රත්තරං වැස්සේ සීතල හොයන්න එපා

 ඡායාරූපය:

රත්තරං වැස්සේ සීතල හොයන්න එපා

උපුල් ශාන්ත සන්නස්ගල

වැලන්ටයින් සැමරීම මේ රටට ගෙනාවේ ඔබ. එදා ගැන අද ආපසු හැරී බැලුවොත්?

වැලන්ටයින් කියන නම මිරිහානේදී සුජීව ප්‍රසන්න ආරච්චි සමඟ කරපු සාකච්ඡාවක ප්‍රතිඵලයක්. සුජීව කීවේ ‘අරලිය’ වගේ සමරු පත්තරයක් ආරම්භ කරන්න කියලා. දෙවැනි අදහස තිබුණේ කොල්ලෝ කෙල්ලන්ට ඕන දේවල් විකුණන තැනක් සම්බන්ධව. කරාබු මාල, ටැටූ, විලාසිතා, පොත්පත් ඒ කියන්නේ ලව් කරන අයට ඕන දේවල් විකුණන තැනක් නුගේගොඩ හදන්න ඕන කියන අදහස සුජීව මට කීවා. ඔය සාකච්ඡා අතරේ වස්සාන සිහිනය නවකතාව සීරියස් කියවන්න ඕන කීවේ දීප්ති කුමාර ගුණරත්න. ඔහු බස් එකේ යනකොට එහෙම ඒ පොත අරගෙන ගියා පිටකවරය මිනිස්සුන්ට පේන්න. මේ විදිහට එක එක තලවල ප්‍රේමය සම්බන්ධ සාකච්ඡා කෙරුණා. මේ සාකච්ඡා සහ ප්‍රේමය ගැන හිතන විදිහ එකතු වෙලා වැලන්ටයින් දිනයක් කරන්න මට හිතුණා. ඒක ඇතුළේ මට ව්‍යාපෘතියක් තිබුණා. ගීතය, සිනමාව, පතපොත ඇතුළේ පරිකල්පන ලෝකයේ තිබෙන ප්‍රේමය ඒ රාමුවෙන් පිටතට ගෙන ඒම එක අරමුණක්. ගොළු හදවත කියන නවකතා සාහිත්‍ය ඇතුළේ තියන දේ අරගෙන ලෙස්ටර් ෆිල්ම් එකක් කළා ‘ගොළු හදවත’ කියලා. නවකතාව වගේම ෆිල්ම් කියන්නෙත් ප්‍රේමය සම්බන්ධ වන තවත් රාමුවක්. ඒ කියන්නේ ලෙස්ටර් ‘ප්‍රේමය’ එක රාමුවකින් ගලවලා තව රාමුවකට දැම්මා කියන එක. මට ඕන වුණේ ප්‍රේමය රාමුවෙන් පිටතට ගෙන ගොස් විසුරුවා හරින්න. ඒ වගේ අදහසකින් තමයි මුලින්ම වැලන්ටයින් දිනයක් සැමරුවේ. වස්සාන සිහිනය නවකතාවත් එක්ක මට හීන ගොඩක් තිබුණා. ඒ අනුව මම මීට අදාළව ගීත විසි දෙකක් විතර කළා. ජාතික තරුණ සේවා සභාව වෙන්කරගත්තා වැලන්ටයින් දිනය වෙනුවෙන්. එයට විශාල විරෝධයක් ආවා. ප්‍රධාන විරෝධයක් වුණේ ටියුෂන් පන්තිවල ළමයි ගෙන්වාගෙන වැලන්ටයින් උත්සව පවත්වනවා කියන එක. මගේ පන්තිවලට ඒ කාලයේ පැමිණි සියලු ළමයින්ට ඒ උත්සවය තහනම් කරපු එක ඇත්ත කතාව. ඉන්දිකා උපමාලි ගයන සඳ පහන් රැයේ, නවරත්න ගමගේ සංගීතවත් කළ ඔබ එන්න ඇවිත් යන්න එන්න, මරියසෙල් ගයන කුමරාණනේ වැනි ගීත විසි දෙකක් එළිදැක්වුවා. මේ වැඩේට විශාල විරෝධතාවක් ආවා. ඒ විරෝධය එක පැත්තකින් මට ‘මරු’ වැඩක් වුණා. ඒ 1999 වසරේදී.

