කලාව වෙනුවෙන් වෙහෙසුනා ඇති කියලා හිතෙනවා : රොෂාන් රවීන්ද්‍ර

 ඡායාරූපය:

කලාව වෙනුවෙන් වෙහෙසුනා ඇති කියලා හිතෙනවා : රොෂාන් රවීන්ද්‍ර

රංගන ශිල්පීන් බොහෝමයක් පාහේ නිරන්තරයෙන් තිරයේ දක්නට ලැබෙන අතර ඉතා සුළු කාලයකින් ඔවුන්ගේ ප්‍රසිද්ධිය නැති වූ වහා තිරයේ නොපෙනී යයි. කාලාන්තරයක් තිස්සේ තම දක්ෂතාවත් ජනප්‍රියත්වයත් රැක ගනිමින් සිටින්නේ කලාකරුවන් අතළොස්සක් පමණි. ඔවුන් නිරතුරුව තිරයේ දක්නට නොලැබුනද ඔවුන්ගේ දායකත්වයෙන් තැනුණු නිර්මාණ ප්‍රශස්ත මට්ටමක පවතී. එවන් කලාකරුවෙකි රොෂාන් රවින්ද්‍ර. හේ කලක් තාරුණ්‍ය වසඟටය ගත් වස්සාන සිහිනයේ කසුන්ය. උතුවන් කන්දේ සරදියෙල් ය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "සහෝදරයා" ය. මේ වන විට විකාශය වන ආනන්ද අබේනායකයන්ගේ "වීරයා ගෙදර ඇවිත්" ටෙලිනිර්මාණයේ වීරයාය. මේ කතාබහ ඔහු සමඟය.

"සහෝදරයා"ට පසුව රොෂාන් නැවත පුංචි තිරයේ පෙනී ඉන්නවා "වීරයා ගෙදර ඇවිත්" ටෙලි නිර්මාණය තුළින්. මේ නිර්මාණය ගැන ඔබේ අදහස මොකක්ද?

"වීරයා ගෙදර ඇවිත්" ටෙලිනාට්‍ය ආනන්ද අබේනායක අධ්‍යක්ෂණය කරපු ටෙලිනාට්‍යයක්. හමුදාවේ රණවිරුවෝ කියලා විරුදාවලි ලබන අය ආබාධිත වූවාට පසුව, ඔවුන් නැවත තමන්ගේ ගම් රට බලා පැමිණි පසුව ජීවිතයේ වන හැලහැප්පීම් තමයි මේ ටෙලිනාට්‍ය පුරාම නිරූපණය කරන්නේ.

කොහොමද "වීරයා"ට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?

"වීරයා ගෙදර ඇවිත්" ටෙලිනාට්‍ය තාම කොටස් හයයි විකාශය වුණේ. එත් ප්‍රේක්ෂකයන්ගෙන් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කොහොමත් ආනන්ද අබේනායක කියන්නේ ලංකාවේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ උපරිම තලයේ සිටින ඉතාම දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. ඔහු තෝරාගන්න ටෙලිනිර්මාණයන් ඒහා සමානවම ගුණාත්මක බවින් පරිපූර්ණයි. එවැනි ටෙලිනාට්‍යයකට සම්බන්ධ වීම මට ලැබුණු හොඳ අවස්ථාවක් හැටියට මම දකිනවා.

රොෂාන් නිර්මාණ තෝරා ගැනීමක් කරනවාද?

තෝරා ගැනීමක් කරන්නවත් පිටපත් දැන් නැහැ. ටෙලිනිර්මාණ බිහි වෙන්නේ නැහැ. වර්තමාන ටෙලිනාට්‍ය කලාව හැදිලා තියෙන්නේ රටේ තියන රූපවාහිනී නාළිකාවලට ඕනේ විදියට. රංගන ශිල්පීන් ඇතුළු සමස්ත ටෙලිනාට්‍ය කලාවම රූපවාහිනී නාළිකාවල තියෙන ඒකාධිපතීත්වයට යටත් වෙලා තියෙන්නේ. ඒ නිසා වැඩිමනක් බිහිවෙන්නේ කසිකබල් ටෙලිනාට්‍ය. ඉන්දියානු ටෙලිනාට්‍ය සහ ඒ ආභාෂය ගත්ත ටෙලිනාට්‍ය තමයි ලංකාවේ පවතින්නේ. රටේ පවතින ප්‍රධාන ධාරාවේ පරිපාලනයටවත් කලාව පිළිබඳ කිසිදු අදහසක් හෝ කිසිදු වැඩපිළිවෙළක් නැති මොහොතක අපි ජීවත් වෙන්නේ. ඒ අතරින් බොහොම කලාතුරකින් ගුණාත්මක නිර්මාණයක් බිහි වෙනවා. ඒ වගේ නිර්මාණයක් ලැබුණාම ඒ නිර්මාණයේ අපි ජීවත් වෙනවා.

රොෂාන් සිනමාව පිළිබඳවත් මේ හා සමාන කලකිරීමකින්ද ඉන්නේ?

