කසළවලින් තොර සුන්දර මා ඔයක්

 ඡායාරූපය:

කසළවලින් තොර සුන්දර මා ඔයක්

මෙරට පිහිටි සුන්දර ගංගා ඇළදොළ වැඩි හරියක් මේ වන විට මිනිසාගේ නොහොඹිනා ක්‍රියාකාරකම් නිසා විනාශය කරා යමින් තිබේ. ඒ අතර කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ වන මා ඔයද මුල් තැනක තිබේ. 'මහ ඔය' නමින්ද හඳුන්වන මෙම ඔයට අයත් ප්‍රධාන අතු ගංගා අතර රඹුක්කන ඔය, හිඟුල ඔය, කුඩා ඔය, ගොඩිගමුව ඔය සහ දලගල්ල ඔය වේ. කිලෝමීටර් 130ක් දිගැති මා ඔයේ පෝෂක කලාපය වර්ග කිලෝමීටර 1538ක් පමණ වේ. වාර්ෂිකව මා ඔය ඔස්සේ ගලා බසින ජල ප‍්‍රමාණය ඝන මීටර් මිලියන 1485ක් පමණ බවද පැවසේ.

මහනුවර, කෑගල්ල, කුරුණෑගල, ගම්පහ සහ පුත්තලම දිස්ත‍්‍රික්ක හරහා ගලා බසින සුන්දර මා ඔය තුළින් ලක්ෂ දෙකක පමණ ජනතාවකට සෘජු ලෙස පානීය ජලය සපයන බව මධ්‍යම පරිසර අධිකාරියේ ලේඛනගත වාර්තාවලින් කියැවේ. එසේ නමුදු ලක්ෂ 10කට ආසන්න ජනතාවක් මා ඔයෙන් ප‍්‍රයෝජන ගන්නා බවද පැවසේ.

එවැනි වටිනාකමක් ඇති මා ඔයට මේ වන විට අත්වෙමින් තිබෙන ඉරණම ගැන සතුටු විය නොහැකිය. ඒ බොහෝ ගංගා ඇළදොළට අත්වී තිබෙන ගංදියට කැළිකසළ අපද්‍රව්‍ය බැහැර කිරීමේ අවාසනාවන්ත ඉරණමයි. නිසි ක‍්‍රමවේදයකින් තොරව කුණු බැහැරකිරීම නිසා මා ඔයේ සුන්දරත්වය වැනසී යනවා පමණක් නොව, මා ඔයේ හා මා ඔයේ අතු ගංගාවල ජලයෙන් ප‍්‍රයෝජන ගන්නා විශාල පිරිසකගේ සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇතිවේ.

ස්වභාවධර්මයාගෙන් ලැබී ඇති අපූර්වතම දායාද බඳු මෙවැනි සුන්දර ජල සම්පතක් ඇතැම් නොමිනිසුන් විනාශය කරා ගෙනයද්දී ජල සම්පත ඇතුළු ස්වාභාවික පරිසරයේ අගය දන්නා තවත් මිනිසුන් පිරිසක් එම සම්පත රැක ගැනීමට වෙහෙස වීම අගය කළ යුතුය. 'කෑගලු තාරුණ්‍ය තරුණ එකමුතුව' ඊයේ(10දා) කෑගල්ල හිරිවඩුන්න මහා විද්‍යාලය අසලින් මා ඔය පිරිසුදු කිරීමේ ක්‍රියාදාමයක් ඇරඹූහ. ඒ පොලිතින්, ප්ලාස්ටික්, කුණු කසළවලින් තොර පරිසර හිතකාමී සුන්දර මා ඔයක් දකිනු රිසියෙනි.

මාතෘකා