එහෙත් ‘වැලන්ටයින් ඩේ’ එකක් සැමරීම ඒ කාලේ ලංකාවේ ‘තරු’ පන්තියේ සිදුවුණා. රෝස මල් හුවමාරු කරගන්න එක, චොක්ලට් එකක් දෙන එක, වැලන්ටයින් ඩේ එකට සිංගප්පූරු යෑම වැනි ඒවා කළා. සිංහල සමාජයට වැලන්ටයින් සැමරීම ගෙන ආවේ අපි කණ්ඩායමක්.

අද වැලන්ටයින් දිනය ලාභ උපයන දිනයක් වෙලා. ඒ ගැන පසුතැවීමක් ඔබට නැද්ද?

නෑ. අනූනවයේ කළේ ‘ආදරණීය වස්සානය’. 2003 වසරේදී නැවත ‘රත්තරං වැස්ස’ වැඩසටහන කළා. ඒ දෙවන පියවර. විහාරමහාදේවි පාර්ක් එකේදී. උදේ අටට පටන් ගෙන රෑ එකොළහට සංගීත සංදර්ශනයකින් අවසන් කළේ. එය ‘ප්‍රේම කඳවුරක්’ ලෙස නම් කළා. එදා ලිප්ටන් වටරවුමෙන් පටන් ගත්ත පෙළපාළියේ මුලින්ම ආවේ අශ්වයන්. අශ්වයන්ගේ පිට අරගෙන ආපු බැනර් එකක් තිබුණා. ‘රජවරුන්ට නැත තහනම් අපිටම විතරද තහනම්’ පාඨය සහිත බැනර් එකක් ඒක. විහාරමහාදේවී පාර්ක් එකේ ලව් කරපු කොල්ලො කෙල්ලන්ට නගර සභාවෙන් වතුර ගහපු කාලයක් ඒක. හැබැයි අපි දන්නවා හිල්ටන් හෝටලේට පැනලා ජෝඩු අල්ලපු ඉතිහාසයක් නැති බව.

ඩයනා කුමරිය, ඩොඩී අල්ෆයිඩ් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් ගෙන ඔහු සමඟ පැරිස්වලට පැමිණ බෙන්ස් එකකින් යද්දී හැප්පිලා මිය යන්නේ. ඒ වචන ටිකේ ‘මාර ක්ලාස්’ එකක් දැනෙනවා. ඒත් “සීලවතී උපාසක අම්මා, මොහොමඩ් එක්ක ත්‍රීවීලර් එකක යද්දී හැප්පිලා මැරිලා” කියන සිදුවීම බලන්න. ඒ සිදුවීම් දෙකම එකයි. ඒත් ඉහළ සිට පහළට යද්දී ඒක අර්ථ ගැන්වෙන හැටි වෙනස්.

එදා රත්තරං වැස්ස ‘ස්ලෝගන්’ එක වුණේ එම තත්ත්වයයි. එදා පාවිච්චි කරපු ‘ස්ලෝගන්’ එක සදාකාලිකයි. එදා සංඝ සභාව අගමැතිවරයා මුණගැහිලා වාරණයක් ගත්තා. ජනතා විමුක්ති පෙරමුණ මේකට දරුණුවට පහර දුන්නා. භික්ෂුන් වහන්සේලා, පල්ලිය, ගුරුවරු, පාසල් ආදී සියලු දෙනා රටක් විදිහට විරුද්ධ වුණා.

ඔබ අතහැරියේ නෑ ඒ ගමන, ඒත්?

මම එදා යමක් දැනගෙන හිටියා. ඒ තමයි ස්වභාවිකව කියලා පේන දේ වෙනස් කරද්දි මිනිස්සුන්ට ඒක අර්බුදයක් වෙනවා. ඒත් පසුකාලීනව ඒක සංස්කෘතියක් වෙනවා. ඒ සංස්කෘතිය නැවත ස්වභාවික වෙන බව එදා මම දැනගෙන හිටියා. ඒ නිසා රත්තරං වැස්සට එන අභියෝගයට මුහුණ දිය යුතු බව මා දැනගෙන හිටියා. අද වැලන්ටයින් කියන සංස්කෘතිය ස්වභාවික තත්ත්වයට පත්වෙමින් තිබෙන්නේ. අද වෙද්දි ඉස්කෝලවල පොඩි උන්ට වැලන්ටයින් දිනයට ක්‍රියාකාරකම් දෙනවා. ඒ අවුරුදු ගාණකට කලින් මට පහර දුන් ඉස්කෝලම තමයි.

