දෙවියන් නිසා නම ලැබුණු කීර්තිබණ්ඩාර පුර

 ඡායාරූපය:

දෙවියන් නිසා නම ලැබුණු කීර්තිබණ්ඩාර පුර

දෙවියන් නිසා නම ලැබුණු අපුරු හන්දියක්, මහනුවර සිට අධිකාරිගම හරහා බදුල්ල දක්වා දිවෙන රජමාවතේ පන්නල කීර්තිබණ්ඩාරපුර ප්‍රදේශයෙදී හමු වෙයි. වලපනේට පිවිසීමට ඇති මෙම ප්‍රධාන හන්දිය කිර්තිබණ්ඩාරපුර හන්දිය නමින් හැඳින්වෙයි. වලපනේට මෙන්ම රාගල, නුවරඑළිය, නිල්දණ්ඩාහින්න ආදී බොහෝ ප්‍රදේශයන්ටද මෙම හන්දියෙන් පිවිසිය හැකිය. වලපනේ ප්‍රදේශයට අධිගෘහිත දෙවියන් ලෙස සැලකෙන කීර්තිබණ්ඩාර දෙවියන්ගේ මුලස්ථානය නැතහොත් ප්‍රධාන දේවාලය මේ හන්දියේ පිහිටා තිබීම නිසාම එයට කීර්තිබණ්ඩාරපුර යන නම හිමි වී ඇත.

ජලයට යට වූ ගම්බිම්

අතීතයේ කීර්තිබණ්ඩාර දෙවාලය සැරසුම් තැන්නේ ගල් කොටුවේ පැවති අතර එක්දහස් නවසිය අසූ හයේ රන්දෙණිගල ජලාශය ඉදිකිරීමත් සමග මෙම ගම් බිම් ජලයට යට වූ නිසා එය දෙවාලය මෙම හන්දියේ ස්ථාපනය කරන ලද්දේ අමාත්‍ය ගාමිණී දිසානායක මහතා විසිනි. එසේම මෙම ව්‍යාපෘතිය මගින් මහනුවර සිට බදුල්ල දක්වා අධිකාරිගම හරහා රජ මාවත ඉදිකිරීමත් සමග බදුල්ල දෙසට මෙන්ම වලපනේ දෙසට මාර්ග බෙදී යන ප්‍රධාන තුම්මං හන්දිය වන්නේද මෙම හන්දියයි. හන්දියේ එක් පසකින් මාර්ගයට ඉහළින් කීර්තිබණ්ඩාර දෙවාලය ඉදි කොට ඇත.

බිසෝවරු හත්දෙනා

කීර්තිබණ්ඩාර දෙවියන්ගේ බිහිවීම පිළිබදව අපූරු ජනප්‍රවාදයක් මෙම ප්‍රදේශයේ පවතියි. මහනුවර රජ කළ කීර්තිසිංහ නම් රජුහට බිසෝවරුන් හත්දෙනෙකු සිට ඇති අතර එම බිසෝවරුන්ගේ මුල්ම බිසවගේ පුත් කුමරා කිරිබණ්ඩා නම් විය. මෙම බිසෝවරුන් අතර තමන්ට දාව උපන් කුමරුන්ට රජකම ලබා දීම සදහා රහසිගත තරගයක් ඇති විය. අනෙක් බිසෝවරුන්ගේ ගතු කීම් නිසා රජු කිරිණ්ඩා කුමාරයා කටපත්තලට පිටුවහල් කරයි. පසුව ගුරුදෙණියට පිටුවහල් කරනු ලබන අතර එහිදී කුමාරයා වෙල්යායක් අස්වද්දයි. අනෙක් බිසෝවරුන්ට හිතවත් ඇමතිවරුන් කිරිබණ්ඩා රජකම ලබා ගැනීමට උත්සාහ කරන බවට රජතුමාට කේලාම් කිම නිසා ඔහු එතැනින් දනගමුවට පිටුවහල් කෙරෙයි.

දේවත්වයට පත් රජ කුමරා

කීර්තිබණ්ඩාර දෙවාලයේ වත්මන් කපුමහතා වන ධර්මසිරි බණ්ඩාර මහතා දේව උත්පත්තියේ පුරාවෘත්තය අපූරුවට විස්තර කරයි.

