හඬ තුනකින් එකම ගීයක්...

 ඡායාරූපය:

හඬ තුනකින් එකම ගීයක්...

සිංහල සිනමාවේ ආරම්භයේදී මෙන්ම කලක් ගතවනතුරු ජනප්‍රිය තලයේ වාණිජ චිත්‍රපට පෝෂණය වූයේ ඉන්දියානු දමිළ චිත්‍රපට හා හින්දි චිත්‍රපට ආධාර කර ගනිමිනි. ඉන් ලද ආභාෂය නිසාවෙන් love story චිත්‍රපටයේ අනුකරණයක් ලෙසින් 1987දී සිංහල සිනමාවට අලුත් චිත්‍රපටයක් එක්විය. ඒ "රන් දම්වැල්" චිත්‍රපටයයි. ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගත් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වූයේ විජය කුමාරතුංග, රෝසි සේනානායක, සනත් ගුණතිලක, මැණික් කුරුකුලසූරිය හා මර්වින් ජයතුංගයි. එහි අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කළේ අනූපමා හා ක්‍රිස්තු චරිතය චිත්‍රපට නිෂ්පාදනය කළ ඇලරික් ලයනල් ප්‍රනාන්දුය. මෙහි විශේෂත්වයක් වූයේ එකම ගීතය හඬවල් තුනකින් චිත්‍රපටය තුළ වාර දෙකකදී රසිකයන් පිනවීමට සමත් වීමයි. "ළං වෙන්නවදෝ වෙන් වූයේ" යන මේ ගීය රචනා කොට තිබුණේ කේ.ඩී.කේ. ධර්මවර්ධනයි, තනුව සරත් දසනායක මහතාගේය. චිත්‍රපටය හින්දි අනුකාරක තත්ත්වය පැවතියද ගීතය සතු වූයේ සරත් දසනායක මහතා විසින් නිර්මාණය කළ ස්වතනුය.

චිත්‍රපටයේ මුලින්ම රසිකයන් හමුවට එන්නේ වික්ටර් රත්නායකගේ හඬයි. ඉන්පසු යළිත් රසිකයන්ට හුරුපුරුදු සංගීතය සවන් මත පතිත වෙද්දී ගායනය පමණක් වෙනස් වේ. දෙවනවරට හඬ මුසු කරන්නේ එච්.ආර්. ජෝතිපාල හා ලතා වල්පොළයි. කවර ලෙස ගීතය ඉදිරිපත් වූවද කේ.ඩී.කේ. ධර්මවර්ධන හා සරත් දසනායකයන්ගෙන් බිහිවූ මෙම ගීය සිනමාපටය අවසානයේදී රසික සිත් තුළ ලැඟුම් ගත් බව නම් නොරහසක්. එයට හොඳම උදාහරණය වන්නේ තවමත් එහි රසය වසර තිහක ඉක්ම ගියද ඒ ආකාරයටම විඳ ගැනීමට හැකිවීමෙනි. එච්.ආර්. ජෝතිපාල හා ලතා වල්පොළ ගායනා කරන ගීත දර්ශනයට පෙනී සිටින්නේ සනත් ගුණතිලක මැණික් කුරුකුලසූරියයි.

 

" වෙන් වෙන්නවදෝ ළං වූයේ

ළං වෙන්නවදෝ වෙන් වුයේ

මා ආ මඟ නවතින්නම්

බිඳුවක් ඇතින් ඉන්නම්

සිහිනෙන් ඔබ දැක ගන්නම්

හැබැහින් ළඟටම එන්නම් ..."

මාතෘකා