අපි එන්නේ බැලට් එකන් අපිට ෙමාකටද බුලට්

 ඡායාරූපය:

අපි එන්නේ බැලට් එකන් අපිට ෙමාකටද බුලට්

හැත්තෑව දශකය අග භාගයේ ලංකාවේ පත්තරේක දැන්වීමක් පළ වෙලා තිබුණා අලුතින්ම හැදෙන සිනමාපටයක් සඳහා නවක නළු නිළියන් තෝරා ගැනීමට ලක් කරනවා කියලා. මේ කාලේ වෙනකොට සාම්ප්‍රදායික ලෙස ඒකාකාරී මුහුණුවර තිබුණු නළුනිළියන් සිනමා තිරය අරක්ගෙන සිටි කාලයක්. නව සිනමා පටයේ නිර්මාණකරුවන්ට වුවමනා වෙලා තිබුණේ තාරුණ්‍ය තුළ ජීවත්වන නව මුහුණුවරින් යුත් චරිත කිහිපයක් මේ සඳහා සම්බන්ධ කර ගැනීමටයි. මේ නිසා සම්මුඛ පරීක්ෂණයට විශාල පිරිසක් සම්බන්ධ වෙලා තිබුණා. මේ පිරිස අතරේ සම්මුඛ පරීක්ෂණයට සම්බන්ධ අනෙක් ඉල්ලුම්කරුවන්ට වඩා උසින් යුත් හැඩකාර තරුණයකුද සම්බන්ධව සිටියා. නිතරම ප්‍රසන්න සිනහවක් මුව පුරා රඳවා ගෙන හුන් මේ ගැටයා පැමිණ සිටියේ සීදුවේ සිටයි. කැරලි කොණ්ඩය ඔහු මඳක් දිගට වවා සිටි අතර පරීක්ෂණ මණ්ඩලය විසින් අසන ලද ප්‍රශ්නවලට ඔහු සාර්ථකව පිළිතුරු දෙමින් මීළඟ සම්මුඛ පරීක්ෂණයටද තේරී පත්ව සිටියා. පරීක්ෂණයේදී දෙස් විදෙස් චිත්‍රපට සම්බන්ධයෙන් ද ඔහු මනා ඇගයීමක් කරන්නට වුණා. අවසානයේදී නවක නළු පිරිවර සමඟින් ලාංකේය සිනමාවට ඉදිරිපත් කළ "හන්තානේ කතාව" චිත්‍රපටයෙන් ඔහු සිනමා අඹරට පායන නවක තරුව බවට පත් විය. එකී නවක තරුව හන්තානේ කතාවට සම්බන්ධ වීමත් සමඟ ඔහුට චිත්‍රපට පෝලිමක් ගලා එන්නට විය. මේ හා සමඟම ඔහු නවක නළුවකු වුවත් එවකට පැවති සිනමා පුවත්පතක (1970) සඳහන් වූයේ මෙසේය.

"හන්තානේ කතාව චිත්‍රපටයේ බන්දුගේ චරිතයට ජීවය දුන් සුරූපී නවක නළුවා වැඩිම චිත්‍රපට ගණනක රඟපාන නළුවා වශයෙන් අන් සියලු නළුවන් අභිභවා පෙරමුණ ගෙන සිටී. දැනට නිෂ්පාදනයේ පවතින හා වැඩ අරඹා ඇති චිත්‍රපට විස්සක් සඳහා තෝරාගෙන ඇත. මේ හැම එකකම රඟපාන්නේ එකිනෙක වෙනස් වූ චරිතයක් වීම විශේෂ ලක්ෂණයකි. කේසර සිංහයෝ විනිශ්චයකරුවෙකි. බිඳුණු හදවත් අබියස ගුවන් නියමුවකු ලෙසද, .............. මංකොල්ලකරු සේ වෙස් ගනී, අහස් ගව්වේ පොලිස් පරීක්ෂකවරයෙකි. මේ හැර ෙරා්මියෝ ජුලියට්, ප්‍රියංගා, සමනල කුමරියෝ, වනරාජා, සුදුමොනරු, මංගල සීනු , හත්දින්නත් තරු හා නම් නොකරන ලද චිත්‍රපට හතරක් සඳහාද ශේෂා පලිහක්කාරගේ අලුත් නිෂ්පාදනය සහ සුගතපාල සෙනරත් යාපාගේ මීළඟ චිත්‍රපටයටද ඔහු තෝරාගෙන ඇත" යනුවෙනි.

