අලුත් යකඩ හරක් සමග එන පරණ කරත්තකරුවෝ

 ඡායාරූපය:

අලුත් යකඩ හරක් සමග එන පරණ කරත්තකරුවෝ

කලබැගෑනි අතෝරක් සපිරි මාර්ගය පසෙකට වී ගිමන් නිවන මැදිවිය ඉක්මවූ කෙසඟ සිරුරෙන් යුතු මිනිසුන් දෙදෙනෙකි. මිටි බංකුව මත සුරුවමට වාඩිලාගෙන කුඩා වංගෙඩියේ කෙටූ බුලත් විටක ආස්වාදය ලබන අයකුගේ දෑස මත ඇඳී ඇත්තේ උපේක්ෂා සහගත මං සලකුණුය. ගිනියම් මද්දහන අස්වසමින් ඔවුනට සෙවණ සදනුයේ අත් ට්‍රැක්ටරයක් මත බැඳි පොල් අතු හෙවණකි. ඔවුහු කුරුණෑගල, වාරියපොළින් නික්මී ජීවනෝපාය සඳහා අනුරාධපුරයට පොල් අතු වෙළෙඳාමේ පැමිණි අය වෙති. වරෙක ඔවුනගේ බුලත් කෑ දසන් මත මතුව එන්නේ නිරහංකාර සිනහවකි.

මසකට තෙවතාවක් පමණවත් මෙපරිද්දෙන් මහමග ගෙවමින් ජීවිත සටනේ යෙදෙන්නට ඔවුනට සිදුව ඇත. එකෙකු ගාමිණි පියතිස්සය. අනෙකා සැන්ටින් සිල්වාය. දහවල මැදියමට පැමිණෙත්ම ඔවුහු මඟ පසෙක ඉඩ ඇති තැනක් බලා දවල් බත පිළියෙල කරති. එළවළුවක් දෙකක් සමග පිසින කරවල හොද්දක සුවඳ නාස්පුඩු විනිවිද යයි. තවත් මිනිත්තු කිහිපයක් ගිය තැන්හි කරත්ත බත සූදානම්ය. ආ ගිය තොරතුරු සොයා පහදා ගන්නට දැන් හොඳ වේලාවය. ගාමිණි පියතිස්ස මහතා වෑංජනයට අඩුම කුඩුම එකලස් කරමින් ආ ගිය වගඵල දිගහැරියේය.

"අපි ගෙවල් ගානේ ගිහිල්ලා පොල් අතු එකතු කරගන්නවා. රුපියල් විස්සකට තමයි පොල් අත්තක් ගන්නේ. පොල් අත්තක් කියන්නේ ඉරු දෙකක්. වාරියපොළ ඉඳලා මෙහේ අනුරාධපුරේට ඇවිල්ලා පොල් අත්තක් විකුණන්නේ රුපියල් තිස්පහකට. දැන්නම් ගෙවල්වලට පොල් අතු වහන කෙනෙක් හොයාගන්ඩ අමාරුයි.

ඔය පොඩි එළවළු කඩේකට, කුකුළු කූඩුවලට එහෙම නැත්නම් ගඩොල් කපනවා වගේ දේවල්වලට තමයි දැන් මිනිස්සු පොල් අතු ගන්නේ. දැන් ඔය විලාසිතාවකට වගේ සමහර හෝටල්වලටත් සමහරු පොල් අතු වහනවා. දැන් හැමදේම වෙනස් වෙලා තියෙන්නේ. ඉස්සර අපි ගොන්නු බැඳගෙන කරත්තවලින් පොල් අතු අරගෙන ආවේ. දැන් අපි ළඟ කරත්ත නෑ. මේ ට්‍රැක්ටරේ තමයි පොල් අතු ගේන්නේ. ඒ කාලේ දවස් තුන හතරක් තිස්සේ අනුරාධපුරේට එනවා. දැන් එක දවසට එන්ඩ පුළුවන්. මොනව වුණත් ඉස්සර ජීවිතේ සුන්දරයි. ඉස්සර අපි ආවේ කට්ටි පිටින්. එකට උයාගෙන කෑවේ. දැන් ගොඩක් වෙලාවට එන්නේ තනියම. වැඩිම වුණොත් දෙන්නයි."

