ඉඩම් අයිතිය ගැන සිහින දකින්ෙන්

 ඡායාරූපය:

ඉඩම් අයිතිය ගැන සිහින දකින්ෙන්

ශ්‍රී ලංකාවේ ඉඩම්වලින් බහුතරයක් රජය සතුය. අඛණ්ඩවම මධ්‍යම රජයේ අයිතිය යටතේ පවතින රජයේ ඉඩම් භාවිතය සඳහා පුද්ගලයන්ට හෝ පවුල්වලට 1935 රාජ්‍ය ඉඩම් ආඥා පනත යටතේ සහ 1947 ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බලපත්‍ර හෝ ප්‍රදානයන් ලෙස ලබා දී ඇත.

බලපත්‍ර ලාභියකුට යම් නිශ්චිත ඉඩම් කොටසක් කෘෂිකාර්මික හෝ නේවාසික කටයුත්තක් සඳහා භාවිතා කිරීමේ අයිතිය ඇති අතර කාලයකට පසුව මෙම ඉඩම් කොටස ප්‍රදානයක් ලෙස ලබා ගැනීම සඳහා ඉල්ලීම් කළ හැකිය. 2006 සිට 2009 දක්වා පැවති යුද ගැටුම් හේතුවෙන් ඉඩම් පිළිබඳ ප්‍රශ්න ඉස්මතු විය. යළි පදිංචිය සඳහා ඔවුන්ට නිවාස ඉතිරිව නොතිබිණි. ගොවිතැන් බිම් විනාශ වී තිබිණි. බොහොමයක් රජයේ ගොඩනැඟිලි නටබුන් තත්ත්වයට පත් විය. දේපළ, ඉඩම්, පිළිබඳව පැවති ලිපි ලේඛන විනාශ වීමෙන් ජනතාව සතු ලියකියවිලි නොමැතිවීම නිසා, ඔවුන්ගේ ඉඩම් අයිතිය පිළිබඳ කතා කිරීමට ඔවුන්ට අවස්ථාවක් නොලැබිණි. තම අයිතිය සනාථ කිරීම සඳහා හැකියාවක්ද මුල් හිමිකරුවන්ට නොවීම හේතුවෙන්, මහත් දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවිය. අවතැන්ව සිටි ජනතාව තමන් පදිංචිව සිටි මුල් බිම්වලට යාමට අවස්ථාවක් කර ගත්තද, අවතැන් ජනයා අතරින් සැලකිය යුතු පිරිසක් සඳහා තවමත් ඉඩම් හිමි වී නොමැත.

මඩකලපුව - වාලච්චේන, වාකනේරි, මාන්කුලම ගමේ පදිංචි මොහොමදු ලෙබ්බේ අබ්දුල් හෆීස් මහතා සමඟ කළ කතාබහේදී ඔහු මෙසේ පැවසුවේය.

"මම 1970 ඉඳලා වාකනේරි කියන ගමේ පදිංචිකරුවෙක්. මේ ප්‍රදේශයේ පළවෙනි බේකරි හිමියා මම. මම ව්‍යාපාර කටයුතු කරගෙන ගියේ මගේ සහෝදර සහෝදරියන් සමඟ. ඔවුන් පදිංචි වෙලා හිටියෙත් මේ ප්‍රදේශයේමයි. ඔවුන් පාසල් ගියේත් මෙහි තියෙන පාසල්වලට. ඒ කාලේ පවුල් පනහක්, හැටක්, විතර මේ ප්‍රදේශයේ හිටියා .

“අපි පදිංචි මැතිවරණ කොට්ඨාශය කල්කුඩා; ග්‍රාම නිලධාරී වසම 210 වාකනේරි. මේ වසම අයත් වෙන්නේ කෝරළේපත්තුව දකුණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. තවමත් මගේ ඉඩම් ඇතුළු අනෙකුත් සියලු දෙනාගේම ඉඩම් "වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව" විසින් අත්පත් කරගෙන ඉන්නවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සීමා මායිම් යොදාගෙන තියෙනවා. මං දැනට පදිංචි වෙලා ඉන්නේ මගේ නෝනගේ මහගෙදර. මම දැන් වකුගඩු රෝගයෙන් පෙළෙනවා. මට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. මම හෙට අනිද්දා මැරුනොත් මේ දරුවන්ගේ අනාගතය පිළිබඳ මට ලොකු බයක් දැනෙනවා. මේ සම්බන්ධව මම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට, ඉඩම් කොමසාරිස් කාර්යාලයට දැනුම් දුන්නා. නමුත් මට තවමත් විසඳුමක් ලැබිලා නෑ. මම ඉල්ලා සිටින්නේ මං මැරෙන්න කලින් මගේ ඉඩම් අයිතිය ලබා දෙන්න කියලා.”

මේ ප්‍රදේශයේ වසර ගණනාවක් පදිංචිව සිටි මුතුකුට්ටි කංකානම්ගේ මධුරාවතී සෝමදාස එක්දාස් නවසිය හැට නවයේ (1969) සිට වාකනේරි 210 ග්‍රාමසේවා වසමෙහි කෝරළෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ පදිංචිව සිට ඇත. පැවති යුද්ධය හේතුවෙන් ඔවුන් මෙම ප්‍රදේශය අතහැර ගොස් ඇත්තේ 1987 වසරේදිය. වාලච්චේන පොලිසියේ සුළු පැමිණිලි අංශයේ CIB/382/ 84 අංකය යටතේ පැමිණිල්ලක් දමා ඔවුන්ගේ පවුල වෙනත් ප්‍රදේශයකට පදිංචියට ගොස් ඇත. යුද්ධයෙන් පසු 2014 වසරේදී නැවත පදිංචියට පැමිණියද ඔවුන් සතු ඉඩම් වෙනත් අය හිමිකරගෙන තිබිණි. ඇයට අහිමි වූ ඉඩම් පිළිබඳව ඇය මෙලෙස කියා සිටියාය.