"කිරිබණ්ඩා කුමාරයා දනගමුවට පිටුවහල් කළාට පස්සෙ එහේ තිබුණ වේලයායත් අස්වද්දනවා. ගොයම පැහීගෙන එනකොට මුලදි වගේම ඇමතිවරු රජ තුමාට කේලාම් කියනවා. මේපාර රජතුමාත් ඇමතිවරු දෙන්නෙක් එක්ක එනවා මේ අස්වද්දපු වෙල් යාය බලන්න. ඒ ඇවිත් රජතුමා ලස්සනට පීදිලා තිබුණ මේ වෙල්යාය කුමාරයාගෙන් ඉල්ලනවා. ඒ වෙලාවේ කුමාරයා එතන තිබ්බ ගල පෙන්නලා කියනවා, මේ ගලෙන් පහළට දැම්මත් කුඹුරනම් දෙන්නේ නැහැ කියලා. රජතුමා ඇමතිවරු දෙන්නාට නියම කරනවා කුමාරයාව ගලෙන් පහළට දාන්න කියලා. ඉතින් ඇමතිවරු දෙන්නා කුමාරයාව අල්ලගෙන කන්ද මුදුනට ගිහින් පහළට දාන්න හදනකොට කුමාරයා මේ ඇමතිවරු දෙන්නාවත් අල්ලගෙනම ගලෙන් පහළට පනිනවා.

"පස්සේ රජතුමා, ඇමතිවරු ආපු නැති නිසා ඇතින්න පිටේ යනවා ඇමතිවරු බලන්න. ඒ වේලාවේ මේ ඇතින්න ගලක් බවට පත්වෙනවා. එත් එක්කම එතනට එක ගොපළු කොල්ලෙක් කියනවා මේ කිරිබණ්ඩාගේ වැඩක් තියලා. පස්සේ රජතුමා ඒ වේලාවේ ඉනේ බැඳගෙන හිටිය රන් පටිය ගලවලා ළග තිබුණ තෙළඹු ගහේ ගැටගහලා එතන තිබුණ පොරුවාගලෙන් ගලක් අරගෙන ඒකට අතේ තිබුණ ආයුදය හේත්තු කරලා පොරොන්දුවක් දෙනවා, උඹට මගෙ රටවැසියන්ගෙන් අවුරුද්දක් පසා බාර හාර දෙනවා කියලා. එදා ඉදලා තමයි කිරිබණ්ඩා කුමාරයා කිර්තිබණ්ඩාර දෙවියන් බවට පත්වෙන්නේ."

අදටත් මෙම හන්දිය පසුකොටගෙන යන බොහෝ දෙනෙකු දෙවියන් වැඳ පඬුරු දමා යෑමට පුරුදුව ඇත්තේ කිර්තිබණ්ඩාර දෙවියන්ගේ අනුහස ගැන විශ්වාසයෙනි.

සටනට සැරසුණු සැරසුම් තැන්න

සැරසුම් තැන්න ඓතිහාසික වශයෙන් ඉතා සුවිශේෂී ස්ථානයකි. 1818දි ඌව වෙල්ලස්ස සටනට උරදුන් විරුවන් සටනට සුදානම් වු ස්ථානය සැරසුම් තැන්න වූ බව සැලකෙයි. එසෙම මෙම සටනින් පසු සැනසුණ තැන සැරසුම් තැන්න වූ බවද කියති. එදා බදුල්ල මාර්ගය සැරසුම් තැන්න ආසන්නයෙන් තිබී ඇත. එසේම දුටුගැමුණු රජතුමාද තම සටනට සැරසී ඇත්තේ සැරසුම් තැන්නේදීය. අතීතයේ කීර්තිබණ්ඩාරපුර හන්දිය ආශ්‍රිත ප්‍රදේශය පන්නල ග්‍රාම නිලධාරී වසමට අයත්ව තිබු අතර හන්දිය ආසන්න ප්‍රදේශයේ සැරසුම් තැන්න පිහිටා තිබුණි. සැරසුම් තැන්නට තම නිජබිම අහිමි වුයේ රන්දෙණිගල ජලාශයට ගම් බිම් යට වීම නිසාය.