“ගෙදර ගිහින් ඇළ ගාවින්

හොඳ තණ කොළ ටිකක් උඹට

තලු ගහ ගහ බඩ පිරෙන්න

ගෙනත් දාන්නම් කන්නට

හැන්දෑවට උඹ ඉඳගෙන

තලු ගහනවා මට ඇහෙනවා

උඹට කලුවේ හුඟක් හොරද

හැන්දෑවට නින්ද යනවා”

ගුණදාස අමරසේකර කවියාගේ කව් පෙළක මතුව එන මේ අපූර්වත්වය අතීත රස මතකයන් අවදිකරවන සුලුය. එවක ගොනු බැඳි කරත්තය මත ගොඩවී ගම් මැද්දට පොල් අතු හෝ මැටි වළං වෙළෙඳාමේ පැමිණි අයවලුන් පිළිබඳ මතකය ක්‍රමයෙන් වියැකී යන්නක් වුවත් එතුළ ඇත්තේ තවමත් නොසිඳුණු රසයකි. ගම මැදට වන්නට පිහිටි තුංමං හන්දියේ ඉඩකඩ ඇති තැනක කරත්ත පෙළ නවතා රාත්‍රිය ගත කරන ඔවුහු එහිම හිඳ රෑ බත පිළියෙල කළ අයුරු ගැමියන්ගේ මතක මංතලා මත තවමත් සැඟව ඇතිවාට සැක නැත. එසැණින් පදමට ඒදෙන වෑංජන හා කරවල සුවඳ ඒ මඟ යන්නවුන්ගේ නාස්පුඩු විනිවිද යන්නේ අනාරාධිතවය. හට්ටි, මුට්ටි, හැඳි, පිඟන්, ළූණු, මිරිස්, හාල්, පොල් ආදී අඩුම කුඩුම ඇති තරමට කරත්තයේ ඇත. හැටපස් වසක් දිවි මංතලාවේ ඇවිද ඇති සැන්ටින් සිල්වා මහතා කරත්ත රස්සාවේ ලාභ, අලාභ හෙළි කළේය.

"ඔක්කොම වියදම් ඇරියහම රුපියල් තුන්දාහක විතර ලාභයක් තමයි තියෙන්නේ. පොල් අතු විකුණගන්ඩ පරක්කු වුණොත් ඒක දෙතුන් දාහට බහිනවා. කීයක් හෙව්වත් මේක කරදර ගොඩක් තියෙන රස්සාවක්. දැන් මට වයසයි. මට තව වැඩි කාලයක් මේ රස්සාව කරන්ඩ වෙන්නේ නෑ. පාරේ නිදියලා උයා පිහාගෙන කන එක ලේසි වැඩක් නෙමේ. රැයක්, දවාලක්, අව්වක්, වැස්සක් නෑ. මහ පාරේ දවස ගෙවෙන්නේ. ඉස්සර ගොන් කරත්තවලින් තමයි පොල් අතු අරගෙන ආවේ. පස්සේ කරත්ත දිරලා ගියා. ගොන්නු වයසට මැරුණා. දැන් අවුරුදු පහළොවක් විතර තිස්සේ මේ විදිහට ට්‍රැක්ටරෙන් පොල් අතු අරගෙන එනවා. හැම මිනිහෙක්ම පුරුදු වෙච්ච ජීවිතයක් තියෙනවා. කරත්ත රස්සාව කරපු අපිට වෙලා තියෙන්නෙත් ඒ දේ. මේක අතඇරලා දැන් වෙන දෙයක් කරන්ඩ කාලයක් නෑ.

කොයි වෙලාවක හරි ඔත්පල වෙනකන් මේක තමයි රස්සාව. මං නම් කාටවත් කියන්නෑ මේ රස්සාව කරන්ඩ කියලා. අපෙන් පස්සේ එක කාලයක් ඉවරයි. ආයේ ඒ දවස් එන්නේ නෑ."