 

මට කලකිරීම තියෙන්නේ ලංකාවේ සමස්ත කලා ක්ෂේත්‍රය ගැන. ඒක ටෙලිනාට්‍ය සහ සිනමාව කියලා වෙන් කරන්න බැහැ. සිනමාව ගත්තොත් පැහැදිලිවම ලංකාවේ චිත්‍රපට කෙරෙනවා අඩුයි. එයට හේතුව එය ලාභ උපයන මාර්ගයක් නොවීම. ප්‍රතිපත්ති නැති තැනක ප්‍රතිපත්ති හදන්න බැහැ. මේ මොහොතේ සමස්ත කලාවම දියාරු තත්ත්වයක පවතින්නේ. රට කරන මිනිස්සුන්ට තේරෙන්න ඕනේ මේ රටට කලාවක් අවශ්‍යයි කියලා. මේ රටේ මිනිස්සු මෙච්චර ප්‍රතිගාමී වෙලා තියෙන්නේ ඇයි කියලා තේරෙන්න ඕනේ. ලෝකේ දියුණු හැම රටකම පාහේ කලාව ප්‍රශස්ත මට්ටමක පවතිනවා. කලාව නැති තැනක හොඳ සමාජයක් බිහි වෙන්නේ නැහැ. වර්තමානයේ විකාශය වෙන හින්දි ටෙලිනාට්‍යවලින්, මෙගා නාට්‍යවලින් අපිට අපේ ජීවිත දකින්න බැහැ. ජීවිතවල යථාර්ථය පේන්නේ නැහැ. 'කලාකරුවා සමාජයේ පෙරගමන්කරු' කියන එක අද බොරුවක් වෙලා තියෙනවා.

එය රොෂාන් සිනමා නිර්මාණවලට අල්ප වශයෙන් දායකත්වය ලබාදීමට හේතුවක්ද?

ඒකට හේතුව මොකක්ද කියලා මම දන්නේ නැහැ. මට ඒක හිතාගන්න බැහැ. හොඳ චිත්‍රපටි නිර්මාණය වෙන්නේ අල්ප වශයෙන්. කලාතුරකින් තමයි හොඳ චරිතයක් ලැබෙන්නේ. නිර්මාණකරණයෙන් ටිකෙන් ටික ඈත් වෙනවා. කලාව වෙනුවෙන් වෙහෙසුණා ඇති කියලා මට හිතෙනවා. මේ ක්ෂේත්‍රය තුළ කලාකරුවාට නිසි ලෙස තමන්ගේ වෘත්තිය කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ ගැන පැහැදිලි කලකිරීමක් තියෙනවා. මම හිතන විදියට කලාවක් මේ රටට අවශ්‍ය නැතුව ඇති. මොන දේශපාලන පක්ෂ බලයට ආවත් මොන පාලනය තිබුණත් රටට කලාවක් අවශ්‍යයි කියලා හිතෙන නායකයෝ නැහැ.

ඒත් සිනමා නිර්මාණවලට වඩා ටෙලිනාට්‍යවල ඔබ වැඩි වශයෙන් දකින්න ලැබෙනවා.

පසුගිය වකවානුව හොඳට බැලුවොත් පේනවා ලංකාවේ නිර්මාණ අතර චිත්‍රපටිවලට වඩා ටෙලිනාට්‍යවලින් තමයි ගුණාත්මක නිර්මාණ බිහි වුණේ. ඒත් ලංකාවේ සම්මාන උලෙළ වැඩියෙන් තියෙන්නේ චිත්‍රපටිවලට. නාළිකා බොහෝමයකින් ආයතන බොහෝමයකින් උත්කර්ෂවත්ව සිනමා සම්මාන උලෙළ පවත්වනවා. ඒත් ඒවාට තරග කරන්න ලංකාවේ චිත්‍රපටි හැදෙනවාද? ලංකාවේ වසරකට සිනමා නිර්මාණ බිහිවෙන්නේ බොහොම අතළොස්සයි. ඒවත් නිෂ්පාදනය කරන්නන් තමන්ගේ යටි අරමුණු ඒ නිර්මාණ හරහා ඉෂ්ට කරගන්නවා. පරණ යල් පැනපු, මල් ගස් වටේ දුවන චිත්‍රපටිවලට රඟපානවාට වඩා හොඳයි ගුණාත්මකත්වයෙන් ඉහළ ටෙලිනාට්‍යවලට දායක වෙන එක. කලාව පවතින්නේ මිනිස්සු උදෙසා නම් දැන් මිනිස්සු රැස් වෙන්නේ රූපවාහිනිය වටා. ඒ නිසා මිනිස්සු උදෙසා ගුණාත්මක ටෙලි නිර්මාණවලට දායක වෙනවා.

ඔබේ හැකියාවන්ගෙන් උපරිමය පෙන්වන්න පුළුවන් නිර්මාණයකට තවම සම්බන්ධ වෙන්න ලැබුණේ නැහැ කියලා හිතෙන්නේ නැද්ද?

මට නෙමෙයි මෑත කාලයේ ලංකාවේ කිසිම රංගන ශිල්පියෙකුට තමන්ගේ උපරිමය පෙන්වන්න ලැබිලා නැහැ. එහෙම උපරිමය පෙන්වන්න පුළුවන් මට්ටමේ නිර්මාණ බිහිවෙන්නේ නැහැ. ටෙලි - සිනමා මේ හැම ක්ෂේත්‍රයකටම ඒක පොදු යථාර්ථයක්.

අවසාන වශයෙන් රොෂාන්ගේ ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

මේ දිනවල මම කොටස් 50ක ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කරනවා "තණමල්විල කොල්ලෙක්" කියලා. එය ටෙලිනාට්‍ය රැසක් නිෂ්පාදනය කළ පාහිම් මවුජුඩ්ගේ නිෂ්පාදනයක්. වැඩි පිරිවැයක් දරමින් නිෂ්පාදනය කරන ටෙලිනාට්‍යයක් ඒක. මේ දවස්වල මේ ටෙලිනාට්‍යයේ වැඩ කටයුතු කෙරෙන්නේ. එක වැඩක් ඉවර කරලා තව වැඩක් කරන කෙනෙක් මම. මේ ටෙලිනාට්‍යයේ කටයුතු ඉවර වුණාම තමයි අනෙක් වැඩ ගැන බලන්නේ. චිත්‍රපට කීපයක් ලැබිලා තියෙනවා. ඉදිරියේදී හොඳ නිර්මාණයකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.

[නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා