රෑන ගිරව් සිනමාපටයේ සැබෑ චරිත සොයා මානෑවට ගමනක්

 ඡායාරූපය:

රෑන ගිරව් සිනමාපටයේ සැබෑ චරිත සොයා මානෑවට ගමනක්

වනන්තරේ වෙනසක් නෑ පෙම් සිතුවිලි පෑදේ - හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ

“මට යන්තම් මතකයි ගාමිණී ෆොන්සේකා මහත්තයා එහෙම ඇවිල්ලා චිත්‍රපටය ගහපු හැටි. කෙල්ලට රඟපෑවේ විජිත මල්ලිකා. ඒ කාලේ හිටපු ලස්සනම නිළියක්. කැමරා උස්සගෙන මහ පිරිසක් ඇවිල්ලා කරපු වැඩේ ගම්මැදිවල අපිට ඒ කාලේ හරි ලොකු දෙයක්. නිතරම අපි ඒ පස්සේ වැටිලා හිටියේ." විමලසේන මහතා පැවසුවේය.

ඒ හැටේ දශකයේ මුල භාගයයි. ඔහු නමින් ටිකිරි බණ්ඩාය. ඇය බණ්ඩාර මැණිකාය. කිරි වැදී පැසී එන බඩඉරිඟු යාය මැදින් මතුව පෙනෙන බණ්ඩාර මැණිකාගේ රුව දකින හැම වාරයක් පාසාම ටිකිරිගේ හිත කාටත් රහසේම නොසන්සුන් වෙයි. හිරිගඩු පිපෙන සීතල දුරුතු මහේ ගෙවී යන හැම රාත්‍රියකම, ඒකපාර්ශ්වික ප්‍රේමයක් දඬු වැටටත් හොරා ඔහු හිත පුරා දළුලා වැඩී ඇත. ඒ මහා කඳු සිරසටත් වඩා විසල් වු ප්‍රේමයක් ඛේදවාචකයකින් අවසන් වීමට ආරම්භය සැකසුණේ එලෙසින්ය.

මානෑව කඳු යායට යාබද මුළු ගමටම හව්හරනට ඇති වැව් දියෙන් මතුව පෙනෙන සුදු නෙළුම් යායක් සිහිං සුළඟට ආවඩමින් හිඳියි. කවරදාකවත් සිඳී නොයන මානෑව වැව් කොමලියගේ අප්‍රමාණ වු ප්‍රේමයට මේ විසල් කඳු සිරසෙන් සැලසෙන්නේ සුළුපටු රැකවරණයක් නොවේ. යාබද මානෑව ගම් පියස මින් දශක කිහිපයකට මත්තෙන් සසල කළ අනුවේදනීය පෙම් පුවතෙහි තතු විමසීමේ අරමුණ මසිතෙහි පොදිකමින් තිබේ. මානෑව ගම්වාසී හැට අට වියැති ආර්. බී. ඩී. විමලසේන මහතා පැවසූවේ මෙවැනි කතාවකි. ඔහු පවසන අන්දමින් බණ්ඩාර මැණිකා ඔහුගේ ලොකු අම්මාගේ දියණියයි.

"අතුරුදන් වෙලා අවුරුදු හතරකට පස්සේ තමයි ගමේ මිනිස්සු දැනගෙන තියෙන්නේ කෙල්ලටයි, කොල්ලටයි මොකද වුණේ කියලා. අනුරාධපුරේ දිසාපති කන්තෝරුවේ පිටින් ආපු මහත්තුරු කට්ටියක් විනෝදෙට මේ කන්දට නැඟලා තියෙනවා. එතකොට තමයි කන්ද මුදුනට වෙන්ඩ තියෙන තැනිතලාවක තිබිලා ඇට සැකිලි දෙක දැකලා තියෙන්නේ. අතේ දාපු වළලු, කරාබු දෙකක්, තුවක්කුවක්, පිහියක්, පතරොං එහෙමත් තිබිලා තියෙනවා. පස්සේ මේ කතාව අල්ලලා හදපු චිත්‍රපටියේ ඔය සිද්ධිය නෑ. වෙඩි තියලා කෙල්ල අරගෙන යනකොට චිත්‍රපටය ඉවර වෙනවා.”

