Nine to five

 ඡායාරූපය:

Nine to five

උදේ අටහමාරට විතර ඇති. මරදානෙ මගී පාලම උඩ පුංචි පුංචි කඩ දාගෙන ඉන්න මුදලාලිල කඩවල්වල දොරලෑලි අරිනව. කඩේ ඉස්සරහට කහවතුර ඉහිනව. සුවඳ දුං අල්ලනව. එතන ඉඳන් වටපිට බැලුවම මහ විසාලෙට නෙලුම් කුලුන පේනව. ඇඳන් ඉන්න සරම ඇතුළටම ගුළි වෙච්ච ශරීරයක් පාලමේ තාම ඇරපු නැති කඩකාමරයක් ඉස්සරහ දිගෑදිල ගොරොද්දෙ අදිනව. හයවෙනි වේදිකාවට දැන් පැමිණි දුම්රියෙන් කඩිමුඩියෙ බැහැගන්න මිනිස් පොදියක් වෙන කල්පනාවල ඉන්න ගමං මරදාන ස්ටේෂන් එකෙන් පාලමට නැඟල පාලමෙන් පේමන්ට් එකට බැහැල ගාමිණි හෝල් පැත්තට විසි වෙනව.

කලින්දා රෑ පාලම හැමතැනම විසිරිච්ච උදේ වැස්සට තෙමිච්ච සිගරට් කොට තොග ගානින් එහෙමෙහෙ යන මිනිස්සුන්ට පෑගිල චප්ප වෙනව. පඩිපෙළ බැහැල පේමන්ට් එකට අඩිය තියන තැන වකුටු වෙලා හැංගිච්ච රබර් කොපුවක් කලින් දා රෑ මතක් කර කර ඇඹරෙනව. උදේ පාන්දර පාර අතුගාපු මහන්සියට ඉදල් රේක්කවලට සී එම් සී නම ගහපු කුණු කරත්තෙ පුරෝපු කුණු ගොඩ උඩම නින්ද යනව. ටික වෙලාවකින් කළු ගැහුණු හීනි මිනිහෙක් ඇවිත් පේමන්ට් එක අයින දිගේ ඒ කරත්තෙ මරදාන පැත්තට තල්ලු කරන්න පටන්ගන්නව.

ලේක්හවුස් දිහාවෙ ඉඳන් බ්රේක් නැති ඩාන්ස් දාගෙන එන එකසිය විස්සක් රවුන්ඩබවුට් එකෙන් කැරකිල දෙකට නැමිල ඩාලි රෝඩ් පැත්තට පියාඹපු සද්දෙට රවුන්ඩබවුට් එක මැද වැඩ ඉන්න බුදු හාමුදුරුවොත් ඇහැක් ඇරල බලනව. බස් එක ඉවසුම් නැතුව කඩාගෙන බිඳගෙන ගිහින් හෝල්ට් එක පහු වුණාටත් පස්සෙ මොකක් හරි මතක් වුණා වගේ හදිස්සියෙම බ්රේක් ගහල නවත්තනව. කෝච්චියෙන් බැහැල ඇවිත් හෝල්ට් එකේ හිටපු ගෑනු මිනිස්සු ඔක්කොම එක පොදියට බස් එක අල්ලන්න රැස් කකා දුවනව. පොර කකා චප්ප වෙවී බස් එකට නඟිනව. බස් එක ආයෙම ඉබ්බන්වල හන්දිය දිහාට ඉගිලෙනව. දුවගෙන ඇවිල්ලත් නැඟගන්න බැරි වුණ අය ඊළඟ බස් එක එනකං මඟ බලනව.

හවස හයහමාරට විතර ඇති. කොල්ලුපිටියෙ මූද අයින දිගේඇවිදගෙන ආපු සාරවිටකාරයෙක් මහපාරට සේන්දු වෙලා වටපිට බලල පාර පනිනව. මහපාර දිගේ ඇවිත් කෝච්චි පාර පැනල මූදු වෙරළ පැත්තට යන රෝස පාට සාරි පොටක් මූදු හුළඟට ගහගෙන යනව. මරීන් ඩ්‍රයිව් එක පටන්ගන්න තැනින් පටන්ගන්න බස්වලට නඟින්න පෝලිම් හැදුණු මිනිස්සු බස් එක එනකං සැරින් සැරේ අත් ඔරලෝසු දිහා බලනව.