එවක කරත්තයෙන් දිගේලි කළ ගවයින් පුන්නක්කු මෙන්ම පිදුරු හෝ තණකොළ ආදිය තලුමරන්නේ ලද විරාමය නොඅඩුව විඳිමිනි. කරත්ත පවුලක ජීවන බරට උරදෙන මේ අහිංසකයන් කෙරෙහි ගැමියන් තුළ වුයේ මහත්වූ අනුකම්පාසහගත හැඟීමකි. සැතපුම් සිය ගණනක් ගවයින් සමග මහ මඟ ගෙවන ගැමියෝ විටෙක කවි ගායනා කළෝය. එතුළින් වහනය වුයේ ඔවුනගේ දුක, වේදනාව, ජීවන සාම්ප්‍රදායන් සහ වටිනාකම්ය. බොහෝ විට කරත්තකරුවන්ගේ රැය ගෙවී යන්නේ නිදිවර්ජිතවය. දවසේ කළ කී දෑ සේම අතීත රස මතකයන් අතර හෝරා ගණනාවක් රෑ මැදියම වනතෙක් ඔවුන් කාලය ගෙවා දමන්නේ අකම්පිතවය. ඔවුනොවුන් මොනවදෝ මුමුණන, විටෙක කොක් හඬලා සිනාසෙන හඬ රැය මැදියම අවදිවන අයකුගේ සවනත වැකෙනුයේ පියවි සිහිය කඩිනමින් කැඳවමිනි. විටෙක තුංමං හන්දිය වෙත යන අයකු කෑලි කැපිය හැකි අඳුරේ දැල්වෙන ලන්තෑරුම් එළියෙන් යන්තමින් හෝ මේ මිනිසුන්ගේ මුහුණු වෙත එබිකම් පෑවේ මතුව ආ කුතුහලය නිසාමය.

හිමිදිරි පාන්දර හිරු එන්නට පෙර අවදිව උණු උණුවේ දුම් දමන තේ කහට කෝප්පයකින් සප්පායම් වී යළි දවසේ මෙහෙවර අරඹන කරත්තකරුවන්ගේ දසුන ගම්මැද්දේ කාටත් එවක හුරුපුරුදුව තිබූවකි. පොල් අතු හෝ වළං සමග මනුස්සකමද මේ මිනිසුන් ගමට ගෙන එන්නේය යන විශ්වාසය එවක ගැමියන්ගේ සිත් තුළ දලුලා තිබුණේ කවර හෝ බලපෑමකින් තොරවය. දැන් පොල් අතු හෝ වළං රැගෙන ගමට එන කරත්තකරුවකු දක්නට ලැබෙනුයේ ඉතා කලාතුරකිනි. ගවයින් දිගේලි කොට ඔවුහු රැය ගෙවූ තුංමං හන්දියද වෙනස් වී ඇත. එහි ඉඩකඩ අඩු වී ඇත. හිරු පමණක් නොවෙනස්ව හැම සවසකම එදෙසින් බැස යනු පෙනේ. ගැමි සහජීවන ආර්ථීක වටපිටාවේ අනිවාර්ය කොටස්කරුවකු වූ ගවයින්ට අම්මා, අප්පා ලෙස ඇමතූ ගැමියන් සතුන් කෙරෙහි වූ තම දයා කරුණාව මොනවට විද්‍යමාන කළේය. මේ අහිංසකයන්ගේ දෙනෙතේ පිරී ඉතිරෙන කියාගත නොහැකි වේදනාවට ඔවුහු අනුකම්පා කළෝය. එහෙත් අකාරුණික සැඩ සුළඟකට හසුව ඒ සියල්ලක් ගසායමින් තිබේ. අනෙකකු ගැන තබා තමා පිළිබඳව හෝ සොයා විමසීමට තරමින් වත් කාලයක් නොමැති තරමට අපි කාර්යබහුල වී සිටිමු.

මේ විකෘති වටපිටාව තුළ කුමන යහපත පාවාදී හෝ සිය ඕනෑ එපාකම් පිරිමැසීමේ අරමුණ පෙරට පැමිණෙත්ම සරල, සොඳුරු ගැමි ජීවන පෙවෙතට පණ දුන් කරත්තකරුවාගේ භූමිකාවද හමාර වෙමින් තිබේ. තව දවස් ගත වෙත්ම සැන්ටින්ලා, පියතිස්සලා මේ මහ මඟදී අහම්බෙන් හෝ මුණනොගැසෙනු ඇත. ඔවුන්ම පවසන අන්දමට ඔවුනගේ ඇවෑමෙන් යුගයක් නිමාවනු ඇත. සැඩ හිරු ක්‍රමයෙන් අවරට යනු පෙනේ. මේ අකම්පිත මිනිසුනට සමුදී කම්පිත සිතින් මම යළි එන මං බැලුවෙමි.

තඹුත්තේගම විශේෂ [ඩබිලිවි. ප්‍රදීප්]

මාතෘකා