"එක දවසක් අපි ගෙදරින් ඉද්දී කොටි සාමාජිකයන් පිරිසක් අපේ ගෙදරට ඇවිත් කීවා ‘මේ පවතින තත්ත්වය නිසා ඔයගොල්ලොන්ට තවදුරටත් මෙහි ඉන්න බැරි වේවි. ඒ නිසා ආරක්ෂාව තියෙන පැත්තකට යන්න’ කියලා.

“ඒත් ඒ වෙද්දි මම වැඩ කළේ නාවලඩි විද්‍යාලයේ. මගේ ස්ථාන මාරුව හදාගන්න මම ලොකු වෙහෙසක් ගත්තා. ඒත් බැරි වුණා. මගේ මාරුව හදාගන්න විදිහක් නැති නිසා මම තව අවුරුද්දක් මෙහේ රැඳුණා. මගේ දරුවෝ මං ගම්පහ ප්‍රදේශයේ පාසලකට ඇතුළු කළා. ඒ අය මගේ ඥාතීන්ගේ නිවෙස්වල නතර කළා. පස්සේ මම 1989 ජනවාරි මස 18 වැනිදා මතු ආරක්ෂාව සඳහා වාලච්චේන පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. ඒ තාවකාලිකව ඉඩම් අතහැරලා ඉවත් වෙනවා කියලා.

“මට ලැබුණු ලිපියකට අනුව මං 2014දි පදිංචියට ආවා. යුද හමුදාවේ සේවය කළ කපිතාන් ආරියරත්න කියන මහත්තයා මට ලියුමක් එව්වා. මගේ ඉඩම වෙනත් අය අල්ලාගෙන කියලා. මම 1969 ඉඳලා අක්කර පහහමාරක විතර භූමි භාගයක් තිබුණා. ඒත් මට ඒ සියල්ල තවමත් ලැබුණේ නෑ. පොඩි ඉඩම් කැබැල්ලකට පමණක් මේ වෙද්දි බලපත්‍ර ලැබිලා තියෙනවා. ඉඩම් පාලන දෙපාර්තමේන්තුවෙන් කෝරළේපත්තුව ප්‍රාදේශීය ලේකම් වෙත ලිඛිතව දැනුවත් කරලා තියෙනවා මගේ ඉඩමේ ප්‍රශ්නය විසඳලා දෙන්න කියලා. ඒකෙ කොපියක් මේ වෙද්දිත් මට තියෙනවා. ඒත් තවමත් මගේ ඉඩම් ප්‍රශ්නය විසඳිලා නෑ."

නාවල ප්‍රදේශයේ පදිංචි ෆවුමි මහත්මිය ඇයට ඇති ඉඩම් ප්‍රශ්නය පිළිබඳව මෙලෙස පැවසුවාය.

“මට පෞද්ගලිකව මගේ පවුලේ ගැටලු තිබුණා. මගේ ඉඩකඩම් වෙනත් අය අල්ලගෙන. ඉඩම්වල අයිතිය පිළිබඳව කතා කළාම ආයතනවල වැඩ කරන නිලධාරීන් රාජකාරිවලින් එහාට ගිහින් තමන්ගේ හිතවත්කම් මත ඉඩම් පැවරීමේ කටයුතුවල නිරත වෙනවා. ඒ වගේ වෙලාවට අපි බොහොම අසරණයි.

“මම මෙහේ පදිංචි වෙලා ඉද්දිත් මේ වගේ අසාධාරණකම් වෙනවනම් නැවත පදිංචි වන අයට මොනතරම් අසාධාරණකම් වෙනවා ඇත්ද? රජයේ කාර්යාලවල සේවය කරන නිලධාරීන් බහුතරයක් දෙනා තමතමන්ට අවශ්‍ය විදියට, තමතමන්ගේ හිතවත්කම්වලට ඉඩම් බෙදා දෙනවා.”

ඒ පිළිබඳව අප කළ විමසුමකදී වාලච්චේන කොරලේපත්තුව ප්‍රාදේශීය ලේකම් එස්. එච්. මුසම්මිල් මහතා මෙසේ පැවසුවේය.

"යුද්ධයෙන් පස්සේ අත්පත් කරගත්තු ඉඩම් හමුදා පාලනය යටතේ තිබුණේ. යුද්ධයෙන් පීඩාවට පත්වූවන්ට නැවත ඉඩකඩම් ලබාදීමේදී බොහෝ දෙනකුට ඉඩම් ලැබිලා තියෙනවා. අනෙකුත් අය සඳහා ඉඩම් ලබාදීමට අවශ්‍ය වැඩ කටයුතු අපි මේ වෙද්දි සම්පාදනය කරමින් ඉන්නේ.”

නැඟෙනහිර පළාතේ ඉඩම් ප්‍රශ්නය තවමත් විසඳී නොමැති බව ඔවුන්ගේ කතාවලින් පැහැදිලිය. උතුරු පළාතේද යුද්ධයෙන් පසුව ඉඩම් ප්‍රශ්න තවමත් විසඳී නොමැත. මේ සඳහා බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුව තිබේ.

[චාන්දනී දිසානායක]

මාතෘකා