ලංකාවේ ජාත්‍යන්තර පාසල්වල කොල්ලෝ කෙල්ලො පාසල් ක්‍රියාකාරකම් විදියට වැලන්ටයින් ඩේ එකට හාර්ට් දෙකක් දාලා කණ්ණාඩි හදනවා. ඇතැම් කැලැන්ඩර්වල පවා වැලන්ටයින් දිනය නම් කර තියෙනවා. දැන් ‘පෝය’ වගේ ‘වැලන්ටයින්’ එක ස්වභාවිකයි. පෝය කියන සංකල්පය සංස්කෘතිකයිනේ. පුරහඳ බුද්ධාගමට අයිති දෙයක් නෙවෙයි. ඒත් ඒ සංකල්පය නිසා අද අපට පේන්නේ බෞද්ධ හඳක්. අද වෙද්දි රෝස මල් ප්‍රසිද්ධියේ විකුණනවා; වෙළෙඳ දැන්වීම් පළ කරනවා. අද ජනතා විමුක්ති පෙරමුණත් වැලන්ටයින් දිනය වෙනුවෙන් වැඩසටහනක් කරනවා. දෑවැද්ද වගේ පරණ සංකල්ප අස්සේ ඒ වැඩසටහන කරන්නේ. ඒ අය හැමදාම පහුවෙනවා. ඒත් ඔවුනුත් ඒ වැඩසටහන කරනවා. අද වැලන්ටයින් කෝච්චිය යනවා, රේඩියෝ වැඩසටහන් කරනවා. මට එදා පුළුවන්කමක් තිබුණේ නෑ රේඩියෝ වැඩසටහනක් ඉල්ල ගන්න. අද ඒ සම්බන්ධයෙන් වැඩියෙන්ම සතුටු වෙන මිනිහා මම.

වෙළෙඳාමක් වුණේ නැත්නම් ඒ සංස්කෘතිය හැදෙන්නේ නෑ. ඒ ගැන මට කිසිම දුකක් නෑ. වෙසක් එකට කිරුළපනේ වෙසක් කූඩු විකිණෙන තරමටනේ වෙසක් සරු. චීනෙන් ගේන වෙසක් කූඩු විකුණන තරමට තමයි වෙසක් මාර්කට් වෙන්නේ. වෙසක් දියුණු වෙන්නේ එහෙමයි. ඒ නිසා මාර්කට් එක වැඩි වෙන තරමට හොඳයි. මට එතකොට ඒක ‘වෙසක්’ වගේ වෙනවා.

කිරුළපනේ සයිප්‍රස් ගස් වැඩි වෙන තරමට නත්තල් ගස් වැඩිපුර හැදෙන්නේ. මං ප්‍රාර්ථනා කරන්නෙ නත්තල් ගස් වැඩිපුර වැවියන් කියලා. වැලන්ටයින් එකටත් වැඩිපුර රෝස ගස් වැවෙන එකෙන් වෙන්නේ වැලන්ටයින් එක වැඩිපුර සමාජගතවීමයි. එතකොට අනාගතයේදී වැලන්ටයින් එක නත්තල් වගේ වෙනවා.

ඒත් අදටත් කොන්ඩම් එකක් තමන්ගේ හෑන්ඩ් බෑග් එකේ තියාගන්න එක වරදක් මේ සමාජය තුළ?

විදේශ රටවල දරුවන්ගේ බෑග් එකේ කොන්ඩම් දාන්න කුඩා සාක්කුවක් තියෙනවා. යුරෝපීය කාර්යාලවල මේසේ උඩ තිබෙන භාජනයක ටොෆී, පෑන් වැනි කුඩා ද්‍රව්‍ය කිහිපයක් අතර කොන්ඩම් කිහිපයක් තියෙනවා. මගේ අදහස නම් රාත්‍රී සමාජ ශාලාවක වගේ තැනක සිටින අයකුගේ බෑග් එකේ කොන්ඩම් නැතුව සිටියා නම් ඔවුන් අත්අඩංගුවට ගන්න ඕනෑ කියන එකයි. එවැනි උපකරණයක් නැති වුණොත් ආරක්ෂාවට තර්ජනයක්. ඒඩ්ස් හැදෙන්න පුළුවන්. ඒඩ්ස් හැදුණොත් රටටම බෝකරන්න පුළුවන්; මැරෙන්න පුළුවන්. මනුස්සයෙක් නිසා උඹට මැරෙන්න දෙන්න බෑ යන අදහසින්, කොන්ඩම් එකක් නැති එක වරදක් බවට පත් කරන්න පුළුවන්. ඒක කරන්නේ නැති නිසා ලංකාවේ පොලිසියට කොන්ඩම් පුම්බන්න දෙන්න ඕන. කොන්ඩම් පාඨමාලාවක් කරන්න ඕන.

පොලිසිය තමන්ට අදාළ දේ දන්නේ නෑ. අදාළ නැති සියලු දේ දන්නවා. නීතිඥයන් ෆේස්බුක් එකේ කතා කරන දේ බැලුවහම නීතිඥ වෘත්තිකභාවය හැර අන් සියල්ල දන්න බව පේනවා. ලංකාවේ දොස්තර කෙනෙක්ගෙන් ලිංගිකත්වයට අදාළ කාරණාවකට බේත් ගන්න ගියහම වෛද්‍යවරයා ඔබෙන් අහනවා ‘බැඳලද’ කියලා; ගර්භණී නම් බැඳලාද, මහත්තයා කෝ කියා අහනවා. ලංකාවේ වෛද්‍යවරුන් හිතාගෙන ඉන්නවා ලංකාවේ බඩ වෙන්නේ බැන්දහම කියලා. ලංකාවේ පොලිසිය කරන වරදම ලංකාවේ වෛද්‍ය වෘත්තිකයනුත් කරනවා.

පොලිසිය අපෙන් අහනවා මොකටද කොන්ඩම් කියලා. ඒකට මගේ උත්තරේ ඌරෝ කේක් ගැන කියන එක තමයි.

වරද පොලිසියට පමණක් පටවන්න පුළුවන්ද?

සමහර දේ කතා කරද්දි අපි සංකේතමය වශයෙන් නම් කරන්නේ. වෙසක් එක විවේචනය කළා නෙවෙයි, කිරුළපනේ විකුණන වෙසක් කූඩු සංකේතයක් විදිහට ගත්තා. කතෝලික ආගම විවේචනය කළා නෙවෙයි. ඒ වගේම දැන් පොලිසියට ගැහුවා නෙවෙයි. දොස්තරලට ගැහුවා නෙවෙයි. සමාජයේ ප්‍රශ්නයක් විවෘතව එල්ල වුණු පොලිසිය උදාහරණයකට ගත්තා විතරයි. මේක පොලිසියේ, වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයක් කියලා කාටවත් අත පිහදාගන්න බෑ. මාත් අයිති සමාජයේම ප්‍රශ්නයක් මේක. එයට මම ඇතුළු සමස්ත සමාජයම වගකියන්න ඕන. මම අවුරුදු තිහක් විතර ගුරුවරයකු වශයෙන් වැඩ කළා. මේ ගැන මිනිස්සුන්ට කීවේ නැද්ද? කීවා නම් ඔවුන් ඒ දේ පිළිගත්තාද? එහෙම කියන ඒවා මේ රටේ ජනතාව අහනවාද? සමාජයේ තියෙන ප්‍රශ්නය මොකක්ද කියලා අනිත් පැත්තට ඇහුවොත් එතැන තියෙන්නේ දැනුම පිළිබඳ ප්‍රශ්නයක්. යමක් විඳගන්න, සන්සන්දනය කරලා බලන්න, ඉගෙන ගන්න, ඒ ගැන සාධාරණව හිතන්න අදාළ වෙන්නේ දැනුම. දැනුම ලැබෙන්නේ අධ්‍යාපනයෙන්. එසේ නම් අපේ රටේ අවසානයේ ගත්තහම තියෙන්නේ අධ්‍යාපනික ප්‍රශ්නයක්.

වැලන්ටයින් සංස්කෘතියක් හදන්න මුල් වුණු ඔබට සමාජ ප්‍රගමනය වෙනුවෙන් නැවත යමක් පටන් ගන්න බැරිද?

