කොස් ගසෙන් කුස් පුරවා සොච්චමින් ජීවිත ගැට ගසා ගන්න මිනිස්සු

 ඡායාරූපය:

කොස් ගසෙන් කුස් පුරවා සොච්චමින් ජීවිත ගැට ගසා ගන්න මිනිස්සු

එරබදුමල් පිපෙන, කොහා කෑ ගහන වසන්ත කාලය තව සති කිහිපයකින් එළැඹෙයි. ඒ සමගම කොස් වාරයද ආරම්භ වන බව අමුතුවෙන් ඇඟිල්ලෙන් ඇන කිව යුතු නොවේ. ප්‍රධාන ආහාරය බත් වුවද ඒ තරමටම කොස්ද මිනිසුන් අතර ජනප්‍රිය ආහාරයකි. කොස් ගසට, බත් ගස යැයි ව්‍යවහාර කිරීමට මිනිසුන් මැළි නොවන්නේ ඒ නිසාය. අද වන විට ගම්බදව මෙන්ම නගරයේ බොහෝ දෙනක්ද කොස් රසට වහ වැටී සිටිති. මනාව පැසුණු කොස් මදුළු එකලස් කොට මහමඟ පසෙකට වී අලෙවි කොට දිවි සරිකරන වෙළෙඳුන් වටා රැස්කන පිරිසෙන්ම ඒ බව ඔප්පු වේ. දෙනෝදාහක් දෙනා යන එන විසල් මාවත පසෙකට වී හිරු අවරට යන තෙක්ම ඔවුහු මේ අපූරු වෙළෙඳාමේ යෙදෙති. එය එක්තරා අන්දමක කලාවකි. කොහොල්ලෑ දෑතේ තවරා නොගෙන මනාව මදුළු බේරීම කළයුත්තේ සුරුවමටය.

සමහරකු කොස් රස විඳීමට ප්‍රිය කළද කොහොල්ලෑ සඳහා ඇති අකමැත්ත ඒ සඳහා හරස් වී ඇත. එවැනි බොහෝ දෙනකුට මේ වෙළෙඳාම මහෝපකාරයකි. අනුරාධපුර නගරාසන්නයට පැමිණ මනාව පැසුණු කොස් කපා, මදුළු බේරා අලෙවියේ නියුතු ටී. එම්. සී. විජේබණ්ඩාර කොස් ඵලදාවෙන් දිවි සරි කරන අන්දම පැහැදුවේය.

"මං තඹුත්තේගම මාකට් එකෙන් තමයි කොස් ගන්නේ. ගෙඩියේ ප්‍රමාණේ හැටියට තමයි ගාන තීරණය වෙන්නේ. රුපියල් සීයට, එකසිය පනහට, දෙසීයට වගේ ගණන්වලට ගෙඩි ගන්න පුළුවන්. කොස් මදුළු කිලෝ එකක් අපි විකුණන්නේ රුපියල් සීයකට. වාහන නවත්තලා අපෙන් කොස් අරගෙන යනවා. දොස්තර මහත්තුරු, නෝනලා එහෙම තමයි ගොඩක්ම කොස් අරගන්නේ. සමහරු අතේ කොහොල්ල ගාගන්ඩ කැමති නෑ. ඒ හින්දා කොච්චර කොස් කන්ඩ කැමති වුණත් කොස් ගෙඩි පිටින් අරගෙන සුද්ද කරන්ඩ කැමති නෑ. එහෙම අය ගොඩක් දෙනෙක් අපෙන් කොස් මදුළු අරගන්නවා. මේ කොස් අවාරේ. ඒත් අවාරයක් කියලා එකක් කොස්වලට නෑ දැන්. ලංකාවේ කොහේ හරි අවුරුද්ද පුරාම කොස් හැදෙනවා. ඒ හින්දා දෙයියන්ගේ පිහිටෙන් කොස් හිඟයක් එන්නේ නෑ. මහවැලි කලාපේ වතුරෙන් හිඟයක් නැති හින්දා අවුරුද්ද පුරාම ඒ ඉඩම්වල කොස් ඵල දරනවා."