පහතින් දැක්වෙන්නේ මීට වසර තුනකට පමණ ආසන්න කාලයකදී පුවත්පත් ලිපියක් සකස් කරන මොහොතක ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු මා හා සමඟ පැවසූ කරුණු කිහිපයකි.

"ඔහුගේ සහ මගෙ මිත්‍රකම හුඟක් ඈතට දිව යනවා. හන්තානේ කතාව දවස්වලටත් එහායින් ඉඳලා තමයි අපි දන්නේ. ඒ කාලේ මම වැඩ කරේ ලේක්හවුස් එකේ. මට මතකයි ජීවන්ගේ තාත්තා සිඩ්නි කුමාරතුංග සීදුවේ සමසමාජ පක්ෂ ක්‍රියාකාරී දේශපාලනයේ නියැළිලා හිටියෙ. එයා එතකොට සීදූවේ ඡන්දේ ඉල්ලනවා. ඔන්න ඉතින් ඔය දවස්වල මෙයාගෙ රාජකාරිය තමයි ඡන්ද පෝස්ටර් අලවන එක. "මට මතකයි පසුකාලීනව දවසක් වැල්ලවත්තේ omega in එකේ පොඩි සාදයක් තිබුණා. මේ වෙනකොට මෙයා තනිකර දේශපාලනික චරිතයක්. කොටින්ම ජේ.ආර්. ගේ ප්‍රබලම විරුද්ධවාදියා. මේ වෙලාවේ මම එයාගෙන් ඇහුවා,

"මොකක්ද මේ කරන්නේ ", "ඔයාට මේ මොකද්ද කඩාගෙන බිඳගෙන දේශපාලනය කරන්න තියෙන හදිසිය" කියලා.

"ඒ වෙලාවේ එයා ගත් කටටම කිව්වේ,

 

"ඇයි උඹ අකමැතිද කවද හරි දවසක එකට හිටපු යාළුවෙක් ලංකාවේ ජනාධිපති වෙනවා දකින්න" කියලා.

"කොහොමින් කොහොම හරි අපිත් එක්ක ඉස්සරම හිටි මනුස්සයා නෙවෙයි පස්සෙ කාලෙකදි අපිට දකින්න ලැබුණේ. මොකෝ ඉස්සර නම් ඉතින් අපි කොහේ හරි පාටියකට හෝ වෙනත් තැනකදී හම්බුනාම මාතෘකා වෙන්නෙ නිළියෝ, එහෙමත් නැත්නම් කෙල්ලෝ, එහෙමත් නැත්නම් චිත්‍රපට. ඒ වුණාට පහු පහු වෙන්න හාදයා කතා කරන්න පටන් ගත්තෙම දේශපාලනය ගැන. අපිත් ඒවට මුකුත් කියන්න ගියේ නෑ අහගෙන ඉන්නවා මිසක්. කිව්වත් වැඩක් නෑ මොකද මෙයා එතකොට තනිකරම දේශපාලන චරිතයක් වෙලා ඉවරයි.

"මේ දවස්වල අපේ හාදයාට ලොකුවට වුමනාව තිබුණා උමා මහේෂ්වරන්ලත් එක්ක සන්ධාන ගත වෙන්න. මොනම වෙලාවකවත් මේක දෙමළ ප්‍රශ්නයක්, සිංහල මිනිසුන්ගේ ප්‍රශ්න, යූ.අැන්.පී. ප්‍රශ්න, කියලා බෙදාගත්තේ නෑ. ඔක්කොම දැක්කේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විදියට.

