩු. විවිධ වර්ණවලින්ද විවිධ හැඩතලවලින්ද යුතු ඒවා සැබැවින්ම සිත් ඇදගන්නාසුලුයි.

“අපි කරන්නේ ප්ලාස්ටර් ඔෆ් පැරිස්වලින් විවිධ විසිතුරු භාණ්ඩ හදන එක. මේවා අපේම නිර්මාණ. අපේ කිව්වේ මගෙයි, මගේ තාත්තගෙයි. මගේ තාත්තා තමයි මුලින්ම මේ වැඩේ පටන් ගත්තේ. ඒ මීට අවුරුදු විසි පහකට කලින්. ඒ කාලෙ ඉඳලම මමත් ඒවට සම්බන්ධ වුණා. මගේම කියල ව්‍යාපාරයක් හැටියට වැඩ කරන්න පටන් අරන් දැන් අවුරුදු පහළොවක් වෙනවා.” රෆීනා හමීඩ් මහත්මිය සිය ව්‍යාපාරය පිළිබඳ පැහැදිලි කළා.

ඇගේ පියා වන හැත්තෑ අට හැවිරිදි තුවාන් හමීඩ් මහතාගේ මුල්ම රැකියාව වී ඇත්තේ සිප්පි කටු උපයෝගී කර ගනිමින් විසිතුරු භාණ්ඩ නිෂ්පාදනයයි. ඔහු ඒ රැකියාව ආරම්භ කර ඇත්තේ වයස අවුරුදු දහසයේදීය. හමීඩ් පවුලේ හැරවුම වී ඇත්තේ අහඹු සිදුවීමක්.

“මීට අවුරුදු විසිපහකට විතර ඉස්සර දවසක් තාත්තා කොළඹ ගියා තීන්ත වගයක් ගේන්න. ඒ යද්දී තාත්තට බස් එකේදී මනුස්සෙක් හම්බ වෙලා තියනවා. එයා කන්නවත් විදිහක් නැතුව තමයි ඉඳලා තියෙන්නේ. එයා ළඟ මේ අච්චු කිහිපයක් තිබිලා තියෙනවා. එයා ඒ අච්චු තාත්තට දීලා කියලා තියෙනවා කීයක් හරි දෙන්න කියලා. ඒ වෙලාවේ තාත්තගේ අතේ තිබිලා තියෙන්නේ රුපියල් දෙසිය පනහයි. එයා ඒ මුදල දීලා අච්චු අරන් තියෙනවා. එදා ඉඳලා තමයි මේ වැඩේ කරන්නේ. දැන් තාත්තා තමයි අලුතෙන් අච්චු නිර්මාණය කරන්නේ.”

හැත්තෑ අට හැවිරිදි වුවත් හමීඩ් මහතාගේ වැඩ ඉතාමත් පිළිවෙළයි. නිර්මාණාත්මකයි. රබර් උපයෝගී කරගනිමින් හමීඩ් මහතාගේ දෑතින් නිමවන අච්චුවලට රෆීනාගේ දෑතින් පිරවෙන පැරිස් බදාමය, අවසානයේ ඉතා හුරුබුහුටි නිමැවුමක් බවට පත් වෙනවා. අලින්, වලසුන්, හාවුන් වැනි සතුන් මෙන්ම දේවරූප, ළදරු රූප, වෙඩින් කපල් මෙලෙස ඇගේ දෑතින් නිමැවෙනවා.

"වැලන්ටයින් ඩේ ඉලක්ක කරලා මම මේ පාර ගිෆ්ට් හත්දහස් පන්සීයක් විතර හැදුවා. මේවා හැටන්, ගම්පොළ ප්‍රදේශවල වෙළෙඳසල් පහළොවකට දැම්මා. මට මේ කෑල්ලකින් ලැබෙන්නේ රුපියල් සීයක් එකසිය පනහක් විතරයි. නමුත් මේවා ඊට වඩා ලොකු ගාණකට විකිණෙනවා." රෆීනා පැවසුවා.

"මොනවද වැඩියෙන්ම විකිණෙන්නෙ?"

"මේ පාර වැඩියෙන්ම හැදුවේ හාවෝ දෙන්නගේ ගිෆ්ට් එක. මේ දෙන්නගේ මැදට හාර්ට් එකක් දැම්මා. ඒ වගේම මේ පාර රෝස මලටත් ලොකු ඉල්ලුමක් තිබුණා. ප්ලාස්ටර් ඔෆ් පැරිස් ගිෆ්ට්වලට නාගරික ප්‍රදේශවල ලොකු ඉල්ලුමක් නැහැ. මොකද නගරබද, ඒ කියන්නේ කොළඹ වගේ ප්‍රදේශවල අය මේ දිනේට දැන් හුවමාරු කර ගන්නේ වෙන වෙන ලොකු දේවල්නේ. මම ගිය අවුරුද්දේ රේඩියෝ එකේ ඇහුවා, කෙනෙක් එයාගේ ගර්ල්ට කාර් එකක් දුන්නා කියලා. තව කෙනෙක් කිව්වා රත්තරන් මුද්දක් අරන් දුන්නා කියල. නමුත් මේ අපේ වගේ පැතිවල වතුවල කොල්ලෝ කෙල්ලන්ට එහෙම වියදම් කරන්න සල්ලි නැහැ. ඉතින් මේ වගේ තෑගිවලින් ඒ අය සතුටු වෙනවා."

"ඔයගොල්ලන්ටත් ඒ ගැන සතුටුද?"

"ඇත්තටම සතුටුයි. අපේ අත්වලින් හදපු නිර්මාණ දහස් ගණනක් දෙනාගේ ආදර සිහිවටන බවට පත් වෙන එක කොයි තරම් සතුටක්ද?"

 

සටහන/ඡායා: [ප්‍රසාද් පූර්ණමාල්]

මාතෘකා