කොස් ඵලදාව විවිධ ආකාරයෙන් සකස් කරමින් ආහාරයට එක්කර ගැනීම සිදුවනුයේ දුරාතීතේ සිටමය. පෝෂණ ගුණයෙන් අනූන හොඳින් පැසුණු කොස් තම්බා පොල් සමඟ හෝ පොල් සම්බෝලයක් සමඟ ආහාරයට ගැනීම සිදුවනුයේ පෙර දවස සිටමය. කොස් මැල්ලුමක් ලෙස මෙන්ම කොස් මදුළු වෑංජනයක් ලෙස සකසා ගත හැකිවේ. මෙසේ සකසන කිරි කොස් වෑාංජනය කා අතරත් ජනප්‍රිය කෑමකි. කොස් තම්බා, වියළා තෙලේ බැද අමුත්තන්ට තේ පැන් සංග්‍රහයකදී වුවද පිළිගැන්වීමට සුදුසුය. කොස් ගෙඩියෙහි විවිධ අවස්ථා විවිධ ලෙස සකසා ආහාරයට ගැනීම ලාංකික ආහාර සම්ප්‍රදායට ආවේණික වූවකි. කොස් ගෙඩියෙහි ළපටි අවදියේදී සකසන පොළොස් වෑංජනය ආහාරයට එක්කර ගැනීම මඟින් ලේ ධාතුව පිරිසුදු වන බව දේශීය වෛද්‍යවරු පවසති. වෙසක්, පොසොන් ආදී පොහොය දින අරබයා මහ මඟ කොස් තම්බා දැන් දැන් දන්සල් පැවැත්වීමද සිරිතක්ව පවතී. ගැමියන්ගේ සරල, සැහැල්ලු දිවි පෙවෙත සවිමත් කරන්නක් ලෙසත් දේශීය ආහාර සුරක්ෂිතතාව සහතික කරන්නක් ලෙසත් දුරාතීතේ සිට අද දක්වාම කොස් මෙරට ජන ජීවිත හා යාව පවතී.

සාම්ප්‍රදායික ගම්මැද්දේ ගැමියන් කොස් හෙවත් බත් ගසෙන් ගත් ඵල ගැන මනාව දත් ගල්නෑවේ ඩී. එම්. කරුණාවතී මහත්මියගේ මතකය මෙබන්දකි.

"වැලි කොස් ඇට දාන එක, කොස් මදුළු වේළලා දුමේ දාන එක වගේ දේවල් ඒ කාලේ හැම ගෙදරකම වගේ සිද්ධ වුණා. වැලි කොස් ඇට මුල්ලක් හැම ගෙදරකම වගේ තිබුණා. ගෙයි මුල්ලකට වෙන්ඩ වැලි අතරේ කොස් ඇට රඳවලා උඩින් මැටි ගානවා. එතකොට හුළං වදින්නේ නෑ. කොස් අවාරේ එනකොට හොඳට හයිවෙලා තියෙන මැටි තට්ටුව අයින් කරලා කොස් ඇට ප්‍රයෝජනේට ගන්නවා. මාස පහ හයක් වුණත් මේ විදිහට කොස් ඇට කල් තියාගන්න පුළුවන්. ආයෙත් කොස් වාරේ එනකොට මේ විදිහට වැලි කොස් ඇට මුල්ලක් දානවා. කොස් මදුළු කල් තියාගන්නෙත් විදියටම තමයි. කොස් මදුළු උණු වතුරෙන් තම්බලා, අව්වේ වේළලා, පොට්ටනි බැඳලා දුමේ දාල තියෙනවා. ඕන වෙනකොට වතුරේ පෙඟෙන්ඩ දාලා කිරි කොස් මාළු හදන්ඩ, තම්බන්ඩ එහෙම ගන්නවා. කිරි දෙන අම්මලාට කිරි එරෙන්ඩ කොස් ඖෂධයක් වගේ. අවාරේකදී වුණත් ඒ කාලේ ගෙවල්වල කොස් වේළලා තියාගත්තේ එහෙම වෙලාවට ප්‍රයෝජනේට ගන්ඩ."

ඉදුණු කොස්, වැල හෝ වරකා ලෙස ආහාරයට ගත හැකි ඉතා මිහිරි පලතුරකි. කොස් ඇට මනා පෝෂණ ගුණයකින් යුක්තය. කොස් ඇට වෑංජනයක් මෙන්ම කළු පොල් මාළුවක් ලෙස සෑදීමටද ගෘහිණියෝ ඇලුම් කරති. කෙසෙල් මුව, කොහිල දලු, මෑකරල්, කැකිරි වැනි එළවළුවලට කොස් ඇට දැමීමෙන් රසවත් වෑංජනයක් තැනීමට ගෘහණියෝ දක්ෂ වෙති.

කොස්වල බහුල ලෙස කාබෝහයිඩ්රේට් අඩංගු වේ. ප්‍රෝටීන්, මේදය, කැල්සියම් වැනි පෝෂක වර්ගයන්ගෙන් කොස් ඵලදාව අනූන බව දේශීය වෛද්‍යවරු පෙන්වා දෙති.

නිවසට අවැසි ආහාර භෝග ගෙවත්ත තුළදීත් ගමට අවැසි ආහාර භෝග ගම තුළදීත් සමස්තයක් ලෙස රටට අවැසි ආහාර භෝග රට තුළදීත් නිපදවීමේ නිෂ්පාදන වැඩපිළිවෙළක අවශ්‍යතාව අන් කවරදාටත් වඩා දැනෙමින් තිබේ. එහෙත් මේ සා රසයෙන් හා ගුණයෙන් අනූන කොස් භෝගය කෙරෙහි තවමත් ඇත්තේ අඩු අවධානයක් බවට තැන තැන විනාශ වන කොස් ඵලදාව සාක්ෂි දරයි. කොස් වාරෙට පැසුණු කොස් ඉදී ගස් යට වැටී කුණු වී යන දසුන සුලභ වුවකි. මේ අපූර්ව වෙළෙඳාමේ නියුතු තඹුත්තේගම කේ. ජී. ශ්‍රියාණි හෙළි කළේ රස කතාවක නීරස ගැනය.