"කොහොම වුණත් එයා එයාගේ සින්දුවලට බොහොම කැමැත්තෙන් හිටියා. මට මතක හැටියට මුල්ම කැසට් එක කරේ බුද්ධි කීර්තිසේනයි, බන්දුල පද්මකුමාරයි දෙන්නා. මෙයා මහ ලොකුවට සල්ලි හම්බකරෙත් නෑ. සල්ලි හදිස්සියක් වුණොත් පස්සෙ දෙන්නම් මචං කියලා කාගෙන් හරි ඉල්ල ගන්නවා.

"ඔන්න ඉතින් ඔය අතරවාරේ දවසක මෙයා අපිට කියනවා එයා තාවකාලිකව සිනමාවෙන් සමු ගන්නවා කියලා. අපි හැමෝටම ඒක ගැටලුවක් වුණා. ඒත් එයාගේ තීරණය තීරණයක්ම තමයි. අපි ඒක පොල්ගෙඩි අකුරින් බන්දුල පද්මකුමාර කරපු "සරසි" පත්තරේ දැම්මා. මහා විනාශයක් වුණේ. ඔය කාලේ සෙල්ෆෝන් එහෙමත් නෑනෙ.

"මේ ගැන අහලා ලියුම් මිටි පිටින් අපෙ කන්තෝරුවට එන්න පටන් ගත්තා. අපි මේක ඔහුට කිව්වාම මිනිහටම හිතුණා අපේ කාර්යාලයට ඇවිත් මේ ලියුම් ටික එයාගේ කාර්යාලට ගෙනියන්න.

"ඒ දවස්වල එයාගේ ඔෆිස් එක තිබුණේ කින්සි රෝඩ් එකේ. දවසක් ආවා අපි හිටපු තැනට. එයාගෙ ඩබල් කැබ් එකෙන්.

මම ඇහුවා "තනියම එන එක හොඳද" කියලා. ගත් කටටම එයා මට කිව්වේ,

"අපිට කොහෙද බොඩිගාඩ්ලා. ජනතාව තමයි අපේ බොඩිගාඩ්ලා",

"අනිත් එක කවුද මට බුලට් පාවිච්චි කරන්නෙ.. අපි එන්නෙ බැලට් එකෙන්නෙ'' කියලා.

"හොඳින් මතක තියාගන්න මේ සිදුවීම වුණේ ඔහුට වෙඩි තියන්න දවස් දෙකකට හෝ තුනකට ඉස්සෙල්ලා. මේ මොහොතේ මම එයාට අනන්තවත් කිව්වා පරිස්සමින් ඉන්න කියලා. ඇහුවෙ නෑනෙ.

"ඊට දවස් දෙකකට නැත්නම් තුනකට පස්සේ අපිට ආරංචියක් ආවා වෙඩි තියලා මරලා දාලා කියලා. අපිට අදහාගන්න බැරි වුණා ඒක. "ඒත් හැමෝගෙම අවාසනාවට එයා අපට නැති වුණා. අද වෙනකොට ඔහු හිටියා නම් ඔහු තමයි ලංකාවේ උතුරත් දකුණත් යා කරන එකම පාලම වෙන්නේ."

එදා මේ සම්මුඛ සාකච්ඡාව සඳහා මා සමඟ සම්බන්ධ වූයේ ප්‍රවීණ පුවත්කලාවේදී අර්නස්ට් වඩුගේ මහතාය. ඉතින් ලිපියේ මුල සිට අග දක්වා කියවා ගෙන ආ ඔබට මේ ලියැවී ඇත්තේ විජය කුමාරතුංග සම්බන්ධයෙන් බවට කියන්නේ කවරකටද?

[රජිත බස්නායක]

මාතෘකා