පොට්ටුවක් තියපු නළලක් මූද අයිනෙ තට්ටු බිල්ඩිමක බැල්කනියෙන් පහළට එබිල වනල තිබුණ රෙදි ගෙට ගන්නව. ටවුන්හෝල් හරියෙ ඉඳන්ම කොට කොට ආපු එකසිය හැත්ත හතක් ඩුප්ලිකේෂන් පාරෙන් ගාලු පාරට දානකොට හදිස්සියෙම තමන්ට ඉස්සරහින් යන තවත් එකසිය හැත්ත හතක් දැකල කුලප්පු වෙනව. එකසිය හැත්ත හතේ ඒව දෙක උරහිස් හප්ප හප්ප තරගෙට ගාලු පාරෙන් මරීන් ඩ්‍රයිව් එකට දානව. පළවෙනි වේදිකාවට දැන් පැමිණෙන දුම්රිය අල්ලගන්න හිතාගෙන මිනිස් පොදියක් කොල්ලුපිටිය ස්ටේෂන් එකේ පඩිපෙළ දිගේ දඩිබිඩියේ උඩට දුවනව. ප්ලැට්ෆෝම් එක දිගේ දිගට දිගේ තියන දිග බංකුවෙ වාඩිවුණාම හෝස් ගාල කෙළවරක් නැතුව අහසයි මුහුදයි පේනව.

තැඹිලි පාට විසාල තැටියක් අහස ඉවර වෙලා මුහුද පටන්ගන්න තැනින් නොපෙනී යනව. ගනං කරන්න බැරි තරං ඔළුගෙඩි ගොඩක් කඩල කකා අහස රතු පාට වෙන දිහා බලන් ඉන්නව. අහසයි මුහුදයි කරුවල වුණාම සිතිජය දිගට නවත්තපු පුංචි පුංචි එළි දිස්නෙ ගහන්න පටන්ගන්නව. අහසටයි මුහුදටයි අඬු විහිදගෙන පෝට් සිටිය දකුණු පැත්තෙ ඉඳන් ඇස් ගිනිකන වට්ටනව. මූදු හුළං කපාගෙන ඈත ඉඳන් යකා වගේ කෝච්චිය ළං වෙනව. පරක්කු වෙච්ච කෝච්චියට බැන බැන ගෑනු මිනිස්සු එක පොදියට පෑගි පෑගි කෝච්චියට ගොඩ වෙනව. දුවගෙන ඇවිල්ලත් නැඟගන්න බැරි වුණ අය ඊළඟ කෝච්චිය එනකං මඟ බලනව.

ඊළඟ දවසෙත් ඊටපස්සෙ දවසෙත් ඊළඟ සතියෙත් ඊටපස්සෙ මාසෙත් ඊළඟ අවුරුද්දෙත් ඊටපස්සෙ අවුරුද්දෙත් කිසිවක් වෙනස් නොවී මේ චක්‍රය මෙහෙමම සිද්ද වෙනව. කල් යද්දි තමන් දුවන්නෙ මොනවටද කියල මිනිස්සුන්ට අමතක වෙනව. දිවිල්ල ඇබ්බැහියක් වෙනව. ඇබ්බැහිය ඇතුළෙ සැපට ගුළි වෙනව. දිවිල්ල දුෂ්කර සහ නිරර්ථක බව අමතක වෙලා යනව.

නැවතිලා කිසි දෙයක් හිතන්න තප්පරයක්වත් පරක්කු නොවී, කෝච්චියෙන් බස් එකට බස් එකෙන් කෝච්චියට මාරු වෙවී, ඇත්තටම මිනිස්සු කොහෙද මේ උදේ හවස නොනැවතී දුවන්නෙ?

මාස්පඩි රස්සාව කියන්නෙ මාරාන්තික ඇබ්බැහියක්.

මාතෘකා