"අපට මේ වෙළෙඳාමෙන් ලොකු ලාබයක් නෑ. ඒත් දෙයියනේ කියලා ජීවත් වෙන්ඩ ආදායමක් ලැබෙනවා. කිලෝ එකකට හොඳ මදුළු විස්සක් විසිපහක් විතර අල්ලනවා. කොස් කපලා, සුද්ද කරලා, කොහොල්ල අයින් කරන්ඩ සෑහෙන වෙලාවක් යනවා. සමහර රස්සා කරන කට්ටියට ඇත්තටම එහෙම වෙලාවක් අරගෙන කොස් මාළුවක් හදන්ඩ වෙලාවක් නෑ. අපි ඒ හැමදේම කරලා තියෙන හින්දා කොස් ඇට අයින් කරලා වෑංජනේට හරියන ගානට කපාගන්න එක විතරයි කරන්ඩ තියෙන්නේ. කොස් ඇට ටිකත් අහක යන්නේ නෑ. තළලා වෑංජනේට දාන්ඩ පුළුවන්. සමහරු මදුළු තම්බලා කනවා. කොහොම කෑවත් ගුණේ අඩුවක් වෙන්නේ නෑ. ඒත් ඒක සමහරු දන්නේ නෑ. ඒ හින්දම වටිනාකමක් නෑ."

කොස් ඵලදාව කෙරෙහි අවධානය යොමු කරන කල්හි කොස් වගාව මෙරට ඈත ගම්මැදිවල මෙන්ම නාගරික ගෙවතුවලද ව්‍යාප්ත කිරීමට මූලික වී ඇති කොස් මාමා ලෙස විරුදය ලත් ආතර් වී දියෙස් මහතා පහසුවෙන් අමතක කළ හැකි අයකු නොවේ. ජාතික ආහාර භෝග නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ විශ්වාසයෙන් මෙරටට ගැළපෙන පිරිමැසුම්දායක ආහාර රටාවක් කෙරෙහි අවධානය යොමු කරමින් කොස් ආදී ගහ කොළ සිටුවීමේ වැදගත්කම පහදමින් මෙතුමා ගමින් ගමට ගොස් ඇත. නිදහසින් පසුව ගතවූ මුල් දශකයක පමණ කාලය තුළ මියෙන තෙක්ම මෙරට තුළ කොස් වගාව ව්‍යාවප්ත කිරීම උදෙසා ඉමහත් අවංකභාවයෙන් කටයුතු කොට ඇති හෙයින් ආතර් වී දියෙස් මහතා කෘතවේදී ජනයාගේ මතක මං මත කොස් මාමා ලෙසින් අද ද ජීවමානය. මේ උදාව ඇත්තේ ඔහු ගිය මඟ යළි යා යුතු අවදියම බව නොකියමනාය.

දියෙස් මහතා සිය නිවසට පැමිණෙන ඕනෑම අයකුට කොස් පැළ හෝ කොස් ඇට ලබාදීමට කටයුතු කොට ඇති බව වාර්තා වේ. ගිය සෑම ගමකින්ම බීජ වර්ග එකතු කොට ගෙනැවිත් ගෙවත්තේ පැළ තවාන් ඇති කොට මෙතුමා නිවසට පැමිණි හැමට පැළ බෙදීමට ක්‍රියා කොට තිබේ. මගුල් ගෙවල් ආදී උත්සව අවස්ථාවලදී කොස්වලින් සාදා ගත් රසවත් කෑම හඳුන්වා දීමටද දියෙස් මහතා මූලික වී ඇත. තැපෑලෙන් කොස් බීජ යැවීමට කටයුතු කොට ඇති එතුමා දහඅට මසකින් ඵල දරන කොස් වර්ගයක් මලයාසියාවෙන් මෙරටට ගෙන්වා හඳුන්වා දීමට ප්‍රමුඛ වී ඇත්තේ කවර හෝ ලාභ අපේක්ෂාවකින් හා සම්මාන, උපහාරවලින් තොරවය. ගම් නගර සිසාරා යමින් කොස් ආදී දේශීය ආහාර සුරක්ෂිතතාවට පාදක වන වගාවන් පිළිබඳව ප්‍රජාව දැනුම්වත් කිරීමට ඔහු ගෙන ඇති වෑයම අතිමහත්ය. 1918 වර්ෂයේදී ඇරඹි එතුමාගේ මේ මාහැඟි වෑයමට ඉකුත් වසරේ ජුනි මස 11 වැනි දින වන විට වසර සියයක් සම්පූර්ණ විය. කොස්, පොළොස් කන නිරෝගී මිනිසුන් සිටි එදවස වෙත යළි පිවිසෙන්නට නැවතත් කාලය එළැඹ තිබේ. ඒ සඳහා අවැසිව ඇත්තේ චින්තන විප්ලවයක් පමණි.

[ඩබ්ලිව්. ප්‍රදීප්] තඹුත්තේගම විශේෂ

මාතෘකා