මෙපුවත පාදක කොටගෙන සිනමාවේදී ධර්ම ශ්‍රී කල්දේරා සිනමාවට නැඟූ "රෑන ගිරව්" චිත්‍රපටයේ දසුන් පෙළක් පසුබිමින් ආචාර්ය අමරදේවයන් සමඟ නන්දා මාලනිය ගැයූ ගීයක පද මා මනසේ මතුව එන්නට විය. මම මොහොතක් නැවතුණෙමි. වැවට ඔබ්බෙන් ඇති හේන් යායේ උඩ පැළ දෙසින් කිසිත් නොදොඩාම අඳුර මෝදුවෙමින් තිබේ.

එප්පාවල - කැකිරාව ප්‍රධාන මාර්ගයේ එප්පාවල නගරයේ සිට කිලෝ මීටර් 20ක් පමණ පැමිණි පසු හමුවන මානෑව හන්දියේ සිට වම් පසින් ඇති අතුරු මාර්ගයෙන් පිවිස, සැතපුම් තුනක් පමණ ආ විට ඉපැරණි මානෑව ගම්මානය හමුවේ. මානෑව කඳු පාමුල පිහිටි මහානාම රජදවස ඉදිව ඇතැයි සැලකෙන මාලිගාවක නටබුන් මෙම රජ දවස දක්වා දිවෙන ඉතිහාසයක් මෙම ගම්මානයට ඇති බව පෙන්වයි. ඉපලෝගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටි මෙම ගම්මානයෙහි වැසියන්ගේ එවක පටන්ම ප්‍රමුඛ ජීවනෝපාය වී ඇත්තේ ගොවිතැනය. දශක පහකට මත්තෙන් ගම සසල කර වැළලී ගිය අතීතය යළි සිහිපත් කළ ගම්වාසී වැඩිහිටියකු වන එම්. පී. මෛත්‍රීපාල රාජකරුණා මහතා පැවසූයේ මෙවන් කතාවකි.

"ඔය පවුල් දෙක එක ළඟ ගෙවල් දෙකේ ඉඳලා තියෙන්නේ. එකම හේන තමයි දෙකට බෙදාගෙන ගොවිතැන් කරලා තියෙන්නේ. ඒ තරම් ලොකු බැඳීමක් පවුල් දෙකේ තිබිලා තියෙනවා. අපේ අම්මලා අපට කියපු විදියට ටිකිරි බණ්ඩා බොහෝම හැඩි දැඩි, කාටවත් බය නැති කොල්ලෙක්. හැබැයි කාටවත් වරදක් තිබිලත් නෑ. නිතරම තුවක්කුව අතේ තිබිලා තියෙනවා. කෙල්ලත් හරි හැඩට ඉඳලා තියෙනවා. මේ සිද්ධිය වෙනකොට කෙල්ලට අවුරුදු 20කුත්, කොල්ලට අවුරුදු 22කුත් වෙන්ඩ ඇති කියලා අම්මලා කියන්නේ."

කිසිවකුටවත් නොනැමෙන, කඩවසම් ටිකිරි පිළිබඳ හැඟීමෙන් මැණිකාගේ තුරුණු සිතද පිරී යන්නට විය. ඒ වන විටත් ඔහු ඇයට පෙම් බැඳ තිබිණි. දෙදෙනා තම තමන්ගේ අදහස් එකිනෙකා වෙත පවසා තිබේ. එහෙත් අවසානය ඔවුන්ගේ ප්‍රේමය තරම් සුන්දර නැත.

ඒ ගැන අපට පැවසුවේ ආර්. ඩී. බී. විමලසේන මහතාය.

"මොකද වුණේ කියන්නේ කොහොම හරි දෙන්නගේ සම්බන්ධයට කෙල්ලගේ අයියා කැමති වෙලා නෑ කියලා තමයි කියන්නේ. මොන හේතුවකට අකමැති වුණාද කියන්ඩ දන්නේ දෙයියෝ විතරයි. ඒත් එතැනින් පස්සේ තමයි හැම විපතක්ම වෙන්ඩ අරන් තියෙන්නේ. කොහොම හරි අවසානේ කොල්ල කෙල්ලට පැනලා යන්ඩ කතා කරලා තියෙනවා. ඒත් කරුමේ කියන්නේ එච්චර ආදරෙන් හිටපු ගෑනි ඒකට කැමැති වෙලා නෑ."

"මැණිකා යමු මාත් එක්ක." ඇය කෙරෙහි වූ අප්‍රමාණ බැඳීම නිසාම, තමාටත් නොදෙවැනිව ඇය ඇදහූ නිසාම ටිකිරි බණ්ඩා, බණ්ඩාර මැණිකාට ආයාචනය කරන්නට විය.