තවලමෙන් වී ඇද්ද හිටපු ජනපති

"ඉස්සර මෙතනට කිව්වෙ බොරලැස්ස කියලා. නාරංතලාව හන්දියේ ඉදලම පහළට පයින් තමයි එන්න ඔනේ. ඉස්සර සෙනට් සභවේ හිටපු සභාපතිවරයෙක් වුණ විජේබාහු විජේසිංහ මහත්තයාගේ කුඹුරක් තිබුණා දනගමුව වෙල්යායේ. ඒ දවස්වල කුඹුර කැපුවම වී ගෙනියන්න එන්නේ හිටපු ජනාධිපති ඩී. බී. විජේතුංග මහත්තයා. එයා බලගහාරුප්පට වාහනෙන් ඇවිත් එතන ඉඳලා දනගමුවට පයින් තමයි යන්නේ. වි ටික තවලමෙන් වාහනේ ළගට අරන් එනවා. කීර්තිබණ්ඩාරපුර හන්දිය ආසන්නයේම දිවි ගෙවන විශ්‍රාමික ග්‍රාම නිලධාරියෙකු වන වීරසිංහ මහතා පවසයි.

සැරසුම් තැන්නට පාර කැපූ හැටි

අතීතයෙදී කීර්තිබණ්ඩාරපුර හන්දිය බොරලැස්ස හන්දිය වශයෙන් හදුන්වන ලද අතර මාර්ග පහසුකම් තිබී ඇත්තේද බොරලැස්ස හන්දිය දක්වා පමණි. අද මෙන් මහනුවර සිට බදුල්ල දක්වා අධිකාරිගම හරහා දිවෙන රජ මාවත එකල ඉදි කොට තිබි නැත. වලපනේ හිටපු නියොජ්‍ය අමාත්‍යවරයෙකු වන ටී.බී.එම්. හේරත් මහතා යුද හමුදාවේ සහාය මත බොරලැස්සේ සිට සැරසුම් තැන්න දක්වා මාර්ගය ඉදි කළ අතර, එහිදී පස් කපන යන්ත්‍රයෙන් පථම පස්පිඩැල්ල හිටපු යුද හමුදාපති රිචඩ් උඩගම මහතා කැපු අයුරු වීරසිංහ මහතාට අද මෙන් මතකය. එදා අද මෙන් හන්දියේ කඩ සාප්පු තිබී නැත. තිබුණ එකම කඩය 'බේලෙක් කඩේ' නමින් හඳුන්වා ඇත.

අවසන් අවුරුදු උත්සවය

"අවුරුදු තිස් හයක් මම වැඩ කළා ඒ දවස්වල මගේ වසම තමයි පන්නල. පන්නල දැන් ග්‍රාම නිලධාරී වසම් හයකට කඩලා තියෙන්නේ. රන්දෙණිගල ඩෑම් එක හදනකොට මම වැඩ කළේ මෙහේ. ඒ දවස්වල සැරසුම්තැන්න ගොඩාක් දියුණු මට්ටමක තිබුණේ. ඒ අය එතනින් අයින් කරන්න ඉස්සරලා මම ධනපාල රාලහාමිත් එක්ක එකතුවෙලා ඒ අයට ලොකු අවුරුදු උත්සවයක් තිබ්බා. ඒක තමයි සැරසුම් තැන්නේ තිබ්බ අන්තිම අවුරුදු උත්සවය." වීරසිංහ මහතා අභිමානයෙන් පවසයි.

ජනාකීර්ණ නොවූ හන්දිය

මහවැලි ව්‍යාපාරයත් සමග කීර්තිබණ්ඩාරපුර ප්‍රදේශයට ඇඟලුම් කර්මාන්ත ශලා දෙකක්ද හිමිව ඇති අතර එය ප්‍රදේශයේ සංවර්ධනයට මහත් රුකුලක් බවට පත්ව ඇත. හන්දිය ආසන්නයේ වෙළද සැල් කිහියක් මෙන්ම බස් රථ නැවතුම්පළක් සහ පොලිස් මුර පොළක්ද පිහිටා ඇත. හන්දිය බොහෝ වට කාර්ය බහුල නොවන අතර අවට ප්‍රදෙශයේ තත්වයද එසේමය.