රත්තරං වැස්ස වැඩසටහනේදී වෘත්තික නීතිවේදීන් අයිතිවාසිකම් පිළිබඳ දැනුම්වත් කිරීමේ කඳවුරක් කළා. කැටපත් පවුරේ පෙම් ගී ලීවා. වස්සාන සිහිනය ටෙලි නාට්‍ය කිරීම සඳහා නළු නිළියන් බඳවා ගැනීමට සම්මුඛ පරීක්ෂණයක් කළා, සරසවි පත්තරයත් සමඟ සම්බන්ධ වෙලා. වෛද්‍ය වෘත්තිකයන් උපදෙස් දෙන පාඨමාලාවක් පැවැත්වූවා. පොලිසිය සමඟ ගනුදෙනු කරන විදිහ ගැන දැනුම්වත් කරන වැඩසටහනක් පැවැත්වුවා. ඒවා කළේ සමාජ දැනුම ලබාදීම සඳහා. ඒ ගැන ලංකාවේ සංඝ ශාසනය පත්තරවල ලීවේ සෙක්ස් ෆිල්ම් පෙන්නුවා, බ්ලූ ෆිල්ම් කරනවා කියලා.

ලංකාවේ වැඩියෙන් බොරු කියන්නේ හාමුදුරුවරු. ඊළඟට ෆේස්බුක් එකේ ඉන්න අය. ඊළඟට මාධ්‍යකරුවන්. ඉස්සර ප්‍රවෘත්තියක් කියන්නේ ඇත්තක්. දැන් ප්‍රවෘත්තියක් කියන්නෙම බොරුවක්. බොරුව පදනම් කරගෙන ප්‍රවෘත්තිය ලීවේ නැත්නම් රේටින්ග්ස්වලට යන්න බෑ. මොනවද රේටින්ග්ස් කියන්නේ. දසුන් කියන නළුවෙක් බෙල්ලේ වැලලාගෙන මැරුණා. ඒ වීඩියෝ එක විකුණුවහම රේටින්ග්ස්වලින් මිලියන තුනක් විතර මුදල් හම්බ කළා. මාධ්‍ය කොතරම් පහළ තැනකද තියෙන්නේ කීවොත් ඒ ආදායමෙන් කොටසක් ඒ මළගෙදරටත් ගෙනිහින් දුන්නා. මේ රටේ මිනිස්කම් උගන්වන්න බැරි ප්‍රශ්නයක් තිබෙන බව තේරෙනවා නේද? ආචාර ධර්ම ගැන ප්‍රශ්නයක් තියෙනවා. අපේ සංඛ්‍යාතම පාවිච්චි කරලා අපව විකුණන හැටි කැතයි කියලා තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා.

ආදරය කියන්නේ පටු දෙයක් නෙවේ. ඒත් ආදරය විඳින එක ගැන සමාජයේ ප්‍රශ්නයක් තියෙනවා. උදාහරණයක් කියන්නම්. කොළඹ උද්‍යාන හැදුවා. ඒවගේ බෝඩ් එල්ලා තියෙනවා. පෙම් කිරීම තහනම්; නිකරුණේ ගැවසීම තහනම්; අවිනීතිව හැසිරීම තහනම් යනාදී වශයෙන්. අවිනීතයි කියන එකට කොතනවත් සීමා ලකුණු කරලා නෑ. ඒ නිසා ආරක්ෂකයන් ඇවිත් කියනවා අතින් අල්ලන්න එපා කියලා. ඒ ලංකාවේ පෙම් උයන්.

අතීතයේ මා එසේ උත්සාහ කර ඇද්ද? ඒ උත්සාහයන්ට සිදුවූයේ කුමක්ද? එයින් අත්පත් කරගත් දේ මොනවාද? ඉතිහාසයේදී පරාජය වී තියෙන්නේ මා කියූ දේවල්ද? මමද? මිනිස්සුද? මම කරපු උත්සාහයන්වලදී ලංකාවේ මිනිසුන් පරාජය වෙලා. ඒ නිසා ඒ ප්‍රශ්නය අහන්න ඕන මගෙන් නෙවෙයි මිනිස්සුන්ගෙන්.

ඒ වෙනුවෙන් විනාශ කළ මගේ ආත්ම ගෞරවයට වගකියන්නේ කවුද? රනිල්ට, මෛත්‍රීට, මහින්දට වැඩිය අඛණ්ඩව ඩැමේජ් කරගත්ත මිනිහෙක් මම. ඒක තමයි මට ලැබුණු ප්‍රතිලාභය. එහෙව් මගෙන් පත්තරකාරයෝ ඇවිත් අහනවා තව මොකුත් කරන්නේ නැද්ද කියලා.

මාතෘකා