"මට අයියලා, අම්මලා කියන දේකට පිටින් යන්ඩ බෑ. අයිය හිත හදාගන්ඩ..." රැයක් දවාලක් නොමැතිව හඬා වැටුණු හිත දැඩි කොටගත් බණ්ඩාර මැණිකා පැවසුවාය.

"එතකොට නගා එන්නෙම නෑ." ටිකිරි බණ්ඩා අවසන් තීන්දුව යළි විමසුවාය.

"මට බෑ අයියා." අවසිහියෙන් මෙන් කියැවුණු ඒ වදන් විසල් විපතකට මඟ පාදාවී යැයි ඇය සිහිනෙන් හෝ නොසිතන්නට ඇත.

ටී.බී. මුදියන්සේ මහතා ඉන් පසු සිදු වූ දේ අප සමඟ පැවසුවේ මෙසේය.

"ටිකිරි බණ්ඩා ඇවිත් බණ්ඩාර මැණිකෙගේ අම්මටයි, තාත්තටයි, බාප්පටයි, අයියටයි වෙඩි තියලා තියෙනවා. ඒකෙන් අම්මයි, තාත්තයි, බාප්පයි එතැනම මැරිලා තියෙනවා. අයියගේ අතකට වෙඩි වැදිලා තියෙන්නේ. ඒ මනුස්සයා කොහොම හරි බේරිලා දුවලා තියෙනවා. දැන් මනුස්සයාත් නැතිවෙලා සෑහෙන කාලයක්. ඒ වෙලාවෙම කෙල්ලව අරගෙන ගිහිල්ලා තියෙනවා. එක එක ආරංචි ආවා. අහවල් තැන, අහවල් ගමේ ඉන්නවා වගේ ආරංචි. ඒත් අවුරුදු ගාණක් යනකම් දෙන්නට මොකද වුණේ කියලා කාටවත් හොයාගන්ඩ හම්බ වුණේ නෑ. පස්සේ තමයි ඔය කන්දේ තිබිලා ඇටසැකිලි දෙක හම්බ වෙලා තියෙන්නේ. මිනිස්සු කියන්නේ කෙල්ලවත් මරලා කොල්ලා වෙඩි තියාගන්ඩ ඇති කියලා. පුරාණ ගම තිබ්බේ දැන් ඔය වෙල් යායයි, හේන් යායයි තියෙන හරියේ. පස්සේ තමයි මිනිස්සු ගම මැදට වෙන්ඩ ගෙවල් හදාගෙන පදිංචි වෙලා තියෙන්නේ. ඔය සිද්ධිය වෙලා තියෙන්නේ වැව පාමුල තිබ්බ පුරාණ ගම් මැද්දේ. අදත් වැව පාමුල තියෙන සොහොන් පරණ කනත්තේ හදපුවා. ගම්මැද්දේ පන්සල ඒ කාලේ ඉඳන්ම තිබිලා තියෙනවා. අදත් මේ ගම ගැන කිව්ව ගමන් මිනිස්සු මතක් කරන්නේ මේ සිද්ධිය. චිත්‍රපටි කතාවෙන් පස්සේ ප්‍රසිද්ධිය තවත් වැඩිවුණා."

විටෙක මුළු ලොවම දිනාදෙන ප්‍රේමය තවත් විටකදී සියල්ල සැනෙන් උදුරා දමනුයේ සොබාදහම එයම වග මොනවට පසක් කරමිනි. ඒ යථාර්ථය වටහා ගැනීමේ ප්‍රමාදය හේතුවෙන්ම අතීතය නැවත අලුත් වෙමින් තිබේ. ටිකිරිගේත්, බණ්ඩාර මැණිකාගේත් පෙම් පුවත ඒ සඳහා එක් නිදසුනක් පමණක්මය. ඒ අතීත මං මතින් නික්මී මානෑව ගම්මැද්ද මැදින් මම යළි එන්නට වීමි. දැන් සියල්ල සංසුන් වී ඇත. තවත් මද වේලාවකින් උදාවනු ඇත්තේ සඳරැස් අඳුර මත නේක රූ රටා මවන රාත්‍රියයි. එහෙත් හැමට රහසේ මේ විසල් කඳු සිරස ළසෝ ගී ගයන්නාක් මෙන්ය.

“ඔබ මා සමඟ අතිනත ගන්නා දවස
මේ මහා කන්ද බැලුවා හිඳ ගම සිරස
ඔබ මා අතෑර වෙන නුවරක ගිය විගස
මේ මහා කන්ද බැලුවා හොරැහින් මදෙස”

 

තඹුත්තේගම විශේෂ - [ඩබ්ලිව්. ප්‍රදීප්]

මාතෘකා