රටට වැලි දෙන හැටි

අපේ හන්දියෙන් තමයි දවසට වැඩිම වැලි ලොරි ගාණක් යන්නෙ. එවා රට වටේටම යනවා. සාමාන්‍යයෙන් දවසකට කියුබ් තුනේ වැලි ලොරි තුන්සිය පනහකට වැඩිය යනවා. ළග තියෙන ගාමන්ට් දෙකේ ළමයි එක්දහාස් දෙසිය පනහක් විතර වැඩ කරනවා. එක නිසා තමයි අපේ හන්දිය ගොඩාක් ප්‍රසිද්ධ. හන්දිය ආසන්නයේම දිවි ගෙවන විශ්‍රාමික විදුහල්පතිවරයෙකු වන සෙනෙවිරත්න මහතා පවසයි.

අලි වෙනුවට රිලව්

ඉස්සර නම් හන්දියට අලි අවා. දැන් අපට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි රිලව්. ඒ මදිවට දඬුලේනා. තව මොනරුත් ඉන්නවා. ඒ නිසා මෙහේ ජනජීවිතය කඩා ගෙන වැටිලා තියෙන්නේ. සමහරු ඒ සත්තු මෙහෙට ගෙනත්දලා. ඒ වගේ සත්තු ඉක්මනට බෝ වෙනවා. හන්දියේ ඇත්තන් මුහුණ දී ඇති ප්‍රධාන ගැටලුව සෙනෙවිරත්න මහතා පවසයි.

පිළිමය නෙළන තරුණයෝ

කීර්තිබණ්ඩාරපුර හන්දිය ඉස්මතෙන් පෙනෙන නාරංගල කඳු මුදුන ඓතිහාසික වටිනා කමක් ඇති එකකි. උඩරට කැරැල්ල පැවති කාලයේ මෙම කඳු මුඳුනේ සිට වලපනේට සංඥා ලබා දී ඇත්තේ ධජ ප්‍රදර්ශනය කරමිනි. මේ වන විට ඒ කඳු මුදුන ආශ්‍රිතව දකුණු ආසියාවේ විශාලතම සැතපෙන බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කිරිමට තරුණයන් කණ්ඩායමක් කටයුතු කරමින් සිටි. නාරංගල පූජාභුමි සංවර්ධන කමිටුවේ ලේකම් නලින් මහතා මෙම දැවැන්ත නිර්මාණය ගැන මෙසේ පවසයි.

"අපි රජයෙන් අක්කර පහක් නිදහස් කර ගත්තා මේ පූජා භුමිය නිර්මාණය කරන්න. අපි වෙසක් කලාපයක් කරලා ඒ හම්බවුණ සල්ලිවලින් තමයි මේ වැඩේ පටන් ගත්තෙ. අඩි 336ක් දිග, අඩි 76ක් උස, අඩි 60 පළල පිළිමයක් තමයි අපි හදන්නේ. ඒකකට රුපියල් කෝටියක් විතර යයි කියලා අපි හිතනවා. පළවෙනි අදියරෙදි අපි බේස් ටික උඩට ගේනවා එකටත් කෝටි දෙකක් විතර යනවා. වලපනේ නම ලෝකෙට ගෙනියන්නත්. වලපනේට සෙත ශාන්තිය උදාවෙන්නත් කියලා තමයි අපි මේක කරන්නේ. අපිට හැමෝම උදවු කරයි කියලා හිතනවා."

කීර්තිබණ්ඩාරපුර හන්දිය ආසන්නයෙන්ම බෙලිහුල් ඔය ගලා බසිනා අතර ඒ ආසන්නයේ ප්‍රාග් ඓතිහාසක යුගයට අයත් ලෙන් සිතුවම් සහිත ලිහිණියාගල රජ මහා විහාරයද දැක ගත හැක. දෛනිකව විශාල පිරිසක් මෙම හන්දිය හරහා ගමන් කළද හන්දිය කාර්ය බහුල නොවන්නේ ඔවුන් මෙහි නො රැඳෙන නිසාය.-

[චන්දන තිලක් ද සිල්වා]

මාතෘකා